d-f-kariyakarawana-by-saamantha-tennege-174x193

භාෂා ප්‍රේමියෙකුගේ නික්ම යෑම

d f kariyakarawana by saamantha tennege
ටියුඩර් අමරසේන විසිනි

සිංහල භාෂාව මෙන්ම පුවත්පත් කලාව උදෙසා විශිෂ්ඨ මෙහෙවරක් ඉටුකළ ශ්‍රි ලංකාවේ ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියා වූ ඩී. එෆ් කාරියකරවන මහතා පසුගිය 21 වැනි දා දැයෙන් සමු ගත්තේය. සීග්‍රයෙන් පිරිහී යමින් පවතින සිංහල භාෂා සම්ප්‍රදාය රැකගැනීම වෙනුවෙන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ එතුමා මියයන තෙක්ම සිංහල වියරණය, පද සාධනය හා අක්ෂර වින්‍යාස පිළිබඳව නිරතුරුව විද්‍යාර්ථීන් වෙනුවෙන් ලිපි සම්පාදනය කළේය. අපගේ භාෂා සම්ප්‍රදාය රැක ගැනීමේ වගකීම සහ එහි අගය පිළිබඳව නිබඳවම ඔහු පෙනී සිටියේය.

පුවත්පත් කලාවේදියෙකු වශයෙන් ඔහු සතුව තිබූ භාෂා කෞශල්‍යය, චිත්‍ර ශිල්පීය ප්‍රාගුණ්‍යය, පරිණත බව සහ අදීන බව කාරියකරවන නාමයට අන්වර්ථ වූයේය. දේශපාලන බලවතුන්ගේ දෙපා ලොවමින් දේපොළ, ඉඩකඩම්, ඉසුරු සම්පත්, විදෙස් සවාරි යදින මාධ්‍ය යදියන් අතර කාරිකරවන සැබෑම කාරිය කරවන්නෙකු වූයේ නොහොබිනා පුවත් පළ කරන මෙන් තමන්ට බලපෑම් කළ බලවත් මැති ඇමතිවරුන් සිය ප්‍රබල හඬින් මෙල්ල කොට පළවා හැරීමෙනි. එබැවින් ඔහු මාධ්‍යවේදීන්ට ආදර්ශයක් වන්නේය. එසේම ගුරුවරයෙකු ද වන්නේය.

1922 පෙබරවාරි මස 8 වන දා මනුවෙල් කාරියකරවන සහ ඉයුජින් ෆොන්සේකා යුවතිපතීන්ගේ වැඩිමහල් දරුවා වශයෙන් මීගමුවේ උපත ලද ඩීග එෆ් මුලික අධ්‍යාපනය ගමේ පාසලෙන් ලබා 1942 දී පේරාදෙණිය ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූයේය. 1944 දී ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවයට බැඳෙන ඔහු එහි සේවයේ යෙදෙන අතරතුර “මිහිර” නමින් සඟරාවක් ආරම්භ කළේය. එහි හරවත් ලිපි, සම්භාව්‍ය කෙටිකතා, ආදිය අඩංගු වූයෙන් එය ඉතා ජනප්‍රියත්වයට පත් වූයේය. එකල පාසල් පරීක‍ෂණයට පැමිණි මහාධිකාරීවරයා ඩී. එෆ් ගේ “මිහිර” සඟරාව දැක, ඔහු සතු කුසලතා හැඳින, ඔහු කැටුව ගොස් 1945 ඥානාර්ථ ප්‍රදීපයෙහි උප කර්තෘවරයෙකු ලෙස පත්වීමක් ලබාදීමට කටයුතු කළේය.

යොවුන් වියෙහි සිටි ඩී. එෆ් ගේ චින්තනය, සිතුම් පැතුම් හා ක්‍රියාකාරකම් ඥානාර්ථ ප්‍රදීපය සමග නොපෑහිණ. එබැවින් මහත් කලකිරීමකට පත්ව සිටි ඔහුගේ පිහිටට පැමිණියේ කේ. එම් සිරිසේන නම් වූ පත්‍ර කලාවේ දී යෞවනයායි. ටයිම්ස් ආයතනය මගින් “ලංකාදීප” නමින් නවතම පුවත්පතක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව පවසා මහා පත්‍ර කලාවේදී ඩී. බී ධනපාලයන් හමුවට ඩීග එෆ් පමුණුවන ලද්දේ කේ. එම් සිරිසේනයන් විසිනි. එහිදී ඩී. එෆ් සංස්කරණය කරන ලද “මිහිර” සඟරාව දැක මහත් ප්‍රසාදයට පත්වූ ධනපාල මහතා එසැණින්ම කාරියකරවන සිය කතු මඩුල්ලට
බඳවා ගත්තේය. ලංකාදීපයේ විදෙස් පුවත් සංස්කරණය ඔහුට පැවරිණි. සන්නිවේදන තාක‍ෂණය නොදියුණු එකල්හි පුවත්පතක මුල් පිටුව සැකසීම අසීරු කාර්යයක් විය. ඒ සඳහා චිත්‍ර ශිල්පීය දැනුමක් අවශ්‍ය වූ අතර පළමුවන පිටුවෙහි ප්‍රධාන ප්‍රවෘත්තිය පළ විය යුතු අයුරු විශාල හිස් පිටුවක චිත්‍රණය කළ යුතු විය.

ලංකාදීපයේ මුල් පිටුව සකසන ලද්දේ ප්‍රධාන කර්තෘ ධනපාලයන් විසිනි. 1949 වසරේ දිනෙක කිසියම් හේතුවක් මත ධනපාල මහතා සේවයට නොපැමිණි බැවින් එවකට සහකාර කතුවරයා වූ නිමල් කරුණාතිලක මුල් පිටුව සැකසීමේ වගකීම කාරියකරවනට පැවරීය. ඉතා උද්‍යෝගයෙන් එය භාරගත් කාරියකරවන සුනිසි අක‍ෂර රටා භාවිත කරමින් රමණීය ලෙස ලංකාදීප මුල් පිටුව සකස් කරනු ලැබුවේය. ධනපාල මහතා ඉන්පසු දින දෙකද නොපැමිණියෙන් කාරියකරවන තම චිත්‍ර ශිල්පීය කුසලතා විදහා දක්වමින් ලංකාදීප මුල් පිටුව අලංකාර ලෙස සකස් කළේය. දින තුනකට පසුව පැමිණි ධනපාල මහතා කාරියකරවන සකසන ලද මුල් පිටු දැක මහත් ප්‍රසාදයට පත්ව එම කාර්යය ඔහුටම පැවරුවේය. මෙනයින් අලංකාර වූ මුල් පිටුව ලංකාදීපයේ අළෙවිය ඉහළ නැංවීමට සමත් විය. ධනපාල යුගය සමග බැඳි “ලංකාදීපය” අතිශය සාර්ථක පුවත්පතක් බවට පත් කිරීම නිසා කාරියකරවනගේ කීර්තිය ද ඉහළ නැගිණ. මේ වනවිට “දිනමිණ” පුවත්පත අළෙවියෙන් ඉතා පහළට වැටී එය ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබිණ. මේ පිළිබඳව අවධානය යොමුකළ ලේක් හවුස් ප්‍රධානී එස්මන්ඩ් වික්‍රමසිංහ, කාරියකරවනගේ කුසලතා දැන හැඳින දිනමිණ සමග එක්වන ලෙස ඔහුට ආරාධනා කළේය. ඇරයුම පිළිගත් කාරියකරවනට දිනමිණේ පිටු සැලසුම භාර දුන්නේය. මාසයක් තුළ දිනමිණ සීග්‍ර ලෙස වර්ධනය විය. පිටු අලංකාර විය. අළෙවිය ඉහළ නැගිණ. කාරියකරවනයන්ගේ නැග්මද එයම විය.

1953 මාර්තු 05 දින සෝවියට් රුසියානු නායක ජෝශප් ස්ටාලින්ගේ මරණය සිදුවිය. එම පුවත පිළිබඳ තොරතුරු ලේක් හවුසියට ලැඛෙන විට රාත්‍රී සේවයෙහි නිරතව සිටියේ කාරියකරවන පමණි. බලධාරීන් නොසිටිය ද පුවතෙහි වටිනාකම හඳුනාගත් ඔහු දිනමිණ විශේෂ මුද්‍රණයක් ලහි ලහියේ සැළසුම් කළේය. ඒ අතරතුර එස්මන්ඩ් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් දී එපුවත පිළිබඳ විමසීමක් කොට ඒ අනුව පිටු සකසන ලෙස කාරියකරවනට දැනුම් දුන්නේය. සිතැඟි පරිදි සිය කාරිය කළ කාරියකරවන විශේෂ මුද්‍රණයේ ‘ඩමිය’ සකස් කොට මුද්‍රණයට යැව්වේය. මදකින් එහි මුල් පිටපත විමර්ශනය කිරීම සඳහා ඔහු පහත මාලයට ගියේය.ඒ සමගම කලබලයෙන් එස්මන්ඩ් වික්‍රමසිංහ එහි පැමිණියේය. එම දිනමිණ මුල් පිටුව දැකීමෙන් ඔහු මහත් විමතියටත්, ප්‍රසාදයටත් පත්විය. පසුදින උදෑසනම ලේක් හවුස් ආයතනයට පැමිණි එඩ්මන්ඩ් වික්‍රමසිංහ, කාරියකරවන දිනමිණ ප්‍රධාන කතුවරයා ලෙස පත් කළේය. ඒ 1953 මාර්තු මස 6 වන දිනයේය. ඔහු තිස් එක් හැවිරිදි වියේදීය.

ඉනික්බිති ඔහුට “ජනතා” පත්‍රයේ කර්තෘ පදවිය ද භාර දුන්නේය. 9000 ක අළෙවියක් තිබූ ජනතා පත්‍රය 60,000 දක්වා වැඩි කිරීම නිසා පරිපාලනය ඔහුගේ ශක්‍යතාව මැනවින් හඳුනා ගත්තේය. අනතුරුව යොවුන් ජනතා, ක්‍රීඩා පුවත්පත්වල ප්‍රධාන කතුවරයා බවට පත් කළ ඔහුට සිළුමිණ ප්‍රධාන කර්තෘ පදවිය ද පැවරුවේය. එහි දී පුවත්පත් කලාවේ යම් වෙනසක් කිරිමට සිතූ ඔහු අත් අකුරින් කතු වැකිය ලිවීම ආරම්භ කළේය. එය ලොව මාධ්‍ය කේෂත්‍රයේ නව පිවිසුමක් ලෙස ගිනිය හැකිය.

එබඳු හපන්කම් කළ කාරියකරවනගේ දීර්ඝ පුවත්පත් දිවියේ අභාග්‍ය සම්පන්න කාලය උදා වූයේ 1989 දීය. මහියංගනයේ ගම් උදාව පවත්වන විට කොළඹ නගරය පුරා පෝස්ටර් අළවන්නේ මන්දැයි විමසමින් ඔහු කතු වැකියක් ලීවේය. එය බලධර උදහසට ලක්විය. ඔහු පත්‍ර කලා සංගමය පවත්වාගෙන ගිය ස්ථානය ඔහුට අහිමි විය.ජර්මනියට ප්‍රවෘත්ති සැපයූ ඔහුගේ ප්‍රවෘත්ති සේවය ද අත්හිටවනු ලැබීය. මේ අතර ඔහු විශ්‍රාම යන වයස ළඟා විය. ලේක් හවුස් පාලනාධිකාරිය ඔහුගේ සේවය අපේක‍ෂා කළ ද තමා තවදුරටත් එහි රැඳී සිටියහොත් ඉහළට ඒමට දක‍ෂතා ඇති තරුණයන්ට එම අවස්ථා ගිලිහෙන බව පවසා වයස 60 දී කාරියකරවන විශ්‍රාම ලැබුවේය. එහෙත් ඒ රැකියාවෙන් පමණි.

සිය දෙස, බස, රැස වෙනුවෙන් කළ යුතු කාර්යයන් ඔහු පෙර පරිදිම පෙරට ගෙන ගියේය. අන්තර්ජාතික පත්‍ර කලා සංගමයේ ශ්‍රී ලංකා සභාපතිකම දැරූ ඔහු ලාංකීය මාධ්‍යවේදීන්ට විදේශ මාධ්‍ය ආයතන සමග සබඳතා ගොඩනගා ගැනීමට ද, විවිධ ශිෂ්‍යත්ව සඳහා අවස්ථා ලබාදීමට ද කටයුතු කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ජනමාධ්‍ය පාඨමාලාව ආරම්භ කිරීමට උපස්තම්භක වූයේ ද ඩී. එෆ්. කාරියකරවනය. කාරියකරවන අගනා ග්‍රන්ථ රාශියක් ද පාඨක සහෘදයන්ට පිළිගැන් වූයේය. දශක සතක මතක, මතක පොතේ ඉතිරි හරිය, මතක පොතෙන් තවත් ටිකක්, සංක්‍රමණය, කරට කර ආදී ග්‍රන්ථ ඉතා රසබර නිර්මාණ සේ දැක්විය හැක. ‘අරුත්-නිරුත්’ හෙළ වදන් විවරණය කරන අගනා කෘතියකි. 1990 සිට මියයන තෙක්ම සිළුමිණට ලියූ දොස් – නිදොස් වියරණ ලිපි මාලාව ඔහුගේ අග්‍ර ගණ්‍ය මෙහෙවර ලෙස මම අගය කරමි.

එමගින් “ෆේස් බුක්” සඳහා දැනට වහරන “මුහුණු පොත” යන්න නොගැළපෙන ඍජු පරිවර්තනයක් බවත්, ඊට වඩාත් සුදුසු “වත ගත” යන්න බවත් ඔහු යෝජනා කර තිබිණ. එය ඉතා අර්ථ පූර්ණ සුනිසි යෙදුමකි. ලංකාදීපයට ලියූ “කාරිගේ තීරුව” හා දිනමිණට ලියූ “චීන පටස්” අගය කළ හැකි තීරු ලිපි වේ.

2006 දී පමණ මා “පහන” සංස්කාරක වශයෙන් කටයුතු කරන සමයෙහි, අහඹු ලෙස ලද ‘පහන’ සඟරාවක් කියවා එහි බස් වහර, කාලීන ලිපි හා සාහිත්‍යාංග ප්‍රශංසාවට ලක් කරමින් කාරියකරවනයන්ගෙන් ලිපියක් ලැබිණ. අනතුරුව මගේ අයැදුම මත තම ලිපි කිහිපයකින් “පහන” සැරසීමට තරම් මේ මහා ලේඛකයා නිහතමානී වූයේය.

සිංහල භාෂාව පිළිබඳ ආචාර්ය, මහාචාර්යවරුන් පවා බස නසමින් කෘති සම්පාදනය කරන මෙකල්හි නිවැරදි හෙළ බසෙහි ප්‍රගමනය උදෙසා මෙතුමන් දිවි ඇති තෙක් කරන ලද මෙහෙවර ලංකාවේ එකදු විශ්ව විද්‍යාලයක අවධානයට පත් නොවීම, ඇගයීමකට ලක් නොවීම ජාතියේ අවාසනාවකි. කාරියකරවන ශූරීහු තමන් අනුගමනය කරන දරු පරපුරක් ද තැනූහ. ඔහු ගිය මග යමින් මුදිත කාරියකරවන පුතු ද, කුරුලූ කාරියකරවන මුණුපුරා ද මාධ්‍යවේදීන් බවට පත්ව සිටිති.

උපතින් කතෝලික බැතිමතෙකු වූ කාරියකරවන, තරුණ වියේ දී වෙසක් පොහොය දිනයක බුදු දහම වැළඳ ගත්තේය. මෙයට වසර කිහිපයකට පෙර ඔහුගේ දයාබර බිරිය වූ ලලිතා අබේසේකර මහත්මිය ද අභාවප්‍රාප්ත වූවාය. 2015 අප්‍රේල් මස 21 වනදා වයස අවුරුදු 94 ක් ආයු වළඳා අභාවයට පත් කාරියකරවන, සිය අවමංගල්‍ය කටයුතු ද ආදර්ශයක්
වන පරිදි සැලසුම් කොට තිබිණ. එතුමන්ගේ ඉල්ලීම අනුව අභාවයට පත් දිනයේම පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පාංශකූලය පූජා කිරීමෙන් අනතුරුව පස්වරුවේ දී මෘත දේහය මාලබේ වෛද්‍ය විද්‍යාලයට පිරි නැමුවේය. අර්ථවත් ජීවිතයක ගුණ සුවඳ මරණය හමුවේ ද ප්‍රකට කළ එතුමන්ට නිවන් සුව පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *