640px-John_William_Waterhouse_-_Echo_and_Narcissus_-_Google_Art_Project-2

එකෝ සහ නාර්සිසස්

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

ග්‍රීක දේව කතාවකට අනුව එකෝ යනු දෙවගනකි. ඇය නාර්සිසස් නම් වූ තරුණයෙකුට මහත් සේ ආදරය කළා ය. නාර්සිසස්ගේ රූපයට බොහෝ දෙවගනන් ආදරය කළ මුත් ඔහු නොවේ පෙරළා ඔවුන්ට ආදරය කළේ. ඔහු අන් අයගේ අවධානය ලබාගැනීමටත්, ඔවුන්ගේ ප්‍රසංසාවට ලක්වීමටත්, එමෙන්ම අන් අය ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙනු දැකීමටත් ලොල් විය. නාර්සිසස් කල්පනා කළේ ඔහු හා සමාන තවත් අයෙක් මේ මිහිපිට නොමැති බව ය. ඒ නිසාම අන් කිසිවෙක් ඔහු හා තරම් නොවන බව ය.

දිනක් එකෝ, පරදාර සේවනයට ලොල් වූ ජූනෝ නම් දෙවගනගේ සැමියාට ඇයට හොරෙන් පළා යාමට උදව් කළා ය. ඒ ජූනෝ දෙවගන හා අල්ලාප සල්ලාපයේ යෙදී ඇගේ අවධානය වෙනතකට හරවමිනි. එකෝ කළ ද්‍රෝහී ක්‍රියාව වැටහුණු වහාම ජූනෝ එකෝට සාප කළා ය. ජූනෝගේ සාපය වැදී එකෝගේ කතා කිරීමේ හැකියාව නැති විය. එදා පටන් ඇයට හැකි වූයේ කවුරු හෝ කියූ දෙයක අවසාන වචනය පුනරුච්චාරණය කිරීම පමණි.

එහෙත් එකෝ දිගින් දිගටම නාර්සිසස්ගේ අවධානය දැන් දැන් තමන් වෙත යොමුවෙතැයි සිතමින් වනන්තරේ ඔහු ගැවසෙන තැන් වල සැරිසරන්නට වූවා ය. දිනක් ඇය පා තබන හඩ ඇසී නාර්සිසස් “කවුද මෙතන ?” කියා ඇසුවේ ය. එකෝට පිළිතුරු වශයෙන් කිව හැකි වූයේ “මෙතන˜ යන වචනය පමණි. නාර්සිසස් “මා ළගට එන්න” කියා කීවේ ය. එකෝ ද “එන්න” කියා කීවා ය. නැවතත් නාර්සිසස් “මොකද ඔබ මාව මග හරින්නේ. එන්න අපි දෙන්නා එකතු වෙමු”යි කීවේ ය. සතුටින් ඉපිළ ගිය එකෝට මෙතෙක් කාලයක් තමන් තුළ නාර්සිසස් කෙරෙහි වූ බලවත් ආදරය ගැන වචනයෙන් කිව නොහැකි නිසාවෙන් වහා දිව ගොස් නාර්සිසස් වැළඳ ගන්නට ඉදිරියට පැන්නා ය.

කෝපයෙන් ඉවතට පැන ගත් නාර්සිසස් “මට උඹව ලැඛෙනවාට වඩා හොඳයි මෙතනම මැරිලා යෑම” කියා ගුගුලේය. එකෝගේ හදවත කඩා වැටුණි. බලවත් දුකට පත්ව ඒ දුකින්ම ඈ මිය ගියා ය. ඇගේ සිරුර වනාන්තරේ ගල් පරුවතයක් හා ඒකාත්මික විය. අවසානයේ ඉතිරි වූයේ කවුරු හෝ කියන දෙයක් නැවත පුනරුච්චාරණය කරන දෝංකාරය පමණි.
නාර්සිසස් දිගින් දිගටම දෙවගනන් තම වසගයට ගනිමින් සිටියේ ය. එක් දෙවගනක් කෙටි කාලයක් ඇසරු කර ඔවුන්ව ප්‍රතික්ෂේප කර අමතක කර දැමීම ඔහු පුරුද්දක් කර ගත්තේ ය. නාර්සිසස්ගේ මේ හැසිරීමෙන් දෙවිවරු බොහෝ වෙහෙසට පත් වූහ. දෙවිවරුන්ට අවශ්‍ය වූයේ තමන් ආදරය කළත්, තමන්ට කිසිදා ආදරය නොලැබීම කෙතරම් දුකක්ද යන කාරණාව නාර්සිසස්ට පහදා දෙන්නට ය. ඒ නිසා දෙවිවරු ඔහු ආදරය කළත් පෙරළා ඔහුට ආදරය කරන්නට නොහැකි මායාවක් මැවූ හ.

දිනක් හිරු රැස් විඳිමින් වනාන්තරේ ඇවිද ගිය නාර්සිසස්ට දිය පිරි පොකුණක් හමු විය. පොකුණට දෑස යොමා බැලු විට ඔහු දුටු ඔහුගේම රුව ඔහු හඳුනාගනු ලැබුවේ දියෙහි ආත්මය වශයෙනි. නාර්සිසස් තමන්ගේම ප්‍රතිබිම්බය හා අනුරාගයෙන් බැඳුනි. නාර්සිස් හිස පහත් කර පොකුණ මත දිස් වූ තමන්ගේම රූපය සිප ගත්තේ ය. සැනෙකින් පොකුණු දිය කැළඹී ප්‍රතිබිම්බය බොඳව ගියේ ය. පොකුණු දිය මෙන්ම නාර්සිසස්ගේ සිතද කැළඹුණි. ඔහු අනුරාගයෙන් බැඳුනු අය කොහේ සැගවුණිද ? දිය නිසසල වූ පසු නැවතත් දියෙහි ආත්මය දිස්විය. “ලස්සන ආත්මය, ඇයි ඔබ මා මග හරින්නේ ? මා මගේ දෑත් විහිදන විට ඔබද දැත් විහිදුවන්නේ ය. මා සිනාසෙන විට ඔබද සිනාසෙන්නේ ය.”

නැවතත් නාර්සිසස් දියෙහි ආත්මය සිපගත්තේ ය. එකෙනෙහිම ඔහු අනුරාගයෙන් බැඳුනු ඔහුගේම පිළිබිඹුව නැවත වතාවක් බොඳ විය. භීතියට පත් නාර්සිසස් තවත් නම් පොකුණු දිය නොකළඹා ඒ දෙසම බලා සිටින්නට විය. බලාපොරොත්තු කඩවීම නිසා ඔහු දුකින් හඩා වැටෙන්නට විය. ඔහු හඩන විට එකෝද හඩා වැටෙන්නට වූවා ය. ඔහු සෙළවුනේ නැත. කෑවේ බීවේද නැත. අවසානයේ එකෝ මෙන්ම නාර්සිසස්ද දුකින්ම මිය ගියේ ය. ඔහුගේ සිරුර අතුරුදහන් වී එතැන නාර්සිසස් නම් මල පිපුණේ ය.

ජෝන් විලියම් වොටර්හූස් (1847-1917) විසින් 1903 දී සිත්තම් කරන ලද Echo and Narcissus නම් සිතුවම් කර ඇත්තේ රෝම කිවි ඕවිඩ්ස් ගේ Metamorphoses කාව්‍ය සංග්‍රහයේ Echo and Narcissus නම් කාව්‍යයි. එකී කාව්‍යයට නිමිත්ත වූයේ ඉහතින් දැක් වූ පුරාවෘත්තාන්තයයි.

ජෝන් විලියම් ඉංග්‍රීසි ජාතික චිත්‍ර ශිල්පියෙකි. ඔහු තම සිතුවම් වලට තෝරා ගත් තේමාවන් හා ශෛලිය නිසා ඔහුව ප්‍රාග් රැෆොලියානු චිත්‍ර ශිල්පියෙකු වශයෙන් නම් කරතත් වඩාත් නිවැරදි හඳුන්වාදීම නම් නූතන සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙකු ලෙසින් හැදින්වීම ය.

වසර දහස් ගණනකට එපිට ගෙතුනු මිත්‍යා කතා තුළ ගැබ්ව ඇති නූතන දර්ශනය පුදුම එළවන සුළු බව අපට හැගී යන්නේ මේ පුරාවෘත්තය ගැඹුරෙන් විමසා බැලීමේදී ය. ඇතැම් විට අපට ආදරය දක්වන අය කෙරෙහි අප තුළ ආදරයක් හට නොගනී. එමෙන්ම අප ආදරය කරන අය පෙරළා අපට ආදරය නොකරති. මේ නිසාම ඇතැම්හු වැළපෙති. පොළවේ පස්කති. දුක් වෙති. හඩති. දොඩති. අවසානයේ දුක්මැ විද සුසුම් හෙළීම පමණක් කර මෙළොව හැර යති. වෙනත් වචන වලින් කියනවා නම් නාර්සිසස් මෙන්ම එකෝද අපේ ආගන්තුකයෝ නොවෙති.

එදා මෙන් දැන් අපි පොකුණක දකින අපේ පිළිබිඹුවලට නොරැවටෙමු. එහෙත් පොතක, පතක හෝ “මුහුණු පොත” වැනි සමාජ ජාලවලට අපිම යොමුකළ අපේම රූපාදිය දෙස එදා නාර්සිසස් පොකුණු තෙර බලා හිටියාක් මෙන් නොකා නොබී බල බලා සිටිමු. එසේනම් නාර්සිසස් තමන් කෙරෙහි ඇතිකරගත් අනුරාගය එදාට මතු නොව අදටත් අප කරන කියන නානාවිධ දේ තුළිනුත් විද්‍යාමාන නොවේ ද ? මිත්‍යා කතාවක සැගව ඇති අපූරු සනාතනික වටිනාකම හඳුනාගත් ජෝන් විලියම්ගේ සිතුවම හුදෙක් කවියකට කළ සිතුවමක් නොවන බව පැහැදිළිය. ග්‍රීක පුරාණෝක්තිය ලියවුනු සමාජය තමන් ජීවත් වූ සමාජ වටපිටාව තුළින් 1903 දී ජෝන් විලියම්ස්ද දකින්නට ඇතැයි අපි සිතමු. එයම අද අපි ජීවත් වන සමාජය තුළිනුත් පෙර කවරදාටත් වඩා හොඳින් ඉස්මතුව පෙනෙන්නේ ය. තමන් ජීවත් වූ සමාජය විනිවිද දුටු චිත්‍රශිල්පියාගේ නෙත ගැටෙන්නට ඇත්තේ මිනිසුන් තමන්ගේම ආත්මය හා අනුරාගයෙන් වෙලීමේ ඇති ඛේදවාචකය නොවේ ද ? මේ නම් කලාකරුවෙකුට හෝ දාර්ශනිකයෙකුට පමණක් හසුවන අප තුළම ඇතත් අප නොදකින අපේම නිරුවත නොවේ ද ? චිත්‍රශිල්පියා සොයාගත් ඒ දේ ඔහු දන්නා භාෂාවෙන් කියන්නට තැත් කරන විට ඔහුට හමුවන්නේ ග්‍රීක පුරාණෝක්තියකි. මේ සිතුවමේ දිස්වන එකෝ සහ නාර්සිසස් මෙන්ම පොකුණද එකී අපූරු සංකල්පයන් හකුළුවා දැක්වීමකි. අපේ නිරුවත අපටම පෙන්නා දෙන්නට සමත් නිසාවෙන් ජෝන් විලියම්ස්ගේ “එකෝ සහ නාර්සිසස්” අපූරු සිත්තමකැයි අපි සිතමු. අද මනෝ විද්‍යාඥයින් “නාර්සිසස්ගේ රෝගය” ලෙසින් හඳුන්වන මානසික රෝගයක් ඇත. ඒ එකී රෝගයේ ලක්ෂණ මෙකී ග්‍රීක මිත්‍යා කතාවෙන් මොනවට පැහැදිළි වන නිසා නොවේ ද ?

සිය ජීවිත කාලය තුළ ජෝන් විලියම්ස් සිතුවම් 200 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. සෙන්ටි මීටර් 109.2 x 189.2 ප්‍රමාණයට තෙල් සායමින් කළ “එකෝ සහ නාර්සිසස්” නම් වූ මෙම සිතුවම එංගලන්තයේ ලිවර්පූල්හි පිහිටි Merseyside කෞතුකාගාරයේ දැනට ප්‍රදර්ශනය පිණිස තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *