Kadapatha Dec 1542

සුළඟවත් දන්නවද අරන් යන තැන අඟුණ මල්

සාමන්ත තැන්නගේ විසිනි (Reviewed By Saamantha Tennege)
ඇතැම් අයට හයිකුව ඛෙහෙත් සීට්ටුවකි. තවත් අයට එය අන්ඩර දෙමලයකි. එබඳු බාහු යුඟළකින් තෙරපි තෙරපී මුත් නොකඩවා දෙවසරකටත් වැඩි කාලයක් ‘කැඩපත’ කෙටි කවිය වෙනුවෙන් පෙනී සිට කළ මෙහෙවර අගැයීමකට හෝ පැසසුමකට ලක්වූවා නම් ඒ කවියෝද නොවූ, කලාකරුවෝද නොවූ පොදු ජනතාව වෙතින් පමණි. එබඳු යුගයක අප අත පත් මෙල්බන් නුවර අප සහෘද මාලන් බණ්ඩාරගේ ‘අඟුණ මල්’ සංක්ෂිප්ත කාව්‍ය සංග්‍රහය සැබවින්ම ගෙන ආවේ ඉමහත්ම චිත්ත ප්‍රසාදයකි.

අප කෙටි කවිය වර්ණනා කරන්නේ සඳැසට හෝ නිසැඳැසට හිමි තැන අහිමි කිරීමෙන් නොවේ. සංදේශ කවියාට මෙන්ම ජනකවියාටත් ශ්‍රී ලාංකික සමාජයේ හිමි තැනක් ඇත. තවත් චිරාත් කාලයක් එය එසේම පවතිනු ඇත. එහෙත් සංස්කෘතයේ ආභාෂය ලත් සංදේශ කාව්‍ය සම්ප්‍රදාය විසින් සීගිරි කවියා මරා දැමුවේ ද යන කාරණය ලෙහෙසියෙන් අමතක කර දැමීමට අපට තරමක් අසීරුය.

යම් කලෙක කිසියම් සමාජයක පවතින හෝ ඊට අළුතින් එක්වන සංස්කෘතිකාංගයක් නිශේදනය වීමට හෝ නොවීමට බලපාන ප්‍රධාන නිමිත්ත වන්නේ ‘බලය’ යි. එය හුදෙක් දේශපාලන බලය හා සමාන බලයක් වීමටම අවැසි නැත. අද කෙටි කවියට බැට දෙන්නේ ප්‍රවීණයෝ ය – බහුශ්‍රැතයෝ ය – කෘතහස්ථයෝ ය. එමෙන්ම අන්ධානුකරනයෙන් ඔවුහු පසුපස ඇදෙන අංකුරයෝ ය. ඔවුන් තමන් සතු එකී බලය යොදා සාමාන්‍ය රසිකයා තෙරපන කල්හි අලූත් අලූත් දෑ කෙසේනම් සමාජගත වේද ?

අපට සීගිරි කවි හමු වන්නේත්, නැති වන්නේත් වර්තමාන කෙටි කවියට ගුරු වූ ජපන් හයිකුවටත් පෙරය. මාලන්ගේ පහත කවිය විමසා බලන්න.

හැර ගිය මගෙහි
ඉඳ හිට හමුවන
ගැඹුරු අඩි

කෙටි කවියෝ විස්තර වර්ණනා, වාග් ආලංකාර මෙන්ම ප්‍රලාප ගැන සැලකිලිමත් නොවෙති. එනමුදු ඔවුහු අප නෙත ගැටුණද සිතෙහි කම්පනයක් ඇති නොකළ නිසාවෙන්ම වැළලී යන ක්ෂුද්‍ර දසුන් හෝ සිදුවීම් අහුලා ගනිති. අතහැර ගිය මංපෙත්හි ඉඳහිට හමුවන ගැඹුරු අඩි කොතෙක් නම් ඔබේත් මගේත් නෙත ගැටී ඇත් ද ? අපි එහි කිසිදු විශේෂයක් නොදැක්කෙමු. කෙනෙකු තම ජීවිත කාලය තුළ කොතෙක් නම් දේවල් කරන්නට ඇත් ද ? කොතෙක් දේ පසු පස හඹා යන්නට ඇත් ද ? කොතෙක් නම් දේ අතහැර දමන්නට ඇත් ද ? කලක් අපි ආදරයෙන් වැළඳගත් මංපෙත් හැර අද ඊට ඉදුරාම වෙනස් මංපෙතක පා නැගුවද පෙර ගත් මගෙහි ලත් අත්දැකීම් ගැන මතකය කෙසේනම් අමතක කරන්න ද ? ඒ එක් පැත්තකි. අනෙක් පැත්තෙන් කවියා මේ කියන්නේ කලින් දැක් වූ පරිදි ඔහුගේම නිර්මාණ සඳහා උපස්ථම්භක වූ අතීත සම්ප්‍රදායන් ගැන නොවිය හැකිද ? මාලන් මේ කෙටි කව හරහා අපට සිතන්නට පුළුල් වේදිකාවක් ගොඩනගන්නේ එයාකාරයෙනි.

පාරට නැමුණු පසු අතු
මල් කිණිති ගැන
වද වෙයි ද
සැත

මල් කිණිති ඇති අතු සැතෙකින් සිඳ දමන්නේ සිත් පිත් නැති අයය. පාරක් ඇත්තේ යම් නිශ්චිත තැනකට එළැඹෙන්නට ය. අතු අග මල් කිණිති ඇතත් ඉන් තැනකට ළඟා වන්නට ඇති මග ඇහිර යා නම් මල් කිණිති ගැන නොසිතාම අපි ඒ අතු සිඳ දමමු. මේ කව ජීවන ඉලක්කයන් සපුරා ගන්නට ‘ඉදිරියට’ ඇදෙන කෙනෙකුට තම හෘදසාක්ෂිය ගැන විමසා බලන්නට කෙරෙන හෘදසංවේදී ආයාචනයකි.

මල් සුවඳ අරන් ගිය සුළඟම
හැඩි කරන හැටි වටපිට
පෙති හල හලා බිම
ආපසු ඇවිත් හවසට

මාලන්ගේ ඉහත කවිය, සුනිල් ආරියරත්න රචනා කර නන්දා මාලිනිය ගැයූ මේ ගීතයෙන් විස්තර වන හැටි මදක් විමසා බලන්න.

පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
අපි සුළෙඟේ පාව එන මල් සුවඳ විඳිමු. එකල්හි මල් සුවඳ ප්‍රකට ය. සුළඟ අප්‍රකට ය. තවත් විටෙක මල් පෙති හළා දමන්නේ ද සුළඟමය. එකල්හි අප දොස් තබන්නේ සුළඟට ය. මාලන් එකම සුළඟක අවස්ථාවන් දෙකක් අප ඉදිරියේ නිරූපණය කරයි. සුළඟ, මල් සුවඳ හා මල් පෙති හරහා ඔහු අපට අටලෝ දහම ගැන ඉඟි කරයි. සුනිල් ආරියරත්නගේ පද පෙළ ගීතයක් නොවූවා නම් වැටෙන්නේ අවවාද උපදෙස් ගොඩට ය. එහෙත් කෙටි කවි අවවාද උපදෙස් පිළිකෙව් කරයි. ඉන් ඔබ්බට පාඨක සිත් මෙහෙයවයි. ඉන් පාඨකයාගේ සිතෙහි ඇති වන “ක්ෂණිකාලෝකය”ට ඔහුගේ හද පත්ලෙහි සදාකාලිකව දිළෙන්නට ඉඩ සළසයි.

මාලන්ගේ ‘අඟුණ මල්”හි බොහෝ කෙටි කවි රජරට පිස හමන සුළං නැමති අත්දැකීම්හි පහස ලබා ඇත. බොහෝ විට ඒවා ගම්පියසෙහි දුටු දසුන් හෝ සිදුවීම්ය. පරිසරය හා ගැටී ලද අත්දැකීම් මෙන්ම ඔහු විඳින්නට ඇතැයි සිතිය හැකි සෙනෙහසද එකව් තුළ තැවරී ඇත්තේ ය. ඒ අතර සියුම් උපහාසයක්ද ගැබ්වැ ඇති මේ කව හා අනුරපුර රත්න පාසාදය අතර කිසියම් සහසම්බන්ධතාවක් පැවැතිය යුතුම ය.

මුරගලට
තනිරකින
මුරකුටිය

පැරණි වෙහෙර විහාරස්ථානයන්හි පියගැටපෙළ පාමුල දෙපස ඇති මුරගල සංකේතාත්මක නිර්මාණයකි. සාමාන්‍යයෙන් මුරට සිටිනවුන් දරා සිටිය යුත්තේ අවි ය. එහෙත් හෙල කලාකරුවා නිමැයූ මුරගලෙහි සිටිනුයේ පුන්කළසක් හා පළාවැලක් දෑත දරාසිටින්නෙකි. ඒ ඇයිද යන්න වෙනමම විස්තර කළයුතු කරුණෙකි. නැතිනම් එය තවත් කුඩා කවකට සුදුසු විසල් නිමිත්තකි. එදා විහාරයේ ආරක්ෂාවේ සංකේතය වූ මුරගලෙහි ආරක්ෂාවට අද වන විට ඊට පිටින් ඉදිකර ඇත්තේ යකඩ වැටකි. විශේෂයෙන් අනුරපුර යුගයේ අපට හමුවන මුරගල වනාහි සියුම් ගල් කැටයමකි. ඒ වටා මුරකුටියක් ඉදි කළ කල්හි කෙසේ නම් සියුම් සෙල් කැටයමක අසිරිය විඳගන්න ද ? අනෙක් අතින් සීගිරි සිතුවම් පවා තාර ගා විනාශ කරන්නට තරම් හිත්පිත් නැති මිනිසුන් සිටින යුගයක ආරක්ෂාවක් නැති තැන මුරගලද අන්තර්ධාන විය නොහැකි ද ? කෙටි කවියකින් කියවෙන දිගු කතාන්තර එබඳුය.

පරමල් හෙළා
සැහැල්ලූවට වැනෙන
නටුව

නටුවක් සුපිපි මල් බර දරන්නේ තුටිනි. කවියා ඒ බැව් නොකියයි. එහෙත් පර මල් හෙලා තුටින් වැනෙන නටුවක් ගැන කියයි. රසිකයා කවියා නොකී දේ සොයා යයි. ඒවා එකිනෙක අමුණයි. සිතයි. තව තවත් සිතයි. ජීවිත වලට ගලපයි. සෑහීමකට පත් නොවෙයි. වෙනත් අතක් බලයි. අප තවමත් කරතබා ගෙන යන්නාවූ යල්පිනූ මතවාද හා අදහස් හා පර මල් අතර සමානත්වයක් ඇත් ද ? එකී ඔලොගු බිම තැබූ කල්හි ලද හැකි සුවය අපමණ බව නොවෙද කවියා මේ පවසන්නේ ?

ඇවිදගෙන ඇවිත්
එහා වත්තේ වැට,
මගේ ගේ ළඟටම

ගම් වල වැටවල් ඇවිද යාම සාමන්‍ය දෙයකි. සාමාන්‍යයෙන් යහපත් තැනැත්තා සිටින්නේ වැට ‘යන’ පැත්තේ නොව ‘එන’ පැත්තේ ය. බැලු බැල්මට කෙනෙකුට පෙනී යන්නේ එහා වත්තේ වැට මෙහා වත්ත ආක්‍රමණය කරන බවය. මේ නම් එක් අතෙකින් පැවති සහ පවත්නා දේශපාලන තත්ත්වයක් ගැන කෙරෙන ඉඟියකි. අනෙක් අතින් අනතුරු ඇඟවීමකි. එබඳුම දේශපාලන කියවීමක් සහිත තවත් තියුණු කාලීන කවකි, මේ.

කැළල මැකුණු පසුත්
රිදුම් දෙයි
තුවාලය

බැලු බැල්මට මාලන්ගේ ඇතැම් කවි වල “මා” මහත් සේ ඉස්මතුව ඇති සේයාවකි. ඉන් අපේ වින්දනයේ සීමාවන් පටු වන්නේ ද යන්න විමසා බැලීම සුදුසුය.

නිසල දිය කඩිත්තක
පිපි සඳ මඩල
දිය කර හරිමි
කැටක් විසිකර

මේ කව කිය වූ කල නිසල දිය කඩිත්තෙහි පිපි සඳ මඩල දිය කර හරින්නෙකු අපට පෙනේ. ඔහු අපේ රසවිඳීම බාධා කරයි. මුල් දෙපදයෙන් අප දැහැනකට සමවැදුණිද, හේ එය ඉතා කුරිරු ලෙස බිඳ දමයි. එසේ නොවන්නට අපිදු දියව යන සඳ මඬලෙහි මැවෙන චිත්ත රූපයෝ තුළ සැඟව නොයමු ද ?

එමෙන්ම, අවවාද උපදේශ බවට පත්වීමෙන් ඇතැම් කාව්‍යන්හි ගුණාත්මක බව ගිලිහී ඇති සේය.

නඟින්නේ බලාගෙන
මී අඹ ගසට
හැම තැන ම
දිමි ගොටු

කවියා මෙහිදී කතා කරන්නේ අඹ ගසක් ගැනය. එය නිකම්ම අඹ ගසක් නොව මී අඹ ගසකි. එබැවින් එහි ඵල රසයෙන් අනූනය. එහෙත් ගසෙහි හැම තැනම දිමි ගොටු ය. එබැවින් ඔහු අපට මී අඹ ගසට පරිස්සමෙන් නගින මෙන් උපදෙස් දෙයි. ඒ නිසාම මේ මිහිරි කෙටි කව දුබලව ගිය සේය. ඒ වෙනුවට ඔහු මෙසේ කීවානම් මී අඹ ගස දෙස බැලීමෙන් පවා මැවෙන රෑපයෝ සීමා රහිත වන්නේ ය. ගහට නැගීම ගැන කවර කතා ද ?

මී අඹ ගසේ
හැම තැනම
දිමි ගොටු

මෙහි ඇතැම් කවි කියවූ කල අපට අප නිතර අසා පුරුදු කියමන් නිරායාසයෙන්ම සිතට නැගී ඒම වළකන්නට අපහසුය. එය කවියාගේ දක්ෂතාවයක්ද නැතිනම් දුර්වලතාවයක්ද යන්න එක එල්ලේම කීමට අපහසුය.

නැවෙන විට
සුවඳැල් බිමට
එසැවෙයි හිස් අහසට
බොල් කරල්

මේ කියන්නේ ඵල බර වන්නට වන්නට ගහක අතු බිමට නැමෙන කතාවම නොවේ ද ? අලූතින් එකතුව ඇත්තේ බොල් කරල් හිස් අහසට එසවෙන බව ය. ඒ කවියේ “විට හා “හිස්” යන පද හැළුවේ නම් කවියාගේ නිරීක්ෂණය වඩාත් තියුණු නොවේ ද ?

ඉතා සිත්ගන්නා ලෙස නිමවී ඇති මාලන්ගේ “අඟුණ මල්” වර්ණවත් සිතුවම් නිසා තවත් හැඩ ගැන්වී ඇත. එහෙත් කවියා අතික්‍රමණය කිරීම කෙසේ වෙතත් ඔහු හා සමතැන් ගැනීමට තරම් ප්‍රබල සිතුවම් එහි අන්තර්ගතද යන්න විමසා බැලිය යුතුය. කෙටි කවි මතුපිටින් පෙනෙන රූප සඟවා ගත් නිධන් හා සමානය. ඒ නිසාම ඒවා සිතුවම් කිරීම කව් පැබදීමට නොදෙවෙනි ඇතැම් විට ඊටත් එහා ගිය භාරධූර කාර්යයකි.
මෙහිදී අප විමසා බැලූවේ මාලන් රචිත කෙටි කවි කිහිපයක් පමණි. කතා කළ යුතු එමෙන්ම විමසන්නට ඇති දෑ “අඟුණ මල්”හි තවත් බොහෝ වෙති. අවසාන වශයෙන් කිව යුත්තේ මාලන් බණ්ඩාරගේ “අඟුණ මල්” සංක්ෂිප්ත කාව්‍ය විවිධාකාරයෙන් නෙක නෙක චිත්තරූපයෝ අප සිත්හි මවන්නට සමත් අපූරු නිමැවුමක් බවය.

ක්ෂණයකින් පෙර නොදුටු නොසිතූ මානයන් කරා අප රැගෙන යන්නට හයිකුව සමත් වන්නේ ය. එමෙන්ම ඇතැම් විට හයිකුවකට අපව අවධි කරන්නට තරමක කාලයක් ගත විමටද පුළුවන. ලැබූ අත්දැකීම් හා වචන හරහා මැවෙන චිත්ත රූපත් ඉන් එහා ගිය මනෝභාවයනුත් හඳුනා ගන්නට කෙනෙකුට ඇති හැකියාව මෙහිදී රඟ දක්වනුයේ ප්‍රධාන භූමිකාවකි. එහෙත් එය එතෙකින් අවසාන වන්නේද නොවේ. එබඳු කාව්‍යයෝ විඳින කල්හි අප ලබන විඳීම්හි සොබාවය ගැන කියන්නට පහත දැක්වෙන මාලන්ගේ කෙටි කව තරම් උචිත නිදසුනක් තවත් කොයින් ද ?

සුළඟවත් දන්නව ද
අරන් යන තැන
අඟුණ මල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *