රට බඩු, මෙරට බඩු සහ අපේ බඩු (වොම්බැට්ගේ කතා වස්තු)

ලියැව්වේ වොම්බැට් විසිනි

මං මේ ටයිප් ගහන තුංවැනි වංගිය. එක වංගියක් ලියැව්ව එක හරි මදිය කියාල හිතල මංම බැක් ඉස්පේස් යතුර ඔබාගෙන ඔබාගෙන ගියා කොලේ හිස් වෙනකම්ම. අනික් වංගියෙ බාගයක් ලියාල හිට පොඩි හදිසියකට පුටුවෙං නැගිට්ට. ඇවිල්ල බලද්දි අපේ මැණිකෙ කොම්පීටරේ අකුලල සේව් කොරන්නෙ නැතුං. හැම තිස්සෙම කරන්ට් නහත්ති කොන්නෝ කියල. දන්න සිල්ප දාල ලියැව්ව ටික හොයැව්වා හොයැව්වා…. ම්හු…කොහෙද ? “හොඳවැඩේ තොගෙ කලබොලේට” කියාල මං මටම කියාගෙන තමා මේ ආයෙත් ඉඳගත්තෙ. අම්මපා. හැබැයි ඉතිං කොයි දේත් වෙන්නෙ හොඳටයි කියනවනෙ, නේදෑ ? ආං ඒ වගේ මට ඕං හිතීගෙන එනෝ කලිං ලියන්ට හිතූ මාතෘකාව වෙනස් කොරන්ට. ඕං එතකොටම ආපි අපේ උන්ද රණ්වරා කෝප්පෙකුත් ඇන්න. රණවරා සුවඳට අම්මපා හිත ගොහිං නැවතුනේ දුංහිඳ අද්දර.
ඕං එතකොට ආයෙත් හිතෙන්ට ගත්ත දෙවෙනි මාතෘකාවත් බල්ලට දාල හඳගොම මහත්තැංගෙ දුංහිඳ අද්දර ටෙලිය ගැන ලියන්ට. මගෙ පිරියතම නලූ බට්ටත් හිටිය නොවැ. නෑ නෑ රුක්මල් නිරෝසං නෙමෙයි. මැල්කොං මචාඩෝ. එක්කො ඔන්නොහෙ ඒකත් අත ඇරල මං මැණිකෙත් එක්ක හොරෙං දුංහිඳ බලන්ට ගියහැටි ලියන්ටත් හිතෙනෝ. ඒත් කටිං එලියට පැන්නෙ වෙනම පුරස්නයක්.
“කොහෙන්ද රණවරා ?”
“ඇයි මොකෝ ? මං ලංකාවෙං ගෙන්න ගත්තෙ ?”
මං දන්නෝ අපේ මැණිකෙ ඒ තාලෙං යුද්ද පෙකාස කොරන්නෙ උන්දගෙං මොක්කාක් හරි වැරැද්දක් උනොතිං ඉතරක් බව. පෙදානම හේතුව තමයි අපි ලබන මාසෙ ලංකාවට යන්ටත් ඉද්දි මැණිකෙ මෙහෙව් විපරීතයක් කිරීම තම සුවාමියා වන වොම්බැට්ටා විසිං කිසිසේත්ම අනුමත නොකොන්න බව උන්ද දන්නෝ. ඕං මට මාතෘකාවක් හම්බුනා.
මැල්බොං වාසී අපේ මැණිකෙට ගෙවල් දොරවල් හරීයට මතක් වෙනෝ කවුරු හරි ලංකාවට යනෝ කියැව්වොත්. නැහ්නං ලංකාවෙං එනෝ කියැව්වොත්. තමනුත් මේ ළඟදීම යන්ට උන්නත්, ලංකාවට ගොහිං ඇහිල්ල මහ කාලයක් නොගිහිං තිබුනත් ඕං කවුරු හරි යනෝ කියැව්වොත් සොකලැට් ටොපී මල්ලක් හදනෝ ඒ යන කෙනා අතේ යවන්ට. කිලෝ පහ තමා අඩුම බර. එහෙමත් නැහ්නං මී පැණි කුප්පියක් හරි ගෙන්න ගන්ට බලනෝ අර ලංකාවෙං එන කාගෙ හරි අතේ. හැබෑටම ඒ මක්කැයි කියාලද ඔබ තමුන්නාන්සෙල හිතන්නෙ ඈ ? අර බඩු අදින එකා ලංකාවට යන්නෙත් ගොහිං එන්නෙත් හත් අවුරුද්දකට සැරයක් වෙන්ට පුලුහං. නැහ්නං අවුරුදු පතාම යනෝ කියමුකො. ඒත් ඉතිං උන්දටත් නැද්ද නෑ සනුහරයක් ටොපි සොකලැට් දෙන්ට ?
යවන්නෙ බේතක් හේතක් නං කාරියක් නෑ. එහෙ ගන්ට නැති පොතක් පතක් වගේ නං ඒත් කාරියක් නෑ. යකෝ එහෙ අනන්ත ලාබ ඇඳුං තියෙද්දි මෙහෙං යවන්ට හදනෝ වින්ටර් ජැකට්. ඔහෙලගෙ ගෙවල් අහනං මෙහෙම විපිරියාස වෙන්නෙ නෑ. ඒක මං සහසුද්දෙං දන්නෝ (මං හිතන්නෙ). මං මේ කියන්නෙ අපෙ මැණිකෙගෙ රණවරා ඉට්ටෝරි කතාව ඕං ඈ ? ඉතිං අම්මාපල්ලා මං මේ ගිය මාසෙ තමා දැක්කෙ අපෙ මැණිකෙ වින්ටර් ජැකට්ටුවක් අඹරල මිරිකල කරකෝල දාන්ට හදනෝ අඟල් හයේ හයේ මල්ලකට.
“මේ මොකෝ අලියෙක් කූඹි ගුලකට රිංගවන්ට තනන්නෙ ?” මං පුරුස දහිරිය ඇන්න ඇහැව්වා.
“ශීල අනිද්ද ලංකාවට යනව අනේ. බලන්නකො එයා කියැව්වෙ නෑනෙ මට අනිද්ද යන වගක්. නැහ්නං ටොපි සොකලැට් චීස් ටිකකුත් අරං යවන්ට තිබුණ. ගෙයි හරියෙ කිසි දෙයක් නෑ යවන්ට. හොඳ වෙලාවට මේ ජැකට් එක පුතාට දැං මදි. අලූත් පාටට තියනත් එකේ මේකවත් යවනෝ.”
“කාටෙයි යවන්නෙ ?”
“නංගිගෙ පොඩි එකාට.”
“මැණිකෙට නුවරඑළියෙ නංගිල නෑනෙ. එකම නංගි ඉන්නෙත් කහටගස්දිගිලියෙනෙ ? උන්දල ගෙවල් විකුණල නුවරඑළි ගොහිල්ලැයි ?”
“නෑ අනේ !!! අයියෝ ඔයාට කොමන් සෙන්ස් නෑ වොම්බො. එයාල තාම ඉන්න කහටෙ තමා අනේ ?”
“එහෙනං අහවල් කැකිරි ගෙඩියකට ජැකට් යවනවැයි කහටෙට ?”
“ඉඳා !! මේ බලහල්ලකො කතාවක් ? ඇයි නංගිල නුවරඑළියන්නෙ නැද්ද ? විනෝද ගමං ?”
“ඉතිං කවුදෑ ඕක දෙන්ට කහටෙ යන්නෙ ?”
“ශීල කියැව්ව එයාල ඒ පැත්තෙ ට්‍රිප් එකක් දා ගෙනලු ඉන්නෙ.” මං කියැව්ව නංගිලෑ ගෙදර යන්ට ලන්ච් හරි ඩිනර් හරි කියාල. එතකොට ඒ ගමනිං මේ වැඩේ කෙරෙනවනෙ. කොහොමද මගෙ ටිකිරි මොළේ ? නැහ්නං ඉතිං නංගිල රත්නපුරේ ශීලගෙ මහ ගෙදර ගොහිං ගන්නෙ නැතෑ.”
“ශීලලැයි කී දෙනෙක් ඉතර කහටෙ යයිද දන්නෑනේ ?”
“වැඩිය නෑ කියැව්ව. පහළොහක් ඉතර…..”
අනේද කියන්නෙ. මට ඇඟේ ඉන්න ලූල්ලු සාලයො හාල්මැස්සො ඔක්කොම උඩ පැන පැන නටනෝ වගේ දැනුන. (මගෙ ඇඟේ තෝරු මෝරු නෑ ආයිබොවං). දැං ඉතිං අර ගොයි තැනක් බතක් කොරාන ඉන්න උංසන්තකේම වියදං කොල්ල කෑම හදාවි අක්කණ්ඩිගෙ වින්ටර් ජැකට්ටුව වෙනුවෙං. කාට කියන්ට දෑ ?
“හැබැයි ඕං මේ පාර අපි ලංකාවට යන එක ගැනනං කා එක්කවත් කටේ කෙළ බින්දුවක් හලන්ට එපා වොම්බො ඔයා ඕං ඈ ? එහෙම උනොත් අපේ බඩු ගෙදර තියාල, රටේම උංගෙ නෑයින්ට බඩු අදින්ටයි අපිට වෙන්නෙ. මං ළමයින්ටත් කියැව්ව.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *