ahimi atha by Saamantha Tennege

(අ)හිමි නුඹෙ වමත

ඉසුරැ ප්‍රසංග විසිනි (Reviewed by Isuru Prasanga)

පමණටත් වඩා වැඩි වේගයෙන්
වැඩ කළේ ඇයිද හිමියනි තනියම
දැති රෝදයකට කේන්ති යන තරමට
ජීවිත නිධානය
අපට හිමිකර දෙන්න
බිළි දුන්නාද නුඹෙ වමත?

ගීතයක් හා මුසුව තාලයක ගැටුණු අත
සමුගන්න නිමේෂෙක ශෝකයෙන් වැනුනු අත
කාගෙ හෝ විපතකදි කම්මුලෙහි තැබුණු අත
අසාධාරණේකදි පෙරමුණට විදුණු අත

රෝහලේ අගු කොනක රිදුම් සතපවා ඇත
මුව පුරා සිඳී ගිය පැතුම් බොඳ වෙලා ඇත
ඊයේ රෑ නුඹෙ වමත කියතකින් කපා ඇත
කටු ගසා මස මසා පටිවලින් ඔතා ඇත

පිරෙන්නට වෙන බැවින් කඳුළු බිඳු
දූ පුතුන්ගේ දෙනෙත්
අරන් එනු එපා කී
ඒ හැඬුම් තල සියුම්
සීරුවා මහද බිතු

නුඹ ඉතිරි වූ අතින් බදද්දී මා සුරත
සඟවන්න බැරි කඳුළු සියල්ලම මම හලමි
ඔරලෝසු මුර දෑස් රෝහලේ නොවුණි නම්
තව ටිකක් හරි වෙලා නුඹ ළඟට වී හිඳිමි

පිදිය යුතු තැනක තැබුමට සුදුසු අත
කවුදෝ නුඹෙන් උදුරාගෙන ගිහින් ඇත
නුඹෙ ඇස එකම කඳුළක් දුටු විට මසිත
අත් දහසක් මැවුණි සවිබලයෙන් නියත

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
(හිරුත් හිම පියල්ලක කාව්‍ය සංග්‍රහය)

මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ දුක් දෝමනස්සයන් පිළිබ‍ඳ නිශ්චිත සිදුවීම් අරබයා කවි ලිවීම මට නම් තරමක් නුහුරු දෙයකි. එසේ වුවද මා මිත්‍ර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කවි අතර එවැනි නිර්මාණ බොහෝ සෙයින් හමුවෙයි. මේ ඇතැම් කවි තුළ අවුරුදු ගණනාවක කාල පරාසයකට අයත් මුල මැද අග සහිත කතා පුවත් වැනි දෑ පවා හමුවන අතර, පොදුවේ මහින්දගේ කවි කාව්‍ය විචාරකයන්, පාඨකයන් අතර පමණක් නොව සාමාන්‍යයෙන් කවි නොකියවන මිනිසුන් අතරද ඛෙහෙවින් ඇගයීමට ලක්වූයේ පුදුම සහගත ආකාරයෙනි. ජනප්‍රියත්වය නිර්මාණයක සාර්ථකත්වය පිළිබඳ පරම නිර්ණායකයක් නොවිය හැකි වුවද එහි වැදගත්කම බැහැර කොට නිර්මාණකරණයේ යෙදීමද කළ හැක්කක් නොවේ. විචාරක අවධානයට වඩා පාඨක අවධානය විටෙක කවියෙකුට ඛෙහෙවින් වැදගත් විය හැකිය.

මිනිස් ජීවිතවල ලොකු ලොකු හැල හැප්පීම් ගැන ලියන විට පුංචි දේවල ප්‍රබලතාව විටෙක අපට මඟ හැරෙයි. අතක් කපා දැමීම පුංචි දෙයක් විය හැකි නොවුණද මේ පුංචි බව හෝ ලොකු බව ගැන කල්පනා කළ හැක්කේම සාපේක්ෂව පමණි. මා මේ සටහන ලියනුයේ සේයා සදෙව්මි දැරියගේ ඝාතනයෙන් මුළු රටම කැළඹී සිටින මොහොතකය. ඊටත් වඩා විශාල පරිමාණයේ යුධ ගැටුම්, බෝම්බ පිපිරීම්, සමූල ඝාතන, ගංවතුර, භූමිකම්පා, ආදී වූ නිතිපතා සිව්දිගින් ඇසෙන ඛේදනීය පුවත් කන්දරාවක් ඉවසා දරා සිටින ලෝකයකට පුද්ගලයෙකුගේ අතක් අහිමි වීම හුදු ක්ෂුද්‍ර කාරණයක් විය නොහැකිද? එසේවුවද එය කේවල මිනිසකුගේ මුළු මහත් ජීවිතයේම පිළිවෙල ව්‍යාකූල කර දමන හා විටෙක මරණයට වඩා බියකරු වේදනාවක් විය හැකි ප්‍රශ්නයකි. අතේ ඇඟිලි දෙකක් අහිමි වීම නිසා තමන්ගේ දස වසක විවාහ අපේක්ෂාව ඇතුළු ජීවිතයේ සියලූ සැලසුම් අවුල් වී ගිය හමුදා සෙබළෙක් පිළිබඳ සත්‍යය පුවතක් මෙහිදී මගේ සිහියට නැඟේ. මහින්දගේ කවියට විෂය වන්නේ යන්ත්‍රයකට වමත හසුවීමෙන් එය කපා දමන්නට සිදුවූ කම්කරු තාත්තා කෙනෙකි. මෙහිදී අහිමි වූ වමත පිළිබඳ විටෙක පුංචි ලෙස පෙනිය හැකි ප්‍රශ්නයේ විසල් වේදනා කවි බසින් හසුකර ගැනීමට මහින්ද යොදා ගන්නා උපායන් බලවත්ය.

ගීතයක් හා මුසුව තාලයක ගැටුණු අත
සමුගන්න නිමේෂෙක ශෝකයෙන් වැනුනු අත
කාගෙ හෝ විපතකදි කම්මුලෙහි තැබුණු අත
අසාධාරණේකදි පෙරමුණට විදුණු අත

මෙය සාමාන්‍යයෙන් මෙවන් විපතක් ගැන ලියවෙන කවියක් තුළ සුලබව ඇතුළත් විය නොහැකි අන්දමේ නැවුම් හා විරල පද පෙළකි. බිරි‍ඳගේ දෘෂ්ටිකෝණයෙන් කවියා මේ අත හඳුන්වා ඇත්තේ පිදිය යුතු තැනෙක තැබිය යුත්තක් ලෙසය. එය ඔහුට අහිමිව ඇත්තේ තමාට හා දරුවන්ට ජීවිත නිධානය හිමි කර දීම වෙනුවෙන් කරන දෛනික අරගලයේදීය.

මේ කවිය ඇතැම් අයෙකුට එහි සාමාන්‍ය අර්ථය අබිබවා කියවීමට අනුබල දෙන කිසියම් ඉඩකඩක්ද මේ නිර්මාණය තුළ තිබේ. මේ අහිමි වී ඇත්තේ අත් දෙකෙන් මොකක් හෝ එකක් නොව වමතය. බොහෝ අයගේ වැඩට හුරු අත වන්නේ සුරු අත හෙවත් සුරත වුවද මෙහි සඳහන් පියාට අහිමිව ඇත්තේ වමත බව කවියා තරයේ සඳහන් කරයි. එතැනින්ද නොනැවතී අනුන්ගේ විපත් වෙනුවෙන්, හෘදයාගම ජීවන අවස්ථා වෙනුවෙන්, අසාධාරණයට එරෙහි අරගල වෙනුවෙන්, කලා රසවින්දනය වෙනුවෙන් පෙරට එසවී ඇත්තේ පිදිය යුතු තැනෙක තැබිය යුතු මේ වමත බවද එහි ලා තවදුරටත් අවධාරණය කෙරෙයි. හුරු අත වෙනුවට නුහුරු අතක් මේ සියල්ල වෙනුවෙන් පෙරට ආ බව කවියා පවසන්නේ කුමක් නිසාද? එය හුදු වම් අත යන භෞතික සීමාවේ නොනවතින දේශපාලන අර්ථයක් ජනනය කරන්නේද? ලංකාවේ වාම දේශපාලන හැල හැප්පීම්වලට සජීවීව මුහුණ දුන් අයෙක් ලෙස මට දැනෙන මේ හැඟීම ඔස්ට්‍රේලියාව වැනි රටක ජීවත්වන සිංහල පාඨකයාට විටෙක හිසරදයක් විය හැකි වුවද අවශ්‍ය නම් මේ කවියේ සමහර පදවලට එවන් අර්ථයක් සැපයීමටද අපට බැරිකමක් නැත. මහින්දගේ කවියේ ඉහත උපුටා දැක්වූ කොටස ලංකාවේ වාම ව්‍යාපාරයේ බිඳ වැටීම ගැන මා විසින් ලියූ කවියක එලෙසින්ම ඇතුළත් කරන ලද්දේද ඒ නිසාය. මගේ කවිය තුළ එය එසේ බහාලිය හැකි වුවද මහින්දගේ සමස්ථ කවියේ එන වෙනත් යෙදුම් මගේ අර්ථකතනයට බාධා පමුණුවන බවද කිව යුතුය.

කතුවරයාගේ ආධ්‍යාශයට එරෙහිව යමින් කෘතියකට ඕනෑම අර්ථයක් පැනවීමට පාඨකයාට නිදහස ඇති බව ඇතමුන් නිතර කියන මුත් එය බොහෝ තැන්වල එලෙසින්ම වලංගු වන්නක් නොවේ. අර්ථමය බහුත්වයක් සහිත නිර්මාණ කොතෙකුත් ඇති බවද ඇත්තකි. එහෙත් බොහෝ විට විචාරකයාගේ අර්ථ පැනවීමේ නිදහස සීමා කෙරෙන බාධක රැසක් නිර්මාණය තුළ මෙන්ම එයින් පරිබාහිරවද පවතින හෙයින් ඕනෑම අයෙකුට ඕනෑම අර්ථකතනයක් දී එය “මගේ කියවීම” යැයි හඬගෑමට පූර්ණ නිදහසක් කොතැනකවත් නැත. කතුවර අධ්‍යාශය විසින්, සම්ප්‍රදාය විසින්, කෘතිය අයත් සාහිත්‍ය සංස්කෘතිය විසින්, කාලීන සමාජ දේශපාලනය විසින්, මෙන්ම අදාල නිර්මාණයේ අන්තර්ගතය විසින්ද මේ නිදහස් කියවීම නොයෙක් ආකාරයෙන් සීමා කරයි. ඒ කාරණය මේ කවියටද එලෙසින්ම අදාලය. මේ කවියේ සමහර තැන් උපුටා දක්වමින් යම් දේශපාලන අර්ථයක් ඊට පැනවීමට මට යම් නිදහසක් ඇතත් කවියේ අනෙක් කොටස් විසින් මගේ අර්ථ පැනවීමට බාධා කරයි.

කෙසේ හෝ වේවා මහින්දගේ කවිය මගේ සිත තුළ ජනිත කළ අර්ථය ඔස්සේ මා ලත් තවත් ප්‍රයෝජනයක් ගැනද අවසාන වශයෙන් ස`දහන් කළ යුතුය. මා විසින් ජවිපෙ දේශපාලනය අරභයා රචිත බිඳුණු වම් අත නැමති කෘතියේ නම මහින්දගේ කවිය නිසාම උත්පාදනය වූ එකකි. ඉහත උපුටා දක්වන ලද ඉහත පද හතර ඇසුරින් ඒ නම මගේ සිතට ආවේ මහින්දගේ කවිපොත මුද්‍රණය වීමටත් පෙරාතුව එහි අත් පිටපත කියවා බැලු මොහොතේදීය. යම් යම් සීමා අතරේම වුවද කවියේ අර්ථමය බහුත්වය අපේ කල්පනා පෝෂණය කරන සැටි වටහා ගැනීමට එයම කදිම උදාහරණයක් නොවේද?

සිතුවම – සාමන්ත තැන්නගේ

Illustration by Saamantha Tennege

Leave a Reply

Your email address will not be published. Required fields are marked *