හිස් වූ ගිණුම

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara)

ඉතුරුම් ගිණුමක යමක් ඉතිරි කරන්නේ හෙට දවසට ප්‍රයෝජනයට ගැනීමටය. අපට බැරි වුවහොත් අනාගතයේ දරුවන්ට හෝ ප්‍රයෝජනයට ගැනීමටය. ඊයේ දවස තුළ යමක් ඉතිරිකොට නොමැති නම් අද හෝ හෙට දවසට අපට හෝ අනාගත පරපුරට යමක් කළ නොහැක. මෙහි සත්‍යතාව ශ්‍රී ලාංකේය සුභාවිත ගීතයටත්, ගී පදමාලාවලටත්, සංගීතයටත් අදාළ වේයැයි මට සිතෙයි.
අප දන්නා තරමින් 70 දශකය ශ්‍රී ලාංකේය සංගීතයේ ගීතයේ කැපී පෙනෙන පරිවර්තනයක් වූ යුගයකි. 60 දශකය අගභාගය වනවිට එදා තනිව සිටි අමරදේවයන්ට වික්ටර් – සනත් දෙදෙනා එක්වීම සංගීතයේ මුල්ගල් තුනක් එක්වීමක් යැයි පිළිගත යුතුය. මේ එක්වීමත් සමගම සංගීත කේෂත්‍රය තුළ බොහෝ පරිවර්තනයන් රැසක්ම සිදුවිය. නිර්මානාත්මක සංගීතය, ගීතය, ගීත පදමාලා ඛෙහෙවින්ම නිර්මාණයවීම ආරම්භ වූයේ මේ යුගයේ දීය. ඉතින් එදා ඒ පරපුර වත්මන් පරපුරට කරන්නට යමක් ඉතිරිකොට නැති නිසාම වත්මන් සංගීත පරපුරට කරන්නට දෙයක් නැතැයි සිතීමට බොහෝ ඉඩකඩ ඇත. සංගීතයේ ඉතිරි කිරීමේ ගිණුම හිස් යැයි මා පවසන්නේ එබැවිනි.
සරත් දසනායක ආදි වූ චිත්‍රපට සංගීත අධ්‍යක‍ෂවරුන් විවිධ අවස්ථාවල සිනමානුරූපී මෙන්ම අවස්ථානුරූපී සංගීත නිර්මාණවලින් අප සිනමාව පෝෂණය කොට ඇත.
අමරදේවයන් ප්‍රමුඛ සෝමදාස ඇල්විටිගල, ප්‍රේමසිරි කේමදාස, ලයනල් අල්ගම, ෂෙල්ටන් ප්‍රේමරත්න, ටී ආර් පීරිස්, එම් කේ රොක්සාමි, මොහොමඩ් සාලි, ආර් ඒ චන්ද්‍රසේන, වික්ටර් රත්නායක සරත් දසනායක ආදි වූ චිත්‍රපට සංගීත අධ්‍යක‍ෂවරුන් විවිධ අවස්ථාවල සිනමානුරූපී මෙන්ම අවස්ථානුරූපී සංගීත නිර්මාණවලින් අප සිනමාව පෝෂණය කොට ඇත. සම්භාවය සිනමාවේ මෙන්ම වාණිජ සිනමාවේ ද මොවුන් දැක්වූ නිර්මාණ කුසලතාවන් ගැන වාද විවාද අනවශ්‍ය වෙයි.
අමරදේවයන් තබා ප්‍රගුණ කළ උත්තර භාරතීය රාගධාරී සංගීතයේම ඇලී නොසිට, අපගේ ජනශ්‍රැතිය ද අපේ ගීතයට සංගීතයට එක් කළේය. එතුමාට එකතු වූ වික්ටර්, සනත් දෙදෙනා කළ බොහෝ වෙනස්කම් තුළ තවමත් කිසිදු වෙනසක් සිදුවී නැතැයි මට සිතේ.
සිනමාවේ සංගීතය පසෙකින් තබා අපේ ගීතය පිළිබඳව මදක් සිත් යොමු කරමු.
උත්තරත භාරතීය රාගධාරී සංගීතයෙන් ද, බටහිර සංගීතයෙන් ද කර්ණාට සංගීතයෙන් ද, අපේ ජන සම්ප්‍රදායේ සංගීතයෙන් ද නිසැකවම අපගේ සංගීතය පෝෂණය වූයේ තවමත් අප ප්‍රවීණයන් යැයි කට පුරා කියන පරපුරෙනි. එදා යුගයේ ඔවුන් කළ පර්යේෂණාත්මක නිර්මාණ යළිත් වරක් කිසිවෙකුට කළ නොහැකිවන අතර ඒවා කිරීමෙන් අලූත් යමක් බිහිවන්නේ ද නැත.
උදාහරණ කිහිපයක් ගනිමු.
අපගේ පාරු කවියක් වන
මලේ මලේ ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිෙඳයි පය බුරුලෙන් තබා වරෙන්
යනුවෙන් කියවෙන පාරු කවියේ නාද මාලාව ගෙන වික්ටර් රත්නායකයන් නිර්මාණය කළ “තොටුපල අයිනේ” ගීතයේ ස්වර මාලාව එම පාරු කවිය යැයි කිව හැක්කේ කාටද? මෙම තොටුපොල අයිනේ ගීතය නිර්මාණය කිරීමේ දී ජල පහරේ ශබ්දය ලබාගත්තේ ජල බදුනකට පැපොල් බටයකින් පිඹීමෙනි. දැන් ඔහු එම පර්යේෂණය කොට අවසන්ය. තවත් නිර්මාණයක් වෙනුවෙන් ජල පහරේ ශබ්දය ලබා ගන්නට කාටවත් මේ දේම කළ නොහැක.
“ආදරයේ උල්පත වූ අම්මා” ගීතය නිර්මාණය කිරීමේ දී උපයෝගී කරගත් දොයි දොයි දොයි දොයිය පුතේ
බයි බයි බයි බයිය පුතේ
යන දරු නැලැවිලි ගීතය යොදා ගනිමින් තවත් ගීතයක් නිර්මාණය කළ විට එය අනුකරණයක් නොවන්නේ ද?
වික්ටර් රත්නායකයන්ම “මාලිනියේ” ගීතය නිර්මාණය කිරීමට උඩු සිතේ සහ යටිසිතේ සංවාදය කියන්නට පටිගත කිරීමේ තාක‍ෂණය යූ ආරියවිමල් සමග එක්ව අපූරුවට යොදා ගත්තේය. වත්මන් යුගයේ දී නම් මෙම තාක‍ෂණය පහසු දෙයක් වන්නේ පරිඝනකයේ බහුපථ (multi track) තාක‍ෂණය ඇති නිසාය. මාලිනියේ ගීතය පටිගත කළ කාලයේ මෙබඳු තාක‍ෂණයක් අපට තිබුණේ නැත. ඉතින් වත්මන් බහුපථ (multi track) තාක‍ෂණය උපයෝගී කරගෙන හෝ මෙවන් නිර්මාණයක් කිරීමෙන් පළක් වේ ද?
“දෛවයෝගයකින් නොවේදෝ” ගීතය ලියා දෙමින් සුනිල් ආරියරත්නයන් කළ ඉල්ලීම නම් මෙම ගීතයේ ඇසෙන්නට අවශ්‍ය කටහඬ පමණක් බවය. ඒ වනවිට ඉතා විශාල වාදක මණ්ඩල යොදා ගනිමින් තමාගේ නිර්මාණ කළ වික්ටර් රත්නායකයන්ට මෙම ඉල්ලීම අභියෝගයක් විය. එහෙත් ඔහු එම අභියෝගයට මුහුණ දුන්නේ ගිටාරයක් පමණක් යොදා ගනිමින් ගීතය නිර්මාණය කරමිනි. (මේ හා සමානව නිර්මාණය වූ තවත් ගීතයකි ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ, ධර්මසිරි බණ්ඩාරනායක ලියූ ටී එම් ජයරත්න ගායනා කරන “පවනට සැලෙනා – දොඹමල් සුවඳින්” ගීතයය)
“පාවේ වලා – ඈත කඳු බලා” ගීතයේ අවසන් කොටසේ දී එක් එක් ස්‍රැතියකින් තවත් ස්‍රැතියකට මාරුවීමක් දක්නට ඇත. මෙහි සංගීත නිර්මාණය මර්වින් පෙරේරා ගේය. මෙම මාරුවීම උචිත යැයි පවසා ඇත්තේ මර්වින් පෙරේරාගේ පියාණන් විසිනි.
උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන “භාගේ ශ්‍රී” නම් රාගය ආශ්‍රිතව වික්ටර් රත්නායකයන් “හෝපලූ වනපෙත” ගීතය නිර්මාණය කළේය. රාගයක් සරල ශ්‍රාස්ත්‍රීය ගීතයක් බවට පරිවර්තනය කරමින් කළ මෙවන් නිර්මාණ අපට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයකි.
වාදන භාණ්ඩවලින් ද එදා යුගයේ සිර්මාණ ශිල්පීන් බොහෝ නිර්මාණ පර්යේෂණාත්මකව කර ඇත. ගුණදාස කපුගේ ගායනා කළ “උල ලේනෝ” ගීතය මුල් පටිගත කිරීමේදී ඔහුට අවශ්‍ය එක් හඬක් ලබාගන්නට කළ උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ ගුවන් විදුලියේ 5 වන පටිගත කිරීමේ මැදිරියේ පියානෝව විවෘත කොට එහි කම්පනය වන ලෝහ තහඩුවල චන්ද්‍රා සප්තකයේ තහඩුවලට තම්මැට්ටම වැයීමට යොදා ගන්නා දඬුවකින් තට්ටු කිරීමෙනි.
ෂෙල්ටන් ප්‍රේමරත්නයන් ද එතුමාගේ පටිගත කිරීම් බොහොමයක දී සම්ප්‍රදායට එරෙහිව වාද්‍ය භාණ්ඩ නොවන දේ යොදා ගනිමින් නිර්මාණකරණයේ යෙදුනු බව මම දැක ඇත්තෙමි.
එදා යුගයේ ශිල්පීන්ට අවශ්‍ය වූයේ මුදල් යහමින් ඉපයීමට වඩා සාර්ථක යමක් කිරීමටය.
සරල ගී පටිගත කිරීම්වල දී එය අවසානයේ ගුවන් විදුලියේ කවුන්ටරයෙන් ලැඛෙන මුදල් වවුචරය ගැන කවුරුත් තැකීමක් නොකළේ වවුචරයට වඩා නිර්මාණය අගය කළ බැවනි. එම වවුචරය බොහෝ විට ගුවන් විදුලි ආපන ශාලාවටම දියවී යයි.
තමන්ගේ සරළ ගී වැඩසටහනක් වෙනුවෙන් එදා ඔවුන් කෙතරම් කාලයක් වැය කළා ද? වාදන ශිල්පීන් තම නිවසට ගෙන්වා කෑමෙන් බීමෙන් ඔවුන්ට සංග්‍රහකොට තමා ලියූ ස්වර ප්‍රස්ථාර සංගීත ඛණ්ඩ වාදනය කොට වැරදීම් නිවැරදි කර ගනිමින්, මිතුරු වාදන ශිල්පීන්ගේ අදහස්වලට ද ඇහුම්කන් දෙමින් තම තමන්ගේ නිර්මාණ කළ බව කිව යුතුය. ඇතැම් අවස්ථාවල එක් පටිගත කිරීමක් අවසන් කොට එම පටිගත කළ පටිය හොර රහසේම නිවසට ගෙනවිත් නැවත වාදනය කරමින්, අසමින් තම නිර්මාණවල සුළු අඩුපාඩුකම් නිවැරදිකොට පසු දිනයක එම ගීතම නැවත පටිගත කළ අවස්ථා ද මගේ මතකයට එයි. මේ එදා නිර්මාණ කරන්නට අපේ ශිල්පීන් ගත් උත්සාහයයි.
ගීතවල ගේය පද වලට ද කිව හැක්කේ මේ දේමය. එදා යුගයේ ගෙය පද රචකයන් සිංහල භාෂාවේ වචන ඒ මේ අත පෙරලමින් කළ නිර්මාණ අදටත් අප රසවිඳින්නේ මහත් ආදරයකිනි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, සිංහල භාෂාවේ තනි වචනයකින් ගීතයක් රචනා කොට ඇත. ප්‍රේමකීර්ති ද අල්විස් වචන නුහුරට හරවා ගීතයක් රචනා කොට ඇත. මේ ගී ලියූ ගේය පද රචකයන්ගේ පද, ගායන ශිල්පීන් ශිල්පිනියන් ඔහේ ගායනා කළා නොව සුභාවිත ගීතය නිර්මාණය කිරීමට ඔවුන් මහත් වෙහෙසක් දරා ඇත.
ඇත්තටම නව පරපුරට අලූතෙන් යමක් ලියන්නට, හදන්නට ගයන්නට ඔවුන් ඉතිරිකොට නැතැයි මට සිතේ. වත්මන් තරුණ සංගීතවේදීන්ට, ගායන ශිල්පීන් ශිල්පිනයනට අද සිදුව ඇත්තේ එදා කළ නිර්මාණ පසුපස යමින් නිර්මාණ කිරීමටය. නිර්මාණකරණයේ දී එදා තිබූ ශිල්පීය එකමුතුව අද දක්නට නැත. ගී ගයන ඇතැම් නව ගායන ශිල්පීන් ගීතය ලියුවේ කවුද, සංගීතය නිර්මාණය කළේ කවුදැයි නොදන්නා තරම්ය.
ගීතය අද පත්ව ඇත්තේ හොඳ වාණිජ භාණ්ඩයක් බවටය. එදා ක්ලැරන්ස් විෙජ්වර්ධනයන් කීවා ලෙසම “සල්ලි තියේ නම් ගොලූවට ද ගායකයෙකු විය හැකිය” වත්මන් පරපුරේ ඒකායන පරමාර්ථය කුමන හෝ ක්‍රමයකට තම ගීතය ජනප්‍රිය කරවීමය. මේ සඳහා මාධ්‍ය නාලිකාවකට එක්වර ප්‍රචාරයකට ගෙවන මුදල අතිවිශාලය. මෙය එක්වරක් ප්‍රචාරය කරවා ගැනීමටය. දෙතුන් වතාවක් ප්‍රචාරය කරවා ගැනීමට හෝ යම් වැඩ සටහනකින් ගීතයක් ජනප්‍රිය ගීතයක් බවට පත්කර ගැනීමට බොහෝ දොල පිදේනි දිය යුතුය. එදා මාධ්‍ය සැබෑ කලාකරුවා සොයා ගියා විනා, කලාකරුවා මාධ්‍ය සොයා ගියේ නැත.
ඉතුරුම් ගිණුමේ කිසිවක් නැතැයි මා සඳහන් කරන්නේ ඉතාම කණගාටුවෙනි. එදා සංගීතවේදීන්, ගේය පද රචකයන්, ගායන ශිල්පීන් කෙනෙකුට අලූතෙන් යමක් කරන්නට කිසිවක් ඉතිරිකොට නැත. ඉතිරිකිරීමේ ගිණුම පියවා ඇත. වත්මන් පරපුරට සිදුව ඇත්තේ මෙම ගිණුමේ එදා පිරි තිබුණ දේ ගැන මතක් කොට එම ගිණුම තුළම රැඳී සිටීම පමණකි. මේ පරපුර අනාගත පරපුරට දායාද කරන්නට යමක් කරන්නේ ද නැත. නිර්මාණාත්මක යමක් බිහි නොවන්නේ ඔවුන්ට ගන්නට අතීත පරපුර යමක් ඉතිරිකොට නැති බැවිනි. “වදාරන්නට පෙර හැදෑරීම කළ යුතු යැයි” ආචාර්ය වික්ටර් රත්නායකයන් සෑම විටම පවසන වදනකි. අතීතයේ කලාකරුවන් සංගීත ගිණුම පුරවන්නට කළ කී දේ හැදෑරිය යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවීම කණගාටුවට කරුණකි. මෙම හිස්වූ ගිණුම කවදා සුභාවිත ගීතයෙන් යලි පිරේදැයි කාට නම් කිව හැකි ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *