batticaloa by Munidasa wanshapura - Kadapatha

කළපුවෙන් නැගෙන ඒ අරැමැසි ගී හඬ

මුනිදාස වංශපුර විසිනි (By Munidasa Wanshapura)

හොඳින් හඳ පෑයූ දිනවල, නිසල ජලතලය මත සඳ රැස් වැතිරෙද්දී කළපුවේ ගල්පර අතරින් සිහින් ගී රාවයක් වරින් වර මතුව එන බව බොහෝ කලක සිට අපට අසන්නට ලැඛෙන්නකි. එකල මඩකළපුවේ තැනින් තැන මතුවූ මේ හඬ කල්ලඩි පාලම මත සිටින්නෙකුට වුවද හොඳින් අසන්නට ලැබී ඇත. මෙහි ඇති සුවිශේෂී බව නිසාදෝ මඩකළපු නගරයේ බොහෝ තැන්වල ගී ගයන මසුන් සිහිගන්වන පිලිරූ ඉදිකර ඇත, දැනට ශ්‍රී ලංකාවේ සංසරණය වන මඩකළපුව වෙනුවෙන් නිකුත් කළ රුපියල් දහය කාසියේ සටහන්ව ඇත්තේද ගී ගයමින් පිහිනන මසෙකුගේ රූපයයි. එපමණක් නොව මඩකළපුව හඳුන්වා ඇත්තේද ගීගයන මසුන්ගේ නගරය ලෙසයි. එසේ වුවද එහි ගොස් ගී ගයන මසුන් ගැන විමසන විට මට පෙනී ගියේ තරුණයින් මෙන්ම වැඩිහිටියන් වැඩිදෙනෙක්ම ඒ ගැන කිසිවක් නොදන්නා බවය. එසේත් නැතහොත් ඒ ගැන එතරම් සැලකිල්ලක් ඔවුන්ට නොමැති බවය. ඒ අතර ඇතැමෙක් ඒ ගී හඬ අද වන විට ටිකින් ටික ගොළුවගොස් ඇතැයිද පැවසූහ.

එහෙත් දිනපතා රාත්‍රී කාලයේ කළපුවේ ඒ මේ අත යනෙන මසුන් මරන්නන් කිහිප දෙනෙකුගෙන්ම දැනගන්නට ලැබුණේ තවමත් මසුන්ගේ මෙම ගී හඬ වරින් වර ඔවුන්ට අසන්නට ලැඛෙන බවය.
මඩකළපුවේ ගී ගයන මසුන් පිළිබඳ ඇති කතාන්දර ඉතා රසවත් මෙන්ම කුතුහලය දනවන ඒවා වුවද මේ ගී හඬ නගන්නේ කවුරුන්ද යන්න ගැන අදත් ඇත්තේ එකිනෙකට වෙනස්වූ මතවාදයන්ය. වැඩි දෙනෙකුගේ මතය වන්නේ එය මසුන්ගෙන් නැගෙන හඬක් බවය. ඇතැමෙක් එය කකුළුවන් විසින් ඇතිකරන හඬක් ලෙසත් තවත් ඇතැමෙක් එය කළපුවේ වෙසෙන ඛෙල්ලන් විශේෂයක් විසින් ඇතිකරන්නක් ලෙසද හඳුන්වති. තවත් ඇතැමුන්ගේ මතය වන්නේ එය පාලම අසල වූ දුරකතන රැහැන් වල කම්පනයෙන් ඇතිවූවක් ලෙසය. එහෙත් මෙම සංසිද්ධිය හුදෙක් ජනප්‍රවාදයක් පමණක් නම් නොවේ. මක්නිසාද යත් ඒ ගැන සොයා බැලීමෙදී කළපු දියෙන් නැගෙන ගීතවත් හඬ ගැන අතීත ලිඛිත සාක්ෂි ගණනාවක් අපට හමුවන බැවිනි.
වර්ෂ 1845 – 1850 අතර කාලය තුළ ලංකාවේ යටත් විජිත ලේකම්වරයා ලෙස කටයුතු කළ ශ්‍රීමත් ජේම්ස් එමර්සන් ටෙනන්ට් Sir James Emerson Tennent (1804 – 1869) ලංකාව ගැන ලියූ ග්‍රන්ථයක මඩකළපුවෙන් නැගෙන සංගීත රාවය ගැන සඳහන් කර ඇත. වර්ෂ 1848 දී පමණ ඔහුට මඩකලපු ගීහඬ ගැන අසන්නට ලැබී ඇති අතර එකල එහි ජීවත් වූ මසුන් මරන්නන් බොහෝ දෙනෙකුගෙන් විම්සීම් කළවිට දැනගෙන ඇත්තේ එය කළපුවේ වෙසෙන ඛෙල්ලන් සමූහයක් විසින් නිකුත් කරන්නක් බවය. පසුගියදා ඒ ගැන තොරතුරු සොයා බැලීමෙදී මඩකළපු නගරයෙදීම මාධ්‍ය හා සම්බන්ධ පුද්ගලයකුගෙන්ද දැනගන්නට ලැබුණේ ඒ හා සමාන අදහසකිකි. ඔහු පැවසුවේ ගල්පර අසල වෙසෙන මෙම ඛෙල්ලන් ප්‍රජනක සමයේ සඳ ඇති රාත්‍රී කාලවල තම සහකාරියන් ආකර්ෂණ සඳහා මෙම ශබ්ද නිකුත්කරන බවය.
(දෙමළ බසින් පොදුවේ ඌරී ලෙස හඳුන්වන තනි කවචයක් සහිත මෙම ඛෙල්ලන් ඉංගිරිසියෙන් Crying shell ලෙසත් විද්‍යාත්මකව Cerithium lividulum ලෙසත් හඳුන්වයි.)

කෙසේ වෙතත් මට මතක ඇති අයුරින් සර් ටෙනන්ට් ඒ ගැන සඳහන් කර ඇත්තේ මෙසේය.

“ඒ සවස්යාමයේ සඳ නැග එත්ම මම මසුන් මරන්නන් කිහිප දෙනෙකුද සමග මඩකළපු දොරටුව අසල ජෙටියෙන් කුඩා ඔරුවක නැගී මදදුරක් ගමන් කළෙමි. එවේලේ සුසුම් පොදක තරම්වත් සුළං රැල්ලක් නොතිබුණු අතර හබල් පහරින් නැගි ජල රැලි හැරෙන්නට කළපු ජලතලය රළතරඟ වලින් තොරවිය. වැඩිවෙලාවක් යන්නට මත්තෙන් ජලය තුළින් ප්‍රශ්නාර්ථයක්වූ ඒ හඬ පැහැදිලිව මට අසන්නට හැකිවිය. එය වයින් වීදුරුවක් තෙත් ඇඟිලි තුඩකින් පිරිමදිනවිට නැගෙන හඬට සමාන වූ සිහින් හඬක් විය. එය අසන්නට ලැබුණේ තනිව පවතින හඬක් ලෙස නොව වෙන් වෙනව හඳුනාගත හැකි පැහැදිලි හඬවල් කිහිපයක එකතුවක් ලෙසය. ඔරු කඳට කණ තැබූ විට මට එය වඩාත් හොඳින් ඇසිණ.”

කළපුවේ ඒමේ අත යාමෙදී ඇතැම් තැන් වලදී මෙම හඬ ඔවුන්ට තදින් ඇසී ඇති අතර ඉන් ඉවතට යාමේදී ටිකින් ටික අඩුවී ඇත. නැවතත් ඒ ස්ථානවලට යනවිට හඬ යලිත් තීව්‍ර වී ඇත. මේනිසා මෙය නිතර එහා මෙහා පිහිනන සතෙකුට වඩා ඔත් ජීවිත ගත කරන ඛෙල්ලන්ගේ වීමට ඉඩ ඇතැයි සිතිය හැකි බව ටෙනන්ට්ගේ මතය වී ඇත.

සී. බෲක් එලියට්ද (එනමින් හඳුන්වන ඇමෙරිකානු නිළිය හෝ ගායිකාව නොවේ) 1938 දී පමණ ඔහුගේ The Real Ceylon යන පොතෙහි මඩකළපුවේ ගීගයන මසුන් ගැන සඳහන් කර ඇත. ඔහු කියා ඇත්තේ ඔවුන්ගේ හඬ, පතුලේ ජීවත්වන මසෙකුවන ඊමකක ත‍රදට ගේ හඬට හා යුදෙව් වීණාවකින් නැගෙන හඬට සමාන බවය.
ලංකාවේ තොරතුරු ගැන ලියා ඇති ඇන්ගස් හෝල්ඩන් සාමිවරයාද, සෝල්බරි කොමිසමේ ප්‍රධානියාවූ සෝල්බරී සාමිවරයාද මඩකලපුවේ ගී ගයන මසුන් ගැන පැරණි තොරතුරු සටහන් කළ අය අතර වෙති.
ලංකාවේ සුප්‍රකට කිමිදුම් කරුවෙකුවූ රොඩ්නි ජොන්ක්ලාස් 1953 දී පමණ කළපුවේ විවිධ ඉසව්වල කිමිදී මෙම ගී ගයන මසුන් ගැන සොය බලා ඇත. එහිදී කළපුවේ වෙසෙන මසුන්ගේ විශේෂත්වයක් ඔහු නුදුටු නමුදු කුමන් හෝ සත්ත්ව විශේෂයකගේ හඬ අසන්නට ලැබී තිබේ. ඔහු පවසා ඇති පරිදි එය වයලීනයක තතක් අදින විට නැගෙන හඬට සමාන වූවකි. තවද එම හඬ ජලය මතුපිට ආසන්නයට වඩා කලපු පතුළට ලංවනවිට වඩාත් හොඳින් අසන්නට ලැබී ඇත. ඔහු විසින් පටිගත කරනලද මෙම මඩකළපු ගී හඬ ලංකාගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය කර තිබේ.

පසුකාලයක එනම් 1961දී පමණ එක්තරා ජපන් පර්යේෂකයෙක් මඩකළපුවේ මෙම ගී ගයන්නා ජපානයේ සිටින Johnius dussumieri නම් හඬ නගන මත්ස්‍යාට සමාන බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර මෑතකදී එනම් 2012 දී පමණ බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය මගින් කළ ගවේශණයකදී ජලය තුළට හයිඩ්‍රොෆෝණයක් යවා පටිගතකළ හඬ පටියක් පසුගියදා මට අසන්නට ලැබිණි. එය අසා සිටිනවිට මට හැඟී ගියේ එය මඩ සහිත ජලාශවල පතුලේ ජීවත් වන හඬ නැගිය හැකි මසෙකුවන Toad fish ගේ හඬට සමානකමක් දක්වන බවය. තවද පෙර සඳහන් කළ නිරීක්ෂණවලදී පතුල ආසන්නයේදි හඬ වැඩිවීමත්, ගී හඬ ඇතැම් ස්ථාන වලට සීමා වීමත් එම මත්සයාගේ චරියාව හා හොඳින් ගැලපෙතැයි මට සිතේ.
කෙසේ වෙතත් මසුන්ගෙන් නැගෙන මේ ගී හඬ අරුමයක් යැයි අපට හැඟෙන්නේ මත්ස්‍යයන් යනු හඬ නොනගන සත්ත්වයන්යයි යන්න අපේ සිත්තුළට කිඳා බැස ඇති නිසා විය හැකිය. එහෙත් ලෝකයේ මසුන් ගෙන් දහසකටත් වැඩි ප්‍රමාණයකට නාද කිරීමේ මෙම හැකියාව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.
බොහෝ මසුන් විසින් නිකුත් කරනු ලබන්නේ ඉතා සිහින් නාද නිසා ඒවා අපේ අවධානයට ලක්වන්නේ ඉතා අඩුවෙනි. එහෙත් රාත්‍රී කාලයේ ඇතැම් මත්ස්‍ය විශේෂ සමූහ ලෙස හඬ නගනවිට නින්දට පවා බධා පැමිණි අවස්ථා ගැන අසන්නට ලැබේ.

මසුන්ගේ හඬ නැගීමේ යාන්ත්‍රණය, විවිධ නාද රටා මැවිය හැකි අනෙකුත් සතුන්ට වඩා ඛෙහෙවින් වෙනස්ය. කුරුල්ලන්, උභය ජීවීන් හා ක්ෂීරපායින්ට මෙන් හඬ නිපදවන ස්වරතන්ත්‍ර සහිත ස්වරාල ඔවුන්ට නැත.

බොහොමයක් මසුන් ශබ්ද නිපදවන්නේ වාතාශය දෙපස ඇති ඉතා වේගයෙන් චලනයවිය හැකි පේෂි කාණ්ඩවල කම්පනයෙනි. (අස්ථීක මසුන්ගේ සුවිශේෂී ලක්ෂණයක්වූ දේහ කුහරය තුළ ඇති වාතාශය, වාතයෙන් පුරවා ගැනීමෙන් හා වාතය ඉවත් කිරීමෙන් සබ්මැරීනයක් මෙන් මෙම මසුන්ට ජලය මතුපිටට ඒමට හෝ ජලයේ ගැඹුරට කිමිදී යාමට උපකාරී වන උපාංගයකි.) ගී ගයන මත්ස්‍යයෝ වතාශය දෙපස ඇති පේශි තන්තු වේගයෙන් කම්පනය කොට ඒ මත ගැටීමට සැලැස්වීමෙන් නාද නගති.Silver perch” Goliath grouper” Black drum වැන්නවුන් හා විවිධ Toad fish විශේෂවල මසුන් මේ අයුරින් හඬ නගන්නවුන්ය. Three fin toad fish ගේ වතාශය දෙඛෙදුමක් දක්වන අතර ඒ මගින් ඌට එකිනෙකට වෙනස් හඬ ඉපදවිය හැකිය. සාමාන්‍යයෙන් වාතාශය මගින් නිපදවන ශබ්දවල තාරතාවය සාපේක්ෂිතව අඩුය. එය හර්ට්ස් 100ත් 1000ත් අතර වෙයි.

Cat fish විශේෂ, මුහුදු අශ්වයින් වැනි මත්ස්‍ය ආකාර ශබ්ද නිපදවන්නේ ඔවුන්ගේ අස්ථි කොටස් එකිනෙක ගැටීමෙනි. Squeaker catfish, ළය වරලේ දැති සහිත පාදීය කොටස ශ්‍රෝණිමේඛලාවේ කොටස් හා ගැටීමෙන් තියුණු ශබ්දයක් නගයි. අපේ මිරිදිය ජලාශවල වෙසෙන අංකුට්ටන්ද (Mystus vittatus) ජලයෙන් ගොඩට ගත්විට “කීස්” යන හඬ නගනු මා අසා ඇත. මේ අයුරින් මසුන් නගන හඬවල තාරතාවය, වතාශයෙන් නිකුත් කෙරෙන් ශබ්දවල තරතාවයට වඩා වැඩිය. සමාන්‍යයෙන් එය හර්ට්ස් 1000ත් 4000ත් අතර වේ.

මේ අතර මුහුදේ වෙසෙන හෙරිං විශේෂ වල හඬ නැගීම මීට හාත්පසින්ම වෙනස්ය. ඔවුන් ශබ්ද නගන්නේ වාතාශය තුළ ඇති වාතය ආහාර මාර්ගය ඔස්සේ තෙරපාහැර ගුදමාර්ගය හරහා පිටකිරීමෙනි. අත්ලාන්තික් සාගරයේ හා පැසිපික් සාගරයේ වෙසෙන හෙරිං විශේෂවල මෙම හඬ නැගීමේ රටාව දැකිය හැක.
මෙසේ සුවිශේෂී යාන්ත්‍රණ මගින් මසුන් විසින් ශබ්ද උපදවන අතර කිසිදු ආයාසයකින් තොරව ඔවුන්ගෙන් හඬ නැගෙන අවස්ථාවන්ද ඇත. විශාල රංචු වශයෙන් වේගයෙන් පිහිනා ගොස් එක් වරම දිශාව වෙනස් කිරීමේදි ද, සමූහ වශයෙන් අහාර ගැනීමේදීද මේ අයුරින් ශබ්ද ඉපදවේ.

මසුන් විසින් නගන හඬ විටෙක මිමිණීමක්, සිවුරුවන් බෑමක්, දත්මිටි කැමක්, ගෙරවීමක්, ඛෙරයකට තට්ටු කළවිට නැගෙන හඬකට හෝ සංගීත භාණ්ඩයකින් නැගෙන ගීතවත් හඬකට සමාන විය හැකිය.
බොහෝවිට මසුන් මෙවැනි විවිධ නාද මවන්නේ ප්‍රජනක සමයේදී තම විරුද්ධ ලිංගිකයින් ආකර්ශණය කරගැනීම සඳහාය. මෙය පිරිමි සතුන්ගේ වඩාත්කැපී පෙනේ. මේ අතර සතුරන් පලවාහැරීමටහත්, වසම් පරාසයේ සීමාවන් පැනවීමටත්, සගයින්ට තමන් අසල සිටින බව හැඟවීමටත් ඔවුන් මෙසේ හඬ නගන බව පෙනෙන්නට තිබේ. මේ අතර ආතතියෙන් මිදීම සඳහාද ඇතැම් මසුන් හඬ නගන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

මසුන් විසින් ඇතිකරන මෙවැනි නාද රටා ගැන මෙන්ම සමුදුරු ජලය තුළ නැගෙන විවිධාකාරයේ කම්පන පිළිබඳව අද ලෝකයේ බොහෝ රටවල පර්යේෂණ කෙරුණද, අවශ්‍ය මෙවලම් හා දැනුම තිබියදී තවමත් මේ කුඩා කළපුවේ ඇසෙන ගී හඬ ගැන අපට පැහැදිලි අදහසක් ලබා ගැනීමට අවස්ථාව උදාවී නැතිවීම කණගාටුවට කරුණකි. එසේ වී ඇත්තේ අපේ පර්යේෂකයින් හා පරිසරවේදීන් මෙවැනි සුළු කරුණක් ගැන සෙවීම තමන්ට තරම් නොවේ යැයි අවතක්සේරුවක හිඳින නිසාද ? එසේත් නැතිනම් තවමත් ඒ සඳහා සැළකියයුතු දීමනාවක් අනුමත කරගැනීමට නොහැකි වූ නිසාද ? ඒ කෙසේ වෙතත් හොඳ දීමනාවක් ලබාගෙන කුමන හෝ ජර්නලයක තම පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ගැනීමේ නොතිත් අශාවක් ඇතැම් පර්යේෂකයින්ට ඇතිවාක් මෙන්, දිවා රෑ මේ කළපුව තුළ වෙහෙසෙන මසුන් මරන්නන්ට මෙන්ම වටපිටාව ගැන හැබෑ ආදරයක් ඇති මිනිසුන්ට තමා වෙසෙන පරිසරයේ සිදුවන දේ ගැන දැන ගැනීමට අහිංසක අශාවක් මෙන්ම අයිතිවාසිකමක් ඇති බවද අප විසින් මෙහිදී අමතක නොකළ යුතුය.

ඡායරෑප – මුනිදාස වංශපුර විසිනි (Photoes by Munidasa Wanshapura)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *