Salvation Army Collection in Melbourn by Kadapatha

සැල්වේෂන් ආමි – Salvation Army

සාමන්ත තැන්නගේ විසිනි (By Saamantha Tennege)

සැල්වේෂන් ආමි යනු ගැලවීමේ හමුදාවය. එය එක්තරා ක්‍රිස්තියානි ආගමික නිකායකි. එමෙන්ම ලොව පුරා මිලියන එකයි දශම පහක සාමාජිකයන් පිරිසක් සිටින පුන්‍ය ආයතනයකි. නිලධාරීන්, සොල්දාදුවන් සහ සමාජිකයන්ගෙන් සැදුම් ලත් එම සභාවේ ව්‍යූහය සකස් වී ඇත්තේ අර්ධ හමුදාමය ස්වරූපයකිනි. 1865 දී මෙතෝදිස්ත පූජකයෙක් වූ විලියම් බූත් සහ ඔහුගේ බිරිඳ වූ කැතරින් විසින් ලංඩන් නුවරදී මෙම සංවිධානය ආරම්භ කර ඇත. පසුව 1878 දී විලියම් බූත් විසින් අද දක්වාම එහි පවතින හමුදාමය ආකෘතියකට අනුව එම සංවිධානය ප්‍රතිසංවිධානය කරන ලදි.

හමුදාව යන වචනය යුද්ධය හා බැඳී පවතී. එහෙත් ගැලවීමේ හමුදාවේ නිර්මාතෘහු වූ විලියම් සහ කැතරින් බලාපොරොත්තු වූයේ දුප්පත්, අසරණ සහ කුසගින්නේ දිවි ගෙවූ අයට අවශය ද්‍රවම්‍ය සහ මානසික රැකවරණ සැලසීමය.

ඉන් අනතුරුව විලියම් බූත් ගැලවිමේ හමුදාවේ ප්‍රථම ජෙනරාල් බවට පත්වේ. ඔහු දුප්පතුන්ට දේශනා කළේය. කැතරින් “ගැලවීමේ හමුදා මව්තුමිය” ලෙසින් පොහොසත් අයට දේශනා පවත්වමින් සංවිධානයේ අරමුදල් තරකරගැනීමට දායක වූවාය. ඔවුන් මූලික වශයෙන් තම ආගමට හරවා ගනු ලැබුවේ සම්ප්‍රදායික ප්‍රභූ ක්‍රිස්තියානි පල්ලියේ ආශිර්වාදය නොලත් මත්පැන්, මරිජුවානා, ගණිකා වෘත්තිය මෙන්ම අනෙකුත් සමාජ ව්‍යසනයන් නිසා තම ජීවිත විනාශ කරගත් අයය.

Booth2
The Salvation Army founders, Catherine and William Booth

19 වන ශතවර්ෂයේ ඉතා වේගයෙන් ඉදිරියට පැමිණි මෙම සංවිධානයට මුලින්ම විරුද්ධවාදී කණ්ඩායමක ප්‍රහාර එල්ල වූයේ එංගලන්තයේ බිහිවූ “ඇටසැකිලි හමුදාව” (Skeleton Army) නම් සංවිධානයෙනි.ඔවුහු ගැලවීමේ හමුදාවේ රැස්වීම් කඩාකප්පල් කළහ. ඇටසැකිලි හමුදාවේ ගල් ගැසීම්, මස්කටු විසිකිරීම්, මී කුණු විසිකිරම්, තාර ගෑම මෙන්ම කායිකව අඩත්තේට්ටම් කිරීම දක්වා නොයේක් බලපෑම් වලට ගැලවීමේ හමුදා සාමාජිකයෝ ලක්වූහ.

1880 වන විට ගැලවීමේ හමුදාව ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය හා ඇමරිකා එක්සත් ජනපදයේ තම සේවාවන් ආරම්භ කළේය. 1900 දී ඇමරිකාවේ ගැල්වෙස්ටන් කුණාටුවෙන් සහ 1906 සැන්ෆ්‍රැන්සිස්කෝ භූමිකම්පාවෙන් අවතැන් වූවන්ට සහන සැලසීමෙන් ගැලවීමේ හමුදාව ජනතාව අතර මහත් ප්‍රසාදයට ලක්විය.

ලංකාවේ ගැලවීමේ හමුදාව ආරම්භ වන්නේ ඉන්දියාවේ සිට එහි පැමිණි කැප්ටන් විලියම් ගැලැඩ්වින් විසිනි. ඒ 1883 ජනවාරි 26 වෙනි දින පිටකොටුවේ ඔරලෝසු කණුව (පරණ මාර්කට්ටුව අසල) අභියස පැවත්වූ පළමු රැස්වීමෙන් අනතුරුවය. පළමු ලාංකික ගැලවීමේ හමුදා සාමාජිකයා වූයේ ආර්නෝලිස් වීරසූරිය නම් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ තරුණ ගුරුවරයෙකි. බෞද්ධාගමෙන් ඉවත් වී කතෝලික ආගම වැළඳ ගත් ඔහු ඉතා උද්‍යෝගයෙන් ගැලවීමේ හමුදාවට බැදී රටපුරා සේවය කළේය. තරුණ අවධියේදීම ඔහු කොලරා රෝගය වැළඳී ජීවිතයෙන් සමුගත්තේ ය. ඒ ඉන්දියාවේ එම රෝගයෙන් මියයමින් සිටි පිරිසකට උපස්ථාන කරමින් සිටින අතර වාරයේදී ය.

මහනුවර නගරයේ ගැලවීමේ හමුදා මූලාස්ථනය පිහිටා ඇත්තේ කොළඹ වීදියේ සීතා පොත් හලට යාබදව ය. අද මෙන් නොව එකල මුළු නුවරටම තිබුණේ පොත් කඩ කිහිපයකි. සීතා පොත් හළද ඉන් එකකි. නව වසරට පොත් මිළට ගැනීමට මා අම්මාත් සමග එකල සීතා පොත් හලට ගොඩවදින්නේ පොත් සුවඳ ආග්‍රහණය කිරීමට ඇති අසීමිත කැමැත්ත පෙරදැරිවය. අම්මාට අපි හැමදෙනාගේම පොත් ලැයිස්තුව සම්පූර්ණ කරන්නට නොහැකිය. ඒ නිසා ඇය මිළට ගත යුතු සහ පසුවට කල් දැමිය හැකි ඒවා මොනවාදැයි කල්පනා කරනවා මට මතක ය. මගේ පොත් ලැයිස්තුවෙන් එකක් හෝ අඩුවුවනවාට මා කැමති නැත. අම්මාගේ හැබිලිය, සීතා පොත් හළ සහ ගැලවීමේ හමුදා මූලස්ථානය හරහා අතීත සිදුවීම් ඉස්මතුව ඒම කෙසේ නම් වළකන්න ද ?

Salvation Army Church Kandy
Salvation Army Church, 26 Colombo Street, Kandy.

සීතා පොත්හළ අසල ගැවසුනු ගැලීවීමේ හමුදාවේ සාමාජික, සාමාජිකාවෝ කිහිප දෙනෙකු ගැන මට තවම මතකය. එකල බොහෝ දෙනෙක් ඔවුන්ව හඳුන්වා දුන්නේ කිසියම් ගූඨ ආගමික නිකායකට අයත් මිත්‍යා දෘෂිඨිකයන් ලෙසිනි. ගම්වල දුප්පත් මිනිසුන්ට ආධාර ලබා දී ඔවුන්ව තම ආගමට හරවා ගන්නා බවද අපේ කණ වැටී තිබුණි. එහෙත් කුඩා මා එකල වැඩිපුරම විමසිලිමත් වූයේ ඔවුන්ගේ කමිස කොළරයේ හෝ හැට්ටය දෙපස පැළඳ සිටි ඉංග්‍රිසි එස් අකුරු දෙක ගැනය. ගැලවීමේ හමුදාව හා සම්බන්ධව එස් අකුරු තුනක් ඇති බව මා දැන ගත්තේ ඉතා මෑතකය. පළමු එස් අකුරෙන් කියවෙන්නේ “සුප්” ය. දෙවෙනි එස් අකුරෙනේ කියවෙන්නේද “සුප්” ය. තුන්වෙනි එස් අකුර “සැල්වේෂන්” නොහොත් ගැලවීම ය. තුනෙන් දෙකක්ම ආහාරයට අදාළය. බුදුහු වාදාළේද සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙනි. කෙතරම් සත්‍යයක් ද ?
සැල්වේෂන් ආමිය යළිත් වතාවක් අපේ ජීවිතයට එබිකම් කළේ සූට් කේස් දෙකක් අතැතිව මෙල්බර්න් නුවරට පය තැබූ මුල් දිනවලය. හරිහමන් නෑයෙක්, මිතුරෙක් හෝ ඉතිරි කර ගත් මුදලක් නොමැතිව මෙහි ගෙවූ පළමු මාස කිහිපය නැවත ලංකාවට යන්නට සිය දහස් වාරයක් අපේ සිත අපටම බල කළේය.

මුලින්ම කුමන හෝ රස්සාවක් සොයා ගන්නට පොරබදන අතර දිනක් මම ගැලවීමේ හමුදා මධ්‍යස්ථානයකට ගොඩවැදුනෙමි. එහි වැඩිපුරම සිටියේ අප්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන්ය. මහළු එමෙන්ම රෝගවලින් පීඩා විඳිතැයි සිතිය හැකි ඕස්ට්‍රේලියානුවෝද එහි වූහ. මම ඔවුන්ගේ මුහුණු දෙස මදක් විමසිල්ලෙන් බැලූවෙමි. ඔවුනතරින් බොහෝ දෙනෙක් අනෙක් අය දෙස එක එල්ලේ නොබැලුහ. තමන්ගේ වාරය එනතුරු තමන්ගේම ලෝකවල අතරමංව සිටි නියාවකි. මගේ වාරය පැමිණියේ ය. නොයේකුත් ආහාර පිරවූ මළු දෙකකුත් ඩොලර් හැටක වවුචර් පත් දෙකකුත් ලැබුණි.

දෙවෙනි වතාවේ මා ගැලවීමේ හමුදාවට ගියේ කුලී නිවසක පදිංචියට ගිය පසුය. එදින ඔවුහු අපට ඩොලර් පන්සියයක වවුචරයක් ලබාදුන්නේ ය. ඒ ගැලවීමේ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන ඔප් ෂොප් වෙළඳසැළකින් නිවසට අවශ්‍ය කවර හෝ දෙයක් මිළට ගැනීමටය. ඒ වවුචරයෙන් මෙල්ටන්හි පිහිටි වෙළඳ සැළකින් නිවසට කවිච්චි දෙකක් ඇතුළු තවත් අත්‍යවශය භාණ්ඩ කිහිපයක් ලබා ගතිමි. මාස දෙක තුනකට පසු මම නැවතත් ඔවුන්ව ඇමතුවෙමි. ඒ වන විට නිවසක් කුලියට ගැනීමට හැකියාව ලැබුණත් ස්ථීර රැකියාවක් නොතිබුණු නිසා බිල්පත් ගෙවා දැමීම අපහසු වූ නිසාවෙනි. ඔවුන් මට ලබා දුන් දිනයේදී තුන් වෙනි වතාවට මම ඔවුන් සොයා ගියෙමි. එදින ඉතා සුහඳශීලීව මා පිළිගත් ගැලවීමේ හමුදා නිළධාරියා මගේ විදුලි හා ජල බිල්පත් ගෙවා දමන්නට කටයුතු කළේ ය. මද වේලාවක් සතුටු සාමිචියේ යෙදුණු පසු මා හට “සුභ අනාගතයක්” පැතූ එකී නිලධාරියා අපට සමු දුන්නේ ය. ඒ මා ඔවුන්ගෙන් පිහිටක් අයැදි අවසාන අවස්ථාවය.

දුම්රියෙන් නැවතත් නිවසට එන අතර මම කල්පනාවට වැටුණෙමි. ගැලවීමේ හමුදා නිළධාරීන් හමු වූ තුන් වතාවෙන් එක් වතාවක හෝ ඔවුහු අපට තමන්ගේ ආගමට බැෙඳන්නැයි නොකීහ. නමුත් ඔවුන්ට කළ හැකි දේ කළහ. මේ අප කලින් අසා තිබුණාට වඩා සපුරාම වෙනස් දෙයකි.

කලකට පෙර ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අයෙක් සැල්වේෂන් ආමිය ගැනත් හිටපු හමුදාපතිවරයෙකු ගැනත් අපූරු සදහනක් කළේය. ඒ ලංකාවේ පැවති යුද්ධය නිමා කරන්නට දායක වූ හමුදාපතිවරයෙකු ගැලවීමේ හමුදාවටවත් නුසුදුසු බවය. වඩාත් හාස්‍යජනක වන්නේ තවත් කාලයකට පසුව සිදු වූ දේය. ඒ එකී හමුදාපතිවරයාත්, දේශපාලකයාත් එකම වේදිකාවක ලැ`ගුම් ගැනීමය. එබඳු වූ දේශපාලනය කෙතරම් අප්‍රසන්නදැයි පසක් වන්නේ “ආමි” සහ “සැල්වේෂන් ආමි” අතර වෙනස පසක් වූ කල්හි ය.

මේ අතර මෑත ඉතිහාසය තුළ ඕස්ට්‍රේලියාවේ හිටපු ඇතැම් ගැලවීමේ හමුදාවේ නිළධාරීන්ට එරෙහිව එල්ලවන චෝදනාද සුලූපටු නොවේ. අපට හමු වූ ඇතැම් ප්‍රබල ලාංකික හා ඕස්ට්‍රේලියානු කතෝලික හා ක්‍රිස්තියානි භක්තිකයන් අතර පවා ගැලවීමේ හමුදාව කෙරෙහි පහන් සිත් නැත්තෝ ද එමට ය. වඩාත් විමසිල්ලෙන් බැලු කල්හි ඊට ප්‍රධාන නිමිත්ත වන්නේ ගැලවීමේ හමුදාවට අදාල කලින් දැක් වූ වර්තමාන හෝ අතීත හේතු නොව මුල්බැසගත් මතවාද ය.

පසුගියදා ලයිබිරීයාව ඇතුළු අප්‍රිකානු රටවල එබෝලා උවදුර පැතිර යද්දී තම ජීවිත පවා පරදුවට තබා ඒ රටවල ජනතාවට සේවය කරන්නට ගිය අය ගැන සිතා බලන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය, රතුකුරුස සංවිධානය හා අත්වැල් බැඳගෙන අසරණ රෝගී ජනතාවට සේවය කළ බහුතර සංවිධාන අයත් වූයේ කිසියම්ම හෝ ආගමික නිකායකට ය. ඒ අතරින් American Jewish World Service, Baptist World Alliance, Catholic Relief Services, Cristian Blind Mission යන සංවිධාන ඝෘජුවත්, ගැලවීමේ හමුදාව ඇතුළු තවත් සංවිධාන සිය ගණනක් වක්‍රවත් රෝගීන්ට උපස්ථාන කරන්නට පෙළ ගැසුණ හ. ඇතැම් වෛද්‍යවරු, හෙදියෝ මෙන්ම උපස්ථායකයෝ තම ජීවිත පවා අසරණ රෝගීන් වෙනුවෙන් පූජා කළහ. අසරණ ඉන්දියානු රෝගීන් වෙනුවෙන් සේවය කරන්නට ගොස් තම ජීවිතය පූජාකළ අරනෝලිස් වීරසූරිය අයත් වන්නේද එකී පරපුරටම නොවේ ද ? බුදුදහම අතහැර ගැලවීමේ හමුදාවට බැඳුනු පමණින් ඔහු කළ සේවය ලඝු කොට සැළකිය හැකිද ?

අලූත් පාසල් වාරයේ පොත් ලැයිස්තුවෙන් එක් පොතක් අඩු වුනොත් එකල එය එය දරාගැනීම අපේ සිතට ඉතා අපහසු විය. එකම එක බත් කටක් අයදින මිනිසුන් ලොව කොතෙක් නම් වේ ද ? අපට ඒ ගැන හැඟී-මක්වත් නොදැනෙන්නේ එකතකින් අද අපේ කුස් තුන් වේලකින් මතු නොව අතුරු පසින්ද පිරී ඉතිරී යන නිසාවෙනි. අනෙක් අතින් අප පසුකර පැමිණි මග සළකුණු අපටම අමතකව ඇති නිසාවෙනි.
දැන් අපි කාට හෝ ප්‍රයෝජනයක් ගත හැකි ඇඳුමක් හෝ වෙන මොනයම් දෙයක් හෝ වේවා නිවසින් ඉවතලන්නට පෙර ඒවා ඔප් ෂොප් එකකට පරිත්‍යාග කරන්නට දෙවරක් නොසිතමු. ඉඳහිට ඔප් ෂොප් එකකට ගොඩ වැදී ඒවාගේ ප්‍රදර්ශනයට තබා ඇති බඩු භාණ්ඩ දෙසද බලමි. ඔප් ෂොප් එකකින් බඩු මිළට ගන්නා අය අතර වැඩිපුරම අප නෙත ගැටෙන්නේ සුදු ඕස්ට්‍රේලියානුවෝ ය. ආසියානුවෝ නැති තරම් ය.
ජේතවනාරාමයේ වැඩ වාසය කළ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ ගොඩනැගීම ගැන කරදර වූ බව අපි අසා නැත්තෙමු. එහෙත් කවුරු හෝ දුක් විඳින අයෙකුට පිළිසරණක් වන්නට කරදර වූ බව අපි අසා ඇත්තෙමු. බුදුන්වහන්සේගේ ධර්මය තුළ දුක් විඳින්නෝ හෝ අසරණ වූ අය වන්නේ දුප්පතුන්, ගණිකාවන්, රෝගපීඩා වැළඳුනු අයම පමණද ? රජවරු, කුමාරවරු, බිසෝවරු පවා ඒ ගොඩට අයත් වූවා නොවේ ද ? ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ පමණින් අපිදු අසරණකමෙන් මිදුණෝ වෙමු ද ? ලංකාවෙන් මෙහි පැමිණ කාර්යබහුලත්වය, නම්බු නාම, ගරු බුහුමන් පසුපස හඹා යාම, අසහනය, සාංකාව, කාංසාව, අධික ණයබර, රැකියාවේ අනාරක්ෂිත බාවය වැනි දහසකුත් එකක් ප්‍රශ්න වලින් පීඩා නොවිඳින අයෙකු ඇත්නම් ඒ කීයෙන් කී දෙනා ද ? ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටකට පවා ගැලවීමේ හමුදාවක සේවය අවැසි ඇයිද යන්න පැහැදිලි නොවේ ද ?

අද වන විට මාර්ග සංඥා එළි අසල සිට ආධාර එකතු කරන කවර අයෙකුට වුවද මා අඩු තරමින් කාසියක් හෝ පිරිනමන්නේ හදවතේ ගැඹුරුම තැනිනි. ඒ එදා ගැලවීමේ හමුදාව මට ලබා දුන් ආධාර නිසාම නොව ලොව කොතනක හෝ කාගේ හෝ යහපතට ඒවා යෙදවෙතැයි යන තදබල විශ්වාසය නිසා ය. එසේ නොවුනද මට කම් නැත. ඔවුන්ගේ පරමාර්ථයෝ උතුම් ය. අනෙක් අතට ඔවුන් තට්ටු පිට තට්ටු ගසන්නට අපෙන් ඩොලර් දහස් ගණනක් අයදින්නේද නැත. කාසියක් නොදුන්නද ඔවුන්ගේ මුහුණේ සිනහව අතුරුදන් නොවන්නේ ය. එමෙන්ම අපෙන් යමක් නොලැබුණද පෙරළා අපට “ස්තූතියි” කියා කියන්ට තරම් ඔවුහු පොහොසත් වෙති. එබඳු මිනිසුන් කවදා හෝ දෙව් මව් තුරුළේ සැතපෙනවා නියතය. අපට ඔවුන්ගෙන් ඉගෙන ගන්නට තවත් බොහෝ දේ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *