ප්‍රාණය නිරුද්ධ ක්‍රිස්තූන්වහන්සේ අභිමුව වැළපීම – (Lamentation over the Dead Christ)

සාමන්ත තැන්නගේ විසිනි

Mantegna Andrea Dead Christ

අවකාශය හා වර්ණ මිනිස් ඇස ඉදිරියේ මවන්නේ එක්තරා මායාවකි. තාත්වික චිත්‍ර ශිල්පියෙකු ජය ගත යුතු අභියෝග දෙකකි ඒ මායාවන් දිවිත්වය. එකී මායාවන් අතික්‍රමණය කරනු වස් ජ්‍යාමිතික ප්‍රක්ෂේපණයත්, වර්ණ සංයෝජනයත් අත්‍යවශ්‍යම වූ සාධක වන්නේ ය. කි්‍රස්තු වර්ෂ 1480 දී පමණ ජීවත් වූ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ඇන්ඩ්‍රියා මොන්ටේන්යා (Andrea Mantegna 1431 – 1506) විසින් සිතුවම් කරන ලද —ප්‍රාණය නිරුද්ධ ක්‍රිස්තූන්වහන්සේ අභිමුව වැළපීම (Lamentation over the Dead Christ) නම් වූ සිතුවම මෙකී අභියෝග ද්විත්වය කලාත්මකවත්, භාවාත්මකවත් ජයගත් පුනරුද යුගයෙන් අපට හමුවන අතිශ්‍ය අනගි කලා කෘතියකි.

සිතුවම කළ දින වකවානුව විවාදයට තුඩු දී තිබුණද බොහෝ දෙනා පිළිගන්නේ එය ක්‍රි ව 1480 ට පෙර නිමකරන්නට ඇති බවය. මෙම සිතුවමින් නිරූපණය වන්නේ ප්‍රාණය නිරුද්ධ ක්‍රිස්තූන්වහන්සේගේ සිරුර කිරිගරුඩ ඵලකයක් මත උඩුබැලිව හොවා ඇති අන්දමය. කන්‍යා මරියතුමියල ශාන්ත ජෝන් තුමා සහ මෙරි මැග්ඩලයින් පසෙකින් ඔහු දෙස නෙත් යොමා වැළපෙමින් සිටිති. සිතුවම දුටු සැනින් අප හදවත් සංවේගයෙන් තෙත් වෙයි. වඩාත් සුපරික්ෂාකාරීව බැලු විට ඒ හැඟීම තවත් තීවෘ වන්නේ ය. ක්‍රිස්තූන් වහන්සේ වෙනුවෙන් වැළපීම යන්න මෙම අවධියේ චිත්‍ර ශිල්පීන් අතර ඛෙහෙවින් ජනප්‍රිය තේමාවක් වුවද මෙම සිතුවමෙහි, එම තේමාවම ගත් අනෙක් සියලූම සිතුවම් වලට වඩා කැපී පෙනෙන වෙනස්කම් බොහෝමයක් තිබේ.

සිතුවමක් ප්‍රේක්ෂක ඇසට ප්‍රක්ෂේපණය විය යුතු ආකාරය සම්බන්ධව මෙන්ටේන්යා තුළ වූ අපූරු දක්ෂතාව විදහා පෙන්වන ඔහුගේ සිතුවම් අතරින් තවත් එකකි, මේ. බැලු බැල්මට නරඹන්නාගේ දෘෂ්ටි කෝණයට සාපේක්ෂව ඉතා නිවැරදි මිනුමකින් සිතුවම නිමවී ඇති බව පෙනේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලීමේදී ක්‍රිස්තූන් වහන්සේගේ යටිපතුල් හිතාමතාම කුඩාවට ඇද තිබේ. එසේ නොවන්නට හරියාකාර මිම්මෙන් යටිපතුල් සිතුවම් කළා නම් ප්‍රේක්ෂකයා සිටින ස්ථානයට අනුව කැන්වසයෙන් සේම සිරුරෙන් ඉතා විශාල පදාසයක් ඉන් වැසී යාමටද ඉඩ තිබුණි. මෙම සිතුවම චිත්‍ර කලාවේ foreshortening එනම් “කොටස් කොටට පෙනෙන සේ ඇඳීමේ තාක්ෂණය” පෙන්වා දීමට සිතුවම් කලා ඉතිහාසයෙන් සොයා ගත හැකි හොඳම නිදසුනකි. වස්තුවක් ගැඹුරින් සිතුවම් කිරීම යනු මෙහි සරල අදහසයි.

මෙම න්‍යාය තේරුම් ගැනීමේ පහසුව පිණිස අපි ඉදිරියේ සිටින මිනිසෙකු ගනිමු. අපි ඔහුගේ පිහිටීම හිස පසුපසටත් පාද ඔබ ඉදිරියට පිහිටන සේ වෙනස් කරමු. දැන් අපට සමීප වන්නේ ඔහුගේ දෙපාය. දුරස්ථ වන්නේ හිසයි. දැන් රේඛීය ප්‍රක්ෂේපණ ක්‍රමවේදයට අනුව අපට ඔහුගේ දෙපා විශාලවටත්, හිස කුඩාවටත් පෙනේ. අප මුලින් හඳුන්වා දුන් අවකාශමය දෘෂ්ඨි මායාව නම් මෙයයි. මොන්ටේන්යා ඉතා විශිෂ්ඨ ලෙස මෙම ක්‍රමවේදය ප්‍රාණය නිරුද්ධ ක්‍රිස්තූන් වහන්සේගේ පපු පෙදෙසටත් සහ පාද වලටත් යොදා ඇති අයුරු විමසා බලන්න.

මෙතෙක් අප කතා කළේ මෙම සිතුවම හා බැදි තාක්ෂණික කරුණුය. එහෙත් වඩාත් හෘද සංවේදී වන්නේ මෙතැන් සිට ලියවෙන දේය.

කුරුසය මත ඇණ ගැසූ ක්‍රිස්තූන් වහන්සේගේ සිතුවම් අප දැක තිබේ. එහෙත් මෙහිදී අප දකින්නේ කුරුසයෙන් මුදා සොහොන් ගෙහි තැන්පත් කිරීමට පෙර මෘත දේහය සෙල් ආසනයක් මත ප්‍රදර්ශනයට තබා ඇති පිළිවෙලය. සිතුවම දුටු සැනෙකින්ම අප නෙත් ඇදී යන්නේ ක්‍රිස්තූන් වහන්සේගේ වතට ය. මානුෂ්‍යයකු විඳින සැබෑ වේදනාව කෙබඳුද යන්න මෙතරම් තාත්විකව ක්‍රිස්තූන් වහන්සේගේ මුහුණින් පෙන්වන තවත් සිතුවමක් නැති තරම් ය. උන්වහන්සේගේ වත දුටු සැනෙකින් එහි ප්‍රාණය නිරුද්ධ බව අපට පසක් වෙයි. වියළි සුදුමැලි වතත්, ගතත් ඒ බැව් සනාථ කරයි. නාසය දෙපස ඇහි බැමි නළල දෙසට තෙරපී ඇත. ඉන් උද්දීපනය වී පෙනෙන උන්වහන්සේ විඳදරාගත් වේදනාවේ සොබාවය අප හදවත් දැඩි සේ කම්පනය කරයි.
දෑතේ හා දෙපයේ තුවාළ කැළල් දෙස බලන්න. චිත්‍ර ශිල්පියා ක්‍රිස්තූන් වහන්සේගේ හිස කොට්ටයෙන් ඉහළට ඔසවා අපට පෙන්වන ආකාරයෙන්ම උන්වහන්සේගේ දෑතත් අප දෙසට හරවා ඇණ පහරින් සිදුරු වූ කැළල් පෙන්වයි. ඒවා අතිශයින්ම තාත්විකය. තුවාළ කැළල් වටා පිහිටි සම වියළී ඉදිරියට මතුව කැරකී ඇත. සැබවින්ම තුවාල කැළල් අවට සම අති විශිෂ්ඨ ලෙස සියුම්වත් තියුණුවත් සිතුවම්කර ඇත.
මෙහි ප්‍රාණය නිරුද්ධ ක්‍රිස්තූන් වහන්සේ හැරුණු විට පැහැදිලිව පෙනෙන තවත් දෙදෙනෙකි. අපහැදිලිව පෙනෙන තවත් එක් අයෙකි. මුලින්ම සිටින්නේ ශාන්ත ජෝන් ය. ඔහුට වම් පසින් සිටින්නේ තම පුතණුවන්ගේ දේහය ඉදිරියේ දෙනෙත කඳුළින් පුරවාගෙන ඉමහත් දුකින් වැළපෙන මරිය මව් තුමිය යි. ඇයට වම් පසින් මේරි මැග්ඩලයින් සිටින්නී ය. ඇය මේරි මැග්ඩලයින් බව අප හඳුනා ගන්නේ සෙල් ආසනයේ වම් අත පැත්තට වන්නට ඇති තෙල් කුප්පිය නිසා ය. මේරි මැග්ඩලයින් සිතුවම් කිරීමේදී තෙල් කුප්පියක් ඇගේ දෑතේ රැදවීම ඒ විටත් පැවති සම්ප්‍රදායකි.

මොන්ටේන්යා මිය යන විටත් මෙම සිතුවම ඔහු සතුව තිබුණි. එනම් වසර තිහකට ආසන්න කාලයක් එය ඔහු සන්තකයේම තිඛෙන්නට ඇත. ඇතැම් විට මෙම සිතුවම අතිශය සංවේදී වූ නිසාවෙන් විකුණා ගැනීමට ඔහුට නොහැකි වූවා විය හැකිය. අනෙක් අතට මොන්ටේන්යා විසින් මෙම සිතුවම කරන්නට ඇත්තේ ඔහුගේම අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබූ කුඩා දෙව්මැදුරේ තැබීමට බවද කියවේ. නමුත් මේ හේතු දෙක ගැන අපට නිශ්චිතව යමක් කිව නොහැකිය.

නමුත් අපට නිශ්චිතව කිව හැකි දෙයක් ඇත. ඒ පසුකාලීන නිර්මාණ සඳහා මෙම සිතුවම නිසා සුවිශාල බලපෑමක් වූ බවය. තවත් අතෙකින් ක්‍රිස්තූන් වහන්සේ විඳි වේදනාව අපේ අත්දැකීමක් බවට පත් කරගෙන භාවනාමය අත්දැකීමක් ලබන්නට තරම් මෙම නිර්මාණය ප්‍රබල වන බවය.

මොන්ටේන්යාගේ අභාවයෙන් පසු ඔහුගේ චිත්‍රාගාරයේ තිබී ඔහුගේ පුතුන් මෙම සිතුවම සොයා ගෙන තිබේ. ඔහුගේ දේහය ඉදිරියේ දින කිහිපයක් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ණයතුරුස් ගෙවා දැමීම සඳහා එය විකුණා තිබේ. අද මෙම සිතුවම ඉතාලියේ මිලාන් නුවර පිනකොටෙකා ඩි බ්‍රේරාහි ප්‍රදර්ශනය පිණිස තබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *