kadapatha-wawa rauma

වැව රවුම – ජනවාරි 2016

සාමන්ත තැන්නගේ විසිනි

රෙකෝඩ් බාර්
දිනක් එක් වයසක කාන්තාවක මාර්ග අනතුරකට ලක්ව රෝහල් ගත කෙරිණ. රෝහලේදී පොලිස් නිලධාරියෙක් අනතුර ගැන ඇගෙන් විමසා සිටින විට ඇය මෙසේ කීවාය.
“අනේ මං දන්නේ නැහැ….. මහත්තයෝ…… මම පාර පනිද්දී ලොකු රෙකෝඩ් බාර් එකක් ඇවිත් මගේ ඇගේ හැප්පුනා.”
ඇය හැපී තිබුණේ ත්‍රී වීල් රථයක ය. අද ඇතැම් ඩීසල් ත්‍රී වීල් වල පවා “එන්ජිම”ට වඩා සද්ද කරන්නේ “සීඩී” ය.

බොහිමියානුවා
පසුගියදා සිංහල කඩයකට ගොඩ වූ විට රූපවාහිනී තිරයක අපූරු ටෙලියක් දුටුවෙමි. නැවත වතාවක් එදෙස හැරී බලන්නට සිතුණේ ගිටාරයක් වයමින් තරුණයෙකු කියූ පහත දැක්වෙන ගීත කණ්ඩය නිසාය. ටෙලි නාට්‍යයේ නම බොහිමියානුවා ය.
රැවුලක් වැව්වට චේගුවේරා වගේ
මත් වී සිටියට බොබ් මාලේ වගේ
හිත්වල කෝ බං
ආදරේ

වෙනස් වැඩක්
මාත්, මගේ මිතුරෙකුත් එකතුව 1990 දී මහනුවර නගරයේ රෙකොඩ් බාර් එකක් ඇරඹුවෙමු. එකල හැම තැනම තිබුණේ රෙකෝඩ් බාර් ය. වෙනස් දෙයක් කරන්නට හිතූ මාත් මගේ මිතුරාත් සම්ප්‍රදායික රෙකෝඩ් බාර් එක වෙනුවට ඕඩියෝ ෂොප් එකක් ගැන සිතුවෙමු. ඒ අනුව යමින් අපි බීතෝවාන්, මොසාර්ට්, විවැල්ඩි මෙන්ම පොල් මරියාර්ට්, වැන්ජලිස් වැනි සංගීතඥයන්ගේ නිර්මාණ, සම්භාව්‍ය සංගීතයට රුචි අරුචි සියලූදෙනා අතරට ගෙන යාමට උත්සාහ ගත්තෙමු. එතෙක් නොදැන සිටි සංගීතයක් මගේ ලෝකය ආක්‍රමණය කළේ කුමාර හේරත් සොයුරා නිසාවෙනි. එහෙත් සම්භාව්‍ය සංගීතය, සංධ්වනි, ඕපෙරා යනාදිය දිරවා ගත හැකි වූයේ අතලොස්සකටය. ඔවුන්ට පමණක් සේවය සපයා අපේ ඕඩියෝ කඩේ බේරා ගැනීමද අපහසු විය. එබැවින් අපි නැවතත් අනෙක් රෙකෝඩ් බාර් වලින් ලබා දුන් සේවයම ලබා දෙන්නට තීරණය කළෙමු. නමුත් “කඩේ නම” වෙනස් නොකළෙමු.

කෙළවීම සහ කොලිටිය
ලංකාවට එෆ් එම් උණ ආවේ අනූව දශකයේ මුල ය. සීඩී සංස්කෘතිය කලඑළි බැස්සේද එකලය. ඒ වකවානුවේ දිනක් හදිසියේම අපේ වින්ස් ඕඩියෝ කඩයට ගොඩවන අතරම අපේ මිතුරෙකු කීවේ මේ ටිකය.
“අන්න උඹලාට කෙළ වෙන්නයි යන්නේ.”
ඒ වදන් තුළ කවදාවත් මුදල් ගෙවා අපෙන් සේවයක් ලබා නොගත් ඒ මිතුරාගේ අපේක්ෂාවද ලියැවී ඇති අයුරු දැක දැකත් මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.
“ඇයි මොකක්ද ප්‍රශ්නේ ?”
“අලූතින් එෆ් එම් කියලා රේඩියෝ චැනල් වගයක් එනවා. රෙකෝඩ් බාර් ඔක්කොම වැහෙන්නයි යන්නේ. මාත් ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් එක ඇහුවා….. අම්මපා ! බුදු කොලිටියක්නේ තියෙන්නේ.” ඔහු කීවාක් මෙන්ම ඉන් වසරකට හෝ දෙකකට පසු අපි අපේ ඕඩියෝ කඩය වසා දැමුවෙමු.

එහෙත් හෝඩි පොතෙන් අප හමුවට ආ සාමලා අමරලා මෙන්ම ඕඩියෝ කඩේදී අපට හමු වූ බීතෝවාන්ලා, මොසාට්ලාත් තවමත් අප හැර ගොස් නැත.

කතා කරන්නෝ

මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේ 74 වන පිටුවේ මෙසේ දැක්වේ.
කතා කරන්නෝ නොදනිති
දන්නෝ කතා නොකරති
එසේ වූ පසේ බුදු කෙනෙකි ඔබ
සිතමි මම…..
වඩා හොඳ කොන්ටිටියද ? කොලිටිය ද ?
කොන්ටිටියට වඩා කොලිටිය ගැන සැලකිලිමත් විය යතු බව අපි නිතර දෙවේලේ අසමු. එස් ඩබ්ලිව් හෙවත් කෙටි තරංග වලට වඩා මධ්‍යම තරංග කොලිටියෙන් වැඩිය. මධ්‍යම තරංග වලට වඩා එෆ් එම් තරංග කොලිටියෙන් වැඩිය. එහෙත් අප සැලකිලිමත් විය යුත්තේ තරංගයේ කොලිටිය ගැන විතරද ? අන්තර්ගතය කොලිටි නැත්තම් තරංගය කොතරම් කොලිටි වුවද ඉන් ඇති ඵලය කිම ? එකල අප ඇසූ කෙටි සහ මධ්‍යම තරංග ගුවන්විදුලි සේවාවන් වලින් අප ලත් දැනුම සහ අවබෝධය වැඩිය. නොහොත් කොන්ටිටිය වැඩිය. එකී කොන්ටිටිය වැඩි නිසාම ඒවායේ කොලිටිය හොඳය. අද අපි කතාකරන ශබ්දයේ කොලිටිය වනාහි සවන් පත් උද්දීපනය කරන හෙ~හි ස්වභාවය හා බැඳුනකි. අන්තර්ගතය හා සම්බන්ධ දෙයක් නොවේ. කොන්ටිටියද කොලිටි විය යුතු බව අපට සිතෙන්නේ ඒ අනුවය. එසේ වීමට කතාවේ කොන්ටිටිය අඩු කළ යුතුය. ශ්‍රාවකයාට “හිතන්නට” ඇති අවකාශය නොහොත් අන්තර්ගතයේ කොන්ටිටිය වැඩි කළ යුතුය.

සිංහලයේ ඉසියුම්ම කවියා
මහගම සේකර හෙල කව් කෙත අස්වැද්දූ ඉසියුම්ම කවියා බව අවිවාදිතය. ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහයේම මේ කව මදක් කියවා බලන්න.
කොවුලෙකු අඬනු ඇසුයෙන්
ඒ දෙස බැළුවෙමි මම්
කිමෙක්ද මා දුටුවේ ?
අලූයම් අහසෙහි පරවුන සඳ පමණය

Aus News Lanka

Aus News Lanka ඇරඹූ අවධියෙහිම එහි නිර්මාතෘ චන්දිම ජයනෙත්ති මහතා දිනක් අපට කතා කළේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කරන්නට යන සේවාව ගැන විස්තරයක් අප හමුවේ තබන්නට ය. ඔහු විසින් ආරම්භ කරන්නට සැලසුම් කළේ ඉන් පෙර බොහෝ අය විසින් ආරම්භ කරනු ලැබ තිබූ මුත් නිසියාකාරව සංවිධානාත්මකව ඉදිරියට නොගිය සේවාවකි. කෙසේ හෝ පසුගිය වසර කිහිපය තුළ ප්‍රසංග වේදිකාව හා සම්බන්ධ සියලූ කටයුතු කරගන්නට සියලූ දෙනාටම ළඟා විය හැකි සේවයක් ස්ථාපනය කරන්නට ඔහුට හැකිවිය. ඔහුගේ උත්සාහය සහ මහන්සිය අපි දැක්කෙමු. එමෙන්ම වින්දෙමු.

මුහුද හරි ලොකුයි
එදිරිවීර සරත්චන්ද්‍රයන්ගේ ප්‍රමුඛ නාට්‍ය හතරකටම වේෂ නිරූපණය, අංග රචනය, කලා අධ්‍යක්ෂණය යන අංශවලින් දායකත්වය ලබාදුන් අයෙකි, පද්මකුමාර් එදිරිවීර මහතා. දිනක් ඔහු සමග කතාබහක නිරත වන අතර සරත්චන්ද්‍රයන් ගැන හරි අපූරු සිදුවීමක් මතක් කළේය. ඒ මෙසේ ය.
“දවසක් ගාල්ලේ මානමේ නාට්‍ය පෙන්නන්න අපි බස් එකේ යනවා. ගල්කිස්ස පහුවෙන කොට සරත්චන්ද්‍ර මහත්තයා, “සති අන්තේ ගල්කිස්සේ මුහුදේ නාන්න යන්න ආසයි” කියලා කිව්වා.
ඒ එතුමා කාලයක් ගල්කිස්සේ හිටපු නිසා වෙන්නැති. ඒ අතර අපේ කණ්ඩායමේ හිටපු කෙනෙක් “සර්, ගිල්කිස්සේ මූදු වෙරළේ සති අන්තෙට හරි සෙනඟ” කියලා උත්තර දුන්නා.
ටිකක් කල්පනා කරපු සරත්චන්ද්‍ර මහත්තයා “හරි….. සෙනඟ ඉන්නේ මූදු වෙරළෙනේ….. අපිට මූදේ නාන්න ඕන තරම් ඉඩ තියනවානේ…..” කියලා උත්තර දුන්නා.”

මෙල්බර්න් නුවරින් බිහිවන නවතම සඟරාවට අපේ සුභ පැතුම්
මෙල්බර්න් නුවරින් බිහිවන අලූත්ම ශ්‍රී ලාංකික ප්‍රජා සඟරාව Aus News Lanka ය. මෙම සඟරාව වටා පෙළ ගැසී සිටියේ අපේ මිතුරු චන්දිම, සහන් සහ රුවන් ඇතුළු තරුණ පිරිසකි. ඔවුන් දැන හඳුනා ගන්නට පසුගියදා අපිදු අවස්ථාව ලදිමු. සාර්ථක, දිගු ගමනක් යන්නට තරම් ඔවුන් ශක්තිමත් බවද අපි දනිමු. ඔවුන් සියලූ දෙනාට අපි අපේ උණුසුම් සුබ පැතුම් පුද කර සිටිමු.

විජයට හා විල්ෆ්‍රඩ්ටත් අපේ සුභපැතුම්
වික්ටෝරියානු රජයේ බහුසංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කළ Victoria’s Multi Cultural Awards for Excellence – 2015 සම්මාන උළෙලේදී සිහනද පුවත්පතේ ප්‍රධාන සංස්කාරක විල්ෆ්‍රඩ් සිරිවර්ධන සහ මාධ්‍යවේදී විජය වික්‍රම කරුණාසේන යන මහත්වරුන් විශිෂ්ඨත්වයේ සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ. මෙහිදී වික්ටෝරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව උදෙසා ඉටු කළ සමාජ මෙහෙවර අගැයීමට ලක්ව තිබුණි. ඔවුන් දෙදෙනාටත් වළාකුළු බැම්ම මත හිඳ අපි අපේ උණුසුම් ආචාරය පුද කර සිටිමු.
ඈත දිළෙන තනි තරුව ඔබයි
2010 ජනවාරි 21 වෙනිදා දිවයින පුවත් පතේ රෝහණ වංශතිලක මෙබඳු සටහනක් තබා තිඛෙනු දුටුවෙමි.
“මහගමසේකරයන් වර්තමානයේ පවා අපේ හදවත් තුළ නිදන්ගත ව ඇත්තේ, ඔහු පොදු ජනතාව අතර ජීවත් වූ නිසාය. මේ කවියා යුගයේ අවශ්‍යතාව හඳුනාගෙන සිටි අතර කවිය සර්වකාලීන නිර්මාණයක් විය යුතු බව පිළිගත්තේය. ඈත අහසේ දීප්තියෙන් බැබළෙන තාරකාවක ආලෝකය පොළවට පතිත වන විට එම තාරකාව මියගොස් බොහෝ කලක් ගතවිය හැකිය. මහගමසේකරයන්ගේ වටිනාකම වඩ වඩාත් දැනෙනු ඇත්තේ, අදටත් වඩා හෙට දවසේ ය. විසිවැනි සියවසේ මෙරට (ශ්‍රී ලංකාවේ) බිහිවුණ විශිෂ්ටතම නිර්මාපකයෙකු සේ මහගමසේකරයන් හැඳින්විය හැකිය. ඔහු 1976 ජනවාරි 14 වැනි දින අප අතරින් සදහටම වෙන්විය.”

ජෝන් අය්යගේ පුතා
මහගම සේකර අධ්‍යක්ෂණය කළ “තුංමං හන්දිය” චිත්‍රපටයේ ඇතැම් දර්ශන රූ ගත කෙරුණේ ඔහු උපන් රදාවාන නම් ගමේදීය. ‘මහගමසේකර සහ සමාජ යථාර්තය’ නැමති පොතේ රදාවානේදි සිදුකළ රූපගත කිරීමකදී ගැමියෙකු දැක්වූ අදහසක් ගැන මෙබඳු සටහනකක් ඇත.
“අර කවුද ඉන්නේ……….”

“ජෝ අබේවික්‍රම” එකෙක් කීය.
“අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි” තවකෙකුගේ හඬ ඇසිණ.
“අර ඉන්නේ ජෝන් අය්යගේ පුතා” එකෙක් සේකර දෙසට ඇඟිල්ල දිගු කරමින් කීය.

ඉල්ලීමක්ද – අභියෝගයක් ද ?
මට දැනෙන, හැඟෙන, තේරෙන සහ හිතෙන හැටියට සම් මස් නහර ඇට ඇටමිඳුළු හිඳ එතුළ වැද සිටින්නට සේකරයන්ගේ “මා මළ පසු” තරම් හා සම කළ හැකි දුක් ගීයක් තවත් නැත.
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව 
නන්නාදුනනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව දුක් ගීයක් ගියනු මැනව
මහගම සේකර මේ ගීතයෙන් කරන්නේ ඉල්ලීමක් ද නැතහොත් අභියෝගයක්ද යන කාරණය ගැන මම බොහෝ කාලයක් තිස්සේ සිතමි. ඉල්ලීමක් නම් එය ඉටු කරන්නට මහගම සේකර නැවත ඉපදිය යුතුව ඇත. අභියෝගයක් නම් එම ගීතයම නැවත ලියනවා හැර වෙන කුමක් කරන්න ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *