Kadapatha Jan 0441

හිට්ලර් සොරාගත් රෝස හාවා

සඳුන් ප්‍රියංකර විතානගේ විසිනි

මා පරිවර්තන සාහිත්‍ය කෘතියක් කියවන්නට යොමු වන්නේ හිතවත් කියවන මිතුරන්ගෙන් බොහෝ රෙකමදාරු ලැබුණු පසුව ය. මෑත කාලීනව ලාංකේය පරිවර්තන සාහිත්‍ය ප්‍රමාණාත්මකව පොහොසත් වුවත් යම් පමණකින් ගුණාත්මකව දුප්පත්ව ඇති බවට වන මගේ පෞද්ගලික විශ්වාසය එයට හේතුව යි. කෙසේ වෙතත් මිතුරකුගේ නිර්දේශය මත දැනට මෙල්බර්න් නුවර වාසය කරන ප්‍රියංකා කහවණුගොඩ ලේඛිකාව විසින් කරන ලද පරිවර්තනයක් කියවන්නට ගත්තෙමි. ප්‍රියංකා එනිඩ් බ්ලයිටන්ගේ නව යොවුන් සාහිත්‍ය කෘති කිහිපයක් සහ වෙනත් පරිවර්තන ගණනාවක්ම කර ඇති ප්‍රවීණ ලේඛිකාවකි. මෙම කෘතිය නම් කර ඇත්තේ “හිට්ලර් සොරා ගත් රෝස හාවා” නමිනි. මුල් කෘතිය When Hitler Stole Pink Rabbit නම් වේ. Judith Kerr මුල් කෘතියේ රචකාවියයි. 1923 උපන් ඇය අනූ විය සපුරා තවමත් ලන්ඩන් නුවර දිවි ගෙවන්නීය.

මිහිමත සිදුවුණු මනුෂ්‍යත්වයට එරෙහි දරුණුම අපරාධය ලෙස ගිණිය හැකි දෙවැනි මහා ලෝක යුද්ධයේ දී සිදු වූ යුදෙව් ජන සංහාරය අද පවා තෙත් හදැති දනන් නෙත් කඳුළු නංවයි. මිලියන 6ක් පමණ යුදෙව්වන් පණ පිටින් ගෑස් කාමර වෙත යවා මරා දමන්නට යෙදුණු මේ නාසි භීෂණය පිළිබඳව ලොව විවිධ නිර්මාණ ප්‍රවර්ගයන්ගෙන් නිර්මාණ බිහි වී ඇත. නවකතා, කෙටිකතා, සිනමාපට, සිතුවම්, ගීත ඈ නේක නිමැවුම් ය. පමණෙක් ඒවා ලෝක කලා ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයන් ය. බෲනෝ ආපිට්ස් නම් ලේඛකයාගේ “වෘකයන් අතර නග්නව” එලී වියෙසල් ගේ “රාත්‍රිය”, මෝර්ටන් රේ ගේ “රැල්ල” වැනි නවකතාවත්, ෂින්ඩ්ලර්ස් ලිස්ට්, The Boy in the Striped Pajamas වැනි සිනමාපටත් වහා සිහියට නැගෙයි.

මේවා නිර්මාණ ලෝකයේ සුවිසෙස් තැන් අත්කර ගනියි. බලවත් යුද්ධ තත්වයන් කිහිපයකට මුහුණ දුන්න ද අප ශ්‍රී ලංකාවේ ඊට සාපේක්ෂව කලා නිර්මාණ බිහි වූයේ අල්ප වශයෙනි. දෙවන ලෝක යුධ භීෂණය ගැන වූ නිර්මාණ නම් නොගිණිය හැකි තරම් ය.
ඒ අතර අප අද කතා කරන මේ කෘතිය යම් වෙනස් ලකුණක් සටහන් කරන බව එය කියවාගෙන යෑමේදී පෙනී ගියේ ය. උක්ත විෂය සම්බන්ධයෙන් සිදුකළ බහුතරයක් නිර්මාණ යුද්ධය සහ නාසි භීෂණය ඍජුව වස්තු විෂය කරගත් ඒවා ය. එම කෘතීන් අප තුළ නාසින් කෙරෙහිත් යුද්ධෝත්පාදනය කෙරෙහිත් කෝපයක් සහ යුද්ධයෙන් පරිපීඩිතයන් කෙරෙහි වන අනුකම්පාවත් නොවක්ව ජනිත කරන්නේ වෙයි. එසේ නමුදු මෙම “හිට්ලර් සොරාගත් රෝස හාවා” නම් කෘතිය එයින් මඳක් වෙනස් ය. ඍජුව යුධ තත්වය හෝ ඝාතන ගැන කතා නොකරයි. යුධ පෙරමුණු ගැන නොකියයි. හිට්ලර් වෙත පවා චෝදනා නොකරන මෙය කෙසේවත් යුද දිනපොතක් නම් නොවන බව කිව යුතුය.

කතා සාරය
මෙහි කතා තේමාව හිට්ලර් බලයට පත්වීමට පෙර – අනාගතයේ අඳුර කෙරෙහි සංවේදී වන යුදෙව් ජාතික පුවත්පත් කලාවේදියෙකු ජර්මනියෙන් පළා යාම හා බැඳී තිඛෙයි. මස්තකප්‍රාප්ත වන අවසානයක් නැති කෘතියක් වන මෙය කුඩා දැරියක වන ඇනාගේ බැල්මෙන් ලියැව ඇත. මේ න‍මාසඑය ණැරර ලියන ලද ඇයගේ ම කතාවයි. ඇනා යනුවෙන් කෘතිය තුළ පෙනී සිටින්නී ඇයයි. කතාවේ ආරම්භය 1933 ජර්මනියේ පැවති මැතිවරණය සමගින් සිදුවෙයි. ඍජුව පාලක රෙජිමය විවේචනය කරන මාධ්‍යවේදියෙක් වෙන ඇනාගේ පියා තම නව හැවිරිදි ඇනා දැරියත් ඇගේ වැඩුමල් සොයුරු මැක්ස් සහ බිරිඳ සමගින් මැතිවරණ ප්‍රතිඵලයට පෙර ස්විට්සර්ලන්තය වෙත පළා යයි. ආදරය පිරුණු නිවසක නිවසන ලද ඔවුන්ට ලාබ හෝටල්හි කල් ගෙවන්නටත් ආර්ථීක දුෂ්කරතා විඳ දරාගන්නටත් සිදුවෙයි. අතිශය අපහසුවෙන් විදෙස් භාෂා හදාරන්නට සිදුවෙයි. ඔවුන්ගේ මාමා ලෙස හැඳින්වෙන ජුලියස් වැනි සාම්ප්‍රදායික සිතන්නන් කිසිදා වර්ග සංහාරයක් බලාපොරොත්තු නොවෙන අතර ඉක්මනින් තත්ත්වය යථාවත් වෙතැයි බලාපොරොත්තු තැබුවද සිදුවන්නේ ඔවුන්ට ද බියකරු අඳුරු මරණය වෙත ළඟා වන්නට සිදු වීමයි. සංක්‍රමණික කුරුල්ලන් මෙන් විවිධ තැන්වලට ගෙවෙමින් ගෙවෙන දිවිය විටෙක හාස්‍යයද විටෙක කරුණා රසය ද විටෙක කම්පාව ද ජනිත කරමින් ගලා ගොස් කේන්ද්‍රීය අවසානයකින් තොරව නිම වෙයි. හදිසි අර්බුදයන්ට මුහුණ දෙන පවුලක් ඊට මුහුණ දෙන නිර්භය ආකාරයත්, පැන නැගෙන ගැටළු හමුවෙහි ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරත් ඉතා මැනවින් අපට මෙහි දී දකිත හැකිය.
හිට්ලර්ගේ කටයුතු සහ නාසින් කෙරෙහි පැතිරවූ භීෂණය මෙහි ඍජුව සඳහන් නොකෙරෙන අතර, මේ විෂය පිළිබඳව වන නිර්මාණයක් කියැවීමේ දී මුව සිනා නැංවූ එක ම නිර්මාණය ද මෙය බව සඳහන් කරනු වටියි.
“මේ තියන්නේ අර මනුස්සයාගෙ තව පිංතූරයක්” එලිසඛෙත් කීවා ය. “ඊයේ මගෙ පොඩිම නංගි මෙයාගෙ පිංතූරයක් දැකල හිතල තියෙන්නෙ චාලි චැප්ලින් කියල.”
ඇනා දෑස් ලොකු කර මුහුණ ඇද කරගෙන විමතිය පෑවා ය. ඉක්බිති ඇය කීවේ, “උඩු රැවුල නොවෙන්න නං ඇබිත්තක්වත් චාලි චැප්ලින් වගේ නෑ” කියා ය.
ඔවුහු පින්තූරයට යටින් සඳහන් කර තිබූ නම හයියෙන් කියවූහ.
ඇඩොල්ප් හිට්ලර්
“එයා කියන්නෙ හැමෝම එයාට ඡන්දෙ දෙන්ඩ කියල. ඊට පස්සෙ එයා යුදෙව්වන්ව නැති කරනවලු.”  කීවේ එලිසඛෙත් ය. “ඔයා හිතනව ද එයාට රිචල් ලොවෙන්ස්ටින්වත් මරන්ඩ පුළුවන් කියල?”
“කාටවත් රිචල් ලොවෙන්ස්ටින් මරන්ඩ බෑ” ඇනා සහතික වුණා ය. “එයා පංති නායකයා. බාගදා මේ මනුස්සයා මාව නං මරයි. මමත් යුදෙව්වෙක් හින්දා.”
“නෑ, ඔයා එහෙම නෑ.”
“මං එහෙම තමා…. පහුණු සතියෙ අපෙ තාත්තා අපිත් එක්ක ඒක ගැන කතා කෙරුවා. එයා අපේ අයියටයි මටයි කීවෙ මොනවා වුණත් අපි යුදෙව්වො කියන එක කවදාවත් අමතක කරන්ඩ එපා කියලයි.”
“ඒත් සෙනසුරාදාට රිචඩ් ලොවෙන්ස්ටීන් වගේ ඔයා කවදාවත් පල්ලි යන්නෙ නෑනෙ.”
“ඒ ඉතිං අපි ඒ හැටි ආගම පැත්තට බර නැති හිංදනෙ. අපි කොහොමටවත් පල්ලි යන්ඩ සතුටු නැහැ.”
“අනේ අපේ තාත්තත් ඔය තරමට ආගම පැත්තට බර නොවුණ නම් කොච්චර හොඳයි ද” එලිසඛෙත් අකම්පාල වුණා ය. “හැම ඉරිද ම අපි පල්ලි යන්ඩ ඕන, ඒ මදිවට පස්ස පැත් රිදෙනකල් පල්ලියේ ඉඳගෙන ඉන්ඩත් වෙලා” ඉක්බිතිව ඇය ඇනා දෙස බැලුවේ කුතුහලයෙනි. “මම හිතන් උන්නෙ යුදෙව්වන්ට වක් ගැහුණු නහයක් තියෙනව කියල. ඒත් ඔයාගෙ නහය හරි ම සාමාන්‍යයි. ඔයාගෙ අයියගෙ නහය වකගැහිල ද?”
“නෑ.” ඇනා කීවා ය. “අපේ ගෙදර වක ගැහුණු නහයක් තියෙන එක ම එක්කෙනා ගෙදර වැඩට එන බර්තා විතරයි. එයාටත් එහෙම වෙලා තියෙන්නෙ දවසක් ට්‍රෑම් එකකින් වැටිල නාහෙ කැඩුණ හිංදයි.”
එලිසඛෙත් දිගින් දිගට ම වද වුණා ය. “එහෙනම් ඉතිං” ඇයි කියවන්නී ය. “ඔයාලගෙ පෙනුමත් අනිත් හැමෝම වගේ නම්, සෙනසුරාදට තියෙන ඔයාලගෙ විශේෂ පල්ලියට යන්නෙත් නැත්නම්, කොහොම ද හරියට ම කියන්නෙ ඔයා යුදෙව්වෙක් කියල?”
මේ ඉපිටුම හරහා කෘතිය ගැන යම් අදහසක් කුලූගැන්වෙනු ඇත. මේ කෘතියේ සඳහන් ජර්මනිය හැරදා පළා යන ප්‍රගතිශිලී මාධ්‍යවේදියාගේ පවුලේ කුඩාවුන් මුහුණ දෙන්නේ අතිශය දුෂ්කර අද්දැකීම්වලට ය. එනමුත් ඔවුන් දිවියට පෙම් බඳිමින් දිවියට මුහුණ දෙති. ඔවුන් ජීවිකාව සරි කරගන්නේ දුෂ්කරවය. විවිධ භාෂාවන් ඉගෙනගන්නට සිදුවෙයි.
මේ පරිවර්තනය සිත්ගන්නාසුලූ ලෙස නිමවන්නට පරිවර්තිකාව සමත්ව ඇත. ඇය සිංහලය මනරම් අයුරින් යොදාගන්නී ය. උපුටාගෙන දැක්විය හැකි රසවත් තැන් රැසක් මෙහි ඇත ද දීර්ඝ උපුටනයන්ට නොයන්නේ ලිපියේ ඉඩ පාඩු සලකාගෙන ය. එදිනෙදා දිවිය ගැන අල්ප දැනුමක් ඇති මෙහි එන මාධ්‍යවේදියා තම බිරිඳ වෙනුවෙන් මිලට ගන්නා මහන මැෂිම ගැන එන අවස්ථාව අතිශය සජීවි සහ සිනහ නඟන අයුරින් මෙහි එයි. “නලංගු වෙනවා”, “එකල මෙකල වෙනවා” වැනි වචන නොබියව යොදන ඇය එවන් වදන් වලින් තම කෘතියට ආලෝකයක් ලබා ගන්නීය. මෙයට පෙර අප පරිවර්තිකාවගේ පරිවර්තන කෘතිවලින් බොහොමයක් පාහේ නව යොවුන් විය පිළිබඳව වූ ඒවා බව පෙනේ. මෙම කෘතිය සාර්ථක බව කිය යුතු ය.
අක්ෂර වින්‍යාස සහ වෙනත් භාෂා දෝෂ ගැන නම් සෑහීමකට පත් විය නොහැකිය. මන්දයත් එවැනි පහසුවෙන් නිරවුල් කළ හැකි දේවල් නොකිරීමෙන් කෘතියට සිදුවන්නේ අගතියකි. ලංකාවේ එවැනි තත්වයක් ඇත. රචකයින් පරිවර්තකයින් ඉඳුරා ම භාෂාවේ වියරණය ගැන දැන නොගැනීම සාමාන්‍ය තත්වයකි. එය වරදක් ද නොවේ. එහෙත් පළපුරුදු භාෂා සංස්කාරකවරයෙක්ගේ උදව් ලබා නොගැනීම නම් වරදකි. අනෙක් අතට මා අත පත් පිටු ඇමුණුමේ දී බලවත් අවුලකට පත් කර තිබුණි. බොහෝ පිටු මාරු වී තිබීම නිසා පොත කියවන්නට ගිය මම බලවත් අමාරුවක වැටුණෙමි. මෙවැනි තාක්ෂණික දෝෂ නිරවුල් කර ගැනීමට උත්සුක වීම හොඳ දෙයක් ලෙස සටහන් කළ යුතු ය.
ජන ඝාතක යුද්ධයන්හි නිරර්ථකභාවයත් අමානුෂිකභාවයත් කියැවෙන නිර්මාණ ලොව නොඑක් භාෂාවන්ට පරිවර්තනය වීම අතිශය ප්‍රගතිශීලී කටයුත්තක් බව කිව යුතු ය. මිනිස් චින්ත සන්තානයන් මෘදු මොළොක්බවට පමුණුවන්නට එවැනි කෘතීන් ක්ෂුද්‍ර හෝ බලපෑමක් කරනු ඇත. ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, අන්තවාදයෙන් කිළිටි වී ඇති මේ ලොව තෙවැනි ලෝක යුද්ධයකට පසුව නැවත ගල් යුගයට යනු ඇත. එනයින් බලන කල ද ප්‍රියංකා කහවණුගොඩ ලේඛිකාවගේ මේ වෑයම පැසසුම් කටයුතු ය. කැඩපතේ අපි ඇයට සුබ පැතුම් ගෙන එන්නෙමු.

Photo by DP Design Hub

Design by Saamart

Leave a Reply

Your email address will not be published. Required fields are marked *