revolutionist by saamantha tennege

ග්ලෝබ් මිත්‍ර සමාජය – ලොවෙන් එකෙක්

කපිල කුමාර කාලිංග විසිනි

එය හැත්තෑවේ දශකයේ මැද භාගයයි.

රැකියා හා ආහාර ද්‍රව්‍ය හිඟය රටපුරාම වසංගතයක් සේ පැතිර තිබුණි. ජීවිතය ගොඩනගා ගනු පිණිස දිවයිනේ නන් දෙසින් කොළඹට ඇදී ආ තරුණ පිරිස් තැන් තැන්වල ලැගුම් ගෙන, බලාපොරොත්තු දැල්වුණු දෑසින් අනාගතය දෙස බලා සිටියහ.
එසේ පැමිණි බොහෝ දෙනෙකුට හරි හමං රැකියා නොලැබුණි. ඔව්හු මොන මොනවා හෝ කරමින් දවසේ වියදම සොයා ගත්හ. මග දෙපස කුඩා හෝටල්වල වීදුරු අල්මාරි හිස්ව ගොසිනි. වියලී ගිය බතල හෝ මයියොක්කා කැබලි කීපයක් සහිත තසිම් මිස වෙන කෑම වර්ග නොතිබූ තරම්ය. සහල් ඇතුලු ආහාර ද්‍රව්‍ය කීපයකටම සීමා පැනවී තිබුණි. ඇඟලූම් කර්මාන්තය ද නොතිබුණෙන්, කමිසයක් කලිසමක් මසා ගැනීම ද විශාල ප්‍රශ්නයක් විය.

එහෙයින් එය වැහැරුණු මිනිසුන්ගෙන් වෙසඟනන්ගෙන්, දුගී මගී යාචකාදීන්ගෙන් අගනුවර පිරී ගිය මහා මූසල, කාලකණ්ණි, දුක්ඛිත සමයක්ම විය. පිකාසෝ වැනි චිත්‍ර ශිල්පීන්ගේ කලා දිවියේ ඇතැම් යුග, විවිධ වර්ණ නාමයන්ගෙන් හැඳින්වූවාක් මෙන් මා කියන මේ 70 දශකයේ මුල් භාගය ද කහ පැහැති යුගයක් සේ නම් කළ හැකිය.

මේ අවධියේ පුවත්පත් කලාවේදීන්, නාට්‍ය කරුවන්, ලේඛකයින්, නළුවන් හා සංගිතඥයින් වනු පිනිස කොළඹට ආ පිරිසක් ද වූ අතර ඔවුන් නිතර මුණ ගැසෙන ස්ථාන කිහිපයක් ද විය. නාට්‍ය පුහුණුවීම් කෙරුණු “සුදර්ශිය” ඉන් එකකි.

මරදානේ සුප්‍රකට එල්ෆින්ස්ටන් රඟහලට යාබදව වම් පසින් පිහිටි ඩේවිඩ් මාවතේ දෙකෙළවර මුද්‍රණාල දෙකක් පිහිටා තිබුණි. එහි පහළ කෙළවර වූයේ “අයි පී බී සෝමේ” නමින් කලා කෙෂත්‍රයේ පතල වූ සෝමපාල හේවාකපුගේ සහ ඔහු සොහොයුරාගේ “අයි පී බී” මුද්‍රණාලයයි. ඉහළ කෙළවරේ වූයේ මල්ලිකා තිලකරත්න නමැති ධනවත් ගුණවත් කාන්තාව සතු වූ “ග්ලෝබ්” මුද්‍රණාලයයි.
අයි පී බි මුද්‍රණාලය නාට්‍ය පෝස්ටර් මුද්‍රණයෙහි නම් දැරූ හෙයින් රටේ ප්‍රකට නාට්‍යකරුවන් හා නළුවන් නිතර එහි ගැවසෙනු දක්නට ලැබුණි. සෝමපාල ද ව්‍යාපාරිකයෙකුට වඩා කලා ලොවේ හිතවතෙකු වීම ඊට තවත් හේතුවක් විය.

ග්ලෝබ් මුද්‍රණාලයට ද නිතර එන යන තරුණ පිරිසක් විය. ඔවුහු කලා ලොවට පාර සොයමින් සිටින්නෝ වූහ.

පසු කලෙක චිත්‍රපට විචාරකයෙකු ලෙස නමක් දිනාගත් පත්‍ර කලාවේ දී ගුණසිරි සිල්වා එකල ග්ලෝබ් මුද්‍රණාලයේ අක‍ෂර සංයෝජකයෙකි. ඔහුට වැටුප් ලැබුණේ වැඩ කරන ප්‍රමාණයටය. ඒ අතරම ගුණසිරි “සකුරා” නමින් කලා පුවත්පතක් ද සංස්කරණය කළේය. ප්‍රසන්න විතානගේ නමැති යෞවනයෙක් ද එකල “සකුරා” පුවත්පතට ලිපි ලියාගෙන ගුණසිරි සොයා එහි ආවේය.
රනිල් ඇල්විටිගල, පී එල් ආරියපාල, ජයන්ත කළුපහන, අනුර හෑගොඩ, වී එන් නිහිෂාන්, බර්ටි කුඩාහෙට්ටි, ගුණරත්න වික්‍රමගේ වැනි අය ද ග්ලෝබ් මිත්‍ර සමාගමයෙහි සාමාජිකයෝ වූහ.

කොළඹ නවාතැන් ගන්නට පෙර, ගුවන්විදුලි නාට්‍ය පිටපත් රැගෙන මසකට වරක් දෙවරක් නුවර සිට දුම්රියෙන් එව මට ද මරදානෙන් බැස “ග්ලෝබ්” මුද්‍රණාලය වෙත යන්නේ මිත්‍ර සේවනයෙහි යෙදීමටය. ගුවන් විදුලියට ලිවීම මගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී තිබූ හෙයින් මගේ මිතුරෝ මට “අක‍ෂර වෙළෙන්දා” යයි නම් තැබූහ.

“ග්ලෝබ්” අධිපතිනිය වූ මල්ලිකා තිලකරත්න මහත්මියගේ පුත් කෝසල ද අප වයසේම තරුණයෙක් විය. එසේම ඔහු කලා රසිකයෙකු ද වූ හෙයින් ග්ලෝබ් හි ඉදිරිපස කුටියේ රස්තියාදුවන තරුණ කැළ හා ප්‍රසන්න වූ ද, සුහද වූ ද ඇසුරක් ගෙන ගියේය. මත්පැන් පානය ආදී “විනෝද කටයුතු” ස‍ඳහා අපට ප්‍රමාණවත් මුදල් හදල් නොතිබුණ ද, කාගෙ කාගෙ හෝ දායකත්වයෙන් එයද අඩුවක් පාඩුවක් නැතිව සිදුවුණි. කෝසල ද අපගේ එක් අනුග්‍රාහකයෙකි.

“ග්ලෝබ්” හි ඉදිරිපස තිබූ ඇඳි පුටුව අප නම්කර තිබුණේ, “අලස” පුටුව යනුවෙනි. එහි හිඳ සිටින එකෙකු නැගිටින විට තවකෙකු හිඳ ගනී. තේ විවේකයේ දී ගුණසිරි පැමිණ පාරෙන් අනෙක් පස ඇති දුම්රිය දෙපාර්තමේන්තු කැන්ටිමට අප කැඳවාගෙන යයි. හකුරු පෙත්තක් සමග කහට කෝප්පයක් පානය කරන අතරේ නොයෙකුත් කතා බස් ද, කවටකම් ද කෙරෙයි.

මේ කාලයේ, අගනුවරට නුදුරු කුඩා නගරයක සිට අප කලින් නොදැන සිටි තරුණයෙක් ගුණසිරි හමුවන්නට පැමිණියේය. අපි ඔහුට “මැක්සි” යැයි කියමු. මිටි තරුණයෙකු වූ මැක්සිට තියුණු දෑසක් ද, ජේ ආර් ගේ නාසයෙන් බාගයක් ද තිබුණි. ඔහු දැඩි මාක්ස්වාදියෙකු බව මුල් කතා බහෙන්ම වැටහුණෙන්, වාමාංශික උණෙන් පෙළුනු අප මිත්‍ර සමාජය ඔහුටද ඉතා ඉක්මණින්නම අලස පුටුව භාවිතයට ඉඩ දුනි.

“ග්ලෝබ්” මිතුරන්ගෙන් වැඩි දෙනෙකුටම ස්ථීර රැකියා නොතිබුණ ද ඔව්හු නිකමෝ නොවුණහ. හැම කෙනෙකුටම කීයක් හෝ හොයා ගැනීම සඳහා කුමක් හෝ රාජකාරියක් තිබුණි. එහෙත් “මැක්සි” නිකමුන්ගේත් නිකමෙකි. ඔහු ශ්‍රී ලාංකීය විප්ලවයෙන් පසු රැකියාවක් කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියෙකු සේය.

සෑම දෙයක්ම මාක්ස්වාදී න්‍යායන්ගෙන් විග්‍රහ කළ “මැක්සි” කිසිදු වැඩක නොයෙදුණත් “ග්ලෝබ්හි” යාවජීව සාමාජිකයෙකු වී දිනපතාම එහි එන්නට පටන් ගත්තේය. දුම්රිය ගාස්තු හා ආහාරපාන අසරණ ගුණසිරිගෙනි. ඉදහිට දිනක ගුණසිරි ඔහුට සුළු වැඩක් පවරයි.

“මැක්සි මේ පෝර්ම ටික නවල දෙනව ද?”

“මට බෑ මං මොකට ද නිකං වැඩ කරන්නෙ.”

තමන්ගේ දෛනික වියදම සපයාදෙන මිතුරාගේ ඉල්ලීම ඔහු ප්‍රතිකෙෂ්ප කරන්නේ එය ශ්‍රමය සූරාකෑමක් ලෙස සළකමිනි. (සමහරවිට එය මැක්සි තුළ වූ අභිමානයක් නිසා විය හැක) මාසෙ අන්තිමට මැක්සිට ගුණසිරිගෙන් වැඩි මුදලක් අවශ්‍ය වෙයි.

“මං කොළඹ එන්නේ රස්සාවක් කරනව කියලනෙ. කොච්චියෙ යාළුවො සෙට් වෙනකොට මාත් ගාණක් දාන්ඩ එපායැ.” මැක්සි එසේ කියන්නේ එය ගුණසිරි නමැති ඇපකාර පියාගෙන් ඉටුවිය යුතු දෙයක් ලෙස සළකමිනි.

කලකට පසු “ග්ලෝබ්” හා අයි පී බී මුද්‍රණාල ද වැසී ගියේය. මිත්‍ර සමාජය ද විසිරුණි. අද ඔවුන් හැම දෙනාම වාගේ තම තමන්ගේ කෙෂ්ත්‍රයන්හී ප්‍රවීණයෝය.

“මැක්සි” සුළු රැකියාවන් කීපයක යෙදුණු බැව් අපට වරින්වර ආරංචි වුණි. කෙසේ වෙතත් කාලයා විසින් ඔහු අපගෙන් දුරස් කරනු ලැබීය.

මෑතක දී මා සේවය කළ පුවත්පත් ආයතනයට පැමිණි වියපත් පෙනුමින් යුත් මිටි පුද්ගලයෙක් මගේ මේසය අසල නතර වී ඇඳුරුම් සිනාවක් පෑවේය. සැණෙකින් මම ඔහු හඳුනා ගතිමි. ඔව් ඒ මැක්සිය.

“මේක මං කරපු පොතක්. පත්තරේ පොත්පත් තීරුවෙ පොඩි කෑල්ලක් දාල දෙනව ද?”

මැක්සි කුඩා පොත් පිංචක් දෑතින්ම මට පිරිනැමුවේය.

එය බෝධි පූජා හා වන්දනා ගාථා පොතකි.

වැඩි කතාවකට ඉඩ නොතබාම නික්ම යන මැක්සි දෙස මා බලා සිටියේ සසල වූ සිතිනි.

Illustration by Saamantha Tennege

Leave a Reply

Your email address will not be published. Required fields are marked *