සංස්කාරක සටහන – පෙබරවාරි 2016

අප බුද්ධිමතුන් වන්නේ යට ගිය මතක අනුස්මරණය කිරීමෙන් නොව අනාගතය පිළිබඳව අපට ඇති වගකීම තේරුම් ගැනීමෙනි.
– ජෝර්ජ් බර්නාඩ් ෂෝ

එක්තරා විහිළු කතාවකට අනුව නොයේක් රටවලින් අපායට පැමිණෙන අය සඳහා වෙන් වූ වලවල් තිබේ. මේ වලවල් ආරක්ෂා කිරීමට යමපල්ලන් මුරට සිටියද අපේ රටෙන් පැමිණි අයට අයත් වලේ කිසිම යමපල්ලෙක් මුරට සිට නැත. ඊට හේතුව වී ඇත්තේ කිසියම් කෙනෙක් වලෙන් ගොඩට ඒමට යත්න දරන්නේ නම් වලේ සිටින අන් හැම එකතු වී ඔහුව නැවතත් ඒ වලටම ඇද ගැනීමය. මෙම කතාව අසා අපි සිනාසෙමු. එහෙත් අපි මේ සිනාසෙන්නේ අපටම නොවේ ද ?
අප උපන් ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර හැට අටක් ගෙවී යන මේ අවස්ථාවේ අපි ඉහත කතාවේ ඇතුළාන්තය ගැන මදක් සිත යොමු කරන්නට සිතුවෙමු. වසර හැට අටක් යනු එක් අතකින් දීර්ඝ කාලයකි. රටකට නම් කිහිපවරක් දියුණුවේ හිනි පෙත්තටම නැගීමට ඒ කාලය ප්‍රමාණවත්ය. අනෙක් අතින් එය ඉතා කෙටි කාලයකි. මක්නිසාද යත් අපේ රටවල් හදන්නට එන අයට අවුරුදු හැට හැත්තෑව පිරුණද කළ සේවයෙන් සෑහීමට පත් වූ බවක් පෙනෙන්නට නැති වීමය.
ඊළඟට අපට වැදගත් වන්නේ දියුණුව යනු කුමක්ද යන කාරණය තේරුම් ගැනීමය. නවීන සහ ක්‍රමවත් මංමාවත්, මල්වතු, කෙත්වතු, කම්හල් යනාදිය ඉදිවේ නම් එවැනි තැනක බාහිර දියුණුවක් ඇත. විනීතව මංමාවත් වල ගමන් කිරීමට, රිය පැදවීමට, ගහ කොළ සතා සීපාවා, කෙත්වතු, මල්වතු, කම්හල් ආරක්ෂා කරගැනීමට, අන්‍ය ජාතීන්ට, ආගමිකයන්ට ගරු කළ හැකි තැනක ඇත්තේ අභ්‍යන්තර දියුණුව ය.
නමුත් නිදහස ලැබී ගතවුනු හැට අට වසර තුළ අපට බාහිරවත්, අභ්‍යන්තරවත් ලබා ඇති දියුණුව ගැන සතුටු විය හැකි ද ? පසුගිය හැට අට වසර පුරාවටම ලංකාවේ සිටියත්, ලංකාවෙන් පිට සිටියත් අපායේ යමපල්ලාගේ රාජකාරියෙන් එහාට යමක් කර ඇත්නම් ඒ අපේ අයගෙන් ඉතාම අතලොස්සක් නොවේ ද ? දැන්වත් අපි අපේ වගකීම් නිවැරදිව තේරුම් ගත යුතු නොවෙමු ද ?
මෙතෙක් කලක් අප කර ඇත්තේ අපේම වැරදි හදාගැනීම පසෙක ලා අන් අයගේ වැරදි හොය හොයා ළතවෙන්නටත්, වැඩක් කරන අයෙකු වේ නම් උගේ කකුලෙන් ඇදීමටත් කාලය මිඩංගු කිරීම නොවේ ද ?

මහා ජලාශයක් වුවද පිරී ඇත්තේ පුංචි පුංචි ජල බිඳු රාශියක එකතුවෙනි. තනි තනිව ගත් කළ අප මහා ජලාශ බවට පත් විය යුතුම නොවේ. එකම එක පිරිසිදු එක් දිය බිඳක් වන්නට හැකිනම් එය අපට මේ මහා ජලාශයට කළ හැකි උසස්ම සේවය නොවේ ද ? එය ඔබේත්, මගේත් වගකීමකි. වගකීම් ඉටුකරන තැන පෙරළා යම් දෙයක් අපි දායාද වශයෙන් ද ලබමු. ඒ නිදහසයි. ඇඟට පතට නැතත් හිතට දැනෙන නිදහස ද ගෙන එන්නේ අපමණ සතුටකි – එමෙන්ම ආශ්වාදයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *