kadapatha-wawa rauma

වැව රවුම – පෙබරවාරි 2016

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

මසුරං හා ඔවදන්

මසුරං යනු වටිනා දෙයකි. සිංහල භාෂාවේ ඔවදන්, මසුරං හා සමාන කර යෙදුනු තැන් බොහෝය.
ජීවිතය සංකීර්ණය. ජීවත් වීම පහසු නැත. ජීවිතය සුමටද නැත. ඒ අතර අපට ලැඛෙන ඔවදන් නිසාවෙන් ජීවිත යම්තාක් දුරකට හෝ සුමට කර ගත හැකිය. බොහෝ විට නොමිලේ ලැබුණද, ඇස් කන් හැර බැලු විට ඔවදන් තුළ සැඟව ඇති අති සියුම් කලාව වැටෙහෙන්නට පටන් ගනී. ඒ සමඟම අවිද්‍යාවත්, මෝහාන්ධකාරයත් පහව යන බව වියත් මතයකි. සැබවින්ම, ඔවදන් මසුරං හා සමානද ? නැතිනම් ඊටත් වඩා අගනේ ද ?

Where your eyes go, your body follows

ටෙනිස්, ගොල්ෆ්, නර්ථන මෙන්ම යෝග ගුරුවරුන්ගේ මුවඟෙහි නිතර රැඳුනු වදන් පෙළකි, “Where your eyes go, your body follows” යන්න. එසේ වුවද බොහෝ ගුරුවරු පවසන්නේ තම සිසුන්ට මේ ගැන කෙතරම් කීවද එය බිහිරි අලීන්ට වීණා වාදනය කිරීමක් හා සමාන බවය. යම් හෙයකින් මේ උපදේසය තුළ සැඟව ඇති අපූරු තාක්ෂණය ග්‍රහණය කර ගැනීමට හැකියාවක් ඇත්ද, ඔහුට හෝ ඇයට තම සිතැ`ගි පරිදි අපූරු ඉරියව් පවත්වාගෙන යා හැකි බවට එකී ගුරුවරු පෙන්වා දෙති.

උජුංකායං පනිදාය පරිමුඛං සතිං උපට්ඨ පෙත්වා

ආනාපානා සති භාවනාව පුහුණුවන්නට ලැඛෙන මූලික උපදේශයන් අතරින් එකකි, මේ. ඇතැම් අය මේ පාඨය ඉතා කෙටියෙන් “කොන්ද කෙළින් තියාගෙන සිහිය පෙරටු කරගැනීම” යනුවෙන් හඳුන්වා දෙති. මේ පාඨය ගැන අටුවාවේ දැක්වෙන විස්තර හාරා ඇවිස්සීම අපගේ අරමුණ නොවන්නේ ය. සූත්‍ර පාඨයට අනුව කොන්ද කෙළින් තබා ගැනීමට යාමෙන් සිහිය පෙරටු කර ගන්නට අපහසුතාවයක් ඇති විය හැකි කරුණක් පෙන්වා දීමට අදාල මීළඟ සටහනට නිමිත්තකි, මේ.

Relax your Shoulders

කය සැහැල්ලූ කරගැනීමට කොඳු නාරටිය කෙළින් තබා ගැනීමේදී නොදැනීම උරහිස් තද වේ. ඒ, අප කොන්ඳ ඔසවා ගැනීමට උරහිස් උපකාරී කර ගන්නා නිසාය. මා මිත්‍ර විසි පස් හැවිරිදි කැනේඩියානු ජාතික ෆ්‍රෑන්ක් නිතරම කියන්නේ Relax your Shoulders කියාය. ඔහුට අනුව එසේ නොකළොත් නාසය අග සිහිය පිහිටුවා ගත නොහැකිය. මක්නිසාද යත්, එවිට කොන්ද කෙළින් තබා ගනු වස් අපටත් නොදැනීම උරහිසට සිහිය යොමු කළ යුතු නිසාවෙනි.

පුද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කිරීම

වසර 2007 එක්තරා දිනක මා ලියූ ලිපියක් ප්‍රවීණ ලේඛක ටියුඩර් අමරසේන මහතාට කියවන්නට දුනිමි. ලිපිය කියවා ඔහු අපට දුන්නේ මෙබඳු උපදෙසකි.
“සාමන්ත, හැම වෙලේම ලිපියක් ලියනකොට පුද්ගලික අත්දැකීමක් වුනත් පොදු කාරණාවක් බවට පත් කරන්න බලන්න. තමන් ගැනම කියන්න යන්න එපා. තමන්ගේ අත්දැකීම වුනත් පාඨකයාගේ අත්දැකීමක් බවට පත්කරන්න උත්සාහ ගන්න.”
එදින ඔහුට කියවන්නට දුන් ලිපිය ගැන මට දැන් මතක නැත. එහෙත් ඔහු දුන් උපදෙස තවමත් මතකය.

අත්තුක්කංසනය හා පරවම්භනය

අත්තුක්කංසනය යනු තමන් හුවා දැක්වීමය. පරවම්භනය යනු අනුන් හෙළා දැකීමය. මේ කරුණු දෙක බොහෝ මිනිසුන්ගේ දුර්වලතාවක් ලෙස බුදුසමය දක්වයි. කිසිවිටෙකත් බුදුහිමියෝ තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය කියා පා එමගින් අන්‍යයන් නොතකා හැරීම හෝ නිග්‍රහ කිරීම නොකළහ. මෙම උතුම් ගුණය නිහතමානී බවේ ප්‍රධාන ලක්ෂණයකි. නිහතමානී මනුෂ්‍යා නිහඬය. කෑ මොර දී තමාගේ වතගොත කියාපාන්නේ ද නැත.

කුඩා නදී සහ මහා නදී

කිසියම් බුද්ධ දේශනාවක මෙබඳු කරුණක් දක්වා තිබුණු බව මට මතකය. එනම් කුඩා දිය පහරවල් ශබ්ද නඟමින් ගලා යන්නේ යම් සේද, බොල් මිනිස්සු තමාගේ පුරසාරම කියා පාති. ගැඹුරු ගංගා නිහඬව ගලා යන්නේ යම් සේද, බහුශ්‍රැතයෝ කෑ කෝ ගසමින් තමන්ගේ තරාතිරම ප්‍රකාශ නොකරති.

ධර්මය තුළින් ලබන ජීවිතාබෝධය හා අත්දැකීම් තුළින් ලබන ධර්මාවබෝධය

මහනුවර ශාන්ත සිල්වෙස්තරයේ නව වන ශ්‍රේණියේ අප සිංහල භාෂාව සහ සාහිත්‍ය උගත්තේ රාජපක්ෂ ගුරු මාතාවගෙනි. ඇය ප්‍රංශ මහා ලේඛක වික්ටර් හියුගෝ රචිත “ද බ්ලේ මිසරාබ්ලේ” නවකතාවේ සිංහලානුවාදය වූ “මනුතාපය” අපට ඉගැන්වූයේ මානව හැඟී- ම් වලත්, සිතිවිලිවලත් සංකීර්ණතා, දුබලතා මෙන්ම ප්‍රබලතාද මොනවට පැහැදිලි කරමිනි. ලොව කවර දිග්බාගයක වුවද, අදත් අපි එකී මානුෂික ගුණාංගයන්ගේ ප්‍රතිඵලත්, අතුරු ප්‍රතිඵලත් අත්දකිමු.

සද්ධර්මරත්නාවලියේ නාගසේන කතා වස්තුව ඇය අප ඉදිරියේ දිග හැරියේ ජීවන අත්දැකීම් ඔස්සේ ධර්මය ඉස්මතු කරගන්නා පිළිවෙළට ය. සාහිත්‍ය කෘතියක් බිහිකරන ලේඛකයෙකු යනු අන්තර්ඥානය කෙතරම් දියුණු කළ යුතු අයෙකුද යන්න එතුමියගෙන් උගත්, අදටත් අප මතකයේ රැඳුනු අවිධිමත් පාඩමකි.

“ලියන” ආරච්චි සහ “නලියන” ආරච්චි

නොලියා ලියන්නට උගත නොහැකිය. ලියූ පමණින් ලියන්නෙකුද විය නොහැකිය. අපේ පංතියේ සිටි මා මිතුරු ලියනාරච්චි ලියනවාට වඩා කළේ දැඟලීම ය. දිනක් රාජපක්ෂ ගුරුතුමිය ලියනාරච්චිගේ හැසිරීම මෙසේ අර්ථදැක්වූවා ය.
“ඔයා ලියනාරච්චි නෙමෙයි…. නලියනාරච්චි”

It takes time

ඕනෑම දෙයක් ස්ථාපිත වන්නට කාලයක් ගතවිය යුතුය. අපි ඒ බැව් දනිමු. එහෙත් ප්‍රායෝගිකව එකරුණ පිළිගැනීමට තරම් ඉවසිලිවන්ත නොවෙමු. අද කඩයක් විවෘත කරන්නේ හෙට සිට ලාබ ගන්නට ය. අද පොතක් එළි දක්වන්නේ හෙටම සිට දනන් තුඩ තුඩ රැව් දෙන්නට ය. සම්මාන ගන්නටය. එහෙත් එය සිදුනොවන විට ලියනාරච්චිලා පවා නලියනආරච්චිලා වන්නා හ. වික්ටර් හියු- ගෝලා, ධර්මසේන හාමුදුරුවෝ, ලියනාරච්චිලා සහ නලියනාරච්චිලා ගැන අපට කියාදුන් රාජපක්ෂ ගුරු මාතාව ලියා පළ කළ එකදු පොතකුදු නැත. එහෙත් ඇය මට පොතකි. නිකම්ම පොතක් නොව විශ්වකෝෂයකි.

දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

කලකට පෙර අප දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමකගෙන් අපගේ ආදර ගෞරවයට පාත්‍ර වූ කලණ මිතුරෙකු අරභයා පැතිරගිය අභූත චෝදනාවක් ගැන හිතේ හටගත් විස්සෝපය නිසාම විමසා සිටියෙමි. උන්වහන්සේ එදින අපට මෙසේ පිළිතුරු දුන්හ.
“සාමන්ත මහත්තයා, මේ වගේ වෙලාවට අපි කරන්න ඕන අලගියවැන්න මුකවැටි තුමා ලියපු සුභාෂිතයේ 47 වෙනි කවිය කියවලා ඒ වගේ චෝදනා කරන අයට ස්තූතිවන්ත වීම. මොනවා නැතත් ඒ අය අපටත්, අපේ මිතුරන්ටත් නොසැලී ඉන්න හැටි තේරුම් ගන්න අවශය කරුණු කාරණා සකස් කරලා දෙනවානේ.”

අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ
අනත වෙහෙස ලදුවත් නො ම වෙති දුහද
දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ
සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

“ඉමිහිරි සුවඳින් යුතු සඳුන් කඳ කපන විටත්, කුඩු කරන විටත් එක සේ සුවඳ පතුරුවන්නේ යම්සේද, අප්‍රමාණ ගුණයෙන් හා නුවණින් යුත් සුප්‍රසිද්ධ උතුමෝ කෙළවරක් නැති හිරිහැර වලට මුහුණ පෑවද, නපුරු හිතක් ඇති කර නොගනිති.”

ස්වයංවාරණය

පසුගිය ජනවාරි 20 වෙනිදින ලංකාවේ ජාතික පුවත්පත් දෙකකම මුල් පිටුවේ වූයේ යකඩ හුලක් ඇණී හදිසි අනතුරකට ලක්ව රෝහල් ගත කළ අයෙකුගේ ඡායාරූපයකිනි. අනූව දශකයේ අගභාගයේ දූෂණය කර මරා දැමුණු කාන්තාවකගේ සිරුර මුල් පිටේ පළ කරමින් ලංකාවේ එක්තරා ජාතික පුවත්පතක් මිය ගිය කාන්තාව තවත් වතාවක් දූෂණය කළේ ය. එහෙත් මහමග මියගිය ජනාධිපතිවරයෙකුගේ ඡායාරූපයක් අදටත් සොයා ගත නොහැකිය. පොලිසියේ සහ දේශපාලකයන්ගේ සදාචාරය ගැන කතා කරන අප, අප කළ දේට වඩා නොකළ යුතු දේ ගැන දහස්වාරයක් සිතා තවත් එක්වාරයක් සිතිය යුතු නොවේ ද ? හදිසි අනතුරකට ලක්වන දුප්පත් අහිංසකයෙකුටත්, රටේ ජනාධිපතිවරයෙකුටත් එකසේ උරුම දෙයක් ඇත. ඒ, ආත්ම ගරුත්වය යි.

ස්වයං නිවාරණය

ජනවාරි 20 වෙනිදාම සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වූ වැදගත්ම ප්‍රවෘත්තිය වූයේ ගායක කීර්ති පැස්කුවෙල් විසින් කරන්නට යෙදුනු උතුම් කටයුත්තකි. ඒ මරණාසන්නව ලෙඩ ඇදේ වැටී සිටි යුවතියකගේ ප්‍රියතම ගීතය ඇය අසලට ගොස් ගායනා කිරීමය. 22 වෙනි දා වෙනතුරු ලංකාවේ ජාතික ජනමාධ්‍ය ඒ ගැන කතා කර තිඛෙනු නොදිටිමි. ඔහු විසින් කරන්නට යෙදුනු සද්කාර්යයට වැව් බැම්ම මත සිට අපි අපේ ආචාරය පුද කරමු. එහෙත්….. (මීළඟ සටහන් දෙක කියවන්න)

යටි අරමුණු

ඉහත කෙටි සටහන් දෙක හරහා අප කියන්නට යත්න දැරුවේ උසස් යැයි සම්මත ජනමාධ්‍යට වඩා පහත් යැයි සැලකෙන සමාජ ජාලා මාධ්‍ය උසස් බව නොවේ. ඊට හේතුව සමාජ ජාලා මාධ්‍ය හරහා ගායක කීර්ති පැස්කුවල් ප්‍රසංසාවට ලක් කරන අතරම තවත් දෙයක් කර තිබුණි. ඒ, අනෙකුත් කලාකරුවන් හෙලා දකින්නට කීර්තිගේ සද්ක්‍රියාව පාවිච්චි කිරීමය. අතලොස්සක් මුත් බුද්ධිමතුන්ගේ නිග්‍රහයට භාජනය වන්නේ එකී යටි අරමුණු ය.

මතුපිට සහ අමුතු පොට

අසරණ හෝ රෝගියෙකු අයෙකුට අප පිහිට විය යුත්තේ ඇයි ? වචනයකින් හෝ ඔවුන්ගේ සිත් සතුටු කරන්නට උත්සාහ කළ යුත්තේ ඇයි ? සෙල්ෆියක් හෝ ඒ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් තම ප්‍රචාරාත්මක ව්‍යාපෘතියක් ලෙස උපයෝගී කරගන්නද ? නැතිනම් ලෙඩවීම, වයසට යාම, මරණය අපටත් උරුම බව වටහාගත් තවත් මිනිසෙකු හැටියට ද ? අද අප ජීවත් වන්නේ අපේ අනුදැනුමකින් තොරව සියල්ල පටිගත වන වටපිටාවක ය. යහපත් යැයි අපට සිතෙන දේ තුළ සැඟව පවත්නා අයහපත තේරුම් ගැනීමට පවා අපහසු වටපිටාවක ය. කීර්ති පැස්කුවෙල්ගේ සද්ක්‍රියාව හුදෙක් මනුෂ්‍යත්වයේ නාමයෙන් වූ බව සිතන්නට අප කැමතිය. ඔහුගේ සද්ක්‍රියාව වීඩියෝ කිරීම කෙසේ වෙතත් ඊට ප්‍රචාරය ලබා දීමෙන් කීර්තිටත්, අසරණ කාන්තාවකටත් යහපතක් වූ බව කෙසේ නම් අපි පිළිගනිමු ද ?

ලෙඩා බැලීම සහ ලෙඩා බැලීම නැරඹීම

අනූව දශකයේ තරුණ තරුණියන් අතර ජනප්‍රිය ගායකයෙක් වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අසාධ්‍ය තත්ත්වයෙන් පසුගියදා රෝහල් ගත කෙරුණි. ඒ අතර නළු රන්ජන් රාමණායක ප්‍රින්ස්ගේ සුවදුක් සොයා බැලීමට ගිය ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ සමාජ ජාල ඔස්සේ සැරිසරනු දුටිමි. ඒ අවස්ථාවේදී ප්‍රවිණ නළු රංජන් රාමනායක මුදල් නෝට්ටු කිහිපයක් සහ තමන්ගේ කාඩ්පතක් ගායක ප්‍රින්ස් උදය අත තැබුවේ අවශ්‍ය වුනොත් නැවත ඔහු අමතන ලෙස ඉල්ලීමක්ද කරමිනි.

වම, දකුණ සහ බයිබලය

“……. නමුත් ඔබ අසරණයෙකුට යමක් පරිත්‍යාග කරන විට, ඔබේ දකුණතින් කරන දෙය වමතට දැන ගැනීමට ඉඩ නොතබන්න.”
මතෙව් 6ඃ3

නූතන කොසොල් සිහින 1

“ස්වාමීනී, මම චිත්‍රපටියක් නැරඹීමට ගියෙමි. චිත්‍රපටියේ නළුවන්ට කර හැකිව තිබුණු එකම දේ කතා කිරීමය. කිරීමට බැරිව තිබුණේ රඟපෑමය. හදිසියේම චිත්‍රපටිය නැරඹීමට පැමිණි සිටි ප්‍රේක්ෂකයෝ රඟපාන්නට පටන් ගත්තෝ ය. නළුවෝ විශ්මව තිරයට මුවා වී ප්‍රේක්ෂකයෝ දෙස බලා උන්හ.”

නූතන කොසොල් සිහින 2

“ස්වාමීනී, මම අසාධ්‍ය කායික රෝගියෙක් බැලීමට රෝහලට ගියෙමි. රෝගියා පරික්ෂා කිරීමට පැමිණි වෛද්‍යවරයා ලෙඩා පසෙක සිටියදී මා පරීක්ෂාකිරීමට පටන්ගත්තේය. අවසානයේ පරීක්ෂණ ගණනාවක් සහ ඛෙහෙත් නියම කෙරිණි. මම වෛද්‍යවරයා නිර්දේශ කළ ඛෙහෙත් බිව්වෙමි. ඇඳ මත සිටි රෝගියා කට කොණින් සිනාසුනේ ය.”

තමන්ටම රැවටීම

බොහෝ උගත්තු ද නුවණැත්තෝ ද නොයේක් විට තමන්ට රැවටෙති. මන්දබුද්ධිකයක් ගේ තමන් ගැන රැවටීම කියනුම කිම ? තමා ගැන රැවටුණ තැනැත්තාහට අනුන්ට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නො වේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේ දීම නො වැටහේ. ඔහුගේ රැවටුම තේරුම් ගත් අන් නුවණැතියෙකු විසින් ඒ බව ඔහුට කියූවත් ඔහු එය නො පිළිගන්නේය. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ ද නපුරු වූ ද රැවටිල්ල තමා ගැනම රැවටීම බව කිව යුතු.
උපුටා ගැනීම – රේරුකානේ චන්දවිමල (වඤ්චක ධර්ම – 1 පිට)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *