Screen Shot 2016-03-13 at 9.34.18 PM

ඔපෙරාව, අඬහැරය සහ ගඩොල් බාගය

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)
ගේය පද යනු ගයනා කළ හැකි යන අරුත් දෙයි. ගායනා කරන්නේ ගීත ය. සිංහලයේ කව් සීපද ගායනා කළ හැකි ගණයටම වැටේ. එහෙත් සුලභව යෙදෙන කටවහරට අනුව නම් අපි “කවි කියනවා” කියාත් “ගී ගයනවා” කියාත් කියමු. එමෙන්ම සිංහලයේ “ගී කීම” ලෙසත්, “කවි ගායනා කිරීම” ලෙසත් යෙදෙන අවස්ථාද ඇත. නිසදැස් කාව්‍ය නොහොත් නිදහස් කාව්‍ය වැටෙන්නේද කවි ගොඩටම ය. එහෙත් ඒවා ගැයීමට අපහසු ය. කීමට පහසු ය.
කවි ගායනා කිරීමට සංගීතය අත්‍යාවශ්‍යයම නොවේ. නමුත් ගීතයක පසුබිමෙහි සංගීතය මුසුව ඇත. එහි අදහස සංගීතයෙන් තොරව ගීත ගැයීමට නොහැකි බව නොවේ. කාලය මාත්‍රාවන්ට ඛෙදා, වෙනස් වන නාද රටා ඊට මුසු කර නිමවාගත් ආකෘතිය තුළට ගේය පද මුසු කළ කල්හි අපට ලැඛෙන්නේ ගීත ය. මෙහි විලෝමයද සත්‍ය වන්නේ ය. එනම් ගේය පද තුළට නාද රටා මුසුකර කාල මාත්‍රාවන්ට අවනතව ගැයූ කල්හිද අපට ලැඛෙන්නේ ගීත ය.
ගේය පද තුළ ඇත්තේද අප එදිනෙදා අහන කියන වචනම ය. නමුත් එම වචන පෙළගස්වන පිළිවෙලත් උච්චාරණය කරන පිළිවෙළත් වෙනස් ය. එකී වෙනස නිසා අසන්නා තුළ කිසියම් භාවාත්මක හැඟීමක් උත්තේජනය වන්නේ ය. නොහොත් උද්දීපනය වන්නේ ය. නිදසුනක් ලෙස මයිකල් ජැක්සන් “Black or White” ගීතය ගායනා කරන විට අපි නටමු.“Heal the World” ගායනා කරන විට අපි අඬමු.
ගීත, සංගීතය උපයෝගී කරගත්තද, සංගීතය යනු ගීතම නොවේ. එය විශ්ව භාෂාවකි. එසේ වන්නේ කෙසේ ද ?
පාසලේදී ඉතා දුර්වල සිසුවෙකු වූ ඇල්බර්ට් අයින්ස්ටයින් වයලීනය වයන්නට ඉගෙන ගත්තේ වයස අවුරුදු පහේ පටන් ය. වයලීනය නොවන්නට මුල් කාලයේ තමාට පාසැල් ජීවිතයක් නොතිඛෙන්නට පවා ඉඩ තිබුණු බව ඔහු පසුකාලීනව කියා සිටියේ ය. විශ්වයේ රහස් ගණිතය නම් විශ්ව භාෂාවෙන් අර්ථදැක් වූ අයින්ස්ටයින් තමා ඛෙහෙවින් ප්‍රිය කළ මහා සංගීතඥ මොසාට් ගැන මෙසේ කීවේ ය.
“මොසාර්ට්ගේ සංගීතය ඉතා පිවිතුරුය. එමෙන්ම සුන්දර ය. මා එය දකින්නේ විශ්වයේ අභ්‍යන්තර සුන්දරත්වය විදහා පෙන්වන පිළිඹිබුවක් ලෙසිනි.”
ජීවිතයේ ඉතා අමිහිරි හෝ අසහනකාරී අවස්ථාවන්හිදී අයින්ස්ටයින්ගේ පිහිටට සිටියේ ගණිතය නොව සංගීතය බව බොහෝ දෙනාට රහසකි. ඔහු මෙසේද කීවේ ය.
“මගේ ජීවිතයේ මා ලැබූ උසස්ම වින්දනන් මා වෙත ගෙන ආවේ මගේ වයලීනය බව මම දනිමි.”
කවි, ගීත හා සංගීතය ගැන කතා කළේ මට වැරදුණු අවස්ථා දෙකක් ගැන කියන්නට මුල පුරන්නට ය. නව වන ශ්‍රේණියේ උගෙනුම ලබන කාලයේ පාසලේ සාහිත්‍ය සංගමයේ රැස්වීමට අපේ පංතිය නියෝජනය කරමින් ගීතයක් ගායනා කරන්නට මට සිදු විය. ඒ සඳහා මා තෝරා ගත්තේ ඒ දිනවල රූපවාහිනියේ විකාශනයට නියමිතව තිබුණු හින්දි චිත්‍රපටි ගීතයකි. එකල රූපවාහිනියේ චිත්‍රපටයක් ප්‍රචාරය වීමට පෙර සති ගණනාවක් ඒ ගැන පූර්ව දැන්වීම් කෙරේ. පූර්ව දැන්වීමකදී ඇසුනු ඒ ගීත කණ්ඩය කවර හෝ හේතුවක් නිසා මගේ සිත තදින්ම බැද ගත්තේ ය. චිත්‍රපටය විකාශනය වන දා රූපවාහිනිය අසලට වී ඉතා ඉක්මණින් මම ඒ ගීතයේ වචන සිංහලෙන් ලියාගතිමි. එම ගීතයට කොතරම් කැමැත්තක් තිබුණාද කියනවා නම් වරක් දෙවරක් කියවූ සැනින් ලියාගත් පද පෙළත්, තනුවත් සිතෙහි ධාරණය විය. එම දින කිහිපය තුළ බාහිර කිසිම දෙයකට මගේ සිතේ ඉඩක් නොතිබුණි. මා ජීවත් වුනේ එම හින්දි ගීතයත්, එහි තනුවත් තුළය. ගීතය ගායනා කළ පසු, සිසුන්, ගුරුවරු ඇතුළු සියළු දෙනා මාගේ ගායනය ගැන කතා කරන අයුරු මම නින්දෙන් පවා දුටුවෙමි. මා දුටු දවල් සිහින ගැන අන් කවර කථා ද ?
කෙසේ හෝ සාහිත්‍ය උත්සවය ඇරඹිණ. මා තෝරාගත් ගීතය ගායනා කර වේදිකාවෙන් බැස එන විට වේදිකාවේ සිටි ගුරුවරු ඔවුනොවුන්ගේ මුහුණු බලාගත් හ. අපේ පංති භාර සිංහල ගුරුතුමිය වූ රාජපක්ෂ මහත්මිය වචනයකුදු නොදොඩා බිම බලාගත් වනම සිටියා ය. කිසිවෙක් අඩු තරමින් මා ගැයූ ගීතය “හොඳයි” කියාවත් කීවේද නැත. ඊට දින කිහිපයකට පසුව පැවති පංති සාහිත්‍ය රැස්වීමේදී මා ගායනා කළේ වික්ටර් රත්නායකගේ “දෙව්රම් වෙහෙරේ” ගීතය ය. එදා රාජපක්ෂ ගුරුතුමිය ඉතා කාරුණිකව මගෙන් මෙසේ ඇසුවා ය. “තැන්නගේ, ඇයි ඔය වගේ සිංදුවක් එදා කිව්වේ නැත්තේ ? එදා ඔයා කිව්වේ ඔයාටවත් තේරෙන්නේ නැති මොකක්ද එකක්……” ඉන්පසුව ඇය තවදුරටත් අවස්ථාවට අනුකූලව උචිත අනුචිත දේ තෝරා බේරා ගැනීමේ ඇති වැදගත්කමද අපට පැහැදිලි කර දුන්නා ය.
අයර්ලන්තයේ සිට ඕස්ට්‍රේලියාවේ වාසයට පැමිණි පැට්‍රිෂියා මගේ දිගුකාලීන මිතුරියකි. එක්තරා රූපවාහිනී වැඩසටහනක් නරඹන අතර ස්කොට්ලන්තය නිජබිම කරගත් බෑග්පයිප් (Bagpipe) නම් සංගීතය භාණ්ඩය වයනු දැක මම ඇයට මෙසේ කීවෙමි. “මේ තමයි මම මේ ලෝකයේ අහන්න අකමැතිම සංගීත භාණ්ඩය.” මා ඇයට එසේ පැවසීමේදී අනාදිමත් කාලයක පටන් අයර්ලන්ත සහ ස්කොට්ලන්ත වැසියන් අතර පවත්නා නොහොඳ නොක්කාඩුකම් ගැනද නොසිතුණාම නොවේ. ඇය තම ඉනෙහි අත්දෙක තබාගෙන දවා අලූ කරන බැල්මෙන් මොහොතක් ම’දෙස බලා සිට මෙසේ කීවා ය.
“සෑම්, මම හිතුවේ නැහැ උඹ ඔය තරම් පටු විදිහට හිතන කෙනෙක් කියලා. ඒක එයාලගේත්, යුරෝපයේ වෙනත් රටවලටත් පැතිරුණු ඇතැම් විට මඟුලකට මරණයකට පවා නැතිවම බැරි සංස්කෘතිකාංගයක්.” ඇය මට එල්ල කළේ අතුල් පහරකි. එදින නිවසට එන අතර මම ඇය කී කතාව ගැනත්, ශ්‍රී ලාංකික අපට ආවේණික සංස්කෘතිකාංග ගැනත් ගැඹුරින් සිතුවෙමි. එක්වරම මගේ සිතට ආවේ දළදා පෙරහැරය. ඉන්පසුව ඇසුණේ හේවිසි හඬ ය. ඊළඟට හොරණෑ හඬ ය. නැවතත් බෑග්පයිපයේ හඬ ඇසුණි. මට දැනෙන හැටියට ලංකාවේ හොරණෑවේ හඬට ළඟින්ම යන සංගීත භාණ්ඩයක් ලෝකයේ කොහේ හෝ ඇත්නම් ඒ ස්කොට්ලන්තයේ බෑග්පයිපයේ හඬ ය. කිසියම් කෙනෙකු තමන් මේ ලෝකයේ අසන්නට අකමැතිම සංගීත භාණ්ඩය හොරණෑව කියා කීවා නම්, මට දැනෙන හැඟීම කෙබඳු විය හැකිව තිබුණිද ?
මේ සියලූ කාරණා යළි මතකයට නැගී ආවේ ආසන්න සිදුවීම් දෙකක් නිසාවෙනි. පළවෙනි සිදුවීම නම් පසුගියදා සිරස රූපවාහිනියේ විකාශනය වූ ගීත වැඩසටහනකදී භාෂී මධුභාෂිනී නම් ආධුනික ගායිකාව ගැයූ “හන්තාන අඩවියේ” ගීතයට ලැබුණු ප්‍රතිචාර ය. ඒ නන්දා මාලිනිය ගැයූ ගීතය කි. මධුභාෂිනී එම ගායනාව කළේ බටහිර උරුවකිනි. ඇය ගායනා කළ අනෙක් ගීතද එබඳු ය. අප මෙහිදී වැඩිමනත්ම කතා කරන්නේ ඇයගේ ගායනාවේ හරි වැරුද්ද ගැන නොව විනිශ්චය මණ්ඩලයේ සහ අනෙකතුත් මාධ්‍ය හා ශ්‍රාවක ප්‍රතිචාර ගැන ය. ඇයගේ ගායනයට එරෙහිව ප්‍රතිචාර දැක් වූ ඇතැම් ප්‍රබුද්ධයෝ පවා ඇයව ආමන්ත්‍රණය කළ වචන පවා අනුමත කරන්නේ කෙසේ ද ? ඇය කළේ ප්‍රවීණයන්ගේ ගීත ආධුනික හඬින් ගායනා කරන වැඩසටහනකට සහභාගි වී සිය හැකියාව පෙන්නුම් කිරීම ය. ඇය එම ගීතය තමන්ගේම කරගෙන ඊට අලූත් මානයක් එකතු කිරීම දඩුකඳේ ගැසීමට තරම් වරදක්දැයි අපි නොදනිමු. එහෙත් විනිශ්චය මණ්ඩලයේ සිටි එක් අයෙක් “යුගයේ ගායිකාව” යනුවෙන් ප්‍රකාශ කළේ ය. ඒ ඇයගේ දන්නාකමට වඩා නුවණ මදකම නිසා බව නම් පැහැදිළි ය.
කතාකරන විට බස හැසිරවීමේ අපහසුතාවක් ඇති ගායකයෝ ගැන අපි දනිමු. එහෙත් ගීත ගායනා කරන විට ඔවුහු කිසිවෙකුට දෙවෙනි නොවෙති. ඒ අවස්ථාවන්හිදී ගායනය හා ගීතය ඔවුනට දෙකක් නොව එකකි. තමා යන හැඟීම පවා අමතක කර සමවදින ඒ නිමේශය ඔවුහු විඳිති. භාෂි මධුභාෂිනී කළේද එයම නොවේද ? ප්‍රේක්ෂකයෝ රසවිඳිය යුත්තේ ගායකයා ද, නැතිනම් ගීතය ද ? පෙර ඇසූ හෙයින් මතුවටත් එලෙසින්ම ඇසිය යුතු බවට සිතෙහි නොමැකිය හැකි ලෙසින් නිධන්ගතවන පූර්වාභිලාශය ද ?
මම වචන ඉක්මවා යන්නට කැමැත්තෙමි. උච්චාරණය කෙබඳු වුවද මට කම් නැත. මම අවස්ථාව විඳින්නටද කැමැත්තෙමි. සංගීතස්වරයන්ට මේ විශ්වයේ යා නොහැකි තැනැක් ඇත් ද ? මෙම සිද්ධිය, එනම් භාෂි මධුභාෂිනී සහ ඇයගේ විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවත් ඃ සිංහල සාහිත්‍ය රැස්වීමේදී හින්දි ගීතයක් ගැයූ මාත්, රාජපක්ෂ ගුරුමාතාවත් එකිනෙකාට සමපාත කර බැලීමට මම කැමැත්තෙමි. ඇයද මා මෙන්ම නොගැලපෙන තැනක (රටක) නොගැලපෙන දෙයක් කළා ද ? එහෙත් එක් දෙයක් මම දනිමි. සිංහල සාහිත්‍ය රැස්වීමකදී වුවද හින්දි ගීතයක් ගැයීමට පෙරත්, ගයනා කරන කල්හිත් මා වින්දේ අපමණ සතුටකි. මදුභාෂිනීද ඒ සතුට ඒ වනතෙක් විඳින්නට ඇත. ඒ ගැන සිතෙන විට කිසියම් උපේක්ෂා සහගත හැඟීමකින් ම’සිත වෙලී යයි. ඒ හැඟීම පැහැදිලි කිරීමට තරම් මගේ වාග් කෝෂය පොහොසත් නැත.
මෙම ලිපියට පාදක වූ ඊළඟ සිද්ධිය නම්, 68 වන නිදහස් උත්සවය දා කිෂානි ජයසිංහ නම් වූ ප්‍රවීණ ඔපෙරා ගායිකාව ගායනා කළ “දන්නෝ බුදුන්ගේ” ගීතය අරඹයා පැවති ආන්දෝලනයයි. කිසියම් සිද්ධියක් නිසා කතිකාවතක් ඇති වීම කවර අතින් ගත්තද සමාජයට යහපතකි. එහෙත් කතිකාවත වෙනුවට සංගීත ශිල්පීහු අපා, දෙපා, සීපා සතුන්ටත්, උන්ගේ හඬටත් උපමා කිරීම කෙතරම් ශෝචනීය ද ? මෙහි ඇති වඩාත්ම ඛේදවාචකය නම් වෘත්තීයවේදීන්ව සීපාවන්ටත්, උභයජීවීන්ටත් උපමා කරන අගමැතිවරයෙකුද ලංකාවේ සිටීම ය !
අපි අප කතා කරන භාෂාව ලෝකයේ ඇති සුන්දරම බසෙකැයි උදම් අනමු. සුද්දාගේ බස නොදියුණු බවද කියමු. අපි අදහන ආගම තරම් උතුම් ආගමක් නැති බවටද වහසි බස් දොඩමු. බස කෙතරම් සොදුරු වුවද ජනමාධ්‍යය, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු සහ පොදු ජනතාව දොඩන්නේ අමිහිරි අශෝබන සුනරුත් වදන් නම් සොඳුරු බසක් තිබීමෙන් ඇති ඵලය කිම ? ඉංග්‍රීසි භාෂාව කොතරම් දුර්වල නමුත් ඔවුහු ඒ බස ඇසුරු කරමින් හඬක්, සුවඳක්, රසයක් හා හැඟීමක් විස්තර කරන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිට නොවේ ද ? ඉවසීමත්, සංයමයත්, පිළිසඳරත් නැති තැන විශ්වයේ නිර්මලතම දහම ඇදහුවද ඉන් අපට සැලසෙන සෙත කුමක් ද ?
ජෝන් ද සිල්වා විසින් සිරිසඟ බෝ නාට්‍යට ලියූ දන්නෝ බුදුන්ගේ ගීතය මුලින්ම ගායනා කර ඇත්තේ ඩබ්ලිව් ඒ සිල්වා, ඩබ්ලිව් ඒ අප්පුසිංඤො සහ ඩබ්ලිව් ඩී ඇස් ජේමිස් යන අයවළුන්ය. එහි සංගීතය විශ්වනාත් ලවුජිගෙනි. ලවුජිගේ බොහෝ ගී තනු වලට ඉන්දියානු රාගධාරී ජන ගී ඇසුර ලැබී ඇති බවද කියවේ. ඇතැම් අය පවසන්නේ මෙය ජර්මනියේ රිචර්ඩ් වැග්නර්ගේ organ concerto එකකින් උපුටා ගත් ගීත ඛණ්ඩයක් බව ය.
එදිරිවීර සරත්චන්ද්‍ර මහතා එක් තැනක මෙසේ දක්වා ඇත. “දන්නෝ බුදුන්ගේ යන ගීය හියුබට් රජපක්ෂ මහතා (ජීවමානව හෝ තැටියකින්) ගයනා කරනවා අසා ඇත්තේ කීයෙන් කී දෙනාදැයි නොදනිමි. යුරෝපයේ පුහුණු කරගත් (ටෙනර් වර්ගයේ) කටහඬක් ඇති, ඔහු, එය ගයන්නේ මුලූමනින්ම බටහිර ශෛලයෙන් ය. මේ නිසා පහාඩි රාගයෙන් නිර්මාණය කරන ලද මෙම ගීයේ රසයට එයින් හානියක් පැමිණ නැතැයි කිව හැකි ද ?…..”
කෙසේ වුවද දැනට අපට ඇසීමට ඇති පැරණිම දන්නෝ බුදුන්ගේ ගීතය 1920 දී තැටි ගත කරන ලද හියුබට් රාජපක්ෂගේ ගීතය යි.

ඉන්දියානු රාගධාරී සංගීතය සහ බටහිර සංගීතය හා සැසඳූ කල ශ්‍රී ලාංකික සංගීතය කඳෝපැණියෙකි. තිත්ත මුත් ඒ කටුක සත්‍ය පිළි නොගෙන අපි කෙසේ නම් ඉදිරියට යමු ද ? දැන් අපි යාන්තමින් එහාට මෙහාට වෙනවාට ඇත්තටම අකමැති ඇත්තටම අපටම අයිතිව තිබූ දෙයකට ද ? දන්නෝ බුදුන්ගේ ගීතයට ඇති ජර්මන් සම්බන්ධය පසෙකට කළද පහාඩි රාගයෙන් එය මුදවා ගන්නට අපට හැකියාවක් ඇත් ද ? දළදා පෙරහැරට අයත් දේවාල දෙකකම කාවාඩි නටති. ඇත්තටම සිදුව ඇත්තේ දේවාල පෙරහැර වලට දළදා පෙරහැර එකතු වීම ය. අපි ඉතා කුඩා කල දළදා පෙරහැරේ ඛෙරයක් වයමින් ජපන් හිමිනමක් ගමන් කරනවා දැක නැත්තෙමු. පසුකාලීනව දැක්කෙමු. ජීවමාන සංස්කෘතියක ලක්ෂණය වන්නේ ලත් තැනම ලොප් වීම නොව දේවාල පෙරහැරට දළදා පෙරහැර එක් වූවාක් මෙන් කාලීනව යාවත්කාලීන වීම නොවේ ද ? අද මෙන්ම එදාත් පිටින් ආ යහපත් දේ විමසා නොබැලූවානම් අද අපට පාරම්බාන්නට බුද්ධාගමක්වත් කොයින් ද ?


ඔපෙරාවට ඔරවන අපි බොහෝ දෙනා සජීවීව අඬහැරය පානු අසා ඇත්දැයි සැක ය. මින් වසර විසිපහකට තිහකට පෙර වත්තේගම ප්‍රදේශයේදී අපට අසන්නට ලැබුණු අඬහැරය තවමත් අපේ හදේ නිදන්ව ඇත. අතීතයේ, කෙතේ අඬහැරය පෑවේ රටේ සංගීත විශාරදයෝ නොව සාමාන්‍ය ගොවියෝ ය. 1990 පමණ ජර්මනියෙන් බිහිවූ එනිග්මා (Enigma) සංගීත කණ්ඩායමේ ගීත පසුබිමෙන් අපේ අඬහැරයේ හඬ ඇසෙද්දී මම පුදුමයට පත්විමි. අපි උන්ගෙන් හොරා ගන්නා විට උනුත් අපෙන් හොරා ගත්තා ද ? අපේ නම් දරාපු විශාරදායෝ කරන්නේ ගීත ඛණ්ඩයක් දෙකක් සොරාගැනීම ය. එහෙත් උන් කරන්නේ අප ළඟ ඇති, අපට අගයක් නැති හොඳම වස්තුව සොරා ගැනීම ය. පසුගියදා නිමාවූ ඉන්දීය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟාවලියේදී විටින් විට නරඹන්නන්ගේ අවධානය දිනා ගැනීමට අපේ “පපරේ බෑන්ඩ්” කණ්ඩායම උපයෝගී කරගත් ආරම්භක සංගීත කණ්ඩය භාවිතා කෙරිණි. කිසිදු ඕස්ට්‍රේලියානුවෙකු ඊට එරෙහි ව නැගී සිටිය බවක් නොදුටුවෙමි.
කිසියම් දිනක යුරෝපයේ ඔපෙරා ශාලාවකට අපේ අඬහැරක් පැවොත් ලංකාවට ඇහෙන තරම් සද්දෙට සුද්දා අත්පොළසන් ගහනවා සත්ත ය. ඒ සුද්දාගේ හැටි ය. නිදහස් උත්සවයදා අපි අඬහැර ශෛලයෙන් ගීයක් කීවා යැයි සිතමු. ඒ ශිල්පියාට වෙන්නෙත් දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා ශෛලයෙන් ගායනා කළ කිෂානිට වෙන්ට තිබුණු දේමය. එනම් ගඩොල් බාගයකින් පහර කන්නට ය. ඒ අපේ හැටි ය.
අඬහැරයට කන් දුන් කල්හි අපට ඇසෙන්නේ වචන නොව දුක, දොම්නස, සතුට, සොම්නස, උපේක්ෂාව, ආදරය, කරුණාව ආදී මානව සංතානයේ තෙරපෙන, වැළපෙන, ඉපිලෙන සහ ලෙලදෙන මනෝ භාවයෝ ය. එදා අපේ අහිංසක ගොවියා කෙතේදී මී ගවයා අමතන්නේ “අප්පච්චි” හෝ “අම්බරුවෝ” හෝ “වහු දරැවෝ” කියා ය. මහා හඬකින් රැව් දෙන ගවයා අමතන එකී “අප්පච්චි” නම් වචනයට පෙර කී මනෝ භාවයන් එක්කර වා තළයට මුදාහැර හේ අපමණ සතුටක් ලබන්නට ඇත. අඬහැරයේ ඉහළ පහළ ගිය හැම ස්වරයකම තැවරී තිබුණේ අසන්නාගේ හද ඒ අනුව අනුනාද කරවන මනෝභාවයෝ ය. එදා අඬහැරය තුළ නිධන්ගත වූ මනුෂ්‍යයත්වය නොහොත් විශ්වීය ගායනය කෙතේ හුන් මී ගවයාටත් වැටහෙන්නට ඇත. ඒ විශ්ව භාෂාවක ස්වභාවය ය. අතීතයේ අපි සතා සීපාවා ඉදිරියේ පවා එයාකාරයෙන් සංද්වනි පැවැත් වූ ජාතියකි. අද සංද්වනියක හඬ ඇසෙන විට සතා සිව්පාවට මතු නොව මිනිසුන්ටත් ගඩොල්බාග එල්ල කරන්නට සැරසෙන ජාතියකි. ඒ නයින් ගත්කල දියුණු සමාජයක ජීවත් වන අපේ රසවිඳීමේ හැකියාව ගැන ලැජ්ජාවනවාට වඩා කළ හැක්කේ අන් කවරක් ද ?
සිංහලයාගේ ඔපෙරාව අඬහැරය බව අපි කියමු. එක් වතාවක් හෝ නෙත් පියාගෙන අඩහැරය විඳි අයෙකුට ඔපෙරා ගායිකාවක වෙත ගඩොල් භාගයක් තබා පුළුං ඇටයක්වත් විසි කළ හැකි ද ? මේ අප විඳවීමම, විඳීම කරගත් සංදර්භයෙන් නික්ම යෑමට කාලය නොවේ ද ?
කෙසේ වෙතත් කිෂානී ජයසිංහ නම් යුරෝපයේ සුපතළ ගායිකාවකගේ ගායනය වෙනුවෙන් දැන උගත් බොහෝ පිරිසක් පෙනී සිටියහ. ඔපෙරා ශෛලයෙන් ගායනා කිරීමෙන් එම ගීතයට හානියක් නොවූ බව ඔවුහු පෙන්වා දුන්හ. එය අපේ අමන්දානන්දයට හේතු වෙයි. කිෂානි වෙනුවෙන් කතාකළ අය අතර මධුෂානි නම් වූ ගායිකාව අපමණ ගර්භාවට ලක්කළ අයද වූහ. එය නම් අපේ මනාපයට හේතු නොවන්නේ ය.
නැවතත්, සිංහල සාහිත්‍ය රැස්වීමේදී හින්දි ගීතයක් ගායනා කළ එමෙන්ම ස්කොට්ලන්තයේ බෑග්පයිපයට අපහාස කළ මා ගැනම මම සිතමි. රාජපක්ෂ ගුරුමාතාව ගැනත්, පැට්‍රිෂියා ගැනත් සිතමි. ඔවුහු නොවන්නට මා වැරද්දක් කළ බව අදටත් මට නොදැනෙන්නට තිඛෙන ඉඩකඩ වැඩි ය.
දෙනෙත් පියාගෙන සංගීතයට ඇහුම් කන් දෙන විට අයින්ස්ටයින් පවසන පරිදි විශ්වයේ අභ්‍යන්තර සුන්දර රහස් එකිනෙක අප ඉදිරියේ දිගහැරෙන්නේය. ගණිතයෙන් විශ්වයේ රහස් සොයා ගිය ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ඥානය සංගීතය සමග අත්වැල් බැඳගෙන කෙතරම් අපූර්ව ලෙස සුසර වන්නට ඇත් ද ? ඔහු මෙසේද කීවේ ය.
“මම නිතරම සංගීතයෙන් සිතමි. මම දවල් සිහින දකින්නේද සංගීතයෙනි.”
සංගීතයෙන් හිතන්නත්, දකින්නත් හැකි බව පරම සත්‍යයකි. ලිපියේ මුලින්ම “සංගීතය විශ්ව භාෂාවක් වන්නේ කෙසේ ද ?” යනුවෙන් අපමැ විමසූ පැනය ගැන සාධාරණ විමසුමක් මෙහි අන්තර්ගත වන්නට ඇතැයි සිතමි.
සංස්කෘතිය එක් අතකින් පහනකි. අනෙක් අතින් විළංගුවකි. සංස්කෘතිය පහනක් කරගන්නෝ ඉන් එළිය දකිති. විළංගුවක් කර ගන්නේ දැඩි පුහු මානයක් ඇති කරගනිති. පුහුමානය ඇති තැන මමත්වය රජයයි. සංගීතය මෙන්ම ගණිතයද විශ්ව භාෂාවකි. අයින්ස්ටයින් එකී මමත්වය පහත ගණිතමය සූත්‍රයකින් (කියමනකින්) ඉතා අපූරුවට පැහැදිලි කරන්නේ ය.
“මමත්වය = 1 / දැනුම”
දැන් අපි මෙම සූත්‍රයට අගයන් ආදේශ කර බලමු. දැනුම බින්දුව හෝ ඊට ආසන්න අගයක් ගන්නා විට මමත්වය අනන්තය කරා යයි. වෙනත් වචන වලින් කියනවා නම් දැනුම අඩුවන්නට අඩුවන්නට මමත්වය වැඩිවීමත්, දැනුම වැඩිවන්නට වැඩිවන්නට මමත්වයේ අඩුවීමකුත් සිදුවේ.
අනෙක් අතට දැනුම යනු යමෙකු තමා අසා, කියවා, කටපාඩම් කළ ප්‍රමාණය නොව දත් දේ ප්‍රායෝජනයට ගන්නා පිළිවෙලය.
සිංහල සාහිත්‍ය රැස්විමේදී මා ගැයූ හින්දි ගීතයේ වචන තවමත් එලෙසම මගේ මතකයේ රැඳී තිබේ. ඒ නිසාම දිනක් ‘නවී’ නම් ඉන්දියානු මිතුරිය ඉදිරියේ මේසයකට තට්ටු කරමින් ඒ “හින්දි” ගීතය ගායනා කළෙමි. ඇය මගේ ගීතය සාවධානව අසා අවසානයේ මෙසේ කීවා ය.
“සෑම්…… ඔය වගේම අපේ හින්දි සිංදුවකුත් තියනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *