පරිසරයේ උෂ්ණත්වය සහ සතුන්ගේ ලිංගිකත්වය

මුනිදාස වංශපුර විසිනි (by Munidasa Wanshapura)

පුමුතිරි බව හා ලිංගිකත්වය අප ජන්මයෙන් දායාදකොට ගත්තද එය ආවේණිය මතම රඳා පවතින්නක් නොවේ. අපේ හැඩරුව සේම දේහ ක්‍රියාකාරිත්වයන් හා චර්යා රටාවන්ද ආවේණියේ මෙන්ම පරිසරයේද ප්‍රතිඵලවේ. සියලූ ශක්තීන් හා පදාර්ථයන් මෙන් මේ සියල්ලද කාලය හා පාරිසාරික විපර්යාසයන් මත වෙනස්වීම්වලට ලක්විය හැකිය.

උෂ්ණත්වයේ ඉහළයාමත් සමග මිනිසාගේ සරුබවේද, ලිංගිකත්වයට ඇති නැමියාවේද ඉහළයාමක් සිදුවන බව මැතකදී කරන ලද සමීක්ෂණ මගින් හෙළි වී තිබේ. එසේම වැඩිවන උණුසුමත් සමග සමහර සතුන්ගේ ලිංග විපර්යාසයන් සිදුවන බවද ඔබ ඇතැම්විට අසා තිඛෙනවා විය හැකිය. මේ අතර ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ගැහැණුන් පිරිමින් බවට පත්වන අවස්ථා මෙන්ම පිරිමින් ගැහැණුන් බවට පත්වන අවස්ථාවන් ගැනද අපට වරින් වර අසන්නට ලැබේ. ඒ සියල්ල ඉතා සංකීර්ණ ක්‍රියාවලි වුවත් ඒවා මේ අයුරින් සිදුවන්නේ කෙසේදැයි මදක් සරලව විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

දැඩි උණුසුමක් හා දිගු දහවල් කාලයක් සහිත ගිම්හානයේදී ලිංගික ක්‍රියාවන්ට මිනිසාගේ ඇති ප්‍රවනතාවය වැඩිවීමට එක හේතුවක් ලෙස විද්‍යාඥයින් දක්වන්නේ, විශේෂයෙන් සූර්ය රශ්මියේ පාරජම්බූල කිරණවල බලපෑම මත පුරුෂ මෙන්ම ස්ත්‍රී ප්‍රජනක හෝමෝනද වැඩියෙන් නිශ්පාදනය වීමයි. මෙම හෝමෝන ලිංගික උත්තේජන තීව්‍ර කරන අතර ඩිම්බ හා ශුක්‍රාණු නිශ්පාදනය වැඩිකරයි. මෙම තත්ත්වයන් මත සරුභාවයද වැඩිවේ.

තවද මෙහිදී මොළයේ නිපදවෙන ස්නායු සම්ප්‍රේශක රසායනික වන සෙරටොනින් හා ඩෝපැමින් සාන්ද්‍රණද ඉහළ යන බව සොයාගෙන තිබේ. සෙරටොනින් හා ඩෝපැමින් ලිංගික හැඟීම් අවදිකරයි. මේ අතර ඉහළ උෂ්ණත්ව වලදී දහදිය දැමීම අධික බැවින් ඒ සමහ මුසුව එන ලිංගික පෙරොමෝන ප්‍රමාණද අධිකවේ . මිනිසාගෙන් නිකුත්වන මෙම පෙරෝමෝන විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ශණය වැඩිකිරීමට හේතු වන වාෂ්පශීලී රසායනිකවේ.

මිනිසාගේ ලිංගික චර්යාවල වෙනස්වීම්වලට වඩා ලිංග විපර්යාසයන්ගේ යාන්ත්‍රණ ඛෙහෙවින් සංකීර්ණය. ඒ පිළිබඳව කතාකිරීමට පෙර ස්ත්‍රී පුරුෂ භාවය ඇතිවන අකාරය ගැන පළමුවෙන් සළකා බලමු. ඉතා සරලව පවසතොත් සියලූම ජීවීන්ගේ ගති ලක්ෂණ පාලනය වන්නේ ජාන මගිනි. මෙම ජාන පිහිටන්නේ වර්ණදේහ මතය. දෛහික සෛල තුළ වර්ණ දේහ යුගළ වශයෙන් පිහිටන අතර මිනිසාගේ සෛලවල ඇත්තේ වර්ණ දේහ යුගල් 23 බැගිනි. මේ එක් එක් වර්ණ දේහ යුගළයෙන් එකක් මවගෙන්ද අනෙක පියාගෙන්ද උරුමවේ.

මිනිසාගේ වර්ණදේහ යුගල 23 අතුරින් යුගල් 22 ක් දිගින්, හැඩයෙන් හා ගෙන යන මූලික ලක්ෂණ වලින් එක හා සමානය. එහෙත් අනිත් යුගළයේ වර්ණ දේහ හැඩයෙන්, විශාලත්වයෙන් හා ගෙනයනු ලබන බොහෝ ලක්ෂණ වලින්ද එකිනෙකට වෙනස්ය. එයින් වඩා දිගු වර්ණදේහය X ලෙසත් කුඩා වර්ණදේහය ශ ලෙසත් හඳුන්වමු. ලිංගිකත්වය ඇති කරනු ලබන්නේ මෙම X හා ශ වර්ණදේහ යුගළය මගිනි. පොදුවේ මෙම වර්ණදේහ හැඳින්වෙන්නේ ලිංගික වර්ණදේහ ලෙසය. මේ අනුව මිනිසාගේ ලිංග නීර්ණයේදී X වර්ණදේහ දෙකක් (XX) දරන්නා ගැහැණියක වන අතර එක් X වර්ණදේහයක් හා එක් Y වර්ණදේහයක් දරන්නා (X Y) පිරිමියෙකු වේ.

මේ අනුව ප්‍රවේණිකව අපට ස්ත්‍රී පුරුෂ භාවය හිමිවුවද සියලූ අඟපසඟ වලින් හෙබි පරිපූර්ණ ගැහැණියකු හෝ පිරිමියෙකු ඇතිකරන්නේ, කලල අවදියේ දී අදාල ප්‍රජනක පද්ධතිවල වර්ධනය හා යොවුන් වියේදී ද්විතීයික ලිංගික ලක්ෂණවල පහළවීම යථා පරිදි ඇති වුවහොත් පමණි. එසේ නොවන කල ඒවා ලිංගික විකෘති භාවයන්ට මෙන්ම ලිංග විපර්යාස වලටද හේතුවේ. මෙම අසාමාන්‍යතාවයන්ට ප්‍රධාන වශයෙන් තුඩුදෙන්නේ මිනිස් කලලයේ මුල්ම අවධිය තුළ ඇතිවිය හැකි හෝමෝන විෂමතාවයන්ය.
පෙර සඳහන් කළ පරිදි ප්‍රවේණිකව තීරණය වූ ස්ත්‍රියකගේ හෝ පිරිමියෙකුගේ වේවා කලලයක ආරම්භයේදී ප්‍රජනක පද්ධතිවල කැපී පෙනෙන වෙනසක් නැත. දෙකොට්ඨාශයේම ඇත්තේ එකම පොදු සැලැස්මකි. ඒවා ගැහැණු හෝ පිරිමි ප්‍රජනක පද්ධති බවට පත්වන්නේ කලල විකසනයත් සමග සිදුවන ස්ත්‍රී හා පුරුෂ හෝමෝනවල ක්‍රියාකාරිත්වය නිසාය. එහිදී ප්‍රථමයෙන් ප්‍රජනක සෛල නිපදවන ඩිම්බ කෝෂ හෝ වෘෂණද පසුව ප්‍රජනක ප්‍රනාලද අවසානයේ බාහිර ලිංගේන්ද්‍රියන්ද වර්ධනයවේ. හොමෝන ක්‍රියාකාරිත්වය නිවැරදිව සිදුවුවහොත් අවසානයේ සාමාන්‍ය පිරිමි දරුවෙකු හෝ ගැහැණු දරුවෙකු බිහිවේ. එහෙත් පසුකාලයක ලිංග විපර්යාසයන්ට ගොදුරු වියහැකි පුද්ගලයින් බොහෝවිට බිහිවන්නේ අතිශයින් සංවේදීවූ මෙම මුල් කලල අවධිය තුළ හෝමෝන ක්‍රියාකාරිතවයේ සිදුවිය හැකි විවිධ සංකූලතා නිසාය.

නිදසුන් වශයෙන් ස්ත්‍රියක් ලෙස (XX) ප්‍රවේණිකව තීරණය වූ කලලයක, මුල් සති කිහිපයේදී මොනයම් හේතුවක් නිසා හෝ ස්ත්‍රී ප්‍රජනක හෝමෝන අඩුවී ගොස් පුරුෂ හොර්මෝන වැඩියෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගතහොත් එම ගැහැණු කලලය තුළ වුවද ස්ත්‍රී ලිංගික පද්ධතියක් වෙනුවට පුරුෂ ලිංගික පද්ධතියේ කොටස් වර්ධනය විය හැකිය. එවන් අවස්ථාවක ඩිම්බකෝශ වෙනුවට වෘෂණ ගොඩ නැගෙන අතර බාහිර ස්ත්‍රී ලිංගයක තිබිය යුතු යෝනි තොල් යාවී විවර වැසීගොස්, භගමණිය ශිෂ්ණයක් ලෙස පිටතට වර්ධනය විය හැකිය. මේ අතර පුරුෂ හෝමෝන වල බලපෑම නිසා ශරීරයේ අනෙකුත් අඟපසඟද පිරිමි හැඩරුව ගනී. මෙසේ පිරිමි වෙස් ගැන්වෙන ස්ත්‍රිය, ඇතැම්විට ඒ අයුරින්ම් ඉදිරි ජීවිතය ගෙවන්නට ඉඩ ඇති අතර තවත් සමහරවිට කාලයත් සමග තමන්ට හිමි ස්ත්‍රී ලක්ෂණ නැවත ලබා ගැනීමටද ඉඩ ඇත. එහිදී තමන් සතු ජාන වල බලපෑම හේතුකොටගෙන ස්ත්‍රී හෝමෝන ශ්‍රාවය කරමින්, ශරීරය තුළ තවමත් ශේෂව පවතින ස්ත්‍රී ප්‍රජනක සෛල වලින් ඩිම්බ කෝෂත්, ප්‍රනාල වලින් ගර්භාශය හා ලිංගික ප්‍රනාලත්, බාහිර ලිංගික අවයවත් වර්ධනය විය හැකිය. මෙහිදී හෝමෝන ප්‍රතිකාර මෙන්ම අදාල ශල්‍යකර්ම මගින් ප්‍රවෙණියෙන් ලැබී තිබුණු ගැහැණු බව නැවත් ලබාගත හැකිය.

අප බොහෝ අවස්ථාවල “පිරිමින් – ගැහැණුන්” බවට පත්වීම ලෙස දකින්නේ මෙයයි. එහෙත් සත්‍ය වශයෙන්ම එය පිරිමියෙකු ගැහැණියකු බවට පත්වීමක් නොව ගැහැණියකට අහිමි වූ ගැහැණු බව නැවත ලබා ගැනීමක් නොවේද?

අප පොදු ව්‍යවහාරයේදී කියන පරිදි “ගැහැණියකු – පිරිමියෙකු” වීමේදීද සිදුවන්නේ මීට අනුරූප ක්‍රියාවලියකි. මෙහිදී ප්‍රවේණිකව පිරිමි බව හිමි වූ කලලයක පුරුෂ හෙමෝන ක්‍රියාත්මක වෙනවා වෙනුවට ඒවා අක්‍රිය වෙමින් ස්ත්‍රී හෝමෝන ක්‍රියාත්මක වන්නට පටන් ගනී. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෘෂණ වෙනුවට ඩිම්ම්බකෝෂ වර්ධනයවන අතර, බාහිර ස්ත්‍රී ලිංගේන්ද්‍රියන්ද වර්ධනය වේ. මේ නිසා ඔහු ගැහැණු දරුවෙකු ලෙස මෙලොව දකින අතර පසු කලෙක ගැහැණු දරුවකු සතු හැඩරුවද ලබාගනී. ඇතැම්විට මෙවන් අයගේ, ප්‍රවේණියෙන් හිමි වූ ජානවල බලපෑම මත පසු කාලයක පුරුෂ හෝමෝන නිපදවීම ඇරඹී ලිංග විපර්යාසයක් සිදුවිය හැකිය. එනම් පුරුෂ ලිංගික ලක්ෂණ වර්ධනය විය හැකිය. එහෙත් “ඇයද” නියම පිරිමියෙකු කිරීමට නම් වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර අවශ්‍යයවේ.

හෝමෝනවල බලපෑම මත පුමුතිරි බවේ මෙවැනි වෙනස්කම් සිදුවන අතර ප්‍රවේණික අසාමාන්‍යතා නිසාද ලිංගිකත්වයේ බොහෝ විකෘති ඇතිවේ. නිදසුන් වශයෙන් පිරිමියෙකුගේ X හා Y වර්ණදේ යුගළය (XY) වෙනුවට එක Y වර්ණදේහයක් හා X වර්ණදේහ දෙකක් (XXY) පිහිටියහොත් මිශ්‍ර ලිංගික ලක්ෂණ ඇතිවේ. මෙම විකෘති ලිංගික වර්ණ දේහ සංයුතිය ඇති පුද්ගලයින් ප්‍රවේණිකව පිරිමින්ය. කුඩා කාලයේ සාමාන්‍ය පිරිමි දරුවන් මෙනි. එහෙත් යොවුන් අවදිය වනවිට දැලි රැවුළු නො එයි. බාහිර පුරුෂ ලිංගේන්ද්‍රියන්ගේද වැඩි වර්ධනයක් නොවන අතර කටහඬද වෙනස් නොවේ. ඒ වෙනුවට පළල් උකුල් තලයක් හා වැඩුණු ලැමක් ඇතිවෙයි. මේ නිසා බාහිර පුරුෂ ලිංගේන්ද්‍රියක් දකින්නට තිබුණත්, කතා බහින් මෙන්ම රූපාකායෙන් හා හැසිරීම්‍ රටාවෙන්ද කාන්තාවකට සමාන වෙයි. සාමාන්‍යයෙන් මෙවැන්නන්ට දාව දරුවන් පිළිසිඳ නොගනී. ලිංගික වර්ණදේහ සංඛ්‍යයාවේ වෙනස්කමක් නිසා ඇති වූ මෙම තත්ත්වය හඳුන්වන්නේ ටර්නර් සහලක්ෂණය (Turner’s syndrome) ලෙසය.

මේ අයුරින් විවිධ හේතූන් නිසා මිනිසාගේ ඇතිවන ලිංග විකෘතීන් හා ලිංග විපර්යාසයන් බොහෝය. ඒවා යමෙකුට කුතුහලය දනවන ඒවා වුවත් කිසිසේත්ම සතුට දනවන ඒවා නම් නොවේ.

දැන් අප සතුන්ගේ ලිංගික විපර්යාසයන් දෙස මදක් හැරී බලමු. මිනිසාගේ මෙන් බොහෝ සතුන්ගේද පුමුතිරිබව තීරණයවන්නේ මූලික වශයෙන් ලිංග වර්ණදේහ මගිනි. ඇතැම් සතුන්ගේ ප්‍රවේණියෙන් හිමි වූ මෙම ගැහැණු පිරිමි බව පාරිසාරික තත්ත්වයන් නිසා වෙනස්විය හැක. මේ අතර ලිංගික වර්ණදේහවල කිසිදු බලපෑමකින් තොරව පරිසරය මගින්ම ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වන සත්ත්වයෝද සිටිති.
සතුන් අතරින් උරගයින්ගේ ලිංගිකත්වය පරිසර උෂ්ණත්වය අනුව වෙනස්විය හැකි බව විවිධ රටවල කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. මෙය ඉබ්බන්, කැස්බෑවන් ඇතැම් ඇලිගේටරයන් හා කටුස්සන්ගේ ප්‍රකටව හඳුනාගෙන ඇත. ප්‍රවේණිකව ඔවුන්ගේ ගැහැණු පිරිමි බව කෙසේ සනිටුහන් වී ඇතත් අවසන් වශයෙන් ලිංගය තීරණ වන්නේ බිත්තර තුළ වැඩෙන කලලයට ලැඛෙන උණුසුම අනුවය. එහෙත් උෂ්ණත්වය එකිනෙකා කෙරෙහි බලපාන ආකාරය ඒ ඒ සත්ත්ව විශේෂය අනුව වෙනස් වීමට පුලුවන.
RedEaredSlider05
(Red-eared slider – Trachemys scripta elegans)

නිදසුන් වශයෙන් ඇමෙරිකාව නිජබිම් කොටගත්, සුරතලයට ඇති කරන සතෙකු ලෙස අද ලෝකයේ බොහෝ රටවල පැතිර සිටින රත් කන් ඉදිබුවා (Red-eared slider – Trachemys scripta elegans) ගේ බිත්තර වලින් සෙල්සියස් අංශක 28 ට අඩු උෂ්ණත්වලදී පිටත එන්නේ පිරිමි සතුන්ය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 31 ට වඩා ඉහළ ගිය විට සෑම විටම බිහිවන්නේ ගැහැණු සතුන් පමණි. එහෙත් හැල කිඹුලන් පිළිබඳව කර ඇති පරීක්ෂණ වලින් පෙනී යන්නේ මීට විරුද්ධ දෙයකි. එනම් අඩු උෂ්ණත්ව වලදී ගැහැණු සතුන් ඇතිවන බවත් වැඩි උෂ්ණත්ව වලදී පිරිමි සතුන් ඇතිවන බවත්ය. උදාහරණයක් ලෙස ඇමෙරිකානු හැලකිඹුලන් (American alligator – Alligator mississippiensis),  ගෙන් සෙල්සියස් අංශක 30 ට අඩු උෂ්ණත්වයකදී බිහිවන්නේ ගැහැණු සතුන්ය. එහෙත් සෙල්සියස් අංශක 34 ට ඉහළ උෂ්ණත්ව වලදී පිරිමි සතුන් බිහිවෙති.

American Alligator
(American alligator – Alligator mississippiensis)

මධ්‍ය ඕස්ට්‍රේලියාවේ ශුෂ්ක ප්‍රදේශ හා කාන්තාරවල ජීවත්වන (Central bearded dragon) නමැති කටුසු විශේෂයේද ගැහැණු පිරිමි බව තීරණය කරන්නේ උෂ්ණත්වයයි. පරීක්ෂණාගාර තුළදී පමණක් නොව ස්වභාවික පරිසර තුළ නිදැල්ලේ වෙසෙන මෙම කටුස්සන් පිලිබඳවද මෙය සත්‍යයක් බව පසුගියදා ඕස්ට්‍රේලියාවේ කැන්බරා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායමක් විසින් කර ඇති පර්යේෂණයකින් හෙලිව තිබේ. ඔවුන් ලබාගත් දත්ත අනුව සෙල්සියස් අංශක 33 ට වැඩි පරිසර උෂ්ණත්වයකදී මෙම කටුසු බිත්තර වලින් බිහිවන්නේ ගැහැණු සතුන්ය. එයට හේතු වී ඇත්තේ ප්‍රවේණිකව පිරිමි බව අත්කරගෙන ඇති කලලද උණුසුමේ බලපෑම මත ලිංගික වර්ණදේහ වල වෙනසක් නොමැතිවම ගැහැණු ලක්ෂණ ඇතිකරගැනීමයි. තවත් විශේෂ කරුණක් නම් ලිංග විපර්යාසයෙන් ඇතිවන මෙම ගැහැණු සතුන් සාමාන්‍ය ගැහැණු සතුන්ට වඩා සාර්ථක වීමය. ඒ ඔවුන්ට අනෙක සතුන්ට වඩා දෙගුණයක ප්‍රමාණයක් බිජු හෙලිය හැකි වීමයි.

Central bearded dragon
(Central bearded dragon)

මේ අයුරින් උෂ්ණත්වය මගින් සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම වාසි සහගත කරුණක් ලෙස එක්වරම පෙනුනද එය එකම කාසියේ දෙපැත්ත මෙනි. පරිසර උෂ්ණත්වය වැඩි වී පිරිමි සතුන් ගැහැණු සතුන් බවට පත්වනවා යනු පිරිමි සතුන් ක්‍රමයෙන් අඩුවී යාමයි. එය ජීවීන්ගේ ඉදිරි පැවැත්මට බාධකයකි. එසේම අඩු උණුසුම් තත්ත්වයන් ඇතිවුවහොත් එයින් පිරිමි ගහණය වැඩිවී ගැහැණු සතුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ බසී. එයද අදාල සතුන්ගේ වඳවී යාමට හේතුවිය හැකිය. නමුත් තමන්ගේ ලිංගිකත්වය මනාසේ පවත්වාගෙන යාමේ ඉතා සාර්ථකවූත්, විස්මය දනවනසුළුවූත් ක්‍රමයක් ක‍කදඅබ සෙිය මසුන් අතර දකින්නට ලැබේ.

Blackandorangefalsepercs
Clown fish

Clown fish ඝර්මකලාපීය මුහුදුවල, මුහුදු මල් සමග සහජීවීව වෙසෙන අලංකාර මත්ස්‍ය විශේෂයකි. Amphipriyon ගණයට අයත් මෙම මසුන්ගේ ලිංග නීර්ණය වන්නේ අනෙකුත් සතුන්ගේ මෙන් වර්ණ්දේහ මගින් නොවේ. ගැහැණු හා පිරිමි සතුන්ගේ වර්ණදේහ සංයුතියේ කිසිදු වෙනසක් නැත. උපතින්ද ඔවුහු ගැහැණු හෝ පිරිමි නොවෙති. එහෙත් ප්‍රජනක පද්ධති දෙකෙහිම මූලික සෛල එකම සත්ත්වයා තුළ අක්‍රියව පවතී.

ඉතා කුඩා කණ්ඩායමක් ලෙස සිටින මෙම මසුන්ගෙන් විශාලත්වයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් වැඩිම සත්ත්වයා තුළ ස්ත්‍රී ලිංගේන්ද්‍රියන් වැඩෙන්නට පටන්ගෙන ගැහැණු සත්ත්වයකු බවට පත්වේ. කණ්ඩායමේ ඊළඟට විශාලත්වයෙන් වැඩි සත්ත්වයා පිරිමි සත්වයකු බවට පත්වේ. සෙස්සෝ තවමත් ලිංගික පද්ධති නොවැඩුන නොමේරූවන් ලෙස පසුවෙති.‍ යම් හෙයකින් කණ්ඩායමේ ස්ත්‍රී සත්ත්වයා මියගියහොත් හෝ කණ්ඩායමෙන් ඉවත් වුවහොත්, පුදුම සහගත ලෙස එහි සිටින පිරිමි මත්ස්‍යයාගේ ලිංග විපර්යාසයක් සිදු වී ගැහැණු සත්ත්වයෙකු බවට පත්වේ. ප්‍රමුඛතාවයේ ඊළඟට සිටින සත්ත්වයා ප්‍රජනක අවයව වැඩී පිරිමි සතෙකු බවට පත්වේ. එහෙත් කිසිවිටෙක මුලින් සිටි පිරිමි මත්ස්‍යයා මිය ගියහොත් ස්ත්‍රී සත්ත්වයා පිරිමියෙකු බවට පත්වන්නේ නැත. ඒ වෙනුවට ප්‍රමුඛතා ශ්‍රේණියේ ඊළඟට සිටින්නා පිරිමි බව ලබාගනී.

මෙම විස්මජනක සිදුවීම් පෙළ දිගින් දිගට සිදුවෙමින් යන්නේ Clown fish ගේ චර්යා රටාවන් මත ඒ ඒ අවස්ථාවේ අඩු වැඩි වෙමින් ශ්‍රාවය වන ස්ත්‍රී හා පුරුෂ හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසාය. කෙසේ වෙතත් මෙම යාන්ත්‍රණය මගින් කණ්ඩායම තුළ නොකඩවා ගැහැණු මෙන්ම පරිමි සතුන් ඇතිවන අතර ඔවුන් සෑම විටම එහි සිටින ප්‍රබලම සතුන්වන නිසා ගහණයේ අනාගත පැවැත්ම ස්ථාවර වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *