6 වන වසරට පා තබන කැඩපත ගැන ලේඛක අදහස්

අනුන්ගේ මුහුණු ද පෙනෙන කැඩපතක්

Kapila Kumara - kadapatha

– කපිල කුමාර කාලිංග

සාමාන්‍යයෙන් කැඩපතක් ඉදිරියට ගිය කෙනෙකුට දිස්වන්නේ තමන්ගේ මුහුණය. එහෙත් ඕස්ට්‍රේලියාවේ පළවන “කැඩපත” අතට ගත්විට, තමන්ගේ පමණක් නොව අනුන්ගේ මුහුණු ද දිස්වෙයි. නාඳුනන මුහුණු ද දැකිය හැකි වෙයි. එහෙයින් එය මානව සංදර්ශනයක් නොහොත් “හියුමන් පැනෝරාමාවක්” බවට පත්වෙයි !

පුවත්පතක් හෝ සඟරාවක් පවත්වාගෙන යාම විශේෂයෙන්ම විදේශයක දී අසිරුවෙන් අපහසුවෙන් දෙන දානයක් බඳුය. එසේම පුවත්පත හෝ සඟරාව යනු අන්තර් මිනිස් සබඳතා ගොඩනංවන තොරතුරු සන්නිවේදන මාධ්‍යයකි. අන් සියලූ අරමුණුවලට වඩා පුවත්පත මගින් මිනිසාට තමා හුදෙකලා සත්වයෙකු නොවන බව පසක්කර දෙයි. ඔහු සතු සමාජයික වටිනාකම් හා යුතුකම් පහදා දෙයි.

නුතන ලෝකය තුළ කිසිදු මිනිසෙකු තනි දිවයිනක් නොවේ. (No Man is an Island) ඔහුගේ මුල් ඈත ඈත මහාද්වීප දක්වාම දිව යයි.

මම දුරු රටක ජීවත්ව නැත්තෙක්මි. එහෙත් මිතුරන්ගේ අත්දැකීම් ඇසුරින් මට එය වටහාගත හැකිය. ඒ හැඟීමෙන් යුතුව “කැඩපතෙහි” පිටු පෙරළන කල මට එහි අගය තවත් දැනෙයි. මට එසේ නම්, “ඔස් – ලාංකිකයන්” ට එය කෙසේ දැනෙනු ඇත්ද?

මම ද කැඩපතට ලියන්නෙක්මි. එතුළින් මට, මහ කොමසාරිස් කාර්යාලයට ද සොරෙන් මසකට වරක් ඕස්ට්‍රේලියාවට ගොස් එහි වෙසෙන ශ්‍රී ලාංකික ජන සමාජය හඳුනා ගැනීමට අවස්ථාවක් ලැඛෙයි. එහෙයින් එක්තරා දුරකට මා අනවසර සංක්‍රමණිකයෙකි. එහෙත් ඔවුනට කිසිදා මා අත්අඩංගුවට ගත නොහැකිය. සිරගත කළ නොහැකිය. පිටුවහල් කළ නොහැකිය. ලේඛකයා හෝ මාධ්‍යවේදියා සතු බලය එයයි. ඒ අනුව බලන කල “කැඩපත” මට කැඩපතක් පමණක් නොව ගමන් බලපතක් ද වෙයි.
“කැඩපත” සංවත්සරයේ සතුට විඳින ඔබ සැම සමග මම ද හදවතින් එක්වෙමි. දිගු ගමනට සුබ පතමි.

ආලින්දයේ පිළිසඳර

Munidasa wanshapura - Kadapatha

– මුනිදාස වංශපුර

හැත්තෑව දශකය තුළ ශ්‍රී ලංකාවේ පාඨකයින් අත නිතර රැඳුනු රසවාහිනී, නවයුගය, ශ්‍රී වැනි සඟරාවලට නිතර නිතර ලිපි ලිවීමේ එක්තරා පුරුද්දක් හා උද්‍යෝගයක් එකල මා තුළ තිබිණ. එහෙත් එම සඟරා ප්‍රකාශයට පත් වීම ඇණහිටිමත් සමගම කුමන හේතුවක් නිසා හෝ මා තුළ පැවති ලිවීමේ උද්‍යෝගය ක්‍රමයෙන් හීනවී ගිය අතර අවසානයේ එය, ඉඳහිට සති අන්ත පුවත් පතකට සිත්ගත් යමක් ගැන ලිවීමට පමණක් සීමාවිය.

කෙසේ හෝ යළිත් වරක් මා ලිවීමට පෙළඹුනේ මීට දෙවසරකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමීණි විටෙක මෙහි පළවන පුවත්පත් හා සඝරා ගණනාවක් කියවන්නට ලැබීමෙන් පසුවය. ඒ සියල්ල අතුරින් කැඩපත මාසිකය මා විසින් තෝරාගනු ලැබුවේ එය බොහෝ සමකාලීන අනෙකුත් ප්‍රකාශන මෙන් පටු සීමාවන්ට කොටුව එක් තැන නොරැඳී, නව මංපෙත් සොයා ඉදිරියට ඇදෙන්නක් ලෙස මට පෙනීගිය හෙයිනි. ඒ නිසාම අද වන විට “කැඩපත”ට ලිවීමෙන් මෙන්ම එය කියවීමෙන්ද මා ලබන්නේ ඉමහත් තෘප්තියකි.
එදා මා සිතට නැගි සිතිවිල්ල පසක් කරමින් අද කැඩපත තම නිම් වළළු තව තවත් පුළුල් කරගනිමින් සහෘද පාඨකයින් පිරිවරා පෙරට ඇදෙමින් සිටී. එය අපේ නිබඳ සොම්නසට කරුණකි.

අද මා “කැඩපත” දකින්නේ අපේකම හා මිනිසත් බව හදවතට ළංකරමින් පාඨකයින් මෙන්ම ලේඛකයින්ද නව මානයකට කැඳවාගෙන යන්නක් ලෙසය.

ආලින්දයේ පිළිසඳර වූ “කැඩපත”ට පස් වසක් සපිරෙන මේ මොහොතේ තවත් දිගු අරුත්බර ගමනකට සුබ පැතුම් එක් කරන අතර තව දුරටත් එය ලේඛකයින්ට, පාඨකයින්ට මෙන්ම ඒ දෙස බලා හිඳින්නන්ටද තම පිළිබිඹුව දැකිය හැකි කැඩපතක්ම වේවායි ප්‍රාර්ථනය කරමි.

කැඩපතෙහි පෙනෙන්නේ කාගේ රුවක් ද?

Sandun Priyakara - Kadapatha

– සඳුන් ප්‍රියංකර විතානගේ

චාලි චැප්ලින් වරෙක කියුවේ, “තමාගේ හොඳ ම මිතුරා කැඩපත” බව යි. තමා හඬන විට සිනාසෙන්නේ නැත්තේ කැඩපත පමණක් බව කියමිනුයි, චැප්ලින් එසේ කියුවේ. ඕස්ට්‍රේලියාවේ සිංහලෙන් පළවන එ’ජන මන දිනාගත් කැඩපත ගැන මා හට කියන්නට ඇත්තේ කුමක් ද?

මම කැඩපත පාඨකයෙක් වනවා සේ ම “කැඩපත” ලේඛකයෙක් වීමි. ඒ වසර දෙක තුනකට ඉහත දී කැඩපත ප්‍රධාන සකසුතුමාගේ ඇරයුමකට අනුව ය. ඉදින් කැඩපතේ අන්තර්ගතය ගැන මට, වඩා හොඳ කියැවීමක් තිබේ. කැඩපත පාඨකයන්ට සතුටිනුත් ලාංකේය අප ගැන දුක් වෙමිනුත් කියන්නට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ පළවන කැඩපතට සමවන ප්‍රකාශනයක් ලංකාවේද පළවෙන්නේ නැති බව ය.

අප රට මෙවක මාධ්‍ය භාවිතය යනු, තමා මාධ්‍යවේදියෙක් යැයි කියන්නට ලජ්ජාවන තරමට පිරිහෙළෙමින් පවතින එකකි. මේ සටහන තබන මම ද කැඩපත අනුයන තාලයේ මාධ්‍ය භාවිතයක් සාර්ථක කරගැනීම වෙනුවෙන් බොහෝ දුක් කම්කටොලූ වින්දෙක්මි. කවරදාවත් මට ඒ වෑයම සාර්ථක කරගන්න නොහැකි විය. මෙවැනි තාලයේ ප්‍රකාශනයක් ප්‍රාග්ධන තර්කනය අබියස පවත්වාගෙන යෑම සුකර කටයුත්තක් නොවන බවත් එය ඉතා දුෂ්කර බවත් අද්දැකීමෙන් දනිමි. අන්තර්ගතය ගැන නොකියා මෙවන් අන්තර්ගතයක් පවත්වාගන්නට දැරෙන වෙහෙසබර වෑයම ගැන කීමෙන් අන්තර්ගතය ගැන ඉතා හොඳ අදහසක් ඔබට දැනෙනු ඇත.
ඉතින් කැඩපතින් පෙනෙන්නේ කාගේ රුවක් ද?

කැඩපතේ පස් වසර

W H Upasena - kadapatha

 

– ඩබ්. එච්. උපසේන

කැඩපත මට මුලින්ම ඇස ගැසෙන විට එය කුඩා සගරාවකි. එහෙත් එහි ලිපි වල අන්තර්ගතයත් ඉදිරිපත් කිරීමේ ශෛලයත් මගේ නෙත – සිත සැනෙන් ඩැහැ ගත්තේය. මව් රටේත්, මෙරටේත් පිට කසා ගැනීම් හා වෙනත් නිරස තීරු ලිපි කියවීමෙන් හෙම්බත්ව සිටි මට ඉන් දැනුනේ දුරු කතරක් ගෙවා බුද්ධිමය කෙම්බිමකට පා තැබුවාක් වැනි හැඟීමකි. එහි ලිපි ඔබේ බුද්ධියත්, හදවතත් එකවර අමතනන්නට පටන් ගන්නේ ය.

මට කැඩපත ලේඛක මණ්ඩලයට පිවිසීමට වරම් ලැබුණේ ද අහම්ඛෙනි. ඒ මගේ කෙටිකතා සංග්‍රහයක පිටපතක් එහි කතුවරයාට යැවීමෙන් අනතුරුව සිදු වූ දැන හඳුනා ගැනීමත් සමගය. පසුව මම එහි නිත්‍ය ලේඛකයෙක් බවට ද පත් විමි. යලට මහට නිර්මාණකරණයේ යෙදෙමින් සිටි මට එය සැබෑ අභියෝගයක් වූයේ මාස් පතා නිර්මාණය බැගින් සැපයිමට සිදුවීම හේතුවෙනි.
මේ නිසා ලේඛණ කලාව පිළිබඳව මා තුළ සැඟව තිබූ කිසියම් ශක්තියක් තිබුණා නම් එය කෙමෙන් කෙමෙන් අවදි වන්නට පටන් ගත්තේය. කැඩපතේ පලවන සෙසු ලිපි වල ගුණාත්මකබව සමග සමතැන් ගැනීමට මගේ නිර්මාණ සකස් කිරීම ද අභියෝගයකි. ප්‍රතිඵලය වූයේ, ඉදිරියේදී එළි දක්වන්නට සිතා සිටි නිර්මාණ වඩාත් කලින් කැඩපත හරහා පාඨකයින් වෙත ඉදිරිපත් කරන්නට ලැබීමය. ඒ පිළිබඳව කෘතඥතාවය හිමිවිය යුත්තේ එහි සංස්කාරකවරයාට ය.

ඉතින් කැඩපත සයවන වසරට පා තබන මේ මොහොතේ අප වැනි ලේඛකයින් හට වේදිකාවක් සලසා දීම ඛෙහෙවින් සොම්නසට කාරණයකි. අනෙක් අතට මෙරට වෙසෙන සුවහසක් ශ්‍රී ලංකික ප්‍රජාවගේ විචාර බුද්ධිය පිනවනු පිණිස එය ගෙන යන මහඟු ප්‍රයත්නයට නැණ පමණින් දායකවන්නට ඉඩ ලැබීමත් මා ලැබූ භාග්‍යයක් කොට නිහතමානිව සලකමි. නිර්දය විවේචන අබියස සසල නොවී බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමේ කලාව ද මා උගත්තේ කැඩපතිනි. ලංකාවේ නම් මිනිසුන් දුසිම් ගණනක් යොදවන කාර්යයක් මෙතරම් ධෛර්යයෙන් හා මහත් කැපවීමකින් නිමා කිරීමම ආශ්චර්යයකි. මා “කැඩපති”න් උගත් දේ බොහෝය. ඉගෙන ගන්නට ඇති දේ ද බොහෝය.

මාධ්‍ය ආචාර ධර්ම හා සදාචාරය

Tuder Amarasena - Kadapatha

– ටියුඩර් අමරසේන

මාධ්‍ය ආචාර ධර්ම හා සදාචාරය සුරකිමින්, පාඨක දන මන නැණ ගුණ වඩවන රිසියෙන්, නව දැක්මක් සහිතව සාහිත්‍ය කලා විචිත්‍රාංගයන්ගෙන් සුපෝෂිත වූ “කැඩපත” සයවන වසරට එළැඹෙන මේ මොහොතේ මගේ සුභාශිංසන මෙසේ පිරි නමමි.

නෙතින් කියවා හදවතින් විඳගැනීමට

Dilini Eriyawala - Kadapatha

– දිලිණි ඊරියවල

“කැඩපත” යනු ප්‍රකාශන මාධ්‍යයක් පමණක් යැයි සුළුකොට තැකිය නොහැකිය. දන්නා දේ, සොයාගන්නා දේ හා සන්තානගත හැඟීම් සමුදායන් සංකල්පනාවන්ට කැටිකොට ලියන ලේඛක ලේඛිකාවන්ගේ හදවතේ පිළිබිඹුවක් ලෙස යමෙක් කැඩපත හඳුන්වන්නේ නම් එය සාවධ්‍යයැයි නොසිතමි. කැඩපතට රොද බැඳෙන්නෝ එහෙයින්ම සොඳුරු හදැත්තෝය. තම තම නැණ පමණින් මතු නොව, විවිධ වූ දර්පන තල තුළින් ලෝකය දකින්නට හා ජීවිතය විඳින්නට එකම වේදිකාවක් ලබාදෙන, මාසයක් පුරා කියවන්නට හා සිතන්නට යමක් ආලින්දයට ගෙන එන පුවත්පතකට ලේඛනයෙන් දායක වීමට ලැබීම සතුටකි.

මුද්‍රිත මාධ්‍ය තුළ විකුම් පානා ප්‍රවීණ ලේඛකයින්ට පමණක් නොව අද ඊයේ ලේඛනය අරඹා දිගු ගමන් යන්නට සිහින දකින්නන්ටද සිය සිතැඟි ලිහාදමන්නට එකම අවකාෂයක් කැඩපත විසින් සපයන බවට එහි පලකෙරෙන ලිපි අතර විවිධත්වයම සාක්ෂි දරයි. මුල සිට අග දක්වා පිටෙන් පිට කියනවන්නෝ එමගින් ඥාණනය වන්නෝ පමණක් නොව දිවියේ සොඳුරුතම නිමේෂයන් නෙතින් කියවා හදවතින් විඳිගන්නෝද වන්නාහ.

KADAPATHA : A Mirror which reflects our Identity, and an “Eye-Opener” for the path ahead…

Travis Ranjan - Kadapatha

– Trevis Ranjan Perera

We read for various purposes: to acquire knowledge; to seek information; to get to know the news. Still some others read just as a past time, and reading would keep them happy and relaxed. Whatever the purpose we read for, it is imperative that we have easy access to good reading material: original, inspiring and thought-provoking ideas – sensitively worded, articulately expressed and passionately presented. Whether or not reading makes the man ‘perfect’ – as per the old saying- reading definitely makes a person more human, more knowledgeable and more amiable, and, more importantly, more open-minded.

In this modern world of ours – where commercialisation has taken over almost every conceivable sphere – finding genuinely informative and unbiased reading material is not very easy. Most writers today – as much as many other professionals – seem to have been ‘infected’ with egoism and favouritism.

This is where community newspapers like Kadapatha offer a great service to immigrant Sri Lankans like us, who often yearn for good reading material that would appeal to our inner-selves. Having set up a friendly forum to share and exchange the varying humble views among Sri Lankans here (hence “ආලින්දයේ පිළිස‍‍ඳර), and to cherish our inborn values, it is heartening to see how Kadapatha makes a subtle attempt to stress on the importance of broadening our outlook on “what we see and experience” in this adopted country of ours.

Interesting and thought-provoking articles in Kadapatha, written by learned writers in extremely cohesive language, are inimitable. As for me, frankly, Kadapatha has enhanced my desire to read, as an ardent Sinhala reader – and, has also made me realise what a sensitive and expressive language we Sri Lankans have inherited. I am sure that most of the Kadapatha readers too would feel the same way I do.

Let me join the thousands of Kadapatha readers, in congratulating this great publication, on its 5th Anniversary. May Kadapatha continue to serve – for many years to come – as an “effective mirror” which would help us reflect our unique identity as a Community, while also being an “eye-opener” for us Sri Lankans to see the path ahead clearly and move forward prudently, in this era of inevitable social transformation, enabling us to secure our due place in the global set-up, among other communities.

ලියන්නට අත සවි ඇතිතාක්………

Priyananda wijesundara - kadapatha

– ප්‍රියානන්ද විජේසුන්දර

වසර 05 ක් මහා කාලයක් නෙමෙයි. ඒත් මේ පුංචි කාලයේ දී “කැඩපත” අපේ ආලින්දයට එක්කළ පිළිසඳර නම් මනින්නට බැරි තරම්.

පුවත්පතක් තුළ ඇති කාර්ය භාරය ජනතාවට ප්‍රවෘත්ති සැපයීම. “කැඩපත” වැනි සඟරාමය පුවත්පතක වගකීම පාඨකයා අතර කතා බහක් ඇති කිරීම ය. පත්තරයක සහ සඟරාවක ඇති වෙනස එයයි. “කැඩපත” මේ කාර්ය භාරය මනාව අවබෝධ කරගෙන තිබීම සතුටක්. ඇත්තටම කැඩපත ආලින්දයේ පිළිසඳරක් මවනවා.

“අයියේ කැඩපතට අවුරුදු 05 ක් ඉවරයි. මා ගැන නොලියා කැඩපත ගැන ලියන්න” සාමන්ත මගෙන් ඉල්ලීමක් කළා. අඹ ගහ ගැන නොකියා අඹ ගෙඩිය ගැන කියන්නට මා දන්නේ නෑ. අඹ ගෙඩියේ මියුරු රසට වගකිව යුත්තේ අඹ ගස. මීට වඩා යමක් මා සාමන්ත ගැන පවසන්නේ නෑ.

මුලින්ම බිහි වූ “කැඩපත” පුංචි ප්‍රමාණයේ මුල්ම කලාපයේ සිට මේ දක්වා මා සම්මාදම් වුණා පිළිසඳරට. ඔබ සිතාවි පත්තරය තැපෑලෙන් ලැබුණු ගමන් මා කියවන්නේ මගේ ලිපිය කියා. ඇත්තටම පිළිවෙළට කියාගෙන යනකොට මගේ ලිපියත් මට අහුවෙනවා. ඒකත් “කැඩපත” සරසන ලිපියක් විතරයි. ලියන්නට අත සවි ඇතිතාක් මුණ ගැසෙමු.

ගුණාත්මකභාවය සහ සංවරශීලිභාවය

Upeksha senanayaka - kadapatha

– උපේක්ෂා සේනානායක

දෙදහස් දොළහ වසරේ ග්‍රීෂ්ම සෘතුවේ එක් ඉරිදාවක පළමු වතාවට කීස්බරෝ විහාරස්ථානයට ගොඩවැදුණු දිනයේ, ලැගුම් ගෙට මුහුණ ලා තිබූ පටු තීරුව මත පිළිවෙලට ගොඩ ගසා තිබූ පුවත්පත් අතරින් එක බැගින් තෝරාගැනීමට මා පෙළඹ වූයේ විප්‍රවාසී ජීවිතය අපට උරුම කළ විප්‍රයෝගී වේදනාවය. ඒ පුවත්පත් කිහිපයෙන් එකක් කුමන හෝ හේතුවක් නිසා කියවා අවසානයේ යළිත් ඉඩක් ලැබුණොත් කියවන්නෙමියි සිතා අරන් තැබූ බව මට හොඳින්ම මතකය. මගේ වැඩිමහල් සොහොයුරාගේ ආභාෂයෙන් දෙසතිය, සිව්දෙස, මුතුහර වැනි සඟරා කියවමින් “රහ දේවල්” සොයාගෙන කියැවීමේ පිපාසයෙන් සිටි මට “කැඩපත” හොඳ ආදේශකයක් වනු ඇතැයි විශ්වාසයක් මා තුළ ගොඩනැගුණි.

කාලය ගෙවීගොස් එක් සීතල දිවා වරුවක මගේ කුඩාදරුවන් සමඟ කාර්යය බහුලව සිටි මොහොතක මා නොදත් අංකයකින් ඇමතුමක් ලැබුණි.

“මේ උපේක්ෂා සේනානායකද ?” අනික් පසින් ඇසුවේය.

“ඔව්” මම කලබලයෙන් පිළිතුරු දුන්නෙමි.

“මම…… කැඩපත සඟරාවෙන්, මට කුරුප්පු මහත්මයා තමයි උපේක්ෂාගෙ අංකය දුන්නේ, පියසේන මහත්මයාගෙ “දුර රූපයේ ආවර්ජනය” පොත තියෙනව නං ඒකෙ පිටකවරයේ …..” ඔහුට වැකිය කියා නිම කරන්නට ඉඩනොදී මම බාධා කළෙමි.

“මං ඒක ස්කෑන් කරලා එවන්නං. මට ඊමේල් ඇඩ්‍රස් එක එවන්න” මම ඇමතුම ඉක්මනින් අවසන් කිරීමට යුහුසුළු වුණේ මගේ පැටවුන් කෑම කා අහවරව වතුර ඉල්ලා කෑගසන්නට වූ බැවිනි.

මොහොතකට පසු මට කෙටි පණිවුඩයක් ලැබුණි. එහි කැඩපත පුවත්පතේ නිල විද්‍යුත් ලිපිනය පැහැදිලිව ලියා තිබූණි. ඊට අමතරව “පොතේ පිටකවරය ඔබට ඉඩක් ලද මොහොතක එවන්න. හදිසි නැත. ඔබේ කාර්යය බහුලත්වය මට හොඳින්ම වැටහේ. මීට……..” යනුවෙන් මහත්මා අයුරින් සහ ව්‍යක්ත ඉංග්‍රිසියෙන් ලියා තිබුණි. එදා සිට ඇරඹි මගේත් කැඩපතේත් මිතුදම අදටත් එලෙසින්ම පවතී. කැඩපත පුවත්පත පුරාම දිවෙන්නේ එම විනය සහ මහත්මා ගතිය ය.

තවත් මාධ්‍යවේදියකුට තබා සාමාන්‍ය පුරවැසියකුටවත් පහරදෙන පුවත්පතක තත්ත්වයට නොවැටෙන්නට කැඩපත ගන්නා වෑයම අගය කළ යුතුමය. ගුණාත්මකභාවය සහ සංවරශීලිභාවය රැකගන්නට කැඩපත දක්වන සමත්කම සහ අදීනත්වය ට මම සැමදා ගරුකරමි. මම කැඩපතට දිර්ඝායුෂ පතමි.

“ඇති දෙයක් නැති” පත්තර අතර “නැති දෙයක් නැති” පත්තරයක්

Ranjith Samarakoon - kadapatha

රංජිත් කුමාර සමරකෝන්

මේ ගෙවෙමින් තිඛෙන්නේ සයිබරය ආලින්දයෙනුත් ගෙතුළට කඩා පැන ජීවිතයම X – රේ කරමින් තිඛෙන යුගයකි. සකලවිධ මානව සංහතිය අතිශය වේගයෙන් නවීන තාක්ෂණයේ ව්‍යාකූල සුළඟට හසුව සිටින යුගයකි. එහෙව් කලෙක කඩදාසි මත මුද්‍රිත අකුරු සමාජගත කිරීමට සැලැස්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. උදක්ම කියවන්නන් සීමිත ලංකාව වැනි රටකට..! ඊටත් වඩා එතෙර සිටින ලාංකිකයනට එවැනි මුද්‍රිත අකුරු සහිත යමක් දීම එසේ මෙසේ සැහැල්ලූ දෙයක් නොවේ. මොන සුළඟක් මැද උවද මුද්‍රිත ජනමාධ්‍යයෙන් තොරව කිසිදු රටක සමාජ සංවර්ධනයක් ඇති කළ නො හැකි බව යතාවකි. එය ලොව මොන රටටත් අදාලය.
කැඩපත පුවත්පත මේකී සීමා මායිම් අතික්‍රමණය කළ අන්දම ඇත්තවශයෙන්ම විමතියට බර ප්‍රශංසනීය මෙහෙවරකි.

පස් වසරක් මුළුල්ලේ කැඩපත ආ ගමන් මග පිළිබඳව සරල සේම සැහැල්ලූවෙන් යමක් ලියා අත පිහදා ගතහැකි නොවේ. එය වනාහී අරුම සමාජ මෙහෙවරකි. සමාජ දේශපාලන, ආර්ථික හා සංස්‌කෘතික උච්චාවචනයන් සමඟ බැඳුණු ගමනක සාක්‍ෂිකරුවකු ලෙස එතෙර සිට කැඩපත වඩා උස් බැල්මක් හෙළූ බව නොකිවමනාය. මීට වසර හතරකට පමණ පෙර සයිබරයට “කුසල්” අත්වන්නට කැඩපත කියවීමේ භාග්‍යය මා ලද අතර එතැන් සිට මතට අසීමිතව ලොල් වූ බේබද්දෙකු සේ මම කැඩපතට ලොල් වීමී.

කාරණා කිහිපයක් මතුයෙහි කැඩපත වෙසෙස් වෙයි.

එය “හිස්” නැති “හිස්” වලට කතා කළ පුවත්පතකි.

බලා පැත්තකින් තබනවාට වඩා කියවා ළගින් තබා ගැනීමට තරම් වන බරක් එහි වෙයි. එය අතිශය කලාතුරකින් පත්තරයක දකින්නට ලැඛෙන තත්ත්වයකි.

එය ­”ඇති දෙයක් නැති” පත්තර අතර “නැති දෙයක් නැති” පත්තරයකි.

මෙවක බොහෝ පත්තර හා සඟරා සාහිත්‍යයට එතරම් බරක් නොදෙන තත්ත්වයක් තුළ කැඩපත සිය ප්‍රමුඛ කාර්යයක් සේ දකින්නේ සාහිත්‍ය හා කලාවය. එතෙර පුවත්පතක් සාහිත්‍ය වැනි කාරනා කෙරෙහි මෙතරම් ආශක්ත වීම මෙතෙර බොහෝ පුවත්පත් වලට අතුල් පහරක් වැනිය.

එය මොළයට සේම හදවතටද අමතන පුවත්පතකි.

ඉතා හරවත් සංවාද සේම බරසාර ලිපිද පත අට එකට සිදවා මාසිකව සාර සංග්‍රහ කරන කැඩපත හදවත සරසන නිර්මාණ කෙරෙහිද අවධානය යොමු කිරීම අතිශය භාග්‍යකි.

අවසන් වශයෙන් කැඩපත අපූරු කැඩපතකි. වචනාර්ථයෙන්ම එය තමාට තමා සේම අනෙකාද කියවාදෙන අසිරිමත් පුවත්පතකි.
කැඩපත පිළිබදව පස්වසක ශේෂ පත්‍රය තව සියවසක පැවැත්ම උදෙසා අසිරිමත් ප්‍රාර්ථනයක චමත්කාරය රැගෙන එයි.

ඉල්ලූමට සැපයීම සහ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම

Akila Malalge - kadapatha

– අඛිල රන්සිරි මලලගේ

ශ්‍රී ලංකාව සුන්දර රටකි. එය අසුන්දර කරවාගෙන ඇත්තේ ජනයාගේ පැවැත්ම විසිනි. ඒ අතින් ඔබ සැම වාසනාවන්තයෝය. සුන්දර උපන් බිමක මූලයන් වල මතකයන් සමග වඩා හිතවත් යථාවක ජීවත්වීමට ඔබ පින් කර ඇත.

ඉල්ලූමට සැපයුම විකෘති ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායකි. සියලූ මාධ්‍ය සහ කලාවන් මේ වෙත්දී එකී න්‍යාය විසින් ගිලගෙන ඇත. නමුත් කැඩපත, ඉල්ලූමට සැපයීම නොව, අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමේ අසීරු කර්තව්‍යයෙහි නියැලී සිටින බව පෙනේ.

මෙවැනි කලෙක ලියා ජීවත්වීම ලෙහෙසි නැත. ආත්මය පාවාදීමත් සාර්ථකත්වය ළඟා කරගැනීමත් අතර ඇත්තේ බිඳෙනසුළු ඉමකි. එහිදී ලියන්නන් හැටියට ආත්මාභිමානයක් සහිතව කටයුතු කරගෙන යෑම සඳහා කැඩපත කර්තෘත්වය ලේඛක අපකෙරෙහි පවත්වන වෘත්තීයමය භාවයත් සුහද භාවයත් හරිහැටි සමබරකරගත් සහසබඳතාව අප ඉතා ගෞරවයෙන් අගයමු.

සාරවත් යමක්ම පමණක්ම කැටිකර ගෙන එමින් මෙතුවක් කල් ආ ගමන තවත් බොහෝ කාලයක් ඉදිරියට කරගෙනයාමටත්, මුද්‍රිත සාර සංග්‍රහයක් හැටියට තවත් බොහෝ පාඨක පිරිසකගේ දෑත් අතරට කැඩපත යනු දැකීමත් අපගේ එකම පැතුමයි.

කැඩපත අභිමුව මම

Nadeesha Dilrukshi - kadapatha

-නදීශා දිල්රැක්ෂි ගමගේ

දැරිවියක් යුවතියක වු පසුව ඇය නිරන්තරයේ කැඩපතක සහය පැතීම අරුමයක් නොවේ. මා ද එලෙසින්ම කැඩපත හා සම`ග මිතුරු වන්නී, මා සුහුඹුල් යුවතියක වූ දා පටන් ම ය.

ඉන් පෙර මට බොහෝ වෙහෙසී කැඩපතක සුහදතාවය ඛෙදා ගැනීමේ අවශ්‍යතාවයක් නොවුයේ මා අවලස්සන, ඒ තරමටම මිදුලේ සෙල්ලමේ යෙදීමෙන්ම දූවිලි නා ගත් දඩබ්බර දැරියක වූ නිසා වන්නට ඇත. එහෙත් සුහුඹුල් යුවතියක වු දා පටන් මා මගේ සිතැඟි වැඩිපුරම ඛෙදාගත්තේ කැඩපතක් සමඟ බව සතුටින් සිහිකරනු කැමැත්තෙමි. ගෙවි ගිය කාලය තුළ මා ද අන් යුවතියන් මෙන්ම කැඩපත සමඟ හුවමාරු කරගත් සුහදතාවයන්, ඛෙදාහදාගත් සුඛ දුක්ඛ භාවයන් එමට ය. ඒ සියල්ල ලෝකයට පෙර දුටුවේ කැඩපතකි. ජීවිතයේ පළමුව මට හමුවූ ඒ කැඩපත මට ජීවිතේ භෞතික ස්වභාවයන් මා අභිමුවට ගෙනැවිත් සරල හා ප්‍රීතිමත් යුවතියක වශයෙන් මා ලෝකයට තිළිණ කරන ලදී. මා හඳුනාගත් පළමු කැඩපත එසේ ය.

ජිවිතයේ දෙවන වරටත් මම දැන් කැඩපතක් අභිමුඛව සිටින්නෙමි. දෑ අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ මම ඒ කැඩපත හා සමඟ අභිමුඛව මගේ සුඛ දුක්ඛ භාවයන්, වැටීම් නැඟීම්, මා සතුව ඇති කුසලතා තීවෘ කරගැනීම් තරමටම මෘදු හදවතක් විසින් මෙහෙයවීමටද වාසනාවන්ත වී සිටින්නෙමි. ඒ මත මා මගේ සියලු ලූහුඬුකම් පැහැදිලිව දැක ගත්තෙමි.

මා කැඩපත හඳුනාගන්නා මොහොතේ මා සතුව තිබුණේ යමක් විස්තරාන්විතව ලිවීමේ යම් කුසලතාවක් පමණි. එය වඩාත් නම්‍යශීලීවත් ක්‍රමවත්ව, අඛණ්ඩව ඉදිරිපත් විය යුත්තේ කෙසේ දැයි මා දැනගත්තේ දෙවන වරට මා හඳුනාගත් මේ කැඩපත නිසාවෙනි. නිරන්තර ලිවීම තුළ ඇතිවන භාෂාව හැසිරවීමේ ශක්‍යතාවය මා දියුණු කර ගත්තේද කැඩපත ඇසුරෙනි.

කිසිවෙකු දඩයම් කිරීමේ ගෝත්‍රික සිතිවිලි වලින් මිදී නිරන්තරයෙන් සරල උන්නතිකාමී මෙන්ම අතිශය කලාකාමී මාර්ගයක මධ්‍යස්ථ ගමනක් යන කැඩපත, එයින් සිය මව්බිමෙන් බොහෝ දුරස්ථව සිටින ලාංකික සිත් තුළ සිහිලක් දනවනු ඇතැයි මම උදක්ම සිතමි. “වැව රවුම” “අසම්මත විචාරය” “සිංගරු-කු” කියැවීම මගේ අභ්‍යන්තරයේ නිරන්තරයෙන් ඇති කරවන ආශ්චර්යය පෙර නොවූ විරු අපමණ ප්‍රීතියක් ජනිත කරවයි. ජීවිතය පුරාවටම මා මගේ පිළිබිඹුව දුටු කැඩපතට වඩා දෑවුරුද්දක් පුරා මා මගේ ජීවන වින්‍යාසය දකින මේ කැඩපත තුළින් උගත් දේ අපමණය. එයින් මට උදාවූ මිත්‍රත්වය, බොහෝ සහනදායී සිතිවිලි ඛෙදා හදාගැනිමට මෙන්ම මගේ නිර්මාණාත්මක හැකියාවන්ට අලූත් අර්ථ පූර්ණයන්ද ලබා දුනි.

කාලාන්තරයක් මුළුල්ලේ කාශ්ඨක කොළඹ නගරයේ දිවි ගෙවමින් ලැබූ අත්දෑකීම් බොහොමයක් “කොළඹ අහස යට ස්ත්‍රී සිතක්” තුළින් ගෙන එන්නටත්, එයින් කොළඹින් දුරස්ථ වූ ඔබ සැමගේ අතීත මතකයන් නැවත අලූත් කරන්නටත් මට අවස්ථාව ලැබුණේ කැඩපත තුළිනි. කාලීන අත්දැකීම් රසවත් කරමින් විවිධ අර්ථයන් ගෙනෙමින් ලියන්නටත්, එහි ඇති දෘඪ හා රළු ස්වභාවයන් ඉවත් කරන්නටත් කැඩපතින් මා ලත් පන්නරයට මම ඊට තුති පුදමි.

පස් වසක් සපිරෙන කැඩපත – සහස් සුවහස් මුහුණු ඒ මත විසිතුරුව ඔපවත්ව යෙහෙන් වැජඹෙනු දැක්ම මගේ සිහිනයයි. ප්‍රීතිය යි…..

තිමාණ ලොවක්, ද්විමාන තලයක් මත පිලිබිඹු කර පෙන්වන කැඩපත

randika wijesinghe - kadapatha

– රන්දික විජේසිංහ

නුදුරු අතීතයේ දිනයක අප්‍රිකානු ඝන වනාන්තරයක් මැද දැවැන්ත කැඩපතක් අටවා සතුන් එයට දක්වන ප්‍රතිචාර රූපගත කළ පරීක්ෂණය පාඨක ඔබ නරඹා ඇතැයි සිතමි. ඔබට එය මඟ හැරී ඇත්නම් අන්තර්ජාලය හරහා එය සොයාගැනීම එතරම් අපහසු නොවන නිසා හැකිනම් එය සොයා නැරඹීම බොහෝ වටින බව සඳහන් කරමි. බොහෝ සතුන් කැඩපතින් තම රුව දැක තිගැස්සෙති, භීරාන්තද වෙති.

මෙම පළමු තිගැස්සීමෙන් පසු එයට සතුන් තෙයාකාරයකට ප්‍රතිචාර දක්වන බව පෙනේ.

සමහරු එයට ගල් ගසති. එය විනාශ කිරීමට වළි කති. සමහරු එය සත පහකටවත් ගණන් නොගනිති. අනිත් කාණ්ඩයේ අය එය දෙස බලා කල්පනාවේ නියැලෙති, එය වැළඳ ගැනීමටත් එය තේරුම් ගැනීමටත් උත්සාහ කරති.

වසර දෙකකට පමණ ඉහතදී කැඩපත ඉදිරියට පාඨකයෙකු ලෙස පැමිණි මා එලෙසම තිගැස්සීමකට ලක්විය විය. එතැනින් ඔබ්බට ආධුනික ලියන්නෙකු ලෙස කැඩපත ඔප දැමීමට වරම් ලැබීම ලියන්නෙකු ලෙස මා යන ගමනේ විශාල සංධිස්ථානයක් බව නොකිවමනාය.

මෙයින් පසු සංසිද්ධි දෙකක් සිදු විය.

කැඩපත, තිමාණ ලොවක්, ද්විමාන තලයක් මත පිලිබිඹු කර පෙන්වන්නකි. නමුත් එක්වරම බලන්නෙකුට පළමුව ඇස ගැටෙන්නේ මාන දෙකකි. තුන්වන මානය, එසේත් නැත්නම් “ගැඹුර” දැකීම පසුව සිදුවන්නකි. විශාල කැඩපතක් ඉදිරියේ සිටගන්නා ඔබට පළමුව පෙනීයන්නේ ඔබගේ රුවයි. නමුත් තම රුව දැකීමට ඇති ආශාවෙන් මිදී බැලූ කල කැඩපත තුළ ඔබ පසුබිමේ ඇති සියල්ලත් පිලිඹිබුව ඇති බව නිරීක්ෂණය කළ හැක.

එලෙසම ලියන්නෙකු හා පාඨකයෙකු ලෙස කැඩපත තුළින් ප්‍රථමව මාගේ පිලිබිඹුව පමණක් දුටු මට, කාලයාගේ ඇවෑමෙන් කැඩපතේ තෙවන මානය දර්ශනය වන්නට විය. විවිධ චරිත, අත්දැකීම් හා විභාවනයන් කැඩපතේ අහු මුළු වලින් එබිකම් කරන්නට විය. දිනක් හදිසියේම මා හට කැඩපත තුළින් එහි දහස් ගණනක් දයාබර පාඨක ජනයාගේ ප්‍රතිබිම්බ පෙනී ගියේය. එවිට කැඩපතේ ඇති මාගේ පිළිබිඹුව ඉතා කුඩා තිතක් බවට පත් විය.

දෙවන සංසිද්ධිය නම් තිමිර, සාගර හා සාමන්ත වැනි සහෘද රචකයින්ගේ අමිල ඇසුර හරහා මාගේ වියමන් ඔපවත් වීමයි. මෙවන් සංවාදවල ප්‍රතිඵලයක් ලෙස “ජාත්‍යන්තර ශිෂ්‍යයාගේ දිනපොත” බිහි විය. ජාත්‍යන්තර සිසුන්ගේ ජීවිතයේ පැතිකඩක් පාඨකයා වෙත ගෙන හැර පාන මෙම වියමන් පෙළ නොසිතූ අයුරින් සමාජගතවීම, ලිවීමේ කාර්යයේ දිගින් දිගටම නිරත වීමට මා දිරිමත් කළේය. කැඩපතේ මාගේ රුව පිළිබිඹු කිරීමේ අවශ්‍යතාවය මා පළමුව කියූ අයුරින් සිඳී ගොස් ඇති නිසා “ඉන්ද්‍රචාප” නම් අන්වර්ථ නාමය හරහා මෙම ලිපි පෙළ වියමන් කරන ලදි.

කැඩපතට ගල් නොගසා එය වැලඳ ගැනීම, මාගේ විභාවනය අතිශයින් වෙනස් මානයකට යොමු කිරීමට සමත් විය. මා කැඩපතටත් එහි දයාබර පාඨක පිරිසටත් සදා ණයගැතිය.

“කැඩපත” දකින්නට නොව සිතන්නට

Ven Idiparape Dhammasiri - kadapatha

– ඉඳිපරපේ ධම්මසිරි හිමි

වසර දෙකකට වැඩි කාලයක් “කැඩපත” පාඨකයෙකු මෙන් ම ලේඛකයෙකු ලෙස ද ඒ හා රැඳී සිටින අපහට හයවැනි වසරට පා තබන කැඩපතින් පෙනුණු දේවල් පිළිබඳ ව ආවර්ජනයක් කරන්නට ලැබීම සතුටකි.

කැඩපත හෙවත් කණ්ණාඩිය (mirror) යන්නට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය අර්ථ දක්වන්නේ “a piece of special flat glass that reflects images, so that you can see yourself when you look in it” යනුවෙනි. ඒ අනුව කැඩපතින් සිදුවන ප්‍රධාන ම කාර්යය අපට අපි ව බලාගැනීමට හැකිවීමයි. අඳින පළඳින දේවල්වල, හිස සකසා ගන්නා ආකාරවල අඩුපාඩු සකසා ගැනීමට කැඩපත භාවිත නොකරන අයෙකු සොයා ගත නොහැකි තරම්ය. ඒ ආකාරයට ම අපට, අපගේ ජීවිතවල අඩුපාඩු සකසා ගැනීමට අපවම කැඩපතක් කරගත හැකි බව බුදුන් වහන්සේ වරක දී දේශනා කළහ.

“කැඩපත” මාසික සිංහල පුවත් සඟරාව සැබැවින් ම පාඨකයන්ට ජීවිතය යනු කුමක්දැයි නිවැරදි ව දකින්නට පමණක් නොව බුද්ධිමත් ව සිතන්නට ද මග පෙන්වයි. එහි අන්තර්ගතය නවමු අදහස්වලින් පරිපූර්ණය. වියත්, නිර්මාණශීලී ලේඛකයන්ගේ සම්පත් දායකත්වය ලබාගෙන, විවිධ විෂයයන් ඔස්සේ පාඨකයාගේ දැනුම, රසඥතාව, චින්තන ශක්තිය පෝෂණය කරන්නට කැඩපතට හැකියාව ලැබී ඇත. වැව රවුම, මට වැරදුණු තැන්, මේපල් ගහ යට පොඩි සාදුගේ දේශනාව, අසම්මත විචාරය, ඉන්ටර්නැෂනල් සිස්සයා ආදී විශේෂාංග පාඨකයන්ගේ සිතීමේ හා විමසීමේ නිදහස පුළුල් කරන්නට සමත් වෙයි. මේවායේ එන ඇතැම් ප්‍රකාශන ඇතැමෙකුට රිදෙන එAවා විය හැකිය. මධ්‍යස්ථ ව සිතා බැලූවහොත් එසේ රිදෙන්නේ ඒවායෙන් පෙන්වන අඩුපාඩුකම් චරිත අභ්‍යන්තරයේ ඇති අයටය. එවැනි අවස්ථාවල නිර්දය විවේචනවලට, සාහසික නින්දා අපහාසවලට කැඩපත ලක් වූ අවස්ථාවන් ද තිඛෙන්නට ඇත.

බුද්ධිමත් පාඨකයෙකු නම් කළයුත්තේ කැඩපත තම ජීවිතයේ අඩුපාඩු සම්පූර්ණ කර පරිපූර්ණත්වයට පත් කරන්නට මග පෙන්වීමක් කරන බව තේරුම් ගැනීමයි. එය පුද්ගලයාගේ ස්වයං බුද්ධිය ක්‍රියාත්මක වීමකි. ස්වයං ප්‍ර×වක් නොමැති නම් ඔහු කෙතරම් දැන උගත්කම් ඇති ව සිටිය ද අසම්පූර්ණ පුද්ගලයෙකි. නාරායණශර්මන් නම් ඉන්දීය පඬිවරයා හිතෝපදේශ නම් සංස්කෘත ග්‍රන්ථයේ මෙබඳු අදහසක් පළ කරයි.

යස්‍ය නාස්ති ස්වයං ප්‍රඥා ශාස්ත්‍රං තස්‍ය කරෝති කිම්
නේත්‍රාභ්‍යාං විහීනස්‍ය දර්පණඃ කිං කරිෂ්‍යති ?

යමෙකුට ස්වයං ප්‍රඥාව නොමැත්තේ නම් ඔහු ඉගෙනගත් දෙයින් කුමක් කරන්න ද ? නෙත් අන්ධ වූ අයෙකුට කැඩපතින් ඇති ඵලය කුමක් ද ?

දෑසින් දැක, කියවා, බුද්ධියෙන් විමසා ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා දෙය සිය චර්යාවන්ගෙන් ප්‍රකට කළ හැකි නම් එය අපෙන් ලෝකයට දෙන උසස් ම ත්‍යාගයයි. දායාදයයි. කැඩපතින් අප ගත යුතු ප්‍රයෝජනය, ඵලය එය විය යුතු බව අපගේ විශ්වාසයයි. එසේ නොමැති ව අහංකාරකමින්, ඊර්ෂ්‍යාවෙන් අන්ධ ව තමන්ට හරිහැටි නොපෙනෙන බව සඟවා, කැඩපතට දොස් කීමෙන් සිදුවන්නේ බුද්ධිමත් සමාජය හමුවේ තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කිරීම පමණි.

මිනිසත් බවේ උත්කෘෂ්ට දායාදය ලොවට දෙන්නට දායකයෙකු ලෙස “කැඩපත” සිදු කරන සමාජ මෙහෙවර අපගේ නොමඳ ප්‍රශංසාවට ලක් වන බව සඳහන් කරනු කැමැත්තෙමි. තවත් චිරාත් කාලයක් සුවහසක් පාඨකයන්ගේ ගුණ නුවණ දියුණු කරන්නට කැඩපතට ශක්තිය ලැබේවායි හෘදයාංගම ව ආශීර්වාද කරමි.

පුරා පස් වසක් මා දුටු කැඩපත

Priyanka Kahawanugoda-kadapatha

– ප්‍රියංකා කහවණුගොඩ

ප්‍රධාන ධාරාවේ පුවත්පත් දැක තිබුණා විනා ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ අපට ප්‍රජා පුවත්පත් යනු කුමක්දැයි අවබෝධයක් තිබුණේ නැත. මුලින්ම මා ප්‍රජා පුවත්පත් හඳුනා ගත්තේ ඕස්ට්‍රේලියාවෙනි.

ඒ වන විටත් මෙල්බර්න් නුවර ප්‍රජා පුවත්පත් දෙක තුනක්ම ප්‍රකාශයට පත්වෙමින් තිබුණි. ලාංකේය ප්‍රජාවේ ප්‍රියසාද, මංගල උත්සව, උපහාර උළෙල ආවරණය කරමින් පළකරන ලද පිංතූරවලින් ඒවායේ පිටු පිරී තිබුණා මතකය. තම තමන්ට ඇති හැකි තරමින් ලේඛකයන් එකතු කරගෙන පළ කරන ලද ශාස්ත්‍රීය ලිපි කොයි කාලයටත් ගැලපෙන වර්ගයේ ලියමන්ය. ඇත්ත වශයෙන්ම එවැනි ලිපි සහිත මුද්‍රිත ප්‍රකාශන පුවත් සඟරා ගොන්නට විනා පුවත්පත් යටතට වැටෙන්නේ නැත. සඟරාවල පළ වන්නේ සර්වකාලීන වටිනාකමක් යුතු ලිපි විනා කාලීන, එදිනෙදා තොරතුරු නොවේ. පුවත්පතක් යනු ඊට වෙනස් ප්‍රකාශනයකි. දිනපතා පුවත්පතක නම් කාලීන වටිනාකමින් යුතු එදිනෙදා ප්‍රවෘත්ති ඇතුළත් වන්නා සේම පසුදිනය වන විට එහි වටිනාකම නැත්තටම නැති වී ඒවා පිළුණු පුවත් බවට පත් වී හමාරය. ඉරිදා පත්තරයක ඒ සතියේ ප්‍රවෘත්ති මෙන්ම විශේෂාංගද ඇතුළත් වෙයි. ඒ සතියට වැදගත්වන පුවතක් තුළ සැඟවුණ සිත්ගන්නාසුළු කුහුල දනවන පසුබිම එළිදරව් කෙරෙන විශේෂාංග යනු ඉරිදා පුවත්පතක ප්‍රධාන ආකර්ශණයකි. එහෙත් සඟරාවක් යනු මේ දෙකටම වෙනස් ප්‍රකාශනයකි. ස්ර්වකාලීන වටිනාකමින් යුතු ලිපි අඩංගු වන සඟරාවක් යනු බොහෝ විට දෙසතියකට හෝ මාසයකට වර් එළි දකින ප්‍රකාශනයකි. එය නැවත නැවතත් ළඟ තබාගෙන විඩින් විඩේ කියවීමට බාධාවක් නැත. අන්තර්ගතය පරණ වන්නේ නැති නිසාය. එනයින් ගත්විට මෙල්බර්න් නුවරදී මා දුටුවේ පුවත්පත් නොව පුවත් සඟරාය.
මෙයින් පස් වසකට පෙර කැඩපත එළි දකින්නේ මෙවැනි පසුබිමකදී ය.

ප්‍රජා පුවත්පත් කලාව ගැන කිසිදු හරිහමන් නිදසුනක් ගුරුකොට ගැනීමට නොතිබූ පසුබිමක කැඩපත තනිවම සිය ගමන අරඹා තිබුණි. එසේ ගමන් අරඹන්නට තරම් දැක්මක්ද කැඩපත සතුව තිබුණු බව මට වැටහුණේ දෙතුන් මසක් ගතව ගිය තැනදීය. එහි මා දුටු සිත් අලවන සුළු බව නම් එහි හැම අකුරක් පාසාම කැටිව තිබූ නිර්මාණශීලී බවයි. සැමවිටම තමන් සැඟවී ප්‍රකාශනය ඔසවා තබන්නට කැඩපත උත්සාහ කළ බවද මම දනිමි. පුද්ගලිකව තමන් හා අමනාපකම් තිබූ සමහරුන්ගේ නිර්මාණ පවා ගුණාත්මක භාවය පදනම් කරගෙන අගය කරන්නට තරම් කැඩපත නිහතමානී විය. පත්තරයකට පුද්ගලික යාලූ මිත්‍රකම් සේම අමනාපකම් ගාවා නොගැනීමටද පරිස්සම් විය.

කැඩපතේ මා දකින අනෙක් වෙනස නම් කාලීන වටිනාකමයි. විශේෂාංග ලිපියක් පවා එහි පළ වෙන්නනේ එය කාලයට වාරයට සමානුපාතික වන්නේ නම් පමණි. නිරන්තර මව්බිමේ පළ වන ප්‍රධාන ධාරාවේ පුවත්පත් ඇසුරු කරමින් අවදියෙන් සිට, තෝරාබේරා ගෙන මෙරට පාඨකයන් වෙත ගෙන එයි. විශේෂාංග ලිපියක්, කුඩා කටු සටහනක් හෝ තීරු ලිපියක් ආදී කුමක් මුත් නිර්මාණශීලීව ඉදිරිපත්කරන්නට සමත් දක්ෂ ලේඛක පිරිසක් කැඩපතට සිටියි. මේ තරම් හොඳින් ලියන ලේඛකයෝ කොහේ සැඟව සිටියාදැයි අපට සිතෙන්නේ කැඩපත තීරු ලිපි කියවන විටදීය.

ප්‍රජා පුවත්පතක් නම් එම ප්‍රජාවගේ හැටි සොබාවද හඳුනාගත යුතුය. වියයුතු පරිද්දෙන්ම කැඩපත ඉතා සාර්ථකව ඒ අභියෝගය ජයගත් බව දැනෙන්නේ ලංකාවෙන් මෙහි පැමිණි සිසුන් ගැන කතාකරන්නට පිටුවක් වෙන්වීම තුළිනි. මෙල්බර්න් නුවර සිංහල ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් ශිෂ්‍ය ප්‍රජාව විසින්ද නියෝජනය කරනු ලබයි.

මේ අල්ලපනල්ලේ කැඩපත, ලංකාවෙන් පිට විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ සිටින දක්ෂතා ඇති කලාකරුවන් වෙනුවෙන් වෙන් වූ පිටු දෙකක අපූරු ලිපිමාලාවක් ආරම්භකර ඇත. මෙහිදී එම ලිපි ආරම්භ කරන ආකාරය පවා වෙනසක් දනවයි. පිටු සැකැස්මේ පටන් දැනෙන්නේ නැවුම් බවකි.

කිසිදු ප්‍රකාශයක් ගුරුකොට නොගනිමින්, හිතූමනාපයට වෙනස්කම් කරමින් කැඩපත මේ යන්නේ තමන්ගේම ගමනකි. ඒ ගමන නිදහස් ය. නිර්මාණශීලීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *