sandhaya wijesundara - kadapatha

නිද්‍රාව බි‍‍ඳිනු මැන !

මම ඉපදුණේ ෛඑතිහාසික පුරවරයක් වූ තිස්සමහාරාමයේ දී. මා ජීවත් වූ නිවස ඉදිවෙලා තිබුණේ ගැමුණු කුමාරයත් – තිස්ස කුමාරයත් කුඩා කාලයේ සෙල්ලම් කරන්න පැමිණි පිට්ටනියකට අයත් භූමියක. මගේ මහ ගෙදර වටේටම තිබුණේ ගල් කණු. සමහර ඒවා කෙළින් අතට එහෙමම තිබුණා. සමහර ඒවා ඒ පැත්තට මේ පැත්තට ඇලවිලා. සමහර ඒවා බිම වැතිරිලා. මගේ දෙමව්පියන් කියන අතීත කතා වලට අනුව මේ ඉඩමේ මාලිගාවක් තිබිලා තියනවා. මාලිගාවක් විතරක් නෙමෙයි පැරණි පන්සලකුත් තිබුණාලූ. වගාවන් සඳහා ඉඩම කොටන සමහර අවස්ථාවල දී මේ පොළවෙන් ගල්පිලිම ආදී පෞරාණික දේවල් මතුවෙන්න පටන් ගත්තා. අන්තිමේ දී මගේ සීයා අපේ ඉඩම පන්සලක් වෙනුවෙන් පරිත්‍යාග කළා.

ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් හැන්දෑවේ ඒ ගල්කඳු උඩ වාඩිවෙලා මම සිංදු කියනවා. ඒ කාලයේත් මට දැනුනු දෙයක් තමයි මා වටේ කවුරුන් හෝ ඉන්නා බව. පලාත හරිම සුන්දරයි. ඉද්ද ගැසුවා වාගේ ගුරු පාරවල් – වැව් කණ්ඩි – වෙලේ නියරවල් – හේන් දිගේ මම පුළුවන් තරම් සෙල්ලම් කළා. රතු මිරිස්, බඩ ඉරිඟු, වට්ටක්කා, කැකිරි යායවල්. වටේ පිටේම කුරුල්ලන්ගේ ගී හා වැස්ස දිහා මම බලාගෙන හිටියේ හරිම ආශාවකින්. ඇත්තටම වැස්ස කියන්නේ ලස්සන ගීතයක්.

හැන්දෑවේ වැඩ අහවර වෙලා අම්මා තාත්තා නිවසේ මිදුලේ වාඩිවෙලා කතාකර කර ඉන්නවා. තාත්තා සිංදු කියනවා. මම අම්මගේ උකුලට හිස තියාගෙන මේවා අහගෙන ඉන්නවා. දන්නෙම නෑ මට නින්ද ගිහින්.

තාත්තාගේ මල්ලීට, ඒ කිව්වේ මගේ බාප්පට සංගීත කණ්ඩායමක් තිබුණා. සර්පිනාව – තබ්ලාව – ඩොලැක් එක – වයලීනය තමයි ඒ අයගේ සංගීත භාණ්ඩ. බාප්පා සර්පිනාව වයනකොට මම කාමරේ දොර රෙද්දේ එල්ලිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. පස්සේ පස්සේ බාප්පාගේ සංගීත කණ්ඩායම ගමේ ගෙවල්වල සාජ්ජ දානකොට මමත් ගිහින් සිංදු කිව්වා. මේක මගේ ආරම්භය වෙන්නට ඇති.

තිස්සමහාරාමයේ ඉඳලා මගේ අම්මා තාත්තා අටුලූගම වැලන්ටයින් වත්ත මිලයට අරගෙන මල්ලිලා දෙන්නත් නංගිත් සමග එහි පදිංචියට ආවා. මේ වත්තේ පරිසරයත් එක්ක තිස්සමහාරාම පරිසරයේ වෙනසක් මට දැනුනේ නෑ.

රුවන්වැල්ලේ රාජසිංහ මහා විද්‍යාලය මගේ පාසල උනා. එහිදී මම නැටුම් කලාව විෂයයක් ලෙස හැදෑරුවා. හැබැයි සංගීතය නම් කළේ නෑ. සිංදු කිව්වා. ඒ කාලේ ජනප්‍රිය ගායිකාවන්ගේ ගීත ඔහේ කිව්වා. තවමත් ඒ ගීත කැසට් පටයක පටිගත කරලා මා ළඟ තියනවා. ස්වර දැනුමක් නැතුව මම ඒ ගීත හොඳින් ගායනා කරලා තියනවා කියලයි හැමෝම කියන්නේ.

මගේ ජීවිතයේ අලූත්ම වෙනසක් ඇතිවූවේ මේ කාලයේ. ඒ මට ප්‍රියා මුණ ගැසීම. අපි විවාහ වුනේ 1987 දී. ලෝචන සහ පසිඳු මගේ දරුවන් දෙදෙනා. මගේ ගීත ඇසූ ප්‍රියා (ප්‍රියානන්ද විජේසුන්දර) මගේ කැසට් පටියක් කිරීමට අදහසක් ගෙනාවා. ප්‍රියාගේ බිරිඳ වූ මට ඒ කාලයේ කැසට් පටයක් කිරීම හරිම ලේසි දෙයක්. ඒත් මාධ්‍යය තුළ ප්‍රියාට තිබූ අවිවේකී බව නිසා ඒ අදහස දවසෙන් දවස කල් ගියා.

1995 දී අපි නවසීලන්තයට ආවා. ඒ කාලයේ නවසීලන්ත උත්සවවලට නැටුම් නිර්මාණය කරන්නට කිසිවෙකුත් හිටියේ නැහැ. නැටුමක් නිර්මාණය කළා නම් එහෙම කළේ පැරණි වීඩියෝ පටයක තිබුණු කාගේ හෝ නැටුමක් දිහා බලාගෙන නැටුමක් නිර්මාණය කර ගැනීම. ඒත් 1995 නවසීලන්ත නත්තල් සාදය වෙනුවෙන් නවසීලන්ත දැරියන් දෙදෙනෙකුට “රූ රැසේ අඳිනා ලෙසේ” ගීතය අනුව නැටුමක් නිර්මාණය කර නවසීලන්ත ඉතිහාසයේ මුල්ම නිර්මාණාත්මක රංගනය ඉදිරිපත් කරන්නට මට හැකිවුනා.

මෙයින් පසු නවසිලන්ත එක්සත් ශ්‍රී ලංකා සංගමයේ එවකට හිටපු ලේකම්වරයා වූ ජිත්මන් රාමචන්ද්‍ර මහතා මට ආරාධනා කළා නවසීලන්ත දරුවන්ට නැටුම් පුහුණු කොට ප්‍රසංගයක් කරන්නට. ඒ අනුව 1996 සිංහල අලුත් අවුරුදු උළෙල වෙනුවෙන් “හෙළ මිහිර” නම් ප්‍රසංගයක් අතිසාර්ථකව පැවැත්වුවා. තවමත් මේ “හෙළ මිහිර” ප්‍රසංගය පැවැත්වෙනවා.

වසර කීපයක්ම නවසීලන්ත දරුදැරියන්ට මම නොමිලයේ රංගන පුහුණුව කළා. නවසීලන්ත පාසැල්වල සිංහල සංස්කෘතික කණ්ඩායම් මුලින්ම බිහිවුණේ මගෙන් නැටුම් ශිල්පය හැදෑරු දරුවන්ගෙන්වීම මට ආඩම්බරයක්.

මගේ ගුරු උපාධියේ කටයුතුත් දරුවන්ගේ අධ්‍යාපනයත් නිසා මේ සියලු කලාවන් තාවකාලිකව නතර වුණා.

පසු කාලයක නවසීලන්ත ප්‍රසංග වේදිකාවක “සවන මධු” ප්‍රසංගය සඳහා මම ප්‍රියා සමග යුග ගීතයක් ගායනා කළා. මෙයත් අලුත් ආරම්භයක් වුණා. එදා ඉඳලා නවසීලන්ත හැම ප්‍රසංගයකම ගී ගයන්නට මට ආරාධනා ලැබුණා. නවසීලන්ත සෑම සිංහල සංවිධානයකම ප්‍රසංග වේදිකාවල ගී ගයන්නට මට ආරාධනා ලැබුණා. ප්‍රවීන ගායන ශිල්පීන් – ටී එම් ජයරත්න, කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රියංකර පෙරේරා, රනිල් මල්ලවාරච්චි ආදීන් සමග යුග ගී ගයන්නට මට අවස්ථාව ලැබුණා. කලාශූරී විජේරත්න වරකාගොඩ අලුත් උදෑසනක් වේදිකා නාට්‍යයේ “ලන්දු” ගේ චරිතයත්, කලාශූරී රෝහන බැද්දගේ නිර්මාණය කළ “අලකලංචිය” වේදිකා නාට්‍යයෙ “කඩේ හාමිනේ” චරිතයත් නවසීලන්තයේ රනුක පෙරේරා නිර්මාණය කළ “සත්‍යය ඇණ ගසයි” පාස්කු නාට්‍යයේ ‘මරිය මව් තුමියගේ’ චරිතයත් රඟපාන්නට මට අවස්ථාව ලැබුණා. සුමිත්‍රා රාහුබද්ධ නිෂ්පාදනය කළ “සාරා” ටෙලිවෘත්තාන්තයේ “සමින්ද්‍රා” ගේ චරියත් මම රඟපෑවා.

මේ අතර “පස් මල් පෙති” නමින් අපි පස් දෙනෙකු එකතුවෙලා ගී ප්‍රසංගයක් ආරම්භ කළා. මෙහි අරමුණ වුණේ යම් මුදලක් එකතු කොට ශ්‍රී ලංකාවේ දරුවන්ට පරිත්‍යාග කරන්නට. මේ අනුව මුල් “පස් මල් පෙති” ප්‍රසංග දෙකේ සම්පූර්ණ ලාභය කිදෙල්පිටියේ පගද්දලා ළමා නිවාසයටත්, අවසන් “පස් මල් පෙති” ප්‍රසංගයේ ලාභය ප්‍රීතිපුර ළමා නිවාසයටත් පරිත්‍යාග කළා.

සංයුක්ත තැටියක් නෙවෙයි. ගීතයක් දෙකක් අලූතින් කරන්නට මටත් ආශාවක් තිබුණා. ඒත් ප්‍රියාගේ අදහස වුණේ ගීත එකතුවක්ම කරන්නට.

මගේ ඒක පුද්ගල ගීත එකතුවේ සිහිනය යලිත් වරක් ප්‍රියා මතු කළා. අන්තිමේ දී “නිද්‍රාව බිඳිනු මැන” නමින් ගීත තැටියක් නිර්මාණය කළා.

කුඩා කල සිටම මගේ ජනප්‍රියම ගායන ශිල්පියා වුුණේ ආචාර්ය වික්ටර් රත්නායක. වික්ටර් අයියාගේ තනුවකට ප්‍රියා ලියූ ගීතයක් ගයන්නට මට මහත් ආශාවක් තිබුණා. මේ සංයුක්ත තැටියට මම කොහොම හරි ඒ ආශාව ඉටුකර ගත්තා. වික්ටර් රත්නායකයන් ඔහුගේ අගනා නිර්මාණයක් මා වෙනුවෙන් නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ තවත් ප්‍රවීණ සංගීත අධ්‍යක‍ෂවරයෙකු වූ නන්දසේන කටුවාවල මහතා ද මගේ ගීත සඳහා තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක‍ෂණය කළා.

හැකි සෑම අවස්ථාවකම තවත් කෙනෙකුට අතදීම මගේ ප්‍රතිපත්තියක්. මේ අනුව නව ගීත රචකයන් දෙදෙනෙකු වූ ශ්‍රී ලංකාවේ ජීවත්වන අසංක සඳරුවන් සහ දැනට ඉතාලියේ ජිවත්වන සම්පත් විජේසූරිය සහ කැනඩාවේ ජීවත්වන සන්ධ්‍යානී සේනාරත්න යන නව පරපුරේ අයගෙන් “මුහුණු පොත” (FB) ඔස්සේ ගීත රචනා ලබාගෙන මම මගේ ගීත එකතුවට ඇතුළු කළා. ප්‍රියානන්ද විජේසුන්දර (ප්‍රියා) ද ගීත රචනා කළා. නවසීලන්තයේ ජීවත්වන ගීත රචිකාවියක් වන රමණි රුක්ලාන්ති මහත්මිය ද මට ගීතයක් රචනා කර දුන්නා.

මගේ මුල්ම ගේයපද රචනාව ද මෙම සංයුක්ත තැටියට ඇතුළත් වුණේ “පෙර ආත්මයේ වසුන්දරා” නමින් මේ මගේ ළමා කාලයේ පරිසරය මතක් වීම නිසාවෙනි. මේ ගීතයේ තනුව ගංඟා විමලවර්ධනගෙනි. සංගීතය නන්දසේන කටුවාවලගෙනි.

මේ අතර උෂාන් අලහකෝන් නම් වූ නව පරපුරේ සංගීත අධ්‍යක‍ෂවරයෙකු මට මුණ ගැසුණා. සියලුම ගීතවල සංගීතය ලංකාවේ සංගීත අධ්‍යක‍ෂවරුන් ලවා කරවා ගන්නට බලාපොරොත්තු උනත් උෂාන්ගේ දස්කම් හමුවේ ඒ අදහස වෙනස්කර ගීත කීපයක්ම සංගීත අධ්‍යක‍ෂණය උෂාන්ට බාර කළා. උෂාන් අපගේ විශ්වාසය අකුරටම ඉටුකළා. ගීත සියල්ලේම හඬ පටිගත කළේ නවසීලන්තයේ දී. පටිගත කිරීමත් හඬ පාලනයත් කළේ ප්‍රියා. හඬ සහ සංගීතය මිශ්‍රණය (Mixing) කරන්නට උෂාන්ට බාර කළේ ඔහු තරුණ පරපුරේ අදහස් හා නිර්මාණ හැකියාවක් ඇති කෙනෙකුවීම නිසා.

මෙම ගීත නිර්මාණය කිරීම ආරම්භ වුණේ 2011 දී. වරින්වර කල් ගියා. අන්තිමේ දී පැරිසියේ ජීවත්වන මගේ අම්මා 2015 ඔක්තෝබර් මාසයේ නවසීලන්තයේ නිවාඩුවකට එන නිසා “ඔයාගේ අම්මා අතටම මේක දෙන්න” කියලා ප්‍රියා යෝජනා කළා.
ශ්‍රී ලංකාවේ දී ආරම්භ වූ මගේ ඒක පුද්ගල ගී එකතුවේ සිහිනය සැබෑ වුනේ 2015 දී නවසීලන්තයේ දී අවුරුදු 25 කට පස්සේ. කමක් නෑ හොඳ නිර්මාණයක් කරන්නට කාලය බලපාන්නේ නෑ කියලා මට විශ්වාසයි.

2015 ඔක්තෝබර් 26 දා නවසීලන්තයේ දී එළි දුටු මගේ මුල්ම සංයුක්ත තැටිය “නිද්‍රාව බිඳිනු මැන” ගීත සංග්‍රහයට හැම කෙනෙකුගේම ප්‍රශංසාව හිමිවුණා. හැම කෙනෙක්ම ගීත අගය කළා. බොහෝ අයගේ වාහනවල නිවෙස්වල නිතර දෙවේලේ වාදනය වන්නේ මගේ සංයුක්ත තැටිය කියල ඒ අය කියනකොට මට ඇතිවෙන්නේ මහත් සතුටක්. බොහෝ දෙනෙකුට මෙහි ගීත කට පාඩම්. එක එක්කෙනා කැමති එක එක ගීත වලට. ඒකත් වැදගත්. මොකද හැම කෙනෙකුගේම රසයට ගැලපෙන විදියට මම ගීත එකතුවක් කළ නිසා. මේ ගීත එකතුවට උෂාන් අලහකොන්න් – ඩොන් ඩිලන්ත – නිසාන් පිරිස් යන නවසීලන්ත දරුවන් සමග පීටර් පෝල් නම් ප්‍රවීණ තාල තරංග වාදන ශිල්පියා වාදනයෙන් සහාය වුණා.

මෙම ගීත අන්තර්ජාලය ඔස්සේ අසා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක‍ෂවරයෙකුගේ නිර්මාණයකට ගීතයක් ගැයීමට මට වරමක් ලැබුණා. සංගීත අධ්‍යක‍ෂවරයා එම ගීතය මට එවා තිබුණා. නුදුරු අනාගතයේ දී ඔබට එම ගීතයත් අහන්නට ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *