Melbourne Sky by Saamantha tennege

වසර 50 කට පෙර මෙල්බර්න් අහසේ දුටු පියාඹන පීරිසි

මුනිදාස වංශපුර විසිනි (Munidasa Wanshapura)

මේ පොලෝ තලය මත මිනිස් සේයාවක්වත් දක්නට නොවූ අවදියේදී පවා ඉර හඳ තාරකා හා ග්‍රහලෝක මෙන්ම විවිධාකාරයේ ආලෝක ධාරාවන්ද ඒ මේ අත ඇදීයන දීප්තිමත් වස්තූන්ද අද මෙන්ම ඈත අහසෙහි දර්ශනය වන්නට ඇත. තම ගල්ගුහා තුළට වී රාත්‍රී අහස දෙස විශ්මයෙන් බලා සිටි අපේ මුතුන් මිත්තෝ මෙම දර්ශන පිළිබඳව කලින් කල විවිධ විශ්වාස, ජනප්‍රවාද හා සංකල්ප ගොඩනගන්නටද ඇත. එදා ඔවුන්ගේ සිත්වල නැගුනු දේ අතර පිට සක්වල ඇත්තන් හා ඔවුන්ගේ යනාවන් පිළිබඳව යම් අදහසක්ද තිබු බවට අවුරුදු දහස් ගණනකට පෙර ඇඳි ඇතැම් සිතුවම් අපට යම් ඉඟියක් ලබා දෙයි. එහෙත් අහසෙහි වරින් වර දර්ශනය වන අද්භූත යානාවන් “පියාඹන පීරිසි” ලෙස හඳුන්වන්නට පටන් ගත්තේ මෑත කාලයේදීය. බොහෝ දෙනා විසින් මෙම පදය භාවිතයට ගත්තේ 1957 දී පමණ ඇමෙරිකානු ගුවන් නැවියෙකු වූ කෙනත් ආර්නෝර්ඩ් විසින් තමන් විසින් දුටු අදිසි යනාවන් සමූහයක් පිරිසි හැඩයෙන් යුක්ත එවා ලෙස විස්තර කිරීමත් සමගය. එහෙත් වඩාත් විදුහුරු වන්නේ අවසන් නිගමනයට එළඹෙන තෙක් මෙවැනි දෑ හඳුනා නොගත් පියාඹන වස්තූන් ලෙස හැඳින්වීමය.
අභ්‍යාවකාශ යුගයේ ආරම්භයත් සමග නිපදවුනු විවිධ ගගන යාත්‍රාවන්ද, විශ්වය පිළිබඳව පෙරීමකින් තොරව ජනතාව වෙතට ගලා ආ තොරතුරුද, පිටසක්වල ඇත්තන් හා පියාඹන පීරිසි පිළිබඳ පොදු ජනයාගේ කුතුහලය මෙන්ම උනන්දුව වඩාත් තිව්‍ර කිරීමට හේතුවිය. මේ නිසාම අදත් ලෝකයේ නන් දෙසින් පියාඹන පීරිසි පිළිබඳ තොර තුරු ගලා එන අතර මෙම හඳුනා නොගත් අකාශ වස්තූන් ගැන ගවේශණය කිරීම සඳහා පුළුල් වැඩසටහන්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර සැබෑ විද්‍යාත්මක ගවේශණ වලින් හෙලිවන කරුණු අතරට ඇදහිය නොහැකි ප්‍රබන්ධද එකතුවේ. ඒ, අද “පියාඹන පීරිසි” පිළිබඳ සංකල්පය ඇතැමුන්ගේ තවත් උන්මාදයක් බවට පත්ව ඇති නිසාය. තවත් විටෙක පියාඹන පීරිසි පිළිබඳ මිනිසුන් තුළ ඇති කුකුස සංචාරකයින් ඇදගැනීමේ උපාය මාර්ගයක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවන්ද ඇත.
ඕස්ට්‍රේලියාව තුළද හඳුනා නොගත් පියාඹන වස්තූන් ගැන සමීක්ෂණ කරන ප්‍රධාන ගවේශක කණ්ඩායම් ගණනාවක් ක්‍රියාකාරීව සිටිති. ඔවුන් වෙතද පියාඹන පීරිසි පිළිබඳව තොරතුරු නිරතුරුවම සැපයේ. පියාඹන පීරිසි දුටු අවස්ථා පමණක් නොව, පිටසක්වල ඇත්තන් හමු වූ අවස්ථාවන් ගැන මෙන්ම පියාඹන පීරිසියක් විසින් තම මෝටර් රථය ඉහළට ඔසවාගෙන ගිය අවස්ථාවක් ගැන තොරතුරුද ඒ අතර වෙයි. ඒවායේ සත්‍ය අසත්‍ය තාවයන් කුමක් වුවත් මීට අවුරුදු පණහකට පමණ පෙර මෙල්බර්න් නගරයට නුදුරු ක්ලේටන්හි වෙස්ටෝල් උසස් පාසල ආසන්නයේ දකින්නට ලැබුණු පියාඹන පීරිසිය සුවිශේෂී එකකි.
ඒ මක්නිසාදයත් එය දහවල් කාලයේදි සිය ගණනක් දෙනා විසින් වැඩි කාලයකදී හොඳින් දුටු සිදුවීමක් නිසා මෙන්ම මේ සිදුවීම දුටු බොහෝ දෙනා අදත් ජීවතුන් අතර සිටියදීත් අඩ සියවසක් ගෙවීගිය මේ මොහොතේ පවා එය තවමත් පැහැදිලි කළ නොහැකි අබිරහසක්ව පැවතීමයි.
ලෝකයේ නන් දෙසින් නිතර වාර්තාවන පියාඹන පීරිසි වලින් බොහොමයක් රාත්‍රී කාලයේ දක්නට ලැඛෙන ඒවා නිසා ඒවායේ නියම ස්වරූපය විස්තර වන්නේ මදවශයෙනි. එසේම ඒවා ගමන් කරන අධික වේගයත්, නිරීක්ෂකයා අතර ඇති අධික දුර ප්‍රමාණයත් නිසා කෙනෙකුට නිවැරදි විස්තරයක් කිරීමද අසීරු වෙයි. එමෙන්ම මෙවැනි අකාශ වස්තුවක් එකවිට නිරීක්ෂණය කරන්නට ලැඛෙන්නේද ඉතා ටික දෙනෙකුටය. ඒ අතින් “වෙස්ටෝල් පියාඹන පීරිසිය” වඩාත් ඉදිරියෙන් සිටී. එය වෙනත් ඒවා මෙන් නොව පැහැදිලි දවාලක, විනාඩි විස්සක පමණ කාලයක් තුළ ලොකු කුඩා සිය ගණනකට හොඳින් දර්ශනය වූවකි.
ඒ එක්දහස් නවසිය හැටහයේ අප්‍රේල් හයවනදා උදෑසන කාලයයි. එය හේමන්තයේ තවත් ප්‍රභාමත් දිනයක් වූ අතර වෙස්ටෝල් උසස් පාසලේ සිසුන්ද ඒ අසල් වැසියන්ද සුපුරුදු වැඩ කටයුතුවල නිරතව සිටියහ. එහෙත් උදෑසන එකොළහට පමණ එක්වරම පාසලට ඉහළින් ඇදී යන්නට වූ අද්භූත යානයක් නිසා පාසල තුළද අවට පරිසරයේද නිහඬතාවය සැනෙකින් බිඳී ගියේය.
මෝටර් රථ දෙකක් තරම් විශාල වූ පීරිසි හැඩගත් එම යානය පළමුවෙන්ම දුටු ක්‍රීඩාංගණයේ සිටි ළමුන් විශ්මයෙන් ඒ මේ අත දුවමින් කෑගසන්නට වූ අතර ඒ හඬ අසා පංති කාමරවල සිටි ගුරුවරුන් හා ශිෂ්‍යයෝද වහ වහා පිටතට පැමිණ සිදුවන්නේ කුමක්දැයි බලන්නට වූහ. නොඉවසිලිමත් වූ ඇතැමෙක් ඒ දෙසට දිව යන්නට වූහ. හදිසියේ තම කැමරාව ගැන මතක් වූ රසායන විද්‍යා ගුරුතුමිය කඩිනමින් මේ ආගන්තුක යානයේ ඡායාරූප ගන්නට උත්සුක වූවාය.
මේ අතර සෙමින් ගමන් කළ නිල් අලූ පැහැති ලෝහමය දිලියුමක් තිබූ මෙම යානය ගිනිකොන දෙසට ඇදීගොස් පයින් ගස් වලට ඔබ්ඛෙන් වූ හිස් බිමට පහත් විය. මෙය දුටු අසල්වැසි කාන්තාවක් පවසා තිබුණේ ගොඩ බෑම සඳහා තැනක් සොයමින් මෙන් පාසලට ඉහළින් කරකැවුනු මෙම යානය පසුව තණබිම දෙසට පහත් වූ බවය. කෙසේ හෝ යානාව පහත්වනු දුටු ළමෝ පාසල් මායිම තෙක් දිව ගියහ. ඇතැමෙක් වැටට උඩින් පැන ඒ දෙසට ළඟා වීමට තැත්කළහ. එහෙත් ස්වල්ප වේලාවකින් එම යාන මුඩුබිමින් ඉහළට ඇදී නිරිතදිග දිශාවටම ගමන් කරන්නට විය. ඒ සමගම කුඩා ගුවන් යානා පහක් පමණ එය ලූහුබඳ යනු දකින්නට ලැබුණු නමුත්, වේගයෙන් ගමන් කරන්නට පටන්ගත් එම ආගන්තුක යානාව ආසන්නයට වත් එවාට ළඟාවිය නොහැකි විය. අවසානයේ එය දර්ශන පථයෙන් ඉවතව ගියද ආරම්භයේ සිට විනාඩි විස්සක පමණ කාලයක් පමණ මෙම පරිශ්‍රයේ රැඳී සිට ඇත.
කඩිමුඩියේ දිවගොස් පයින් ගස්වලට ඔබ්ඛෙන්වූ තණබිමට ළඟාවූවන්ට යානය තිබූ තැන වලයාකාර ප්‍රදේශයක තණකොල වැතිරී තිඛෙනු දැකිය හැකිවිය. එහෙත් එහි තණකොළ පිච්චීමකට ලක්ව තිබුනේ නැත. මේ අතර එම ස්ථානයට ඔබ්ඛෙන් තවත් එවැනිම තණකොල පොඩිවීගිය වලයාකාර ප්‍රදේශයක් දකින්නට ලැබුණු බව ඇතැම්හු කීහ. ඒ අනුව මෙම යානයට අතිරේකව තවත් යානයක් එහි පැමිණ තිඛෙන්නට ඇත.
මේ අතර මෙම අබිරහස් යනාව පහත් කළ ස්ථානයට මුලින් ළඟා වූ එක් දැරියක් සිහිසුන් තත්ත්වයක වැටී සිටි අතර ඇය ගිලන් රථයකින් රෝහල් ගත කෙරිණ.
හදිසියේ ඇතිවූ මෙම නුහුරු අත්දැකීම නිසා කලබලයට මෙන්ම කුතුහලයට පත් මෙහි සිටි සියල්ලන්ගේම සිත් තුළ ප්‍රශ්නාර්ථ රැසක් ගොඩ නැගෙමින් පැවතුණි. පීරිසි හැඩයගත් මෙම ආගන්තුක යානය කුමක්ද ? එය පැමිණෙන්නට ඇත්තේ කොහි සිටද? එය අසල මුඩුබිමට පහත්වූයේත් එකවරම වේගයෙන් ඈදී ගියේත් ඇයි? එය ලූහුබැඳ ගිය යානාවන් මෙනවාද ? ඒවායේ ගුවන් නියමුවන් කවුරුන් විය හැකිද ? සියල්ල තවත් ව්‍යාකූල කරමින් මේ ප්‍රශ්න වැල අතරට තවත් ප්‍රශ්නාර්ථයන් රැසක් එකතු වූයේ පසුව ඇතිවූ සිදුවීම් පෙළත් සමගය.
යානය දකින්නට ලැබී වැඩි වේලාවක් යන්නට මත්තෙන් ප්‍රවෘත්ති වර්තාකරුවන් පාසලට පැමිණි අතර අතර ඔවුහු ගුරුවරුන්ගෙන්ද ශිෂ්‍යයින්ගෙන්ද තොරතුරු විමසන්නට වූහ. එහෙත් මෙම සිදුවීම සම්බන්ධව රොසී ජෝන්ස් සැකසූ වාර්තා වැඩසටහනකට අනුව ඒ සමගම එහි පැමිණි පොලිස් නිලධාරීහු මාධ්‍යට තොරතුරු සැපයීම වැලැක් වූ අතර මේ පිලිබඳ කිසිත් කතා නොකරන ලෙස සිසුන්ට හා ගුරුවරුන්ට අනතුරු හැ`ගවූහ.

මේ අතර විදුල්පතිවරයා විසින් රසායන විද්‍යා ගුරුතුමියගේ කැමරාව බාර දෙන ලෙසද බලපෑම් කර ඇත. පසුව නිල් පැහැති නිල ඇඳුමකින් පැමිණි අයෙකු ඡයාරූපගත් එම කැමරාව තබාගැනීම නීති විරෝධී බව පවසා තම බාරයට ගෙන ඇත්තේය. අවසානයේ හදිසි රැස්වීමක් පැවත් වූ විදුහල්පතිවරයා, ළමුන් දැක ඇත්තේ කාලගුණ බැලුනයක් බව පවසා තව දුරටත් කියාසිටියේ මින් පසු මේ ගැන කිසිවෙකු සමග කතා නොකරන ලෙසය. මේ අතර නිල අඳුම් ඇඳගත් පිරිසක් වාහන දෙකකින් පැමිණ යානය තිබූ ස්ථානය පරීක්ෂාකර ගොස් ඇත. මෙම අබිරහස් යානාව හා එය හඹාගිය යනා පිළිබඳ ගුවන් තොටුපල පාලක මධ්‍යස්ථාන හා ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් බලකායෙන් විමසූ විට ඔවුන් පවසා ඇත්තේ එවන් යාත්‍රාවන් ගැන ඔවුනට දැනගන්නට ලැබී නැති බවය.
කෙසේ හෝ එක් පුවත් පතක් මෙම සිදුවීම පිළිබඳ තොරතුරු සවිස්තරව පලකොට තිබූ අතර කුමන හේතුවක් නිසා හෝ අනෙක් පුවත්පත් මේ ගැන සැළකිල්ලක් දක්වා තිබුණේ නැත. පසුව මේ පිළිබඳව මාධ්‍යට තොරතුරු හෙලිකළ ළමුන්ට පංති තහනමක් පැනවුනු අතර මේ ගැන තමා දුටු දේ පැවසූ විද්‍යා ගුරුවරයාට හමුදාව විසින් මරණීය තර්ජන එල්ලකර තිබූ බවටද ඇතැම් වර්තා වල දැක් වේ. තවද නවතා තැබූ යානය සමීපවම දුටුවේ යයි සිතන රෝහල් ගත කළ ටානියා නමැති දැරිය සුවය ලැබූ නමුදු යලිත් කිසිදිනෙක පාසලට පැමිණ නැත. මේ පිලිබඳව චැනල් 9 මගින්ද වැඩසටහනක් සකසා තිබුණද පසුකාලයක ඒ පිළිබඳව සොයා බලනවිට හමු වී ඇත්තේ එම වීඩියෝව තිබූ කවරය පමණි. කුමන පදනමක් මත ක්‍රියාත්මක වුවද මෙම පශ්චාත් සිදුවීම් සියල්ල ආගන්තුක යානය පිළිබඳ නිවැරදි තීරණයකට එළඹීම තවත් ව්‍යාකූල බවට පත් කළේය.
කෙසේ වෙතත් මෙය සිදුවූ මුල් දිනවලම Victorian Flying Saucer Research Society (VFSRS) yd Phenomena Research Australia (PRA) – මෙම ස්ථානයට පැමිණ පාසලින් හා සිද්ධිය දුටු අසල්වාසීන්ගෙන්ද තොරතුරු විමසා විධිමත් සමීක්ෂණයක් කර තිබේ. ඉන් පසුවද ගෙවී ගිය අඩ සියවසක කාලය තුළ වරින්වර තනිව හා කණ්ඩායම් ලෙසද මෙම “වෙස්ටෝල් පියාඹන පීරිසිය” පිළිබඳව විවිධ මට්ටමේ සමීක්ෂණ පවත්වා ඇත. මා ඉහත සඳහන් කළ විස්තරද මෙම සමීක්ෂණ මගින් පොදුවේ හෙලි වූ කරුණු මත පදනම් වූ ඒවාය. එහෙත් අදටත් ඒ සියල්ලන්ටම ප්‍රකාශ කළ හැකිව තිඛෙන්නේ මෙය අඳුනා නොගත් ආකාශ වස්තූන් පිළිබඳව ඕස්ට්‍රේලියාවෙන් වාර්තාගත වූ නිශ්චිත තීරණයක් දිය නොහැකි වූ එහෙත් සුවිශේෂී සිදුවීමක් බව පමණි.
කරුණු එසේ වුවද සියල්ල කාලයත් සමග වැලලී යාමට ඉඩනොදී වෙස්ටෝල් පියාඹන පීරිසිය පිළිබඳ මෙම අභිරහස ලොවට හෙලිදරව් කිරීමේ හැකියාව තවමත් ඉතිරිව පවතී. මක්නිසාද යත් මෙම සිදුවීම සියැසින් දුටුවන් බොහෝ දෙනෙකු අදත් ජීවතුන් අතර සිටින නිසාත්, කුමන හේතුවක් නිසා හෝ එහි තොරතුරු සැඟවීමට තැත් කළ අයගෙන්ද කිහිප දෙනෙකු හෝ තවමත් ජීවතුන් අතර සිටිය හැකි නිසාත්ය. සත්‍යයේ නාමයෙන් ඔවුන් දැන්වත් තම මුණිවත බිඳින්නේනම් එය කෙතරම් අසිරියක් වේද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *