256px-Red_Ribbon.svg

අධ්‍යාපනය, ධර්මය සහ ‘සමාජ රෝග’

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

දැනට දශක දෙකකට පමණ පෙර අප හොඳින් දැනසිටි එක්තරා වයස්ගත අයෙකු ඉතා අසාධ්‍ය ලෙස රෝගාතුරව රෝහල් ගත කෙරිණි. ඔහු එතරම්ම මා සිත් ගත් අයෙකු නොවීය. එමෙන්ම සපුරා ප්‍රතික්ෂේප කිරීමට තරම් ඔහු කෙරෙහි අකමැත්තක්ද අප තුළ නොවීය. ඔහුගේ යම් යම් මතිමතාන්තර හා යල් පැන ගිය අදහස් මගේ සිත් නොගන්නට හේතු වන්නට ඇත. අනෙක් අතට, ඒ වන විටත් අධ්‍යාපනය ලබමින් සිටි අපේ අතේ මිටේ ඉඳහිට මුදලක් තබන්නට තරම් නිර්ලෝභී වූ නිසාවෙන් ඔහුව ප්‍රතික්ෂේප කරන්නට තරම් හේතුවක් නැති වන්නටත් ඇත. ඒ නිසාම ඔහු රෝහල්ගතව සිටිද්දී හැකි අවස්ථාවන්හිදී ඔහුව බැලීමට මම රෝහලට ගියෙමි.
අසනීප වූ පසු ශරීරය හා සමානුපාතිකව ඔහුගේ දැඩි මතවාද අන් අයට සවන් නොදීමේ පුරුද්දද දුර්වලව ගියේ ය. ඔහු දුර්වල වන්නට වන්නට යම්තාක් දුරකට එතෙක් ඔහු කෙරෙහි ලිහිල්ව පැවති මගේ ආධිපත්‍යය ප්‍රතිලෝම වශයෙන් ශක්තිමත් වන්නට විය. කලින් ඉඳහිට අප හමුවන හැම අවස්ථාවකදීම ඔහු අපට උපදෙස් දුන්නේ ය. ඔහු වැඩිපුරම අපට කීවේ “හොඳට ඉගෙන ගන්ට” කියා ය. නාඹර කොල්ලෝ නොමිලේ ලැඛෙන එබඳු උපදෙස් තරම් නොඉවසන අන් කිසිවක් නැත. අසනීප වූ පසු ඔහු අප දකින හැම විටම මුව වසාගෙන අහක බලාගත්තේය. දැන් මගේ වාරය පැමිණ ඇත. ඒ වන විට අවුරුදු විස්සක්වත් නොපිරුණුද, එහෙන් මෙහෙන් අසා කියවා තිබූ “බණ” මම ඔහු ඉදිරියේ නිර්ලෝභීව දෙසා වදාරන්නට විමි. හොඳින් සිටින විට පවා “බණ” තරම් හේ නොඉවසූ අන් කිසිවක් නොතිබූ තරම් ය. ඒ නිසා මා දෙසූ බණ ඔහුගේ දෙසවනට එතරම්ම සුවදායක නොවන්නට ඇත.
“ලෙඩවලට බය වෙන්න එපා….. වැඩිපුරම ලෙඩ හැදෙන්නේ හිතේ….. හිත හදාගන්න…..” මම ලෙඩ ඇදේ සිටි ඔහුට කීවෙමි. ඔහු මුවින් නොබැණ ඉවත බලාගත්වනම සිටියේ ය. ඇඳුමක් මාරු කරන්නට, මුහුණ සෝදන්නට, නහවන්නට හෝ වැසිකිලියට කැදවාගෙන යාමට පවා ඔහු නොවේ අපට ඉඩ දුන්නේ. කොටින්ම අප ඔහුගේ සිරුර ස්ඵර්ශ කිරීමද රිස්සුවේ නැත. ඒ නිසා අපට ඔහුට “බණ” කියනවාට වඩා වැඩි දෙයක් කරන්නට තිබුණේ ද නැත.
ආණ්ඩුවේ රෝහලින්, ඔහුගේ නිවසටත්, ඔහුගේ නිවසින් නැවත ආණ්ඩුවේ රෝහලටත් යමින් එමින් මාස කීපයක් ගතවිය. හදිසියේම එක්තරා දිනක රෝහලේ සිටියදීම ඔහු මෙලොව හැර ගියේය. එදින ජීවිතයේ පළමු වරට මම මෝචරියකටත්, මල් ශාලාවකටත් ගොඩවිමි. ඒ මතු නොව ප්‍රාණය නිරුද්ධ ඔහුගේ සිරුර එම්බාම් කර අවසන් වන තෙක් ඒ අසලටම වී බලා සිටියෙමි. පසුව මම රෝහලෙන් ලැබුණු රෝහල් වාර්ථාව කියවා බැලූවෙමි.
ඔහුගේ මරණයට හේතුව ලෙස රෝහල් වාර්තාවේ වචන දෙකකින් හැඳින් වූ රෝගයක් සඳහන්ව තිබුණි. එම වචන දෙකෙන් මා සිත් ගත්තේ පළමු වචනය යි. ඊට හේතුව සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පාඩමේදී අප එම වචනයට ළඟින් යන රෝගයක් ගැන තරමක් දුරට උගෙන තිබූ නිසාවෙනි. ඒ “සමාජ රෝග” යටතේ ය. මම ඒ ගැන මිය ගිය අයගේ දියණියකට කීවෙමි. ඇය ඛෙහෙවින් දුකටත්, කම්පනයටත් පත් වූවා ය. වාසනාවට මෙන් ඇයගේ කම්පනය පෙරළා මාද කම්පනයට ලක් කළේ ය. ඒ නිසාම මගේ “පූර්ව විනිශ්චයන්” සහ “කුණු රස සොයා ඇදෙන මානසිකත්වය” එතැනින් එහාට නොගියේ ය.
මේ අතීත මතකය අවුස්සා බලන්නට සිතුවේ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ ඒඩ්ස් වැළදී ඇතැයි සැකකරන දරුවෙකු පාසලකට ඇතුළත් කර ගැනීම අරඹයා පැවති කලබගෑනිය නිසාය. එමෙන්ම ඒ ඔස්සේ ඉස්මතුවන මනුෂ්‍යත්වය පිළිබඳ කරුණු කිහිපයක් වෙනස් මානයකින් දැකීමට ය. මේ කරුණ අරඹයා බොහෝ දෙනා කුලියාපිටිය ලෝකයේ නූගත්ම මිනිසුන් වාසය කරන ස්ථානය ලෙස නම් කරති. මෙය කෙතෙක් දුරට සාධාරණද ? කුලියාපිටිය ඇත්තේද ලංකාව තුළය. කිසියම් විදියකින් ලංකාවේ වෙනත් ගමක මෙවැනි දෙයක් වූවා නම්, කුමක් සිදුවනු ඇත් ද ? ඒ ගැන තීරණය කරන්නට ඔබටම බාර කරමි. දැන් “මට වැරදුණු තැන”ක් ගැන මුලින්ම විමසා බලමු.
අපි අපොස සාමාන්‍ය පෙළට පෙනී සිටින අවධියේ සෞඛ්‍ය විෂය සඳහා නිර්දේශිතව තිබුණු පොත කටපාඩම් කළෙමු. ඒ නිසා අදටත් එහි තිබූ දෑ අපේ මතකයේ ඇත. අපි ලෙඩ රෝග ගැනත්, තරමක් දුරට ප්‍රථමාධාර ගැනත් ඉගෙන ගත්තෙමු. එහෙත් අවුරුදු දොළහක පාසැල් කාලයේදිත්, ඉන් පසුව උසස් අධ්‍යාපනය ලබන කාලයේදීත් වාචික අඩම්තේට්ටම් කිරීම (bully),  හිරිහැර කිරීම (harassment), වෙනස් ලෙස සැලකීම  (discrimination) ඇඟට දැනෙන තරමට උගත් බව මතක නැත. අපි ඒවා ගැන ගැඹුරින් තේරුම් ගත්තේ ඕස්ට්‍රේලියාවේදී ය. කොටින්ම ශාරීරික දුබලතා, ලෙඩ රෝග, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම හෝ වර්ණය යන කවර හේතුවක් නිසා හෝ ඕස්ට්‍රේලියාවේදී ඔබට තවත් කෙනෙකුව බුලි, හැරස්මන්ට් හෝ ඩිස්ක්‍රිමිනේට් කිරීම “නීතියෙන්” තහනම් ය.
කායික මානසික රෝගී අයට ඒ හේතුව නිසාම වෙනස් ලෙස සැලකීම ඔවුන්ගේ මානව අයිතියට එරෙහිව යාමක් බවද අපට තේරුම් ගියේ එහේ දී නොව මෙහේ දීය. ඒ මතු නොව ඔවුන්ව නොසලකා හැරීමද වැරදි ය. මට මතක හැටියට පාසලේදී අවුරුදු දොළහටම මා උගත්තේ ලෙඩ්ඩු දෙන්නෙකුට උපස්ථාන කළ හැටි ය. ඉන් එක් ලෙඩෙක් නයෙකි. අනෙක් ලෙඩා රහතන් වහන්සේ නමකි. නයාගේ සිරුරේ තිබූ ගෙඩියක් පළා සුව කළ බුද්ධදාස රජතුමා ගැන සිංහල පෙළ පොතකින් උගත්තෙමි. කුෂ්ඨ රෝගයකින් පෙළුනු පූතිගත්තතිස්ස තෙරණුවන්ව නහවා පිරිසිදු කළ බුදුරජාණන් වහන්සේ ගැන බුද්ධ ධර්මය පෙළ පොතකින් උගත්තෙමි.
එකල අපි උපදංශ, ගොනෝරියා, හර්පීස් යනාදී සමාජ රෝග ගැන උගත්තෙමු. ඇතැම් සමාජ රෝග නිසා සිරුරේ ඇති වන තුවාල, වණ, දද, කුෂ්ඨ ගැනද උගත්තෙමු. “ඒඩ්ස් මාරයා” ගැනද උගත්තෙමු. ඒ සමඟම පූතිගත්තතිස්ස තෙරණුවන්ට බුදුන් වහන්සේ කළ උපස්ථාන ක්‍රමක්‍රමයෙන් අපේ මතකයෙන් ඈත් ව ගියේ ය. අප ලත් නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් නොදැනුවත්වම ලෙඩ්ඩු ලේබල් ගත කිරීමේ සාපලත් පුරුද්ද වැඩිණ. එක්තරා රෝගයකින් මට අවැසි කොටස පමණක් මා උපුටා ගත්තේ අප තුළ නිසඟයෙන් පවත්නා අනෙකාගේ කුණු අවුස්සා මගේ “කුණු රසය” සංතර්පණය කරගැනීමේ සැඟවුණු ආශාව නිසා බව පැහැදිළි ය. අප තුළ සැඟව නිදා සිටින මෙකී මජර ආශාවෝ අවධි වන්නට අප දන්නා අයෙකු සමාජ රෝගයක් වැළඳ මිය යන්නටම අවශය නැත. අහක යන වෙඩිල්ලක් වැදී හෝ පිහි පාරක් වැදී ඔබ (මම) හෝ ඔබේ (මගේ) ළඟම ඥාතියෙකු මිය ගියා යැයි සිතන්න. එකල්හි පස්චාත් මරණ පරික්ෂණ පවත්වා විනිශ්චය ලබා දෙන්නට පුළ පුළා බලා සිටින්නේ අන් කවුරුත් නොව “මම”ම (නැතහොත් ඔබම) නොවේ ද ? මට පුදුම මා සතෙකු නොවී මිනිසෙකු වීම ගැන ය.

බුදුහු වදාළ ගාථා දෙකක දෙවන කොටසේ “අත්තානං උපමං කත්වා – න හන්‍යෙය න ඝාතයේ” යනුවෙන් දැක්වේ. එහි අදහස “තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොමැරිය යුතුය” යන්න ය. අපි කෙසේ නම් “අපවම උපමා කොට” සිතමු ද ? කවර හෝ හේතුවක් නිසා අපට සමාජ රෝගයක් හෝ ගත වැහැරී අබල දුබල වන අසාධ්‍ය රෝගයක් වැළඳුනේ යයි සිතමු. අපේම වරදක් නිසා හෝ රෝගීව පීඩා විඳින අපට ප්‍රතිකාර කිරීම නවතා ඔබ අපට එරෙහිව විරෝධතාවයක යෙදෙනවා දකින්නට අපි කැමති නොවෙමු. අප හා සැතපෙන්නට ඇතැයි ඔබ සිතන කාන්තාවන් ගණනත්, උන්ගේ පැටිකිරියක් සොයා යනවාට අපි අකමැති වෙමු. අපට දැන් අවශය ප්‍රතිකාරත්, මානසික සහනයත් නොවේ ද ? එසේ නම් අන් අයට ලෙඩක්, දුකක්, කරදරයක් ඇති වූ විට අප විසින් කළ යුත්තේද එයම නොවේ ද ?
ඊළඟට ඉතාමත් වැදගත් වන්නේ “තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය. නොමැරිය යුතුය” යන්නෙන් අදහස් වන දේ ය. මේ ලිපියේ මුලින්ම දැක් වූ මා කළ වරදෙහි දිග පළළ මැන ගත හැක්කේ ඒ අනුව ය. මට දැනෙන හැටියට කෙනෙකුගේ “චරිත ඝාතනය” අයත් වන්නේද නැසීම හෝ මැරීම යන ගොඩටම ය. මා කරන්නට යත්න දරා තිබුණේද එබඳුම වූ චරිත ඝාතනයක් නොවේ ද ? ජීවත්ව සිටින අයෙකුගේ චරිතය ඝාතනය කිරීම මෙන් නොව මිය ගිය අයෙකුගේ චරිතය ඝාතනය කිරීම සමාව දීමට නොහැකි වරදකි. මිය ගිය අයට කොහොමටත් දුක නොදැනෙන බැව් අපි දනිමු. එසේ නමුත් අප මිය ගිය අයගේ චරිත ඝාතනය කර ලබන්නේ කවර නම් සතුටක් ද ? එසේ කිරීමෙන් මිය ගිය අයට සමීප අයගේ චරිත ඝාතනය ලක්කරන්නට ඇති හැකියාව “අපේ යටි සිත” හොඳින් දන්නේ ය. ඒමතු නොව අපේ උඩු සිත රවටා හදවතේ සැඟව ඇති මජර ආශාවෝ සංතර්පනය කර ගන්නා ආකාරයද යටි සිත හොඳින් දන්නේ ය. එසේ නම් අප කළයුතුව ඇත්තේ කුමක් ද ? කවර රෝගයකින් පෙළුනද, කවර රෝගයකින් මියගියද, මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන් හටද, මිනිසුන්ට මෙන් සැළකීම නොවේ ද ? එය කරන්නේ කෙසේ ද ? පළමුව නොදන්නා දේ නොදොඩා සිටීමෙනි. දෙවනුව අපි දන්නා දේ තුළ පවා නොදන්නා දේ ඇති බව තේරුම් ගැනීමෙනි.
දැන් නැවතත් අපි කුලියාපිටියට යමු. මෙකී සිද්ධිය අරඹයා කුලියාපිටියට ආසන්න ගමක උපන් මගේ මිත්‍රයෙක් කුලියාපිටිය තුම්පනේට සමාන කරමින් මා හා කථා කළේ ය. ඔහු වැරදි දෙකක් කළ බව මම කීවෙමි. තුම්පනේට නිගා කිරීම මා අනුමත නොකරන්නේ යම් සේද, එක් සිද්ධියක් අරඹයා කුලියාපිටිය ලේබල් කිරීමද මම නොඉවසමි. බොහෝ විට කෙනෙකුට එරෙහි වන්නේ ඔහුට හෝ ඇයට ඉතාම ළඟින් සිටින අයෙකි. ඉන්දියාව, ලංකාව දියුණු වනවාට අකමැතිය. උතුර දියුණු වනවාට දකුණ අකමැති ය. කුලියාපිටිය, තුම්පනේට උපමා කළ මිතුරාට තිබුණේද ඒ රෝගයම ය. ඔහු කළ වරද මම උපමාවකින් පැහැදිලි කළෙමි.
කුලියාපිටියේ දරුවාගේ මව රූපවාහිනියෙන් කථා කර මෙසේ කීවා ය. “මගේ සැමියා අවුරුදු දෙකකට කලින් මැරුණා. දැන් මාව පවුලෙනුත් අයින් කරලා. මට කවුරුත් නෑ….. ළමයට ඉස්කෝලෙකුත් නැහැ.” කවර හෝ හේතුවක් නිසා කෙනෙකු අසරණ වූ විට බොහෝ විට ළඟම අයද ඔවුන්ව තනිකර ඉවත බලාගන්නේ ය. නැතිනම් ඒ අය අසරණ වෙන්නට බල පෑ කරුණු කාරණා එකතු කරමින් යන්නේ ය.
අන්තර්ජාලයෙන් අප දුටු වීඩියෝ වලට අනුව මානව හිමිකම් සංවිධාන වල නිළධාරීන්ටත්, වෛද්‍යවරුන්ටත්, ගුරුවරුන්ටත් ඇහුම් කන් දෙන්නට එම පාසලේ උගනුම ලබන දරුවන්ගේ දෙමාපියන්ට ඉවසීමක් නොතිබුණු සේ ය. ඔවුහු හැසිරුණේ උගත්, බුද්ධිමත්, සියල්ල දන්නා විශේෂඥයන් මෙනි. පරීක්ෂණ කළ විශේෂඥයෝ පවා දරුවාට ඒඩ්ස් නැති බව යළි යළිත් සපථ කරද්දී පවා දෙමාපියෝ එය පිළිගන්නට සූදානම් නැත. අල්ප දැනුම සහ නොදැනුවත්කම, පුහු මානය සහ කායිකවත් මානසිකවත් තවකෙකුට අඩම්තේට්ටම් කිරීම යන මනෝභාවයන් සමඟ අත්වැල් බැදගත් කල්හි උපදින්නේ අමුතුම සතෙකි – අමනුෂ්‍යයෙකි.
මේ එදා අප උගත් “ඒඩ්ස් මාරයා” යන පාඩම වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ යාවත් කාලීන නොවීමේ ඵල විපාකයකි. ඒ විතරක් නොව මෙහි තවත් නොපෙනෙන පැත්තක්ද ඇත. ඕස්ට්‍රේලියානු දරුවෝ ගුරුවරුන්ව අමතන්නේ ඔවුන්ගේ නමිනි. එහෙත් ඔවුහු ගුරුවරු බොහෝ දේ දන්නා බව දනිති. ලංකාවේ දරුවෝ ගුරුවරුන්ට වදිති. පුදති. එහෙත් අන්වර්ථ නාමයක් නැති ගුරුවරයෙක් නැති තරම් ය. උගත් බුද්ධිමතුන්ට ඇහුම්කන් නොදෙන “අසංවර දෙමාපියෝ” තමන්ගේම දරුවන්ට යහපත් පූර්වාදර්ශයක් නොවීම, අසුන්දර අනාගතයක පෙර නිමිත්තක් නොවෙතැයි කාට නම් කිව හැකිද ?
එකල මෙන් නොව මෙකල ගුරු දෙගුරුන්ගෙන් ගුරුහරුකම් ගන්නා සිසුන් අඩු ය. එමෙන්ම ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාට කන් දෙන්නෝද නැත. ගුරුවරු බලන බලන අත ටියුෂන් කඩ දමාගෙන ය. පන්සල් එක්කෝ දේශපාලනයට බරය. නැතිනම් ව්‍යාපාර වලට බර ය. කුලියාපිටියේ දරුවා වෙනුවෙන් කතා කළ එකදු ස්වාමීන්වහන්සේ නමකුදු මම නුදුටිමි. කුලියාපිටියේ දෙමාපියන්ට පූතිගත්තතිස්ස තෙරුන්ගේ කතාව මතක් කර දෙන්නට ඉදිරිපුත් වූ එකදු ස්වාමීන්වහන්සේ නමකුදු මම නුදුටිමි. ඇතැම් විට උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා වෙනත් රටවලට වැඩ සිටිනවා විය හැකි ය. එකල වැඩ හුන් නාරද, පියදස්සි, ආනන්ද මෛත්‍රී, වල්පොල රාහුල වැනි පැවිදි මිණි පහන් දැන් නිවී ගොසිනි. දැන් මෙහි ධර්ම ප්‍රචාරයට වඩින්නේ චෛත්‍ය, මධ්‍යස්ථාන, සාත්තු නිවාස හෝ මොකක් හෝ ගොඩනැගිල්ලක් මූලික කරගෙනය. දිනෙන් දින කුරිරු ගති සොබාවයන් වැඩෙන පුහුදුන් සිත් වලට සරණක් වෙන්නට කවුරුත්ම එහි නැති ගාණය. හිටියත් ඉන්නේ “බලකායක්” හෝ “අසපුවක්” බඳු මොකක් හෝ බෝඩ් ලෑල්ලක් යට ය. එවැනි සමාජයකට “සමාජ රෝග” හැදීම ගැන කවර කථා ද ? සැබවින්ම අප උපස්ථාන කළ යුත්යේ ඒඩ්ස් රෝගය වැළඳුනා යැයි සැක කරන දරුවාට නොව, එවැනි දරුවෙකු කොන් කරන්නට ඉදිරිපත් වන රෝගී සමාජයට ය.
මම දැන් නැවත කල්පනා කරමි. එදා අසරණව රෝගීව සිටි මහල්ලා, මා ඔහුව ස්පර්ෂ කරන විට ඊට විරුද්ධ වන්නට ඇත්තේ ඇයි ? එකල මා සිතුවේ ඔහුගේ අහංකාරකම නිසා එසේ කරන්නට ඇති බව ය. එහෙත් දැන් මම මෙසේ සිතමි. ඔහු එසේ හැසිරෙන්නට ඇත්තේ කිසියම් විදිහකින් අපටත් ඒ රෝගය වැළදීමට ඇති ඉඩකඩ අහුරාලන්නට විය නොහැකි ද ? දැන් ඉතා සියුම් වේදනාවක් මගේ සිතට දැනෙන්නේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ලෙඩ ඇදේ වැටී සිටි ඒ මහල්ලාට මා කියූ බණ ගැන ය. මා කළ යුතුව තිබුණේ මුවින් වදනකුදු නොදොඩා කරුණාවෙන් ඔහු දෙස බලා හිදීම පමණක්ම නොවේ ද ?
රෝගීහු අසරණය හ. එකී අසරණ රෝගීන්ට සරණ නොවන්නෝ රෝගීන්ටත් වඩා අසරණය හ. රෝගීන්ට හෝ දුකට පත් අයට නින්දා අපහාස කරන්නන්ගේ අසරණකම ගැන කියන්නට දැන් අපට වචන නැත. මුළු ලෝකයම වැසී යන ලෙස සාත්තු මධ්‍යස්ථාන ගොඩ නැගීමට වඩා කවර හෝ හේතුවක් නිසා අසරණභාවයට පත් අය කෙරෙහි දයා සිත් ඇති එකම එක මිනිසෙක් බිහි කිරීමට කටයුතු කිරීම ප්‍රඥාගෝචර නොවේ ද ?

කුලියාපිටියේ දරුවාගෙන් කෙනෙක් මෙසේ ඇසුවේ ය.

“පුතා ලොකු වුනාම මොකද කරන්නේ ?” දරුවා මෙසේ උත්තර දුන්නේ ය.

“මම දොස්තර කෙනෙක් වෙනවා.”
අපිදු එය එසේම වේවා යැයි පතමු. අසරණ නොදරුවාට එරෙහිව සිදු වූ සියලූ දේ ඔහු කරා වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදම බවට පත් වෙනු ඇත. දෛවයේ සරදමක් ලෙස අද ඔහුට එරෙහිව නැගී සිටි වියපත් වැඩිහිටියෝ මතු දිනක ඔහුගේ දෙපා අසල දැවටී ඛෙහෙත් සීට්ටුවක් ලියවා නොගනිතැයි කාට නම් කිව හැකි ද ? එදාට තමන්ට ගල් මුගුරු එල්ල කළ අය කෙරෙහි වෛරි සිතක් ඇති කර නොගෙන ඛෙහෙත් සීට්ටුවක් ලියා දෙන්නට ඔහුට හැකි වෙතැයි අපි සිතමු. අධ්‍යාපනය සහ ධර්මය ඇත්තේ එබඳු මිනිසුන් බිහිකරන්නට ය. සමාජය, රෝගී කරන්නට නොවේ. “සමාජ රෝග” ව්‍යාප්ත වන්නට ඉහත කී ආයතන වල වග විභාගයක් නැති කි්‍රයා කලාපද හේතු නොවූ බව කාට නම් කිව හැකි ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *