crowd-1294991_1280 copy

කැරැල්ලේ මතක

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara)

අප්‍රේල් මාසය කොයි කාට උනත් සතුට ලැඛෙන මාසයක්. ඒ අපේ පාරම්පරික සිංහල අලූත් අවුරුදු මාසය නිසා. ඒත් 1971 අප්‍රේල් මාසය නම් කාට කාටත් සතුට නැති කරපු මාසයක් කියල කියන්නම වෙනවා. අතීතයේ පැවති රාජ්‍ය විරෝධී කැරලි ගැන අපි දන්නේ ඉතිහාසය පොත්වලින්. ඒත් 1971 දී අපි මුල්වරට අත් විඳපු රාජ්‍ය විරෝධී කැරැල්ල දැන් දැන් කාගේ කාගේත් හිත්වලින් අතීතයටම යන්නට ගිහින්.
මම මොනම ආකාරයකින්වත් කැරලිකාරයෙකු නොවෙයි. ඒත් කැරලි කාරයෙකු නොවී රාජ්‍ය විරෝධී කැරලි දෙකෙන්ම බැට කෑ කෙනෙකු හැටියට මේ කතාව ඔබට කියන්නට පුළුවනි. මේක අතිශයින්ම මගේ පුද්ගලික කතාවක්. මේ කතාව ඔබට වැදගත් වන්නේ නෑ. වැදගත් වන්නේ මේ කතාව තුළින් එදා ඔබ අප අත්විඳි රාජ්‍ය විරෝධී කැරලි දෙකේම මතකයන් ඔබට යළිත් මතකයට ඒවි කියලා මට හිතෙන නිසා.
ඒත් මේ ලිපියට මාතෘකාවක් හිතනකොට පසුගිය කැඩපත කලාපයේ වගේම මෙවර කලාපයේත් ටියුඩර් අමරසේනයන්ගේ “මරණයේ සෙවණැලි….” මාතෘකාව මේ ලිපියට දමන්නට තිබුණා නම් හොඳයැයි මට හිතුණා. ඒත් දැන් ප්‍රමාද වැඩියි.
71 අප්‍රේල් මාසයට කලින් මමත් මගේ මිතුරන් කීප දෙනෙකුත් උපාලි, රත්නායක, තිලක් එකම කාමරයක වරින්වර නතර වී උන්නා. තිලක්ගේ ගම ගාල්ලේ. රත්නායක පිළිමතලාවේ. උපාලිත් මමත් පිළියන්දල කොලමුන්නේ. තිලක් බැංකුවක රැකියාවක් කළා. රත්නායක දෙවනවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින්නටත්, රැකියාවක් හොයා ගන්නටත් කොළඹ ඇවිත් උන්නා. තිලක්ට නතර වෙන්නට හොයාගත් කාමරය පිළියන්දල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණය අසල අල්විස් මහතාගේ නිවසේ උඩු මහල. අඩක් නිමවී තිබූ මේ නිවසේ උඩු මහල් පේළි කාමර දෙකකින් එකක තිලක් නතර උනා. රත්නායකත් කොහොම හරි තිලක් හඳුනාගෙන ඒ කාමරයේම නතර වුණා. රැකියාවක් හොයන අතරම වියදමට කීයක් හරි හොයා ගන්නට රත්නායක කළේ ළමයින් කීප දෙනෙකු හොයාගෙන ඔවුන්ගේ නිවෙස්වලට ගොස් රසායන විද්‍යාව ටියුෂන් දීම. ජීව විද්‍යාවටත්, භෞතික විද්‍යාවටත් ගණිතයටත් ගුරුවරුන් කීප දෙනෙකු හොයාදෙන ලෙස දෙමව්පියන් ඉල්ලා සිටීම නිසා උපාලිටත්, මටත් ඒ අවස්ථාව ලැබුණා. මම ජීව විද්‍යාවත්, භෞතික විද්‍යාවත්, උපාලි ගණිතයත් ටියුෂන් දෙන්නට පටන් ගත්තා. මේ නිසාම තිලක්ගේ කාමරය වරින්වර අපේ කාමරය ද වුණා. උපාලිගේත් මගේත් නිවෙස් පිහිටා තිබුණේ මේ කාමරයට පයින් ඇවිද යන දුරින්.
තව තවත් දෙමවිපියන් අපෙන් ටියුෂන් බලාපොරොත්තුවීම නිසා හැමෝටම ටියුෂන් දෙන්නට කාලය මදි. ඒ අතරම උසස්පෙළ විභාගයට පාඩම් කිරීමටත් කාලය අවශ්‍යයයි.
ජාතික සේවක සංගමයේ එවකට ලේකම්වරයාව සිටි සිරිනාල් ද මෙල් මහතා (මෙල් අයියා) ගේ මාර්ගයෙන් පිළියන්දල නගරයේම ඔහුට අයත්ව තිබූ නිවසක් අපිට ලැබුණා. පිළියන්දල නගරයේ මුල්ම ටියුෂන් පන්තිය “තක්සලා” නමින් ආරම්භ වුණේ මේ නිවසේ.
පිළියන්දල පන්සලේ මේ වනවිට රාත්‍රී ඉංග්‍රීසි පන්තියක් තිබුණත් එය වැඩිහිටි පන්තියක්.
ඒත් ඔවුන්ගේ කතාවන් අපේ කතාවලට වඩා වෙනස්. ඔවුන් අප සමග කතා කළේ රාජ්‍ය විරෝධී දේවල්.
“පාඩම් කරලා විභාග පාස්වෙලා මොනවා කරන්න ද? අපිට තියනවා හොඳ වැඩ පිළිවෙළක්. අපිත් එක්ක එකතු වෙලා මේ ක්‍රමයට විරුද්ධව සටන් රමු.”
ඔවුන්ගේ අදහස් අපිට එල්ල කළා. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ පත්තර පත්‍රිකාත් අපිට දුන්නා. ඔවුන්ගේ පන්තිවල ඔවුන්ට උගන්වන දේවල් ඔවුන් අපිට උගන්වන්නට උත්සාහ කළා. ඒත් අපි හතර දෙනාගේ අදහස් ඒ අදහස්වලට වෙනස් බව තේරුම් ගත් ඔවුන් අන්තිමට කීවේ,
“අපි බලය අතට ගත්තාම උඹල හතර දෙනාව අර පිට්ටනියට අරන් ගිහින් වෙඩි තියලා මරලා දානවා” කියලයි.
දැන් අප්‍රේල් මාසයට ආසන්නයි. ඒත් දිනක් හැන්දෑවේ අපි තිලක් අයියාගෙන් සටන් පුහුණු වෙන නිවසට පොලිසියෙන් පැන්නා. එතන උන් අය සියලූදෙනාවම පොල්වත්තට අරගෙන ගිහින් වෙන වෙනම ප්‍රශ්න කළා. මෙල් අයියා ගාමිණී ලොකුගේ මහතා ඇතුළු මේ පිරිස එක්සත් ජාතික පාක‍ෂිකයන්වීම තවත් ප්‍රශ්නයක්. කොහොම උනත් මෙල් අයියාත්, ලොකුගේ මහතාත් මැදිහත්වීමෙන් ප්‍රශ්නය විසඳුනා. සටන් පන්තියත්, ටියුෂන් පන්තියත් දෙකම එදා සවස නතර වුණා.
අප්‍රේල් මාසය උදාවුණා. අපි ලහි ලහියේ විභාගයට පාඩම් කරනවා. රසායන විද්‍යාවේ ආවර්තිතා වගුව ඇඳපු අති විශාල සටහනක් එක්ක රසායන විද්‍යාවේ උද්භික විද්‍යාවේ සත්ව විද්‍යාවේ ගණිතයේ භෞතික විද්‍යාවේ අනන්ත වූ සමීකරණ බිත්තියේ තැන් තැන්වල තිබුණා.
අඳුරු රාත්‍රියක මැදියමේ මේ කාමරයටත් පොලිසිය ආවා. විවිධ තුවක්කු ඔවුන් අත තිබුණා. පිස්තෝලයක් අමෝරාගත් ස්ථානාධිපතිවරයා මහා හඬින් මොර දුන්නා.
“ජයන්ත කවුද ? නිමල් කවුද ? කෝ ශාන්ත ?”
අපි තුෂ්නිම්භීතව බලා උන්නා.
“තොගේ නම මොකක්ද බල්ලෝ”
“උපාලි”
“උඹේ නම?”
“තිලක්”
“කෝ එතකොට ජයන්තලා”
“ඒ අය සර් එහා කාමරේ”
ස්ථානාධිපතිවරයා අතින් සංඥා කළා පොලිස් පිරිසෙන් කීප දෙනෙක් එහා කාමරයට දිව්වා. දොරට තට්ටු කරන ශබ්දයත්. පසුව දොර කඩන ශබ්දයත් අපට ඇසුණා.
“සර් කාමරේ කවුරුවත් නෑ”
විවිධ පත්‍රිකා, විදුලි බල්බ් කටු කම්බි ඇන ආදිය තිබූ මලූ කීපයක් ඔවුන් ගෙනැවිත් තිබුණා.
“සර් මුන් තමයි අර සිරිනාල් මහත්තයගේ ගෙදරත් ෆයිට් පුරුදු වුණේ”
එක් පොලිස් නිලධාරියෙකු ස්ථානාධිපතිවරයාට කිව්වා.
“තොපි මොකද මෙතන කරන්නේ ?”
“පාඩම් කරනවා සර්”
“හා පාඩම් කරල විශ්ව විද්‍යාලවලට ගිහින් උපාධි අරගෙන අපි ලව්වා සර් කියලා සැලියුට් දමාගන්න නේද ? මොකක්ද යකෝ මේ නෝටිස්”
“ඒ සර් ආවර්තිතා වගුව රසායන විද්‍යාවේ මේ තියෙන්නේ මේ පොතේ.” රත්නායක හේඩ් ගේ භෞතික රසායන විද්‍යාව පොත අරගෙන ස්ථානාධිපතිවරයාට විස්තර කළා.
තිලක් ඉඳලා හිටලා අරක්කු කාලක රහ බලනවා. රත්නායක දුම්පානය කරනවා. හිස් අරක්කු බෝතල කීපයක් ඇඳයට තිබුණා. දැවී ගිය දුම්වැටි ඛෙලෙක් ටින් එකක තිබුණා. ඒ අතර මා ලියූ ගීත කවි පොත් ද තිබුණා. මේ වනවිට මගේ මුල්ම ගීතය මා ලියා තිබුණා.
මොහොතකින් කාමරය යකුන් නැටූ පිට්ටනියක් වගේ වුණා. “අර…….. වුන්ද ගැන උඹලා දන්නේ නැද්ද?”
“දන්නේ නෑ සර්. ඒ අය කවදාවත් අපිත් එක්ක කතා කරල නෑ. කතා කරන්න එන්නෙත් නෑ” තිලක් උත්තර දුන්නා.
උපාලිගේ පියා කොළඹ එලවළු වෙළඳ පොලේ කඩ බක්කියක හිමි කරුවෙක්. පිළියන්දල පොලිස් කුස්සියටත් එලවළු දාන්නේ ඔහු.
“සර් මගේ තාත්තා තමයි පොලිසියට එලවළු දෙන්නේ”
“ආ පියසේන මුදලාලිගේ පුතා”
“සර් මගේ අම්මගේ අයියා දෙහිවල ඒ එස් පී කන්තෝරුවෙ වීරසේකර”
අපි බේරෙන්න හැම දෙයක්ම කිව්වා.
“උඹල දෙන්නට මේ කාමරේ ඉන්න පුළුවනි. උඹල දෙන්නා මේ දැන් ගෙවල්වලට යන්න ඕනේ. හැමදාම උදේ 10.00 ට පොලිසියට ඇවිත් පෙනී ඉන්න ඕනේ.”
තිලක්ටත් – රත්නායකටත් කාමරේම නතර වෙන්නට අවසරය ලැබුණා. උපාලිත් මමත් ගෙවල්වලට ගියා.
මරණයට ඇති බය කුමක්දැයි මුල්වරට තේරුම් ගියේ මේ සිදුවීමෙන් පසුවයි. ජීප් රථයක හඬක් ඇසෙන විට පවා හිත බියපත් වුණා.
71 කැරැල්ල නිමාවට පත්වී අවුරුදු ගණනාවකට පසුව එනම් 77 දී අලූත් රජයක් බිහිවුණා. ජයන්ත – නිමල් – ශාන්ත ඇතුළු පිරිස යළිත් අපට මුණ ගැසුණා. මේ රජයෙන් විවිධ වාසි හා විවිධ තනතුරු ලබාගත් මේ අය අද ධනපතියන්.
රාජ්‍ය විරෝධී දෙවන කැරැල්ල ක්‍රියාත්මක වවිට මම හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ ගුරුවරයෙක්. තිලක් බැංකු කළමනාකාරවයෙක්. රත්නායකටත් උපාලිටත් හොඳ රැකියාවක් ලැබී තිබුණා.
ගුරුවරයෙකු වීමට අමතරව මේ වනවිට කලාවට සම්බන්ධවීම නිසා මා කවුදැයි රටේ බොහෝ අය දැනගෙන ඉන්නට ඇති. දෙවන කැරැල්ලේ ද කැරලිකරුවෙකු නොවී බැට කන්නට සිදුවුනේ කලාකරුවෙකු හා ගුරුවරයෙකුවීම නිසා වන්නට ඇති.
ගෝනි බිල්ලන් මගින් තරුණයක් තරුණියන් හඳුනා ගැනීම. ටයර් සෑයවල් – හිස නැති මල කඳන් හමුවුණේ මේ කාලයේ.
රාජ්‍ය නොවන හා රාජ්‍ය ඇඳිරි නීති ක්‍රියාත්මක වුණෙත් මේ කාලයේ. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට මෙන්ම සාමාන්‍ය වැසියන්ටත් මරණ තර්ජන තිබුණා. සතුරෙකු මරා දැමීම ඉතා සුළු දෙයක්. නොම්මර තහඩු නොමැති වෑන් රථ එහෙ මෙහේ ගියා. නිවසේ තිබූ වාහන එක්කෝ ත්‍රිවිධ හමුදාවෙන් එහෙත් නැත්නම් සහෝදරයන් විසින් අරගෙන ගියා.
පිළියන්දල පොලිසියේ එවකට හිටි ස්ථානාධිපතිවරයාත්, පොලිස් නිලධාරීන් මගේ මිතුරන්ට සිටීම මට තවත් ප්‍රශ්නයක් වුණා. ඇඳිරි නීතිය මැද්දේ හිටි ගමන් පොලිස් නිලධාරීන් සමග ස්ථානාධිපතිවරයා මගේ නිවසට එනවා.
“යමු ගෝනි බිල්ලෙක් දාන්න.”
ඔහු මාද ජීප්රියේ නංවාගෙන යන්නේ අල්ලාගත් තරුණයන් තරුණියන් පිරිසක් මැදට. මම කොහොම හරි ජීප්රියෙන් බසින්නේ නෑ. ඒත් ගෝනි බිල්ලා හිස වනා අල්ලා ගන්නා තරුණ තරුණියන් ජීප්රියට ගොඩවනවිට මමත් ඒක ඇතුලේ. මේ තරුණ අයගෙන් බොහෝ දෙනෙකු මා දැක පුරුදු අය.
“අයියා කොහොමද මාට්ටු උනේ” ඔවුන් මගෙන් රහසින් ප්‍රශ්න කරනවා. මට උත්තර නෑ. මරණ බිය මගේ සිතට එන්නේ පාවා දෙනනෙකු ලෙස මට හංවඩුවක් ගැසේවි යැයි බියෙන්. පාවා දෙන්නන්ටත් දඬුවම මරණයයි.
මේ කාලයේ මා විවාහ වී උන්නා. වැඩිමල් දරුවාට අවුරුද්දක් වයසයි. එක්තරා රූපවාහිනී ආයතනයක ප්‍රවෘත්ති කියවීමද කළා. ගුරු වෘත්තියට අමතරව හැරල්ඩ් පෙරේරා මහතාගේ Videographic ආයතනයේ සේවය කළා.
ප්‍රවෘත්ති කියවන්නන්ට මේවා තහනම් කළේ මේ කාලයේ. ඒත් හමුදාවේ විශේෂ කාර්ය බලකායේ ජීප් රථයක් වරින්වර මගේ නිවසට ඇවිදින් ප්‍රවෘත්ති ප්‍රකාශයට මා බලෙන් රැගෙන ගියා. ප්‍රවෘත්ති ප්‍රකාශ කොට නිවසට එන්නේ මරණ බියෙන්.
ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, රිචඩ් ද සොයිසා ආදීන් ඝාතනයට ලක්වුණේ මේ කාලයේ. ඊළඟ ඉලක්කය මා වන්නට පුළුවනි. මගේ හිත නිතරම මට කිව්වා.
මෙම කැරැල්ලට සම්බන්ධ මගේ ගම් ප්‍රදේශයේ තරුණයන් බොහෝ දෙනෙකු මම හඳුනනවා. හිතේ තිබුණු මරණ බිය නිසාම එක් තරුණයෙකු මාර්ගයෙන් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයා හමුවන්නට ද ගියා.
“අපෙන් ප්‍රශ්නයක් නෑ අයියේ අපි දන්නවා ගෙදරට ඇවිත් අයියාව අරගෙන යන බව. ඔයාට අපෙන් කරදරයක් නෑ. ඒත් ආණ්ඩුවෙන් ප්‍රවේශම් වෙන්න.”
මගේ සිතට තරමක සැනසීමක් ආවේ මෙයින් පසුව. ආණ්ඩුව එක්ක මගේ ප්‍රශ්නයක් නෑ. මම මොන පක‍ෂ දේශපාලනයවත් කරලා නෑ. මම මගේ හිත සනසා ගත්තා.
ඒත් ප්‍රශ්නය වෙන පැත්තකට හැරුණා. දවසක් හැන්දෑවේ පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා මගේ නිවසට ආවා.
“යමු පොලිසියට”
ඔහුගේ කතාව මිතුරු හමුවකට වඩා වෙනස්.
පොලිසියට යනතුරු ඔහු මා සමග කතා කළේ නෑ. මට මේක තේරුම් ගන්නට බැරි දෙයක්. කෙළින්ම මා අරගෙන ගියේ ඔහුගේ කාර්යාලයට.
“ප්‍රියානන්ද මම ඔයාව මගේ ළඟට ගත්තේ ඔයාගේ ආරක‍ෂාවට”
“ඇයි සර්”
“කැස්බෑව පන්සලේ හමුදා කෑම්ප් එකෙන් මට පණිවුඩයක් ආවා ඔයාව අත්අඩංගුවට ගන්න එන බවට. ඊට කලින් මම ඔයාව ගත්තා. දැන් නිලධාරියෙක් ඒවි. එයත් එක්ක යන්න. අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. දැන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ.”
“ඇයි සර් මොකක්ද හේතුව.”
“JVP එකේ ගුවන්විදුලි ප්‍රචාරය ක්‍රියාත්මක වෙන්නේ ගම් තුනක ඉඳලාය. එකේ නිවේදන කටයුතු කරනනේ ඔයා කියලා පෙත්සමක් ගිහින්.”
“මම එහෙම දේකට සම්බන්ධ නෑ සර්. කවුද එහෙම කියලා තියෙන්නේ.”
“මගෙන් ප්‍රශ්න අහන්න එපා. ඒක කරල තියෙන්නේ කාන්තාවක්. එච්චරයි මම දන්නේ.”
මොහොතකින් හමුදා නිලධාරියා පොලිසියට ආවා.
ස්ථානාධිපතිවරයාගේ කාර්යාලයෙන් මා පිටතට යැවූ ඔවුන් පැයක පමණ කාලයක් කතා කරමින් උන්නා. හමුදා නිලධාරියා පිටත්ව ගියාට පසුව ස්ථානාධිපතිවරයා මා ළඟට ආවා.
“හරි ප්‍රශ්නය ඉවරයි. ඔයා එහෙම දෙයක් නොකළ බව ඒ අයත් දන්නවා. ඒත් ඔයාට ගෙදර යන්න දෙන්න බෑ. දවස් දෙක තුනක් මා එක්ක ඉමු.”
මේ කාලයේ පොලිසි වලටත්, පොලිස් නිලධාරීන්ටත් අගුණ කාලයක්.
“මම ගෙදර ඉන්නම් සර්”
ඔහු කිසිම දෙයක් කතා කළේ නෑ. එදා රාත්‍රියේ ඔහු ඔහුගේ නිලනිවසට මා කැඳවාගෙන ගියා.
“ප්‍රියානන්දට වෙඩි තියන්න පුළුවන් ද?”
“ඔව් සර් ඉස්කෝලේ ශිෂ්‍ය භට බලකායේ ඉන්දැද්දී මම රයිපලයකින් වෙඩි තිබ්බා.”
“මේ පිස්තෝලේ තියා ගන්න. අපේ ගෙවල්වලට ගහන්න එනවානේ. එහෙම කවුරු හරි ආවොත් කාට හරි කමක් නෑ කොකා අදින්න.”
ජීවිතේ මුල්වරට පිස්තෝලයක් අතට ලැබුණා. දින තුනක් රාත්‍රී කාලයේ මේ නිවසේත්, දහවල් කාලයේ පොලිසියේත් ගත කළා.
එක්තරා ලොතරැයියක් දිනුම් ඇදීම ජාතික රූපවාහිනියට තහනම් උනා. ඒත් නීතියේ හැටියට ලොතරැයි දිනුම් ඇදීම නතර කරන්නට බැහැ.
මා සේවය කළ Videographic ආයතනයේ හැරල් මහතා රජයේ ප්‍රධාන ඇමතිවරයෙකුගේ පුතෙකුවීම නිසා මේ ලොතරැයි දිනුම් ඇදීම අප ආයතනයට පැවරුනා.
හොර රහසේම මේ දිනුම් ඇදීම කළේ කොළඹ කොටුවේ. ආදායම් බදු දෙපාර්තමේන්තු කාර්යාලයේ ඉහළම මාලයේ ආයතනයේ වාහනයේ නම සඳහන්ව තිබීම නිසා කැමරා ආම්පන්න ඇතුළු අනිත් දේ රැගෙන ගියේ වෙනත් වාහන දෙකක. මා ඇතුළු කාර්මික ශිල්පීන්. නිවේදක නිවේදිකාවන්, විනිශ්චය මණ්ඩලය එතැනට ආවේ වෙන වෙනම. කැරැල්ලේ කරදර නිමාවට පත්වන තුරුම මේ පටිගත කිරිම හොර රහසේම කළා. කාගෙ කාගේත් අතමිටට හොඳ මුදලක් ලැබුණා. කැරැල්ල අවසන් වීමෙන් පසුවත් මේ කටයුත්ත අපටම කරන්නට ලැබේයැයි අප සිතුවත්. මෙතෙක් හොඳ තත්වයක් තිබූ අපේ වැඩ සටහන කැරැල්ල නිම වී රට යථා තත්වයට පත්වීමත් සමග ඉතාමත් දුර්වල අඩුපාඩු සහිත වැඩ සටහනක් බවට පත්ව අපට අහිමි වුණා.
ඉතාමත් භයානක රාත්‍රියක නිවෙස්වල පහන් දැල්වීම පවා තහනම් කර තිබුණා. රාත්‍රී ආහාර ගෙන නින්දට යාමට සූදානම්වන විටම නිවසේ ගේට්ටුවේ අගුල ඇරෙන ශබ්දය අප කාටත් ඇහුණා. මේ වනවිට ඉටිපන්දමක එළියෙන් මගේ බිරිඳ අවුරුද්දක් වයස මගේ පුතාට කිරි දෙමින් උන්නා.
“ලොකු පුතේ ඔයා යන්න එපා. මම යන්නම්.” තාත්තා කිව්වා.
කවුරුන් ගියත් වැඩක් නෑ. නිල අනුග්‍රහයෙන් හෝ නිල නොවන අනුග්‍රහයෙන් මරා දැමූ කලාකරුවන් මට සිහිවුණා.
“අපෙන් ප්‍රශ්නයක් නෑ. ආණ්ඩුවෙන් පරිස්සම් වෙන්න” JVP ප්‍රාදේශීය නායකයා මට කී වදන් සිහිවුණා.
සෙමින් දොරට තට්ටු කරන ශබ්දය ඇසුණා.
“අපි දෙන්නම යමු. මම පුතාවත් අරගෙන එන්නම්” සන්ධ්‍යා මට කීවා.
“ප්‍රියානන්ද අයියා ඉන්නවද?”
ඒ හඬේ නම් තිබුණේ ඉතාම කාරුණික බවක්. මම එළියට ආවා. තාත්තාව බිලි දෙන්න බෑ. තරුණයන් දෙදෙනෙකු එළියේ උන්නා. පරිසරය කට්ට කළුවරයි.
“අයියේ අපිට පුංචි වැඩක් කර ගන්න ඕනේ ලාල් අයියගේ Record Bar එකේ මේ කැසට් එකෙන් කොපි 100 ක් හෙට උදේට ගහලා ඕනේ.”
“මොකක්ද මේකේ තියෙන්නේ.”
“විජේවීර සහෝදරයාගේ දේශනයක්”
ලාල්ගේ Record Bar එක “සංදීපනි” පිළියන්දල මුල්ම Record Bar එක. මමත් එකේ කොටස් කාරයෙක්.
“හෙට දවල් 12.00 ට කලින් කවුරු හරි ඒවි.” ඔවුන් යන්න ගියා.
ගෙදර කවුරුත් කතා කළේ නෑ. මේ මහ රෑම මම Record Bar එකට ගියා. ඉදිරියෙන් පිළියන්දල පොලිස් ස්ථානය. අපි ශබ්දය නොනැගෙන සේ ක්‍රියාත්මක වෙමින් දහවල් 12.00 ට පෙර කැසට් 100 ක් පිටපත් කළා. ඒත් මේ වනතුරු ඒවා ගෙනියන්නට කවුරුත් ආවේ නෑ.
තවත් දවසක් නිල නොවන ඇඳිරි නීතිය සහ නිල ඇඳිරි නීතිය දෙකම ක්‍රියාත්මක වුණා. මගේ දුරකථනය නාදවුණා.
“මහත්තයෝ ළමයින්ට කන්න දෙන්න විදියක් නෑ. හාල් ඇටයක් පන්සලේ නෑ. ගමේ අය එන්නෙත් නෑ.”
මට කතා කළේ කිදෙල්පිටියේ ළමා නිවාසයේ හාමුදුරුවන්.
“හරි මම හාල් අරගෙන එන්නම්”
මෝටර් බයිසිකලයට නැගී මම කෙළින්ම ගියේ පොලිසියට.
“සර් මට ඇඳිරි නීති අවසර පතක් ඔනේ” ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.
“මොකටද යකෝ මේ රෑ ?”
මම විස්තරය කිව්වා. ළමා නිවාසයත් දන්නා ස්ථානාධිපතිවරයා මට අවසර පතක් දුන්නා.
පිළියන්දල හන්දියේ රවුම් කඩේ මගේ මිතුරු මුදලාලිව අමාරුවෙන් අවදිකරගෙන හාල් කිලෝ 10 ක් අරගෙන මම භයානක ගමනක් පිටත් වුණා.
කිදෙල්පිටියේ වෙල දිගේ ටයර් සෑයවල් ඇවිලෙනවා. දෙතැනක දී මාව පොලිසියෙන් නතර කළා. හැම දෙනෙකුම පිළියන්දල පොලිසියේ මා දන්නා රාලහාමිලා. එදා රෑ මම පහන් කළේ පන්සලේ. ආපසු එන ගමන භයානක නිසා.
මගේ ඉස්කෝලේ පන්තිවල දරුවන්ට මම අධ්‍යාපනය වගේම හොඳ නරකත් කියා දුන්නා. අරගල කිරීමේ වරද සහ භයානක කමත් වරින්වර කිව්වා. මේ නිසාම ඇතැම් සිසුන් මා හැඳින්වුවේ කැස්බෑවේ ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාගේ සහචරයෙකු හැටියට.
හිරිමුතුගොඩ නම් ශිෂ්‍යයෙකු න‍ඪඡ ශිෂ්‍ය නායකයෙක්. දවසක් උදේම පත්‍රියා වගයක් ඛෙදන්නට ගිහින් මේ ශිෂ්‍යයා විදුහල්පති හිමියන් අතට අසුවුණා. විදුහල්පති හිමියන්ගේ පහරදීමෙන් බේරගන්නට කාර්යාලයට ගියේ මම. හරියටම මේ වෙලාවටම හොරණ පොලිස් ස්ථානයෙන් පැමිණ හිරිමුතුගොඩ ශිෂ්‍යයාව අත්අඩංගුවට ගත්තා. මෙම ඔත්තුව දුන්නේ කවුරුන්දැයි කියන්නට මම දන්නේ නෑ. ඒත් හිරිමුතුගොඩ පොලිස් අත්අඩංගුවට පාවා දුන්නේ මා විසින්යැයි සිසුන් වරදවා සිතාගෙන තිබුණා. පසුදා මා පාසලට එනවිට ළමුන් සියලූදෙනාම එළියට බැහැලා. මට විරුද්ධව බැනර් අල්ලාගෙනයි ඔවුන් සිටියේ. මම ගේට්ටුවෙන් ඇතුළට එනවිටම ළමයින් හූ කියන්නත් කෑගහන්නටත් පටන් ගත්තා.
“මහත්තයෝ – හිරිමුතුගොඩගෙ ප්‍රශ්නෙ නිසා හොරණ ඉස්කෝලවල ළමයින් සියලූම දෙනා එළියට බැහැලා. තව මොහොතකින් මුළු කළුතර දිස්ත්‍රික්කයේම ළමයි එළියට බහිනවා.”
මම බයිසිකලයට නැගී කෙළින්ම ගියේ හොරණ උසාවියට. හොරණ උසාවියේ මහේස්ත්‍රාත්වරයා ගායන ශිල්පී සනත් නන්දසිරි මහතාගේ ගෝල ශිෂ්‍යාවකගේ මාමා. මේ නිසාම මම එතුමා හඳුනනවා. උසාවියේ එළියේ හිටගෙන ඉන්නා මා දුටු මහේස්ත්‍රාත්වරයා තම තෝල්ක මුදලි මා වෙතට එව්වා. මහේස්ත්‍රාත්වරයා හමුවීමට අවශ්‍යයැයි මා කී විට මහේස්ත්‍රාත්වරයා උසාවිය මදකට නතරකොට එතුමාගේ කාමරයට ගියා.
“සර් මට මේ ළමයව එළියට අරන් දෙන්න.” මම මුළු විස්තරයම එතුමට කිව්වා.
“එළියට අරන් දෙන්න මට බෑ. මම මගේ ළඟට ගන්නම් අද දවස ඉවර වෙනකල් උසාවි හිරකූඩුවේ තියාගෙන හවසට පොලිසියට බාර දීලා ආපසු උදේට ගන්නම්. දෙකෙන් එකක් වෙනතුරු අපි එහෙම කරමු.” එතුමා එවෙලේම පොලිසියට කතා කොට හිරිමුතුගොඩ තමා භාරයට එවන ලෙස ඉල්ලා සිටියා.
මේ සුභ ආරංචිය කියන්නට මම ඉස්කෝලෙට යනවිට වෙන්න තියන දේ වෙලා. පොලිසිය ඉස්කොලේට ඇවිත් ළමයින්ට කඳුළු ගෑස් – බැටන් පොලූ පහරවල් දීලා. උඩු මහල්වලින් පැනපු ළමුන් අතපය කඩාගෙන.
මේ තත්වයත් ආපසු මගේ පැත්තට හැරුණා. මම පොලිසියට ගිහින් ළමුන් ගැන කියා ඔවුන් මෙල්ල කරන්නට ඉල්ලා සිටියා යැයි ළමුන්ට වැරදි අදහසක් කවුරුන් විසින් හෝ දී තිබුණා.
“මහත්තයට මරණ තර්ජන තියනවා. සතියක් දෙකක් මහත්තයා ගෙදර ඉන්න.” නායක හිමියන් මට අවවාද කළා.
“වෙන දෙයක් උනාවේ. මම ඉස්කෝලේ එනවා හාමුදුරුවනේ.”
මම හැමදාම ඉස්කෝලේ ගියා. ගුරු කාමරයේ මගේ ලාච්චුවේ මරණ තර්ජන ලිපි ගණනාවක් තිබුණා. මට හිතවත් සිසුන් නිතරම මා වටා උන්නා. දිනක් මා උගන්වමින් සිටින විට මගේ පන්තියේ උන් සරත්චන්ද්‍ර ලේ පෙරාගෙන ශාලාව හරහා දිව එනු දුටු මගේ පන්තියේ සිසුන් මා වටකර ගත්තා. සරත්චන්ද්‍ර දුවගෙන ඇවිත් මා ළඟ දනින් වැටුණා.
“මට සමාවෙන්න සර්”
“මොකෝ සරත්චන්ද්‍ර මේ ?”
“සර් මම හිටියේ පොලිසියේ. උන් මාව අරගෙන යන්නේ පුච්චන්න. ඊට කලින් මට සර්ගෙන් සමාව ඉල්ලන්න ඕනේ. මේ හැමදෙයක්ම කළේ මමයි සර්. සර්ගේ ලාච්චුවට ලියුම් දැම්මේ සර්ව මරන්න නෙමෙයි. බය කරන්න. සර් අවංකව කරපු දේ මම දැන ගත්තේ දැන්. මට සමාවෙන්න සර්. මම යනවා.”
සරත්චන්ද්‍ර යාමට සූදානම්වන විට මා ඔහු නතර කළා.
“සරත්චන්ද්‍ර මම ඔයාව බේරගන්නම්. යමු අපේ ගෙදර.”
ඒත් සරත්චන්ද්‍ර මගෙන් බේරි පලා ගියා.
“සර් සරත්චන්ද්‍රව හොරණ ඩිපෝ එක ඉස්සරහ ටයර් එකක දාලා පුච්චලා” ඒ ආරංචිය මා දැනගත්තේ ඊට පසුදා. කොහොම උනත් ළමයින් මාව තේරුම්ගත් එක ලොකු දෙයක්.
ආගිරිස් කොස්තා – පිළියන්දල විදුහලේ මගේ පන්තියේ උන්න මිතුරෙක්. ඔහුගේ බිරිඳ චන්ද්‍රානී උන්නෙත් මගේ පන්තියේ.
මේ කැරලි සමයේදී ආගිරිස් කොස්තාව පිළියන්දල කහතුඩුව හොරණ පොලිස් ස්ථානවලින් හොයන්නේ ඔහු JVP නායකයෙකු නිසයි.
පාසල අවසන් වී මගේ වාහනයේ මම කොළඹ මගේ අනෙකුත් රාජකාරිවලට යමින් සිටින විට කහතුඩුව වෙල වංගුවේ දී කෙනෙකු පාර මැදට පැන මගේ වාහනය නතර කළා.
මේ මගේ මරණය යැයි මා සිතුවත් තුවා එකකින් හිස සහ මුහුණේ අඩක් වසා සිටි ඔහු බලෙන්ම මගේ වාහනයට නැංගා.
“ආගිරිස් කොස්තා”
“අප්පට සිරි මේ ප්‍රියානන්දනේ”
“මම වාහනය නතර කළා.”
“නවත්වන්න එපා. අපි යමු මම වෙල පැන්නම බහිනවා.”
වෙල වංගු දෙකම පහු උනාම කොස්තා බැහැලා ගියා.
කහතුඩුව හන්දියේ පොලිස් මුරපොලේ මහා කලබලයක්. මගේ වාහනයත් නතර කළා.
ධෂක‍ මහින්ද මහත්තයා ඇතුළු පිරිස පිස්තෝල තුවක්කු ඔ 56 අමෝරාගෙන.
“ඇයි සර්”
“අර ආගිරිස් කොස්තා කියන පරයා මේ හරියේ කැරකෙනවා. අද ඕකව මරනවා.”
ඒත් එදා රාත්තිරියේ ආගිරිස් කොස්තාගේ දරු පවුල නන්නාදූනන තුවක්කු කරුවන් විසින් මරා දමා තිබුණා.
එහෙම කළේ අවසාන කටයුතුවලට කොස්තා ඒවි කියලා හිතාගෙන. නිල නොවන හමුදා නිලධාරීන් පොලිස් නිලධාරීන් මල ගෙදර සිටියාලූ. මමත් සහභාගී වුණා. ආගිරිස් කොස්තා තම දරු පවුල බැලීමට මල ගෙදර ආවා. ඒත් කාටවත් ඔහු හඳුනා ගන්නට පුළුවන් උනේ නෑ. හඳුනාගත් අය ද ඇස් කොනෙන් වත් ඔහු දෙස බැලූවේ නෑ.
ඔහු මල ගෙදර ආවේ නවීන පන්නයේ පැජරෝ රථයකින්. සුදු ජාතික ඇඳුමක් ඇඳගෙන. ආරක‍ෂක නිලධාරීන් කීප දෙනෙකු ඔහු පසුපස ඔහු වටකරගෙන සිටියා.
ඒත් පසු දවසක ආගිරිස් කොස්තා අත්අඩංගුවට ගත්තා.
මේ මගේ අත්දැකීම්. මොනම අන්දමකටවත් කැරලිකාරයෙකු නොවී අනියම් ලෙස කැරලි දෙකේම විත්තිකාරයෙකු වුණේ ඔය විදියට.
මේ සිදුවීම් සිහිපත් වනවිට අද හිතට දැනෙන්නේ සියුම් සතුටක්.
මගේ කතාවත් එක්කම අපි අත්විඳි කැරලි දෙකම ගැන යලිත් වරක් ආවර්ජනය කරන්නට ඔබට මාතෘකාවක් ලැබේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *