kadapatha

දිවිල්ල

ඩබ්ලිව්. එච්. උපසේන විසිනි (by W. H. Upasena)

“එහෙ ලංකාවෙ වගේ නෙවෙයි හැම වෙලේම හාමුදුරුනමක්ම පිණ්ඩපාතෙ වඩිනවා. ඒ නිසා මෙහෙදිම පිරිකර ටිකත් ලෑස්ති කර ගෙන යමු.”
යෙහෙලියන්ගේ කීම අනුව මගේ බිරිඳ කල් තබාම පිරිකර ලෑස්ති කර ගත්තාය. විවිධ ඇට වර්ග මෙන්ම ඉරිඟු පියලිද ඒ අතර විය. මේවා පුජාකර ඇය ඉටු කර ගැනීමට වෑයම් කරන ප්‍රාර්ථනා රැසකි. බුදු දහම අනුව ජීවත්වීම යනු දන්දීම පමණක් නොව සිත දියුණු කර ගැනීමට කටයුතු කිරීම බව මම ඇයට නොයෙක් විට පහදා දී ඇත්තෙමි. මේ හේතුවෙන් නොයෙක් වර අප අතර වාද විවාද ඇති වෙයි. වෙනත් රටක සංචාරය කරන විට පන්සල්, පල්ලි හා දේවාල නරඹන තරමටම එම රටවල ජන ජීවිතයට එබී බැලීමද වැදගත් බව මම නිතරම සිතූ දෙයකි. ගියවර ලංකාවට ගිය ගමනේදීත් යාල සංචාරයට කාලය වෙන් කර ගැනුනේ මගේ කටේ බලයෙනි. ගමනේ සියයයට අනුූවක්ම පන්සල් දේවාල වලට කැප කොට හමාර වන විට අප කපටි වංචාකාරයින්ගේ ගැට වලටද හසු වී හමාරය.
කෙසේ වෙතත් තායිලන්තයට පා තබා පහන් වූ පළමු දිනයේදීම අප හෝටලයෙන් පිටට බැස අවට ජනාකීර්ණ වීදි දිගේ ඇවිද යන විට පා ගමනින් වඩින, එමෙන්ම තැන් තැන් වල වාඩි ගෙන සිටින භික්ෂූන් වහන්සේලා දැක ගැනීමට අපට හැකි විය.
මේ විදි දිගේ ආගමත්, පදික වෙළදාමත්, දාන පාරමිතාවත් එකට බද්ධව ඇති බව එක්වරම මගේ සිතට නැගුණි. වෙළඳුන් කෑ කෝ ගසමින් විවිධ කෑම බීම වර්ග මෙන්ම රෙදිපිළි විකුණමින් සිටින මේ ජනාකීර්ණ පටු මාවත් වල වාහන මාරුවීමද සිදු කෙරෙනුයේ ඉතා අසීරුවෙනි. කුණු කාණු වලින් හමන දුගද ද නැහැය හකුලූවයි. එහෙත් ඇගේත්, මගේත් දාන පාරමිතාව සපුරා ගනු වස් මේ කලබගෑනි අතරම පාත්‍රයක් අත දරා වැඩ සිටි භික්ෂුවකි. දන් පිරිනැමීමට එන සැදැහැවතුන්ට වාඩිවනු පිණිස උන් වහන්සේ ඉදිරියේ පලසක් ද එලා ඇත.
අප සකස් කර ගෙන ආ පිරිකර පූරා කොට වැඳ නමස්කාර කරත්ම එම ස්වාමීන් වහන්සේ පෙරළා අපට සෙත් පතා පාලි ගාථාවක් ද සජ්ජායනා කළහ. අප මෙන් නොව තායි ජාතික බැතිමත්හු ඒ අසලම පදික වේදිකාවේ පිළියෙළ කර තිබූ බත් සහ මාලූ පිණි සහිත බඳුන් පූජා කොට සෙත් පතා ගත්හ. වැඩි කෑම දැමීම සඳහා උනවහන්සෙලා ළඟම තවත් විශාල පෙට්ටියක් ද වෙයි. ඇවිදින භික්ෂුවක් නම් තවත් කෙනෙක් මේ කෑම දමා ගැනීම සඳහා අත් කරත්තයක් ද ගෙන යයි. මේ ක්‍රියාවලිය බලා සිටින්නෙකුට බැතිමතුන්ගේ දාන පාරමිතාව එක්තරා අන්දමක ව්‍යාපාරයට මං පාදා ඇති බව සිතා ගැනීම අපහසු නොවේ.
මේකී සිතුවිලි මැදින් නැවතත් හෝටලය වෙත පෙරළා එන ගමනේදී පදික වේදිකාව දිගට කෙරෙන මේ දානය පිළිබඳ ම’සිත වූ පැහැදීම දෙදරා ගියේය. වෙනත් වචන වලින් පවසනවා නම්, පිණ්ඩපාතය පිළිබඳ මා තුළ වූ පැහැදීම එක්තරා අන්දමකට සසල විය. අප සකස් කර ගෙන පැමිණි පිරිකර මල්ලෙන් අඩක්වත් තවමත් එහෙමම ය. මේවා කාට හෝ පිරිනැමිය යුතුව තිබුණේ ඇතැම් පිරිකර අපේ මිත්‍රයින් අපට පිරිනැමූ හෙයිනි.
පසුදින පන්සල් ගණනාවක් තිබූ අයුද්දයා ප්‍රදේශයට ගියද, පිණ්ඩපාත භාර ගන්නා භික්ෂූන් එහිදී සොයා ගැනීම අපහසු විය. අපට ලැබුණු තොරතුරු අනුව පේළියට පිණ්ඩපාතයේ වඩිනා භික්ෂූන් ඕනෑ තරම් තායිලන්තයේ සිටින හෙයින්, එබැවින් මේවා පිරිනැමීම එතරම් දුෂ්කර කාර්යයක් නොවන බවකි. කරුමයට මෙන් මෙහි එය එසේ නොවීය. එසේත් නැතහොත් මෙය, ලාඛෙට ඇඳුම් පැළඳුම් මිලට ගැනීම සඳහා බිරින්දෑවරුන් සමග අනිවාර්යයෙන් සහභාගි වියයුතු නීරස සාප්පු චාරිකා වෙනුවෙන් කෙරෙන උප්පරවැට්ටියක් විය නොහැකි ද ?
දිවා කාලයේ විදියේ එක් කොණක මෙලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිකර බාර ගැනීමට සැදී පැහැදි සිටින විට රාත්‍රී අඳුරත් සමඟ අනෙක් කොණෙන් නිශාචර කතුන් මතුවෙන මේ වීදිය ඔබේ චරිතය තියුණු විමසුමකට ලක් කරයි. කෝකටත් කියා එක් වැහිබර දිනක කාටත් නොකියා මම වීදියට බැස්සෙමි. මගේ සිතේ දාන පාරමිතාවක් හෝ අන් කවර හෝ අරමුණක් නොවීය. පාන්දර හතර පහේ පටන් අවදිවන පදික වේදිකාවේ ජීවිතය දැක ගැනීමේ කුතුහලය ම’සිත මඬනා ලද බව නම් කීම වඩාත් නිවැරදිය.
ප්‍රධාන වීදිය දිගේ ඇවිද ගිය මම එකවරම අතුරු මාවතකට පිවිසුනෙමි. වෙලාව උදේ පහට පහ හමාර පමණ වන්නට ඇත. එහෙත් ඒ වන විටත් වැසී තිබුණු වෙළඳසැල් මුවා කරගෙන පදික වෙළෙන්දෝ ගජ රාමෙට පාර අහුරා ගෙන තම වෙළඳාම පටන් ගෙන තිබුණි. තැනෙක මාලූ හෝ කැවිලි ගැඹුරු තෙලේ බැදෙන අතර තවත් තැනක තැම්බූ එළවළුය. කැම බඳුන් සහ සුප් බඳුන් සමග ඇතැම් කරත්ත දුම් දමයි. කාණු වලින් හමන පල් දුගඳත්, මාලූ බැදෙන සුවඳත් එකට එක්වීමෙන් නැගෙන්නේ අමුතුම දුගඳකි. තවත් තැනක කාන්තාවෝ සිරුර සම්බාහනය කර දෙන්නට සැදි පැහැදී සිටිති. ඉන්දියානු හා ශ්‍රී ලාංකික අවන්හල් වල දොර පලූ දෙක තුනක් ඇරෙමින් ඇත. පාරේ ඉඩ නැති බැවින් වාහන ඇඟේ වැදී නොවැදී සීරුවෙන් මාරු වන්නේ නළා හඬක්වත් නොනගාය. මේ අප අත්විඳින්නේ සැබෑ තායිලන්ත නාගරික ජන ජීවිතයමද ?
මෙලෙස ඒ වීදිය දිගේ් ඇවිද ගොස් හමු වූ මුල්ම වංගුව හරියේ දී කරත්තයක් අසල වාඩි ගෙන සිටියේ තරුණ ස්වාමීන් වහන්සේ නමකි. උන්වහන්සේගේ මුහුණ දුටු වනම මට කිසියම් සුපුරුදු දසුනක් මතකයට නැගී ආවේ ය. මම නැවත වරක් උන් වහන්සේ දෙස බලත්ම මදහසක් නගා හිස පහත් කොට උන්වහන්සේ මට ආචාර කළහ. මම ද දෑත් එකතු කොට හිස නමා එතැනින් ඉදිරියට ගියෙමි. අලූත් රටකට පැමිණි විට හැම මුහුණම පෙනෙන්නේ එක විදියටය.
ඇත්තටම මම පසු වූයේ එක්තරා අන්දමක ඉච්ඡා භංගත්වයකින් යැයි කීම නිවැරැදිය. මට අවශ්‍ය වූයේ බොහෝ පදනම් විරහිත යැයි පෙනෙන ආගම් චාරිත්‍ර වලට ඔබ්ඛෙන් ගිය බුදු දහමේ මහ ඉහළින් උගන්වන විපස්සනා භාවනා වැඩසටහන් පවත්වන, එමගින් සිත දියුණු කර ගත හැකි ස්්ථානයක් නැරඹීමට ය. එමගින් සන්සුන් කර ගෙන හික්මවා ගත යුතු අවිනීත සිතද දිනෙන් දින ඔද්දල් වෙන්නට බලන ගතට ද මෙම සංචාරය මගින් කිසියම් ප්‍රබෝධයක් ලබා දෙනු ඇතැයි යැයි මම බලාපොරොත්තු වුනෙමි. එහෙත් අප මෙහිදි කරන්නේ දන් දී පරලෝක සැපය සඳහා හැකි තරම් ආයෝජනය කිරීමය. එමගින් ලබන ආත්මයද රක්ෂණය කර ගැනීමය. ස්වභාවයෙන් ම මා තුළ පවතින නොසන්සුන්කම එසේත් නැත්නම් ඉක්මණින් ප්‍රතිඵල ලබා ගැනීමේ අභිප්‍රාය මේ තත්ත්වය තවදුරටත් ව්‍යාකූල කරමින් තිබුණි.
ඊයේ අප සංචාරය කළ පාවෙන වෙළඳ පොළේදී ද මට යමුවන්නට ඔන්න මෙන්න තියා මග හැරී ගියේ මේ භික්ෂුවමද ? අප ඇතුලූ පිරිස අසා තිබුණේ මේ වෙළඳ පොළේ දිය වීදි දිගේ බෝට්ටු වලින් යන විට ස්වාමීන් වහන්සේලා ඔරුවල නැගී පිඩු සිගා වඩිනා බවකි. එහෙත් මන්දාරම් අහස මෙන් කලූ පැහැ ගැන්ව කැලතුනු දියත්, කොහු ලෙලි වලවල් සිහි ගන්වන දිය අගලූත් එකිනෙක ගැටෙමින් ඒ මේ අතට මාරුවන බෝට්ටුත් එසේ දන් පිරිනැමීමට තිබුණු ඉඩකඩ අහුරා ලිය. මහළු දුබල ගැමි වෙළෙන්දියෝ පලතුරු හා බැදපු කට ගැස්ම ටිකක් අසුරා ගෙන හබල් ගසමින් පැද එන ඔරු මුවා කරගෙන යාන්ත්‍රික බෝට්ටු ඇදෙයි. ඉවුරු දෙපස සිටින වෙළෙන්දෝ ඔවුන් ළඟ තිඛෙන බඩු භාණ්ඩ වලට ගිනි ගණන් කියති. ඇත්තටම මේ කලබල වීදිය අතරින් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකු රැගත් කුඩා ඔරුවක් අප අසලින් මාරු වන්නට ආවේය. මම වහා පිරිකරක් ගෙන එක නමකට පිරිනමන්නට සැරසුනද යාත්‍රා දෙකේ ගමන් වේග සම නොවීමත් යාත්‍රා දෙක අතර පරතරය පිළිබඳ හැගීමක් නැතිකම නිසාත් එය උන්වහන්සේ වෙතට පිරිනමන්ට මත්තෙන් අර අඳුරු පැහැති දියමත වැටී සැඟව ගියේය. කමක් නැහැ යන සංඥාව දක්වමින් උන්වහන්සේ හිස පහත් කළහ. මෙය නම් සංචාරකයින් අද්දවා ගැනීමේ උප්පරවැට්ටියක් මිසක අන් යමක් නොවේ යැයි මට ඒ මොහොතේම සිතුණි.
එහෙත් මහාම අවුල සිදුවූයේ කොටි අසපුවේදීය. බැංකොක් වලින් පිටත්ව බොහෝ දුර ගෙවා පැමිණි මේ ප්‍රදේශය ඛෙහෙවින් ශ=ෂ්ක ය. චණ්ඩ හිරු රශ්මියත්, දුහුවිලි වළා නැගෙන හාත්පස පරිසරයත්, අතු ඉපල් බේරුණු ගහකොළත්, වෙහෙසකර ගත තව තවත් වෙහෙසට පත් කළේ ය. ළාබාල කොටි රැහැන් වලින් බැඳ කවර හෝ ඛෙහෙතක් ලබා දී නිදි කරවා තිබුණු අතර අපට ඡායාරූප ගැනීමට ඉඩ සලසා තිබුණේද උන් සමගය. සමූහ ඡායාරූප ගැනීම සඳහා එක්වීමට භික්ෂූන් වහන්සේ නමක් එහි අසුන් ගෙන සිටියහ. ඡායාරූප ගැනීමෙන් පසු මම පිරිසෙන් මඳක් වෙන්ව එතරමි හිලෑ නැති හැඩි දැඩි කොටි රඳවා තිඛෙනවායි කියූ ලෙන් වෙත කල්තබා පා නැගිමි. බොරළු වලින් පිරි අඩි පාරකින් පැමිණ එම ලෙන් තුළට එබී බැලිය යුත්තේ ඉහළ සිටය. හොඳින් හැදුනු වැඩුනු කොටි දෙතුන් දෙනෙක් සිටියේ කූඩු කරන ලද කාමරවල වෙන් වෙන්ව ය. වරින් වර උන් ගොරවන හඬද ඇසෙන්නට විය. හිටිහැටියේම මා කලබලයට පත් වූ අවස්ථාවක් උදා විය. ගේට්ටුවක් ඇරෙන හඩක් ද, දම්වැලක් ගැසෙන හඩක් ද, ඒ සමගම මේ සතූන් රැක බලා ගන්නා කෙනෙක් යැයි කිවහැකි අයෙකුගෙන් වහාම මෙතැනින් පලා යන්නැයි හැගවෙන සංඳාවක් ද ලැබුණි. එක කොටියකුගේ ගෙරවිලි හඬද ළං ළංව ඇසුණේ ය. කළ හැකි කිසිවක් නොවුනෙන් මම පය ඉක්මන් කරමින් ඉහළ කඳු ගැටයක පිහිටා තිබුණු අසපුව දෙසට දිව ගියෙමි.
එහෙත් පටු අඩිපාරේ හමුවන කුඩා ගල් කුලක් පසු කරත්ම එහි සිටි භික්ෂුවක් මුහුණට මුහුණ මුණ ගැසිනි. වටාපතක් අත දරා සිටි උන් වහන්සේ වැඩියේ සන්සුන්ව ය. “බාහන්ටේ….” මට ඉබේම කියැවිණි. “ටයිගර් …… ටයිගර්…. ප්ලීස් ස්ටොප් ඇන්ඩ් රන් බෑක්….”
උන්වහන්සේ පිළිතුරු දුන්නේ සිංහලෙනි. “මහත්තය මම නං නැවතිල ඉන්නෙ. මහත්තයනෙ තවමත් දුවන්නෙ. කලබල වෙන්න දෙයක් නැහැ. මේ කොටින්ට කෑම දෙන වෙලාව…. උන් එතකොට ටිකක් කලබල කරනව…..”
අදෝමැයි ! මේ අර පාවෙන වෙළඳ පොළේදී මා පිරිනැමූ පිරිකර භාර ගන්නට සැදී පැහැදුනු ස්වාමීන් වහන්සේමය. තායි භික්ෂුවක් මා ඉදිරියේ මෙසේ සිංහලෙන් කතා කරනු දැක මම විපිලිසරව බැලූවෙමි. “මම කාලයක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ ඉගෙන ගත්ත. සිංහල ඇත්තො මට හොඳට හුරුයි..”
මෙහි සංචාරයට පැමිණියේ මෙලෙස සෙනඟ අද්දවා ගැනීමට තිඛෙන කොටි ආරාම හා සංචාරකයින් අලි පිටේ ගෙන යාම දැකීමට නොව බුදු දහම හොඳින් පිළිපදින දේශයක් දැක ගැනීමේ ආශාවෙන් බව මම උන්වහන්සේට කියා සිටියෙමි. මගේ ඉච්ඡා භංගත්වය මුහුණේ සටහන් ව තිඛෙන්නට ඇත. එය උන් වහනසේ හොඳින් කියවා ගෙන ඇති සේය.
“හොඳ දේ සොයා ගන්න වෙන්නෙ මේ අවුල් වියවුල් අතරින් ම තමයි..මහත්තය…ඒකට කාලයත් විනයත් ඕන වෙනව…..”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *