kadapatha-wawa rauma

වැව රවුම – අප්‍රේල් 2016

සාමන්ත තැන්නගේ විසිනි by Saamantha Tennege

නමස්තේ

සැලී මැදිවියේ පසුවෙන ඕස්ට්‍රේලියානු කාන්තාවකි. ඇය කාටත් දෑත් එක්කර සිනා සී හිස නමා ආචාර කරන්නීය. මා දුටු කල්හි ඒ ආචාරයට “නමස්තේ” යන වචනයද එකතු කරන්නට අමතක නොකරන්නී ය. බටහිර කාන්තාවක නමුත් ඇය අනෙකුත් බටහිර අය මෙන් සිපාචාර කිරීමක් ගැන නොසිතන්නී ය. කෙනෙකු පිළිගැනීමේදීත්, කෙනෙකුගෙන් සමුගැනීමේදීත් ඇය ඉන්දියානුවෙකු මෙන් දෑත් එක්කිරීමටත්, ජපන් ජාතිකයෙකු මෙන් කොන්ද නැමීමටත් හේතුව කුමක්දැයි දිනක් මම ඇයගෙන් ඇසුවෙමි.
ඇය සිනාසී පිළිතුරු දුන්නේ මෙසේ ය.

“මම මේ දේ කරන්නේ සිහියෙන්. ඒ වගේම සතුටින්. ඊටත් වඩා මේක මට හොඳ ව්‍යායාමයක්.”

රොබෝලා

ජපන් ජාතිකයන් තරම් ආචාර කරන පිරිසක් මේ ලොව ඇතැයි මම නොසිතමි. ඔවුන්ගේ ආචාරය සිතටත්, කයටත්, වචනයටත් කිඳා බැස ඇති සේය. දිනක් මම ජපන් ජාතිකයන්ගේ මෙකී විනීතකම ගැන අපේ මිත්‍රයෙක් සමග කතා කළෙමි. ඔහු මට මෙසේ කීවේ ය.
“උන්ට පිස්සු….. මට නම් හිතෙන්නේ උන් නිකං රොබෝලා වගේ කියලයි. මම නම් මගේ ළමයෙක්ටවත් ඔය ලංකාවේ වගේ දෙකට තුනට නැමිලා වඳින්න කියලා කියන්නේ නැහැ. මේ රටට ආවම අපි ඒ විදිහට ඉන්න ඕන.”

ඔරලෝසු බට්ටා

අන්තෝනි කුඩා කළ සිතුවේ කවදා හෝ ක්‍රිස්තියානි පූජකයෙකු වන්නට ය. උපතින් බටහිර ජාතිකයෙකු මුත්, පසුව ඔහු වේද ග්‍රන්ථ හදාරන්නට පටන් ගත්තේ ය. විශ්වාත්මය හා පරමාත්මය වෙනුවෙන් පසුව ඔහු තමාගේ ආත්මය කැප කළේ ය. ඊළඟට ඔහු කිතු දහම හෙළා දකින්නට පටන් ගත්තේ ය. කාලයාගේ ඈවෑමෙන් ඔහුට බයිබලයේ ඇතැම් කරුණු වෙනත් මානයකින් පෙනෙන්ට පටන් ගත්තේ ය. මට ඔහුව හමු වුනේ ඔහු තමා අභිමුවට එන හැම දෙයක් දෙසම මැදිහත්ව සිතින් බලන්නට පටන් ගත් කාලයකදී ය. ඔහු අපට මෙසේ කීවේ ය.

“බටහිර මිනිස්සුට ඕන වුනේ ඇගේ මස්ගොබ පේන්න බාහිර පෙනුමෙන් යකඩයෝ වගේ වෙන්න. ඒත් පෙරදිග මිනිස්සුගේ බාහිර පෙනුම හරිම මොළොක්. හැබැයි අභ්‍යයන්තරය යකඩ. සංතෝස වෙන්න ඕන කාරණය තමයි දැන් බටහිර මිනිස්සු ඒක අවබෝධ කරගෙන ඒ අනුව වෙනස් වීගෙන යන ප්‍රවණතාවයක් තිබීම. දුක් වෙන්න ඕන දේ තමයි ආසියාවේ මිනිස්සු දැන් බටහිරටත් වඩා බටහිරයෝ වෙමින් පැවතීම. අනික් අතට ලෝකයේ හැටි එහෙම තමයි. නිතරම හැම දේම ඔරලෝසුවේ බට්ටා වගේ එක අන්තෙක ඉදලා අනික් අන්තෙට ගමන් කිරීම.”

කොන්දේ අමාරුව

1990 සිට 2013 අතර කාලයේදී ලෝකය පුරා කොන්දේ අමාරුවෙන් පෙළෙන ජනතාවගේ ප්‍රමාණය සියයට 60 කින් වර්ධනය වී ඇත. බොහෝ කාලයක් වාහන වල එකම ඉරියව්වකින් ගමන් කිරීම, වැරදි ඉරියව් පවත්වාගෙන යාම සහ අප නියුතු රාජකාරිවල ස්වභාවයන් මීට හේතු වශයෙන් දක්වා ඇත. අනෙක් අතට කොන්දේ අමාරුව ලෝකයේ වැඩිම දෙනෙකු සදාකාලික කායික දුබලතාවයට පත්කරනු ලබන ප්‍රධාන සාධකයද වන්නේ ය. ඕස්ට්‍රේලියාවද ලෝකයේ කොන්දේ අමාරුවෙන් වැඩිම ප්‍රතිශයක් පෙළෙන්නන් වෙසෙන රටවල් අතරින් එකකි.

සූර්යය නමස්කාරය

වාච්‍යාර්ථයෙන් ගත් විට සූර්යය නමස්කාරය යනු සූර්යයා වෙනුවෙන් කරන වන්දනාවකි. කලින් සටහනේ දැක් වූ අන්තෝනිද සූර්යය නමස්කාරයේ යෙදෙන්නෙකි. දිනක් අපි සූර්යය නමස්කාරය ගැන කතා කළෙමු. මගේ අදහස වූයේ සූර්යය නමස්කාරය යනු සූර්යයාට කරන වන්දනාවක් නොවිය හැකි බවත් එය උදෑසන නැගෙනහිර දෙස බලා කරන ව්‍යයාමයක් නිසාවෙන් එය හැඳින්වීමට එදා උපයෝගී කරගත් වචනයක් පමණක් විය හැකි බවත් ය. පසුකාලීනව ව්‍යායාමය යට ගොස් වන්දනාව ඉස්මතු වන්න ඇති බවත් ය.

ධනුග්ගහ සූත්‍රය

සංයුක්ත නිකායේ ධනුග්ගහ සූත්‍රයේ මෙසේ දැක්වේ.

ජවසම්පන්න දුනුවායන් සතර දෙනෙක් අධික වේගයෙන් දුනුදිය ඇද සතර දිශාවන්ට හී සර සතරක් විදී. තවත් ජවසම්පන්න පුරුශයෙක් ඒ දුනුවායන් හී විදිනවාත් සමගම අධික වේගයකින් චාපයක ගමන් කර ඒ හී තල බිමට පතිත වීමට පෙර ග්‍රහණය කර ගනී. මේ පුරුෂයාගේ වේගය ඉතා විශාලය. එහෙත් එම පුරුෂයාට වඩා මහත් වූ වේගයකින් සූර්ය චන්ද්‍රයන් ගමන් කරයි. සූර්ය චන්ද්‍රයන් ගමන් කරන වේගයට වඩා වේගයකින් සූර්ය චන්ද්‍රයන් ආශ්‍රය කොට දිවෙන දෙවියන් ගමන් කරයි. ඊට වඩා වේගයෙන් සාන්සාරික සත්වයාගේ ආයුෂය ගෙවී යයි.

සූර්යයා ගැන

සෞරග්‍රහ මණ්ඩලයේ මුලූ ස්කන්ධයෙන් සියයට 99.860ක් අයත් වන්නේ සූර්යයාට ය. එහි මතුපිට එහි උශ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 5500 ක් පමණ වේ. හිරු හිස් වස්තුවක් ලෙසින් සිතුවොත්, එතුළට පෘථීවිය හා සමාන ග්‍රහලෝක ආසන්න වශයෙන් මිලියනයක් දැමිය හැකි ය. චක්‍රාවාටය වටා ගමන් කිරීමට හිරුට ගතවන කලාය වසර මිලියන 225 ත් 250 ත් අතර වේ. එය තත්පරයකදී ගමන් ගන්නා දුර කිලෝ මීටර 220 කි.

වසන් කරන්නට බැරි දේ

ඉර, හඳ සහ සත්‍යය දීර්ඝ කාලයක් වසන් කර තැබිය නොහැකි බව වදාලේද, බුදුහු ය.

දෙවියන් වහන්සේ (ආ) ලෝකය මැවීම

ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. එවිට දෙවියන් වහන්සේ, “ආලෝකය වේ වා !”යි වදාළ සේක. ආලෝකය විය. ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර ආලෝකයට “දවාල” කියා ද, අන්ධකාරයට “රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය.
-සිංහල බයිබලය (උප්පත්ති කතාව)

ආලෝකය පහළ විය

මහණෙනි, මෙය වනාහී දුක නම් වූ ආර්්‍ය සත්‍යය යි මා හට පෙර නොඇසූ විරූ දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
-ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ආලෝකයේ වේගය සහ සාපේක්ෂතාව

ආලෝකය තත්පරයකට ආසන්න වශයෙන් කිලෝ මීටර් ලක්ෂ තුනක වේගයෙන් ගමන් ගනී. අයින්ස්ටයින්ට අනුව මේ මුළුමහත් විශ්වයේ පවතින හැමදේම සාපේක්ෂකය. නිරපේක්ෂ දෙයක් නැත. ද්‍රව්‍ය මතු නොව කාලය පවා සාපේක්ෂක ය. නිත්‍ය යැයි කිසිත් ගත නොහැකි විශ්වයේ කාලයට සාපේක්ෂව ඇසුරු සැණක්වත් නොවන අපේ ජීවිත කාලයේ අප හඹායන මිරිගු කොතෙක් නම් ඇත් ද ?

උත්තනාසනය සහ වැඩිහිටියන්ට වැදීම

ඉන්දියානු ජාතික ජානකී දිනක් අපූරු දෙයක් කීවා ය. අපේ රටේ මිනිස්සු බිමට නැමිලා වැඩිහිටියන්ගේ පාද අල්ලලා ගෞරව දක්වනවා. ඒ ගොල්ලෝ දන්නේ නැති වුනාට එයාලා ඒ කරන්නේ කොන්දට ව්‍යයාමයක්. ඒකට කියන්නේ උත්තනාසනය කියලා.

ලැන්වේජ් ප්‍රොබ්ලම්

පසුගිය දිනක අපි කිහිප දෙනෙකු එකතුව බොහෝ දේ ගැන සුහඳ සංවාදයක යෙදෙමින් සිටියෙමු. ඒ අතර සිටි එක් අයෙක් ඉතා අරුත්බර කතාවක් කීවේ ය.
“මෙතන තියෙන්නේ ලැංවේජ් ප්‍රොබ්ලම් එකක්.”
එහෙම කීවේ සංගීතවේදී නදීක ගුරුගේ ය.

සොඳුරු සෙවනැලි

අද වන විට ආප්පයේ පටන්, සාජ්ජ හරහා සද්ධර්මය දක්වා සියලූ දේ මෙනුවර විකුණති. ඒ නෙක නෙක සොඳුරු වෙස් ගෙන යැ. එවැනි කලෙක ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහයන්, සංගීතවේදී නදීක ගුණසේකර සහ නිහ්ඬ ගායක බණ්ඩාර අතාවුද එක්ව පැවැත් වූ “සොඳුරු සෙවනැලි” ප්‍රසංගය එකිනෙකට වෙනස් දේ වෙනස් ආකාරයකින් සුසංයෝග කරන්නට ගත් තැතක් ලෙස අපි දකිමු. අප කාටත් හොරා මෙනුවර වසාගනිමින් පවතින අඳුරු සෙවනැලි අතර එක් සොඳුරු සෙවනැල්ලක්වත් දැක ගන්නට ලැබීමෙන් සිත මද අස්වැස්සිල්ක් ලත් බව කිව යුත්තේ ය.

ලංකාවේ බෞද්ධයෝ නැහැ

එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ජිප්සීස් කන්ඩායමේ නායක සුනිල් පෙරේරා මෙසේ කීවේ ය.
ලංකාවේ බෞද්ධයෝ නෑ….. ලංකාවේ ඉන්නවා නම් බොහෝම සීමිත පිරිසක් ඇත්තේ බෞද්ධයෝ. ලංකාවේ බුදුන් වහන්සේට වඳින කට්ටිය ඉන්නවා… බෞද්ධයෝ නැහැ. බුදුන් වහන්සේ කියන දේවල් පිළිගන්ට ඕන…. පිළිගන්නේ නැහැ….. ඒ ගොල්ලෝ පිළිගන්නේ මිත්‍යාවමයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *