හිතන තරම් සරල නැති සරල ගීය

කපිල කුමාර කාලිංග විසිනි (by Kapila Kumara Kalinga)

70දශකයේ අගභාගයේ එක් දිනෙක, දකුණු පළාතේ ඈත ගමක තරුණයෙක්, පාන්දර බසයේ නැගී කොළඹට ළඟා වූයේ, ගුවන්විදුලියෙන් ගීතයක් ගායනා කිරීමේ ආශාවෙනි. ගුවන් විදුලි සංස්ථාවට පැමිණි ඔහු පිවිසුම් දොරටුවෙහි සිටි ආරක‍ෂක නිලධාරියෙකුට තමන් පැමිණි කාරණය කියා සිටියේය.

අත්දිග කමිසයක් හැඳ, කොලරයේ බොත්තම ද දමාගෙන, දිග කලිසමක් හිරට ඇඳගෙන සිටි මොහු බැලු බැල්මටම, මෝඩ පහේ අහිංසක ගැමි තරුණයෙකි. එහෙයින් ආරක‍ෂක නිලධාරියා ද අනුකම්පාවෙන් යුතුව, වාදක මණ්ඩලයේ කෙනෙකුට ඔහු පැමිණි කාරණය කියන්නට සැළැස්වීය.

“අනේ මල්ලි, එහෙම එකපාරටම ආපු ගමන් සිංදුවක් කියන්න බැහැනේ, ඉස්සෙල්ලම මෙහේ පරීක‍ෂණයට පෙනී ඉඳලා, ඒකෙන් සමත් වෙන්න ඕනේ.”
වාදන ශිල්පියා, සංස්ථාවේ ක්‍රමය කියාදුන් නමුදු, තරුණයා දිගින් දිගටම පෙරැත්ත කරන්නට වූයේ, ඔහුගේ මානසික තත්වය ද එතරම් හොඳ නැති බව එහි සිටියවුන්ට පෙන්නුම් කරමිනි.
“අනේ මහත්තයා, මං අපෙ අම්මට කියල ආවෙ මං අද රේඩියෝ එකෙන් ලංකාවටම ඇහෙන්න සිංදුවක් කියනවා කියලා. අම්මා දැන් අහගෙන ඇති.”
තරුණයාගේ කතාව, ඒ මොහොතේ එහි රොක්ව සිටි මා ඇතුළු කීප දෙනෙකුගේම සිත් සසල කරන්නට සමත් වූවා පමණක් නොව එය ජීවිතයේ කිසිදා අමතක කරන්නට බැරි සිදුවීමක් බවටද පත්වුණේය. (පසුව, ආරක‍ෂක නිලධාරින් පසුව දිනක එනමෙන් දන්වා සම්‍යක් ප්‍රයෝගයෙන් ඔහු ආපසු පිටත්කර හැරි බව දැනගන්නට ලැබුණි.)
ගුවන් විදුලියෙන් ගීතයක් ගැයීම, එකල දිවයින පුරා විසිර සිටි බොහෝ දෙනා තුළ පැවති සිහිනයකි. එකල අද මෙන් පෞද්ගලික නාලිකා හෝ ගීත පටිගත කරගත හැකි ශබ්දාගාර පහසුකම් ද නොවීය. එහෙයින් ගීතයක් ගයා, ප්‍රචාරය කිරීමට තිබූ එකම තැන ‘වන් ඇන්ඩ් ඔන්ලි’ රේඩියෝ සිලෝන්මය. ගායනයෙහි දක‍ෂතා තිබුවන්ට ගුවන් විදුලි දොර ඇර ගැනීමට තිබූ හොඳම ක්‍රමය වූයේ සරල ගී පරීක‍ෂණයට ඉදිරිපත්ව (ඔඩිෂන්) ඉන් සමත්වීමය. විශිෂ්ඨ, ඒ, බී සහ සී යනුවෙන් ශ්‍රේණිගත කිරීමක් ද සිදු කෙරුණු අතර ‘බී’ සහ ‘සී’ ශ්‍රේණිවල ගායක ගායිකාවන්ට, විනාඩි 15 ක වැඩසටහනක් වාර්ෂිකව ලැබුණි. ගීත සංඛ්‍යාව තුනකට සීමා විය. ‘සී’ ශ්‍රේණියේ ගායකයන්ට හිමිවූයේ වෙළඳ සේවයේ වැඩ සටහනකි. බයිල ගායකයින්ට ද වෙනම වැඩ සටහනක් ලැබුණි.
වැඩසටහන සඳහා කැඳවීමක් ලැබීම, සරල ගී ශිල්පීන්ට බොහෝ සතුට දනවන කරුණකි. ඔවුහු ලහි ලහියේ ගීත රචනා සොයාගෙන, තනු නිර්මාණය කරගෙන වැඩ සටහනට සූදානම් වෙති.
ප්‍රාදේශීය ගීත රචකයින්ට හා සංගීතඥයින්ට ද මේ තුළින්, අවස්ථාවක් සැළසෙන නමුදු, සරල ගී වැඩසටහන්වල ගැයෙන ගී අතරින්, තැටි බවට පත්ව, ගුවන්විදුලි තැටි ගබඩාවට යාමේ වාසනාව උදා වන්නේ හොඳම ගීතයකට පමණි. අනෙක් බොහෝ ගී සරල ගී පටියෙහිම තිබි පසුව මකා තමයි.
ඇතැම් විට පිට පළාත්වල දී අපට මුණ ගැසෙන ආධුනික ගායකයින් තමන් හඳුන්වා දෙන්නේ ද “මම ගුවන් විදුලියේ ‘බී’ ග්‍රේඩ් ගායකයෙක්” යනුවෙනි. සැබවින්ම ඔවුන්ට එය ආඩම්බරයකි. එහෙත් කණාටුවට කරුණ වන්නේ ඔවුන්ගේ එකම ගීතයක් හෝ අප අසා නොතිබීමයි.
කොතරම් දුරක සිට පැමිණියත්, ඒ කාලයේ සරල ගී ගායකයෙකුට විනාඩි පහළොවේ වැඩ සටහන සඳහා ලැබුණේ, රුපියල් පනහක හැටක ගෙවීමකි. එය ප්‍රමාණවත් ගෙවීමක් නොවුණ ද, පටිගත කිරීමෙන් පසු ශිල්පියා විසින් වාදක මණ්ඩලයේ අයට ‘සංග්‍රහයක්’ පැවැත්වීම ද චාරිත්‍රයක්ව තිබුණි. අතින් පාඩුකර ගනිමින් හෝ ඔහු එම චාරිත්‍රය ඉටු කරන්නේ සිත් සන්තොසිනි. ඉඳහිට මුණ ගැසෙන කොළඹ ගුවන්විදුලි මිතුරන්ගේ ඇසුර හා ඔවුන්ගේ කතා බහ ඔහුට බොහෝ වටී. ඔහු පෙරළා තම ගමට හෝ පාසලට ගිය විට අනෙක් අය හා ඒවා රසකර කියමින් සතුටක් ලබයි.
මට ද, ගීත රචකයින්ගේ ලෝකයට එක්වන්නට ලැබුණේ, අප නිවස අසල විසූ බී ශ්‍රේණියේ සරල ගී ගායකයෙකුගේ පිහිටෙනි. නවරත්න අබේකෝන් නමැති ඔහු හින්දි ගීතයන්ට දැක්වූ මහත් ඇල්ම නිසාම කොළඹ ගොස් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මෙහෙය වූ හින්දි පන්තිවලට සහභාගීව හින්දි බස හැදෑරුවෙක් ද විය. ගුවන් විදුලියෙන් රාත්‍රියෙහි ප්‍රචාරය වන “ආකාශ්වාහිනි” සේවාව ශ්‍රවණය සඳහා නවරත්න මට ද ඇරයුම් කරයි. හින්දි බසින්ම හින්දි ගීත ලියා ගන්නා ඔහු මට ඒවායේ අරුත් පහදා දෙයි.
“හින්දි කියන්නේ හරිම ගීතමය භාෂාවක්, හින්දි ගීතවල එන සමහර යෙදුම් වෙනත් බසකින් කියන්න අමාරු තරම්. ඒවා හින්දියටම ආවේණික සුන්දර යෙදුම්.”
නවරත්න එසේ කියයි. කෙසේ වෙතත් අපි ඇතැම් හින්දි ගීත සිංහලට පරිවර්තනය කළෙමු. එකල පළ වූ ඇතැම් ගීත පොත් සඳහා ද නවරත්න, හින්දි ගීත හා සිංහල අරුත් සම්පාදනය කළේය.
නවරත්නට ලැබුණු ප්‍රථම සරල ගී වැඩ සටහන සඳහා මවිසින් රචනා කරන ලද “සහන් සුමුදු සුවය රැගෙන” නමැති ගීතය සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස් විසිනි. එකල ඔහු අපට නුදුරු නගරය වූ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙහි චිත්‍රකර්ම ගුරුවරයාව සිටියේය. වැඩ සටහනට ඇතුළත් වු අනෙක් ගීත දෙක රචනා කර තිබුණේ ප්‍රේමකීර්ති ද අල්විස් හා ආනන්ද එස් විෙජ්සිරි විසිනි. එම ගීත සඳහා තනු නිර්මාණය කළේ එවකට ගුවන්විදුලි වාදක මණ්ඩලයෙහි සේවය කළ ඔස්ටින් මුණසිංහයන්ය.
පටිගත කිරීම සඳහා මම ද සහභාගී වුණෙමි. එදා එහි පැමිණ සිටි නවාගේ මිත්‍රයෙකු වූ සොබා නොහොත් සෙබස්ටියන් ජයවර්ධන ද සී ශ්‍රේණියට අයත් බයිලා ගායකයෙකි. එදා “සරල ගී සත්කාරය” සූදානම් කෙරුණේ සොබාගේ කාරුණික අනුග්‍රහයෙනි.
දහඅට හැවිරිදි වියේ වූ මට මත්පැන් පානය පිළිබඳව තිබුණේ “සැර නැති” අත්දැකීම් දෙක තුනක් පමණි. එහෙත් එදින ස්ටවුට් බෝතලයක් බොන්නැයි සොබාගෙන් කෙරුණු ඉල්ලීම මම සතුටින් ඉවසුවෙමි. මොහොතකට පසු ඔස්ටින් අයියා මගේ කළු පැහැති ස්ටවුට් වීදුරුව දෙස බලමින්, “ඕකට ලෙමන් ජින් පනහකුත් දාගත්තම හරි රසයි.” යනුවෙන් උපදෙසක් දුන්නේය. සොබා වහාම එය ක්‍රියාත්මක කළ අතර මම එය ද සතුටින් ඉවසුවෙමි. ගුවන් විදුලි ගීත රචකයෙකු වූ පළමුදාම සහභාගී වු එම ප්‍රිය සාදය නිමා වූයේ මධ්‍යම රාත්‍රියට ආසන්නවය. එවිට ගායකයාගේ හා සංගීතඥයින්ගේ පමණක් නොව ආධුනික ගීත රචකයාගේ ද ‘රතු දුර’ පැන තිබුණි. කෙසේ වෙතත් එම රාත්‍රිය අදද සිහිවන විට දැනෙන්නේ ‘ජින් ඇන්ඩ් ස්ටවුට්’ බඳු මිහිරි රසයකි.
ඉන්පසුව මට සරල ගී ලියන්නට අවස්ථාව ලැබුණේ මහනුවර විසූ සංගීත ගුරුවරයෙකු වු නිමල් ආරියරත්නයන්ගේ හා ප්‍රකට ටේලර්වරයෙකු වු එච් එම් වංසාගේ වැඩසටහන් සඳහාය. මැලේ ජාතිකයෙකු වූ වංසාට තිබුණේ ඛෙග්ට සමාන ගැඹුරු හඬකි. සිංහල වචන උච්චාරණය ද එසේම විය. ඔහු සංගීතය ද හදාරා තිබුණෙන්, තනු නිර්මාණය කොට ඒවාට වචන ද යෙදුවේය. මට බාරවූයේ එම ‘සක්ක වචන’ සංශෝධනය කොට අලූතින් ලිවීමකි. එහෙයින් ඒවා මගේම ගීත නොවුනත්, වංසා මට ගෙවීමක් ද කළේය. එය රුපියල් විස්සක් හෝ තිහක් වුව ද, ඒ කාලයේ හැටියට මා වෘත්තීය ගීත රචකයෙකුගේ තත්වයට ඔසවා තැබීමක් විය. පසු කලෙක ද මා ඔහුට ගීත කීපයක් ලියා දුන්න ද ඒවා පටිගත නොවීය. එහෙත් ගෙවීම් සමග පොඩි අඩියක් ද ලැබුණි.
භාරතයේ දී සංගීතය හදාරා පැමිණ සිටි නිමල් ආරියරත්නයන් එකල අම්පිටියේ ඛෙරවට්ස් විදුහලේ සංගීත ගුරුවරයාය. ඒ ශ්‍රේණියේ ගායකයෙකු වූ බැවින් ඔහුගේ වැඩසටහනට ගීත 4 ක් හෝ 5 ක් ඇතුළත් කළ හැකිවිය. ආරියරත්න, මට අතදිග හැර ගීත ලියන්නට නිදහස දුන්නේය. එහෙත් ඔහු ද වඩා ප්‍රිය කළේ තනුව කලින් නිර්මාණය කොට ඊට වදන් යොදා ගැනීමටය.
වංසා හා ආරියරත්න යන දෙදෙනාම විවාහකව දු දරුවන් ලබා සිටි වැඩිහිටියන් වූ හෙයින් දෝ මා ඔවුනට ආමන්ත්‍රණය කළේ “මිස්ටර්” කෑල්ල මුලට යොදමිනි. එහෙත් ඒ දෙදෙනාම මට සැළකුවේ සම වයසේ මිත්‍රයෙකුට මෙනි.
ගීතයක් ලියා ගැනීමට අවශ්‍ය වූ විට නිමල් ආරියරත්න මට ඔහුගේ ගුරු නිවාසයට ආරාධනා කරයි. පානයක් සමග කට ගැසුම් ද “සංවිධානය” කරන ඔහු, ක්ලැරිනටයෙන් හෝ හැර්මෝනියම් වාදනයෙන් තනුව වයා පෙන්වයි. ඉන්පසු ඔහු zzපදම් වී, ලී ඉරන්නට පටන් ගන්නා අතර මම මගේ කාමරයට වී පදවැල් ලියන්නට වෙමි. එසේ ලියූ “ගිම්හාන ගීතේ” නමැති ගීය, තැටි ගත වී නිතර නිතර ප්‍රචාරය කෙරුණි.
මගේ ප්‍රථම වේදිකා නාට්‍යය වූ “ශුද්ධවන්තයෙක් ඇතුළු කීප දෙනෙක්” සඳහා සංගීතය සැපයුවේ ද නිමල් ආරියරත්නයන්ය. එහි වූ මිහිරි තනු ඒවා ගැයූවන්ට හා ඇසුවන්ට තවමත් මතකය.
පසු කලෙක රෝගී වූ නිමල් ආරියරත්නයන්ගේ ඇස් පෙනීම දුර්වල විය. ඔහුට කලාභූෂණ වැනි රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට පෙර විස්තර විමසීමට පැමිණි සංස්කෘතික නිලධාරියෙක් මෙසේ ප්‍රශ්නකර තිබුණි.

“ඔබ මීට පෙර ලබා තිඛෙන සම්මාන මොනවා ද?”
“අපි ප්‍රසිද්ධිය හෝ සම්මාන බලාගෙන වැඩ කරපු අය නෙවෙයි. මම නිහඬ සේවයක් කළ ගුරුවරයෙක්. අපෙන් ඉගෙනගෙන සමාජයට ගිය ළමයි තමයි අපි ලබාපු සම්මාන.”
සම්මානයක්, උපහාරයක් පිදීමට එම පිළිතුරම ප්‍රමාණවත් වුව ද නිමල් ආරියරත්නයන්ට ‘කලාභූෂණයත්’ පිරිනැමුණේ නැත. එය රෝගී හා වියපත් එම අහිංසක කලාකරුවා කනස්සල්ලට පත් කරන්නට ඇතැයි මට සිතේ.
මෙම ලිපියෙහි මා සඳහන් කළ ගායකයින් හෝ සංගීතඥයින් කිසිවෙක් අද ජීවතුන් අතර නැත.
එහෙයින්, මෙය ඔවුන්ගේ ද, අප්‍රකටව මියගිය වෙනත් සරළ ගී ශිල්පීන්ගේ ද, ඔවුන්ගේ ගීත රචකයින්ගේ ද නාමයන් ඉදිරියෙහි තබන පුෂ්පෝපහාරයක් වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *