Kadapatha – Future Sky : May 2016

“වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි !”

පවුලේ අයත් සමග ලංකාවට යන සෑම වතාවකම මගේ හිතට දැනෙන්නෙ කියන්න බැරි තරම් සතුටක්. මගේ නෑදෑයින් සියලූදෙනාම දැක බලා ගැනීමටත්, අපේ රටේ තිඛෙන ලස්සන තැන් සහ පූජණීය ස්ථාන දැක බලා ගැනීමටත් මම ගොඩක් ආසා කරන්නෙමි.
පසුගිය අවුරුද්දේ ලංකාවට ගිය ගමනේ දී අපි ශ්‍රීපාදස්ථානය වදින්නට ගියෙමු. අපි මගේ මාමාත් නැන්දාත් සමග හිමිදිරියේම බදුල්ලෙන් පිටත් උනෙමු. අපි අපේ උදේ කෑමට කඩයකට ගොස් ඉතා රසවත් ආප්ප කෑවෙමු. අපි යන ගමනේ දී වට පිටාවේ තිබුණ සුන්දරත්වයෙන් මම වශී වුණෙමි. මගේ රටේ මෙතරමි සුන්දර තැන් තිබීම ගැන මම ආඩම්බර වන්නෙමි.
වට පිටාවේ ඇති ලස්සන බලමන් අපි නල්ලතන්නිය නගරයට යනවිට රාත්‍රී 7.30 පමණ විය. රාත්‍රි අඳුර මැදින් අපි එතැනට යනවිට එතැන තිබුණු පුංචි කඩපේලිවල ආලෝකයත්, මිනිසුන් පිරුණු අමුතු පරිසරයත් දැක අපේ හිත්වලට දැනුනේ අපූරු හැඟීමකි. අපිත් සමග ශ්‍රී පාදය වන්දනා කරන්නට කොළඹ සිට පැමිණි අපේ හිතවත් පවුල් කීපයක් අප එනතුරු එතැන මග බලා සිටියා.
අපි එයාලත් සමග තේ පානය කර නෑම සඳහා සිත ගඟුලට ගියෙමු. අපි සියලූ දෙනා සීතලේ ගැහෙමින් නෑමෙන් පසු සුදු ඇඳුම් ඇඳගෙන ශ්‍රී පාද කන්ද නගින්නට සූදානම් උනෙමු. කෝඩුකාරයන් වුණු මමත් නංගීත් තාත්තා කියාදුන් ලෙස පඬුරු පූජාකර ඉතාමත් භක්තියෙන් ගමන පටන් ගත්තේ මහත් සතුටකිනි. ටික දුරක් නැගි පසු බඩගිණි දැනුනු නිසා අපි සීනි සම්බෝල සමග පාන් කෑවෙමු. එක එක වර්ගයේ කෑම ජාති අපගේ ගමන් මළුවල තිබුණු අතර අපි ඒවා මගදී කන්නට තබා ගත්තෙමු. අපි මගදි හමුවන පුංචි කඩ අසල නැවතෙමින් විවේක ගත්තෙමු. මම කැමතිම ස්ථානය වන්නේ සිද්ධාලේප ගල්වන තැන වූ අතර එතැන සිටි අය අපිට ඒවා ගෑමෙන් සීතල ටිකක් අඩුවන බව කීවේය. ගමනේ මැදක් පමණ ගිය පසු හමුවන ඉඳිකටු පානේ දී කළ යුතු දේ අපි මහත් ආසාවෙන් කළෙමු. අවටින් ඇසුණු “අග්ගලා කං ඩෝං පුතා” යන කවි පේළිත්, “වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි” යන ප්‍රාර්ථනාවන් ඇසීමෙනුත් අපි සතුටක් ලැබුවෙමු. ගොඩාක් වයසක උදවියත්, විවිධ වයස්වල අයත්, විදේශිකයනුත් ශ්‍රී පාදය වඳින්නට යන හැටි මම දැක බලා ගත්තෙමි.
අපි ශ්‍රී පාද පුද බිමට යනවිට පාන්දර දෙක පමණ විය. අපි ශ්‍රී පතුල වන්දනා කර පැය කීපයක් එහි ගතකර දැඩි සීතල දැනුනු නිසා ආපසු බැසීමට පටන් ගත්තෙමු. නැවත පහළට එන ගමනේ දී කකුල්වලට තද වේදනාවක් දැනුණි. එහෙත් අපි පැය පහක් පමණ කාලයකින් පහළට බැස අවසන් කළෙමු. දැනුනු මහන්සිය නිසා එහි නවතැනක පැය කිහිපයක් විවේක ගෙන නැවතත් බදුල්ල බලා පිටත් වුණෙමු. අප ගිය ශ්‍රී පා කරුණාව මගේ සිතෙන් කසිදින නොමැකෙන අතර ආපසු වතාවක් ශ්‍රී පාදය වැඳීමට අපට ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

සිත්මි විතාන ආරච්චි
9 වන ශ්‍රේණිය
සෙන්ට් ඕල්බන්ස් සිංහල භාෂා පාසල


වෙසක් උත්සවය අපට වැදගත් ඇයි?

මැයි මස පුන් පොහෝ දින වෙසක් උත්සවය උදා වේ. මෙදින අප බෞද්ධයන්ට ඉතාම වැදගත් දිනයකි. එයට විශේෂ හේතු කීපයක් ඇත. වෙසක් දිනයේ අපේ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ වැදගත් දිනයයි.
බෞද්ධයන්ගේ මාර්ගෝපදේශකයා වන්නේ බුදුරජාණන් වහන්සේය. අපි උන් වහන්සේගේ ධර්මය ගාථාවලින් ද, කතාවලින් ද ඉගෙන ගනිමු. ඉන් අපි ජීවිතය පිළිබඳ අවබෝධයක් ද, නිරාමිස සුවයක් ද ලබාගන්නෙමු. එබැවින් රහසින්වත් බොරු නොකියන අපේ බුදුරජාණන් වහන්සේ ඉපදීමේ සිට පිරිනිවන්පෑම දක්වා අපට එතුමා දයාව, කරුණාව පෙන් වූ සේක. බුදුරදුන් අඳුරු කළුවර ලොවක, තමන්ගේ උත්සාහයෙන්, අසීරුවෙන් සහ උනන්දුවෙන් ජීවිතයේ අනිත්‍ය බව සොයා ගත්තෝය. උන් වහන්සේ සොයාගත් ධර්මය මුළු ලෝකයාගේ හිත සුව පිණිස දේශනා කළ සේක.
බුදුරදුන් කිසි දිනක බලහත්කාරයෙන් තම ආගම ප්‍රසිධ නොකළෝය. එතුමානෝ කිසිම දිනක ආගමට තද නීති රීති ඇතුළත් නොකළෝය. එම ප්‍රජාතන්ත්‍රවාදී කාරණය නිසා බෞද්ධාගම ලෝකයේ තිඛෙන ආගම් අතර විශේෂ තැනක් ගනියි. ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්‍රන්ඩ් රසල් සහ ටෝල්ස්ටෝයි ආදී ලොව උගත් දාර්ශනිකයන් බෞද්ධාගම ලෝකයේ උතුම්ම ආගමක් ලෙස පිළිගත්හ.
වෛශාක්‍ය දිනයේ දී බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයෝ ප්‍රධාන වශයෙන් පූජා දෙවර්ගයක් කරමින් අපේ ගෞරවය බුදුරජාණන්න වහන්සේට පෙන්වන්නෝය. ප්‍රධාන පූජා වන්නේ ප්‍රතිපත්ති සහ ආමිස පූජායි.
ප්‍රතිපත්ති පූජා යනුවෙන් හඳුන්වන්නේ බෞද්ධයන් ප්‍රධාන විනයන් පහක් මත ක්‍රියා කිරීමයි. ඒ ප්‍රතිපත්ති වශයෙන් හඳුන්වන්නේ ප්‍රාණඝාත නොකිරීම, කාමය වරදවා නොහැසිරීම, සුරා පානය නොකිරීම, සොරකම් නොකිරීමහ සහ බොරු නොකීමයි.
අසරණ සතුන්ට පිහිට වීම, වැඩිහිටියන්ට උදව් කිරීම, දුප්පතුන්ට සැළකීම ආදි දේ ප්‍රතිපත්ති පූජා වේ. ප්‍රතිපත්ති යනුවෙන් කියවෙන්නේ යහපත් පිළිවෙළකට කටයුතු කිරීමයි. මෙම වෛශාක්‍ය දිනයේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් අපි අපේ බුදුරජාණන් වහන්සේට ගෞරවය පුද කරමු.
ආමිස පූජාව වශයෙන් හඳුන්වන්නේ, පංච ඉන්ද්‍රීයයන්ට සුවය දෙන පූජාවන්ය. මෙම ඉන්ද්‍රීයයන් වන්නේ ඇස්, කන්, නාසය, දිව සහ සමය. වෙසක් දිනයේ දී පුද පූජාවන් පවත්වා බුදුන් වහන්සේට ගරු බුහුමන් දැක්වීම ලෝකය පුරා සිදු කරයි. දන්සැල් දීම, තොරණ් සෑදීම, සැරසිලි කිරීම, මල් පහන් සහ සුවඳ දුම් පූජා කිරීම මේ අතර වේ.
දුකින් සිටින ජනතාවට සත්‍ය පහදා දී නිවන් මග පෙන්වූ අප බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි නිතිපතා පිළිපදිමු. එම නිසා මෙම වෙසක් පුන් පොහෝ දින අපි අපේ මාර්ගෝපදේශකයාණන්ට ගෞරවය පුද කරමු.
ඔබ සැමට සුවබර වෙසක් මංගල්‍යයක්ම වේවා !

ජලනි විජේසුන්දර


ශ්‍රී ලංකාවට අගනා මෙහෙවරක් කළ ජනතා පුත්‍රයා

දොන් ඩැනියෙල් ජයතිලක සහ ඔහුගේ භාර්යාව වන ලියනගේ දෝන එසිලියානා පෙරේරා වීරසිංහ දෙපළට බබලන තරුවක් මෙන් වූ පුත් රුවනක් ලැබුණේය. ඔවුන් මෙලොවට බිහිකළ මෙම පුත් රුවන ශ්‍රී ලංකාවට සුවිශේෂී මෙහෙවරක් කළ ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාය. මෙතුමා මෙලොව එළිය දුටුවේ 1868 වන වර්ෂයේ පෙබරවාරි මස 13 වනදායි. එදින සිටම ඔහුගේ ක්‍රියා අප සැමට ආදර්ශයක් කර ගැනීමට පුළුවනි.
වයස අවුරුදු හතක් වනවිට කුඩා ජයතිලක විද්‍යාලංකාර පිරිවෙනට ගොස් රත්මලානේ ධර්මාලෝක බුද්ධ පුත්‍රයන්ගෙන් සිංහල, පාලි සහ සංස්කෘත ඉගෙන ගත්තේය. ඔහු ඉන්පසු ඉංග්‍රීසි හා අනෙකුත් විෂයයන් ඉගෙන ගැනීමට වෙස්ලි විදුහලට බැඳුණෝය. බක්කි කරත්තයේ නැගී ඔහු වරාගොඩ සිට පිටකොටුවේ නව පාසලට ගියේය. 1881 ඔහු කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ කේම්බ්‍රිජ් විභාගයෙන් උසස් ප්‍රතිඵල ගත්තේය.
පසුව කල්කටා විශ්වවිද්‍යාලයෙන්, අවුරුදු 22 ක් වන විට කලාව පිළිබඳව උපාධියක් ලබා ගත්තේය. මෙම වකවානුවේ දී ඔහුගේ ජීවිතයෙහි සැබෑ වෙනස්කමක් සිදුවිය. මෙයට මූලික හේතුව වී ඇත්තේ එතුමා 1890 දී හේන්රි ස්ටිල් ඕල්කට්තුමා හමුවීමයි.
ඕල්කට්තුමාගෙන් ලද පන්නරයෙන් ජයතිලකයෝ බෞද්ධ දර්ශනය පාසල් තුළ ස්ථාපිත කිරීමට උත්සුක වූහ. අප සිරිලකේ බෞද්ධ පාසැල් ආරම්භ කිරීමත් සමග, මෙතුමා මහනුවර ධර්මරාජ පාසලේ විදුහල්පති ලෙස පත් කරන ලදී. ඉන්පසු ඔහු කොළඹ ආනන්ද විදුහලේ උප විදුහල්පති තනතුර භාර ගත්තේය.
බෞද්ධ මධ්‍යස්ථාන වැඩි කිරීමේ අරමුණින් “කොළඹට බෞද්ධ මධ්‍යස්ථානයක් ඕනෑ… පල්ලිවලටම ඉඩ දෙන්න බෑ” කියූ ජයතිලක, ශ්‍රී ලාංකික ජනතාව උනන්දු කොට තරුණ බෞද්ධ සංගමයක් බොරැල්ලේ ආරම්භ කිරීමට මුල්විය. 1898 සිට ඔහු මියයන තුරු, එම සංගමයේ සභාපති ධූරය හෙබවූයේය.
මෙම සියලූ ප්‍රයත්න දරමින්, ජයතිලක මහතා තවදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වූයේය. යුරෝපයට ගිය ඔහු ඔක්ස්ෆර්ස් සරසවියෙන් බැරිස්ටර් උපාධිය ලැබුවේය.
1915 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පාලකයන් මෙතුමා බන්ධනාගාරගත කරන ලද්දේ ඔහුගේ ජාතිවාදී ක්‍රියාවන් යටපත් කිරීමටයි. මාසයක් පමණ කාලයක් අඳුරු කුටියක සිරබත් කෑ මේ උතුම් පුරුෂයා ඉන් මිදී බ්‍රිතාන්‍යට ගොස් අධිරා්‍යවාදීන්ගේ අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටියේය. එහි ප්‍රතිඵලයක් ලෙස පත් කළ කොමිසමේ නියෝජිතයාද විය.
නැවත මාතෘ භූමියට පැමිණ මෙම ශ්‍රීමතා කැළණිය ආසනයේ මන්ත්‍රී ධූරයට පත්විය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු අයවැය ලේඛනය ඉදිරිපත් කර ඉතිහාසයට එක්විය.
1932, බ්‍රිතාන්‍ය මහ රජු ජයතිලකයන්ගේ උදාර සේවය සළකා “නයිට්” නාමයෙන් පිදුවේය. එතැන් පටන් ඔහු ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක බවට පත්විය. මෙම මහඟු නායකයා අප සැමට අදාර්ශයක් හා අභිමානයක් ද වන්නේය.
ප්‍රතිකාර සඳහා විදේශ ගත වූ ඔහු එහිදී ජීවිතක‍ෂයට පත්විය. ඔහුගේ දේහය අවසන් ගෞරවය සඳහා විශේෂ ගුවන් යානයකින් උපන් රට හෙවත් සිරිලකට ගෙන ආවේය.
මේ උතුම් ජනතා සේවකයාගේ පරම අදහස වූයේ මව් බිමට සේවය කිරීම මිස තමන්ට වරප්‍රසාද හෝ ගෞරව ලබාගැනීම නොවේ.
1944 මැයි මස 29 වන දින අභාවප්‍රාප්ත වූ මෙතුමා සිහිපත් කිරීම හා ඔහු අනුගමනය කිරීම අප ලාංකිකයන්ගේ යුතුකමයි.
(72 වන අනුස්මරනය නිමිත්තෙනි)

ජනවි විජේසුන්දර


Painting by Seyara Wijeratne

FullSizeRender_1

Seyara Wijeratne

7 Years, Westbourne Grammar, Truganina.

 


Loading

What is the best Article / Artwork in Kadapatha Future Sky - May 2016

Thank you for voting
You have already voted on this poll!
Please select an option!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *