෴චණ්ඩ පබ්බජිත වස්තුව෴

භද්‍රසාල ලියයි

තවද යටගිය දවස, ලංකාද්වීපයෙහි මෙත්පල් නම් නිරිඳෙක් රාජ්‍ය විචාරන සමයෙක අධිකරණ මන්ත්‍රණ සභායෙහි ද වෙනත් පරසිදු තන්හි තන්හි ද කොලහල කරන භික්ෂු පිරිසක් අරභයා මහත් ඝෝෂාවක් පැන නැංගේ ය.

ඒ කෙසේ ද යත් ?
ලංකාද්වීපය වනාහි, තිලෝගුරු අපමහා සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද කමලයෙන් පහස ලැබූ භූමියක් වන්නා සේ ම නොයෙක් ජනී ජනයා අප තිලොගුරු පියාගේ සැබෑ දහම ඇත්තේ නම් මෙහි යැ කියමින් අන් ආගම් පරවම්භනය කෙරෙමින් ඉන්නා තැනෙකි. එපමණෙක් ද නොවේ. සකල ලෝ ධාතුවෙන් ම අපි තරම් උතුම් ජාතියක් නැත්තමෝ වේදැ යි ද මෙකී ජනයා නිරන්තරයෙන් ඛෙණෙති. වන්නාට ය. බොහෝ කොට ම පෙනෙනුයේ අතීත ශ්‍රී විභූතිය, නේක ශ්‍රීය වර්ණනා කරමින් අතීතය බුදිමින් සිටින ජනයා ම දැන් දැන් වැඩි වන්නා බව ය.
අප මහා ලොව්තුරු බුදු පියාණන්ගේ ශ්‍රී සම්‍යක් සම්බුද්ධ ධර්මය වනාහී අනුන් ගැන නොව තමන් ගැන ම සොයන්නැ යි දෙසා වදාරන දහමකි. එමතු ද නොවේ. ශීල, සමාධී, ප්‍රඥා ඈ නොයෙක් පිළිවෙත් ම උතුම් කොට ගන්නා දහමකි. බුද්ධ පුත්‍රයාණෝ කෙනෙකු කෙබඳු විය යුත්තමෝ දැ යි අපි තිලෝගුරු අමා මහ බුදුරජාණන්වහන්සේ නොයෙක් තන්හි සඳහන් කර ඇත්තේ ය. කෙළෙස් තැවීම ම ගුරු කොට ගන්නා ශ්‍රී සම්‍යක් සද්ධර්මය පිළිපදින සග ගණ පිරිවර ජම්බුද්වීපයේ යටගිය දවස ඇති කළේ මහත් ජන ප්‍රසාදයක් වෙති. උහුගේ ඇවැතුම් පැවැතුම් චණ්ඩ නොවෙති. බැලු බැලු දනන් නෙත් සිත් සනහන ප්‍රසන්න ස්වභාවය ම දරති. මුවින් වෑහෙන වදන් කවරක් ද අමොද බිඳු සේ ය. චතුමධුර සේ ය. තමා ගැන ම සොයන්නෝ ය. එකල අප තිලොවග පියා දිවමන්ව සිටි දඹදිව් තලයේ ජනී ජනයා මහණ රුවක් සුබ ලකුණක් සේ සැලකුවෝ ය. චණ්ඩ ප්‍රචණ්ඩ සොබා ඇති සුනාපරන්තය වැඩ ම කළ පුණ්ණ තෙරණුවෝ තම දිවි තොර කළත් අබැටක කොවක් නොදරන්නමැ යි ශපථ කරමින් බවුන් වැඩුවෝ ය.
මෙකල්හි ලංකාද්වීපයෙහි, අප ත්‍රෛලෝක තිලක වූ මහා සම්බුදු පියාණන්ගේ බුදු දහමේ මුර දේවතාවුන් යැ යි කියාගන්නා යම් බඳු තෙරණු පිරිසක් පහළ ව සිටිති. එවර්ගයේ භික්ෂුන් ටිකෙන් ටික ගණනින් වැඩි වන බවත් පෙනෙති. උහු කිකලෙකවත් පෙර අප තිලොවග පියාණන්ගේ පිරිවර භික්ෂූන් බඳු ශාන්ත ස්වභාවයන් නොදරති. බැලු බැලු අත ආක්‍රොශ ඛෙණෙති. පරිභව කෙරෙති. තමන් ගැන සොයන්නැ යි කියා ධර්මයේ ඇතිදු රාජ්‍ය පාලනය හෝ වෙනත් අටානූවක් දෘෂ්ටීන් ගැන මිසෙක තමා ගැන කිසිත් නොසොයති. සම්බුදු දහම වෙනුවෙන් පෝරිසාදයන් සේ වුව ද සටන් කරන්නමෝ වේ දැ යි වහසිබස් ඛෙණෙති. රජුන්ට අර්ථය ධර්මය දෙසන්නට ම සැදී පැහැදෙති. කාය බල වඩවන්නට සටන් ශාස්ත්‍ර උගනිති. මෙකී චණ්ඩ පබ්බජිතයන් දුටු දුටු තන්හි පුහුදුන් සිත නිවා සනහන දැක්මක් නොවන්නේ ම ය. තමන් ගැන සොයන්න, අනුන්ගැන නොසොයන්න යන බුදු වදන සේ ම කෙළෙස් තැවූ කල භික්ෂුව වෙසෙහි පහළ වන ශාන්ත සොබා දන්නාවූ ජනයින්ට මේ චණ්ඩ පබ්බජිතයන්වහනදෑලාගේ ඇවැතුම්-පැවැතුම් උසුලූ-විසුලූවක් වන්නේ ය.
තව ද මේ චණ්ඩ පබ්බජිතයින්ට වෙනස් ව බුද්ධ වචනයට සපුරා ම වෙනස් පිළිවෙත් පුරන විකල් පබ්බජිතයන් වහනදෑලා පිරිසක් ද පහළව යෙති. උහු ද අප මහා තිලොවග පියා වදාළ දහමේ එන උතුම් පිළිවෙත් පූජා අලූයම ලු කෙළ පිඩක් සේ පසෙක ලා ආමිස පූජාවන් ම කෙරෙති. මන්දපෝෂණයෙන් විකල් ව පෙර බුද්ධ කාලයෙහි සුනීත, සෝපාක වැනියවුන් සේ කෙළක් දරුවන් හාමත දරද්දී චෛත්‍යයන් වටා ආහාර කඳු ගොඩ ගැසීම බඳු අරුම පුදුම පිළිවෙත් පුරති.
පෙර අපමහා සම්බුදුරජණානන් වහන්සේ පැවැසූ පරිද්දෙන් ම ශ්‍රී සද්ධර්මය උන්වහන්සේගේ ශාසනය තුළින් ම විනාශ මුඛයට යෙමින් ඇත්තේ, ලංකාද්වීපයේ දී ම ය. අබබ්බ පබ්බජිතයන්, චණ්ඩ පබ්බජිතයන් කෙරෙනි.
චණ්ඩ පබ්බජිත වස්තුව මෙතෙකින් නිමියේ ය෴෴෴

Leave a Reply

Your email address will not be published. Required fields are marked *