S A Disanayake by U Gamachchi - kadapatha

එස් ඒ දිසානායක ගැන ඔහුගේ පුත් චරිත දිසානායක කථා කරයි

සාකච්ඡා සටහන – ප්‍රියංකා කහවණුගොඩ විසිනි (Article by Priyanka Kahawanugoda)

සිතුවම – උදය ගමාච්චි විසිනි (Illustration by Udaya Gamachchi)

ඔබ හැට හැත්තෑව දශකවල උපන් කෙනෙක් නම් නිසැකවම කුඩා කල මිහිර පත්තරය බලන්නට ඇති. බූ බබා, පුංචිත්තා, බටකොල ආච්චි, තුල්සි යෝධයා, පඬිතුමා වැනි චිත්‍රකතා චරිත සමග ජීවත් වෙන්නටත් ඇති. රූපවාහිනී, ඉන්ටර්නෙට් නොතිබුණ ඒ යුගයේ ළමා අපේ මනස රසවත් කළ මේ අපූරු චරිත නිමැවුණේ එස් ඒ දිසානායක නම් චිත්‍ර ශිල්පියකු අතින් බව ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. මෙවර අපේ තාත්තා විශේෂාංගය තුළින් හාපුරා කියා අප සමග තාත්තා ගැන කතා කරන්නේ මෙල්බර්න් නුවර ජීවත්වන එස් ඒ දිසානායකයන්ගේ පුතණුවන්. සිංහලෙන් පැය දෙකක් ගුවන්විදුලි විකාශය හරහා මෙල්බර්න්වාසීන් දැන හඳුනන ඔහු නමින් චරිත දිසානායක.
“මගේ තාත්තා එස් ඒ දිසානායක බව මෙල්බර්න් ප්‍රජාව විතරක් නොවේ ලංකාවේ පුවත්පත් කලාවේ යෙදී සිටියදී සමීපව ඇසුරු කළ මගේ මිතුරන් පවා නොදන්නා කාරණයක්. එය මා හිතන්නේ තාත්තා මගෙන් බලාපොරොත්තු වූ දෙයක්. එස් ඒ දිසානායකගේ පුතා නමින් මා බැබලෙනවාට තාත්තා තුළ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. ඒත් චරිත දිසානායකගේ තාත්තා නමින් පෙනී හිටින්න ලැබීම ගැන ඔහු ආඩම්බර වුණා.

CHARITHA DISANAYAKE - kadapatha

චරිත දිසානායක

තාත්තා ගැන මතකය අහුලන්නට ජීවිතයේ දශක ගණනක් ඈතට ඇවිද ගිය මේ පුත්‍රයාගේ මුහුණේ ඇඳී තිබුණේ සොම්නස් සහගත සිනහවක්. කුඩා කල බ්‍රවුන්පේපර් පිට කවර දැමූ පොත්වල තාත්තාගේ හැඩැති අත් අකුරෙන් නම ලියාදුන් විටත් ඔහුගේ මුහුණේ එවැනිම සිනහවක් නැගෙන්නට ඇති.
“තාත්තා චිත්‍ර ශිල්පියෙක් වුණු එක කොයි තරම් හොඳයි ද කියල මුලින්ම මට හිතුණෙ අපේ පොත් කවර උඩින් ඔහුගේ ලස්සන අත් අකුරෙන් නම ලියවෙද්දි.”
එහෙත් බොහෝ දිනවල තාත්තා කළේ එකතැන වාඩිවී චිත්‍ර අඳින එක විතරක්මය. ගුරු වෘත්තියට අමතරව පත්තරවලට චිත්‍ර ඇඳීමෙන් ද තාත්තා ගෙදර වියදමට මුදල් උපයන බව අම්මා කියා දී තිබුණෙන් දරුවෝ ඔහුට කරදර කරන්නට ගියේ නැත. තාත්තා මහ රෑ වනතුරුම චිත්‍ර ඇන්ඳේය. මුලින්ම නවයුගය පත්‍රයටත් අනතුරුව මිහිර පුවත්පතටත් ඔහු චිත්‍ර කතා විශාල ප්‍රමාණයක් ඇන්ඳේය. එහෙත් දරුවන්ට චිත්‍ර ඉගෙන ගන්නට යැයි තාත්තා කීවේ නැත. චිත්‍ර වෙනුවට ගණිතය ඉංග්‍රීසි වැනි විෂයයන් හොඳට ඉගෙන ගැනීමෙන් හොඳ රස්සාවලට යා හැකි යැයි ඔහු විශ්වාස කළේය. හොඳින් ඉගෙන ගන්නට කියා දරුවන් කොළඹ පාසල්වලට යැව්වේත්, ටියුෂන් යැව්වේත් තාත්තා එසේ නොකඩවා දිවා රෑ චිත්‍ර ඇඳ උපයාගත් මුදලිනි.
අවිස්සාවේල්ල දෙහිගහපිටියේ උපන් තාත්තාගේ ළමා විය දුෂ්කර කාලයක්. අවුරුදු හතක් වෙද්දි තාත්තාගේ අම්මා මිය ගිහින්. පවුලේ හත් අට දෙනෙක් වූ දරුවන්ට බලා කියා ගන්න කෙනෙක් ඉඳලත් නෑ. සියලූ දේපල විකුණලා සීයාගේ නිල නිවාසයේ දරු පවුලම පදිංචියට යද්දී තාත්තාගේ පාසල් ගමනත් නතර වෙලා. ආපහු පාසලකට ඇතුළත් වුයෙත් හරිහැටි ඉගෙනීමක් නැති වීම නිසා. ඔහු ගුරුවරුන්ගෙන් බොහෝ තාඩන පීඩනවලට ලක් වුණාලූ. කෙසේ හෝ අවුරුදු පහළොව දාසය කාලයේ ඔහු පිටකොටුවේ කඩේක ගණන් ලියන්න යවලා තිබුණා. උදේට පාරේ දිගේ ඉස්කෝලෙ යන ළමයි දැකල තාත්තා තමන්ට මග හැරුණ අධ්‍යාපනය ගැන බොහොම දුක් වුණාලූ. ඔය අතරේ සීයට ආපහු රැකියාව ලැබිලා තාත්තව ආයෙමත් පාසල් යවලා. ඒ වතාවේ තමයි රජයෙන් පැවැත්වූ තරඟ විභාගයකින් සමත්ව ඔහු ගුරුවරයකු ලෙස රැකියාවට බැඳෙන්නේ.”
බොහෝ ආර්ථීක අපහසුතා මැද ජීවත්වීම සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නට සිදු වුවද තාත්තා කිසිවිටෙක මුදල් පසුපස හඹා ගියේ නැති බවට උදාහරණ ඕනෑ තරම් කියන්නට චරිතට පුළුවන.
“අපේ ගෙවල් ළඟ, ඒ කියන්නේ කළුතර උග්ගල්බඩ පැත්තේ අලූතෙන් ඉස්කෝලයක් හැදුවා. ඒ විදුහල්පති තාත්තාගේ යලූවෙක්. පාසලේ බිත්තිවල තාත්තා ලවා චිත්‍ර අන්දවා ගන්න ඔහුට ඕන වුණා. තාත්තා බස් ගාස්තු ගෙවාගෙන මුළු පාසල් නිවාඩු කාලයක්ම වියදම් කරගෙන ඒ පාසලේ බිත්ති පුරාම චිත්‍ර ඇන්දා. ඔහුට දවල් බත අරගන ගියේ මමයි. අපි හිතුවා මේ වෙනුවෙන් අපට කිසියම් දෙයක් ලැඛෙයි කියලා. ඒත් අනේ වැඩේ ඉවර වුණ තැන විදුහල්පති ලිපියක් එවනවා පින්සලයක් සමග “ඔබේ සේවය මිල කළ නොහැක” කියලා. ඒත් තාත්තා ඒ වගේ අවස්ථා සිනා සී අමතක කර දමනවා.
පිටරටවල විහාරස්ථාන ගණනාවක් වෙනුවෙන් ලංකාවේ සිටම ඔහු අගනා විශාල බෞද්ධ බිතුසිතුවම් නොමිලයේ ඇඳ දුන්නේය. රටකින් රටකට යා හැකිව තිබූ එවන් අවස්ථාවන් පවා ඔහු නොසලකා හැරිය බව චරිත සිහිපත් කළේය.
“තාත්තා ඇතැම් කාටුන් චරිත ගොඩනැගුවේ තමන්ගේ ජීවිතයෙන්මයි. අම්මා මිය ගිය පසු සීයා කැටුව ආ කුඩම්මා නිසා ඔහුගේ ජීවිතය කබලෙන් ළිපට වැටුණු බව විශ්වාස කළ තාත්තා පසු කලෙක සීයාව සහ එම ආච්චීව කාටුන් චරිත බවට පත් කළා.
ඔහුගේ චිත්‍රකතාවල නිතරම මෝඩ වැඩ කරන, නිතරම වරදින, කරදරවලට මුහුණ දෙන පඬිතුමා තමයි සීයා. පඬිතුමාගේ පෙණුම සීයාගේ වගේමයි. ඔහුගේ බිරිඳයි තාත්තාගේ කුඩම්මා. ඒත් මට විශ්වාසයි අපේ සීයාවත්, ඒ ආච්චීවත් කවදාවත් තාත්තාගේ පඬිතුමා කතාව බැලූවේ නැති බව.”
චරිත මහ හඬින් සිනාසෙයි. තාත්තා ගැන මතකය අවදි කරන විට ආපසු සිහිපත් කරන සිනාසෙන්නට හැකි බොහෝ තැන් මේ පුත්‍රයාට සිහිපත් වී ඇති හැඩයි.
“ඒ කාලේ චිත්‍රකතා ශිල්පීන්ගේ දරුවොත් චිත්‍ර කතා ඇඳල ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. හරියට ඔය දැන් ගායකයන්ගේ සිංදු එයාලගේ පුතාලා කියන්නා වගේ. මම මෙහෙම අවස්ථාවක් මට නොලැබීම ගැන බොහොම දුකෙන් හිටියේ. තාත්තා නැති දවසක මමයි මේ කතා ටික ඉදිරියට අඳින්නේ කියලා මම හිතුවා. ඒ වෙද්දි මම ඒ ගැන තීරණය කරලයි හිටියේ. ඔය අතරේ අපේ තාත්තා අසනීප වෙනවා.
ඒ ගැන මම තරම් සතුටු වූ කෙනෙක් එදා තවත් ඉන්න නැතුව ඇති. ඉතින් මම ඉස්කෝලෙ යන ගමන් ඉස්පිරිතාලෙටත් යනව තාත්තව බලන්න. දැන් ඉතින් හරි. චරිත දිසානායකගේ පුංචිත්තා කියලා කතාවට නම දානවා. ඉතිරි කොටස් මෙහෙමයි වෙන්නේ කියල හිතලත් ඉවරයි. දැන් ඉතින් මගේ අදහස තාත්තට ඉදිරිපත් කරන්නත් එපායෑ. තාත්තාව බලන්න ගිහින් දවසක මම මෙහෙම කිව්වා.”
“තාත්තේ දැං ඉතිං තාත්තාට සනීප නෑනේ.”
“ඉතිං”
“ඉතිං දැන් පුංචිත්තා අඳින්න බෑනෙ.”
“ඉතිං”
“ඉතිං තමයි. මම අඳින්නම්, පුංචිත්තාව. මම ඒ ගැන හිතල බලල ඉවරයි.”
“උඹට පිස්සු ද?” එහෙම කියල තාත්තා මට හොඳටම බැන්නා. චිත්‍ර කතා ශිල්පියෙක් වීමේ මගේ සිහිනය එදා කඩා වැටුණා.”

S A Disanayake by U Gamachchi - kadapatha

S A Disanayake by Udaya Gamachchi – kadapatha.com.au

අවුරුදු 50 ක්ම මිහිරට චිත්‍රකතා ඇන්දත් චරිතගේ තාත්තා කිසි දිනෙක ලේක්හවුසියේ පිළිගැනීමේ කවුන්ටරයෙන් එහාට ගොස් තිබුණේ නැහැ. ඔහු හැමදාමත් කවුන්ටරයට චිත්‍ර කතා ටික බාර දී ආපසු එයි. එහෙත් චරිත පසු කලෙක දිවයිනේ ප්‍රධාන ධාරාවේ පත්තර කන්තෝරු කීපයකම පිළිගැනීමේ කවුන්ටර් පසුකර ඇතුළටම ගියේය. ඒ පුවත්පත් කලාවේදියකු ලෙසිනි. වරෙක චිත්‍ර ශිල්පියෙකු ලෙසිනි. තවත් වරක ඔහු ගුවන්විදුලි ශිල්පියෙකු විය. ඒ ගමන ගැන වැඩිපුරම සතුටු වුණේ තාත්තාය. පත්තර කන්තෝරුවලින් හඳුනාගත් අලූත් තාක‍ෂණය වැඩ පහසු කරන මෙවලම්, නවීන චිත්‍ර අඳින පෑන් වර්ග පසුකලෙක ඔහු තාත්තාට හඳුන්වා දෙනවිට කුඩා දරුවකු සේ ඒ තාක‍ෂණය පුතාගෙන් ඉගෙන ගත්තේ ද ඒ තාත්තාමය.
“තාත්තා ඉතාම සාම්ප්‍රදායිකයි. ඔහු එක්වරම අලූත් දැනුම විශ්වාස කරන්නේ නෑ. නැෂනල් එක හැර වෙනත් ඇඳුමක් ඇඳලම නෑ. ඔරලෝසුව අතේ නොබැඳ සාක්කුවේ දාගෙන යනවා. සමහර විට අලූත් දැනුම ලබාගන්නට අලූත් පුද්ගලයන් හඳුනා ගන්නට ඇති අකමැත්ත නිසා ඔහුට පාඩුවක් සිදුවුණා කියල මට හිතෙනවා.”
ඒ පුතා හිතන හැටිය. ඒත් තාත්තාට මෙෙලොව කිසිවක් මහා අගේ ඇති දේවල් ලෙස පෙනුණේ නැත. වතාවක් ඔහුගේ ළමා පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබුණි¡ තාත්තා එය බ්‍රවුන්පේපර් කවරයක ඔතාගෙන ගෙදර ගෙනාවේය.
“ඇයි තාත්තා මේ?” ළමයි ඇසූහ.
“මේව මේ හැමෝටම පේන්න බස්වල අරන් එන්න ලැජ්ජ නැද්ද ළමයිනේ? මම ගෙදරින් යනකොටම බ්‍රවුන් පේපර් කවරයක් සාක්කුවක දාගෙනයි ගියේ.”
“ඒත් තාත්තේ මේක රාජ්‍ය සම්මානයක්”
“මට ඔය කෙහෙල්මලෙන් ඇති වැඩක් නෑ. මගේ නිර්මාණ බලලා ඔයගොල්ල සතුටු වෙනව නම් එච්චරයි.”
ඔහුගේ මේ සරළ බව දරුවන්ගේ ගෞරවයට පාත්‍ර විය.
එසේම දරුවන්ට තම ජීවිතවල තීරණ ගැනීමට නිදහස දීමේ පුරුද්දක් ද තාත්තාට තිබුණි. ඒ ඇතැම් තීරණවලට එකඟ නොවුන ද ඔහු දරුවන් වෙනුවෙන් ඒවා ඉවසා සිටියේය. දැඩි සේ ප්‍රතිපත්තිගරුක වුව ද තාත්තා තම ප්‍රතිපත්තිවලට අනුව දරුවෝ ජීවත්විය යුතු යැයි සිතුවේ නැත. ඔහු තරම් දරුවන්ට ආදරය කරන තාත්තෙක් නැතැයි චරිත කියන්නේ ඒ නිසා විය යුතුය.
“තාත්තා සහ අපි අතර මත ගැටුම් තියෙන බව ඇත්ත. ඒත් නංගි කසාද බැඳලත් තවම එයා වැඩට යද්දි තාත්තා නැවිල සාරිය හදන්න ඕන. ඒ දෙන්නා අතර තියෙන බැඳීම පුදුමාකාරයි.”
කැඩපතෙහි පළවන මෙම ලිපිය සඳහා තමන් විසින් නිර්මාණය කළ චරිත කීපයක චිත්‍ර සටහන් එවන ලෙස අප එස් ඒ දිසානායකයන්ගෙන් ඉල්ලා සිටියෙමු. අප බලාපොරොත්තු වූයේ පැරණි කාටුන් චිත්‍ර කීපයක ඡායා පිටපත් පමණි. එහෙත් එතුමන් කැඩපත වෙනුවෙන්ම අලූතෙන්ම කාටුන් චිත්‍ර ඇඳ චරිතවල නම් ද ලියා එව්වේය.

S. A. Disanayake's charactors
“ඒ තමා තාත්තගේ හැටි. පුංචිම දෙයක් වුණත් ගසා බසා දාන්නේ නෑ. හරියට කරනවා. වැඩක් කරන්න ගත්තාම ඔහුට ලොකු පොඩි භේදයක් නෑ. කොයි තරමේ වැඩක් වුණත් හරියට කරන්නයි හිතන්නේ. තාත්තා හරියට දිය පිරුණු කලයක් වගෙයි. කිසිම දේකින් සැලෙන්නෙත් නෑ. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා හැම දේම නිහඬව ඉවසනවා.”
සැබවින්ම මේ පුතුගේ සිත තුළ තාත්තා යෝධයෙකි.
පියෙකු ලෙස තම පුතුගේ සිත තුළ පමණක් නොව හැට හැත්තෑව දශකයේ දරුවන් වූ අප දහස් ගණනකගේ සිත් තුළ අදටත් ඔහු යෝධයෙකි.
අප්‍රමාණ මිනිසෙකි.
අපි එතුමාට දීර්ඝායුෂ පතමු !

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *