පොඩි මෑන්ස්ගේ ලියුම

“අමතක වීම මනුස්ස ගතියකි. යළි මතක්කරදීම දේව ගතියකි.” 

අන්තිමට අප්පච්චි එහෙම කිව්වේ අම්මාගෙන් බේරෙන්නම බැරි තැනය. 

මනුස්සයන්ට අමතක වෙන කතාව නම් ඇත්ත වෙති. මොකද මට කියලා කොච්චර දේවල් අමතක වෙනවාද ? ඉස්කෝලේ අපට කියලා දෙන්නේ හෙල්ති කෑම කන්න කියලාය. ඒත් මට හෙල්ති කෑම මතක් වෙන්නේ ජන්ක් පුඩ් කාලා බඩ පිරැණාට පස්සේය. එතකොට හෙල්ති කන්න බඩේ ඉඩ නැති වෙති. ඒ වගේම මට හෝම් වර්ක් කරන්න මතක් වෙන්නේ ඉස්කෝලේ යන්න ලෑස්ති වුනාමය. එතකොටත් ටූ ලේට් ය. රීඩින් කරන එක ගැන මතක් වෙනකොටම ඒ ගැන අමතක වෙලා යනවාය.

අපේ ගෙදර වැඩියම අමතක වෙන්නේ අප්පච්චිටය. ඒ අතරින් මුලටම එන්නේ තොප්පිය. එයා ගෙදරින් කොහේ හරි යනකොට තොප්පියක් දාති. ආපහු ගෙදර එනකොට තොප්පියක් නොදාති. දාගෙන යන තොප්පිය කොහේ හරි දාලා එති. ආපහු තොප්පිය මතක් වෙන්නේ ගෙදර ඇවිත් තට්ටේ අතගාන කොටය.

ඊළගට එයාට අමතක වෙන්නේ කන්නාඩි කුට්ටම්ය. එයා කන්නාඩි දාන්නේ ළඟ බලන්නටය. එයාට පේන්නේ නැත්තේ ළඟය. දුර හොදට පෙනෙති. ඈතම ඈත තියෙන ගහක අත්තක වහලා ඉන්න කුරැල්ලෙක් ඉන්නේ දුකෙන්ද නැත්තම් සංතෝසෙන්ද කියලා එයාට හරියටම කියන්න පුලුවන් වෙති. හිතන්න, එයා අම්මාට කිව්වොත් “බලන්න අර අත්තේ වහලා ඉන්න කාක්කා දිහා. එයා ඉන්නේ ලොකු හිතේ අමාරැවකින්……” කියලා. එතකොට අම්මා “හ්ම්..හ්” කියලා අහක බලාගන්නෝය. අප්පච්චි දිගටම කාක්කා දිහා බලාගෙනම ඉන්නෝය. ඇත්තටම අම්මාට කාක්කාගේ දුක සැප බල බලා ඉන්න වෙලාවක් නැති වෙති. මට කාක්කාගේ දුක සැප බැලුවා කියා වැඩක් නැති වෙති. ඒ නිසා අපි අප්පච්චි කියන ඕනම දේකට එකඟ වෙති. එතකොට එයාට සතුටු හිතෙති. ආඩම්බරත් වෙති. 

හැබැයි ඈත ඉන්න කාක්කාගේ දුක සැප පේන අප්පච්චිට ළඟ ඉන්න අම්මාගේ දුක සැප නිතරම මාරැවෙති. නැත්තම් ටපලවා ගනිති.  ඉතිං අප්පච්චි ළඟ බලනකොට දාන කන්නාඩිය දුර බලනකොට ගලවන නිසා යන යන තැන එයාට කන්නාඩිත් අමතක වෙති. 

එයාට අමතක වෙන දේවල් ලීවොත් පොඩි එකාගේ ලියුම ෂුවර් එකටම දිග එකක් වෙනවාය. ඒ නිසා තව එක කතාවක් පමණක් කියමි. ළඟදී එයා නැති කරගත්තේ උපන්දිනේට අම්මා තෑගි දුන්න ජැකට් එකකි.

“කෝ මම අරන් දුන්න නිල්පාට ජැකට් එක ?” අම්මා ඇසුවෝ ය.

“ඔයා දාපු තැනක ඇති…. පොඩ්ඩක් බලන්න…” අප්පච්චි කීවෝය.

“හැම තැනම බලලා තමයි අහන්නේ ?”

“ආ ඇත්තද….. මාත් දවසක් බැලුවා… ඒක හොයාගන්න බැරිවුනා. අන්තිමට අත ඇරලා දැම්මා.” අප්පච්චි ඇගට පතට දැනෙන්නේ නැති විදිහට කිව්වා.

“හොඳ අත ඇරලා දැමීම… මම කොච්චර මහන්සිවෙලාද කඩයක් කඩයක් ගානේ ගිහින් හොඳ එකක් තෝරගන්නේ ?”

“ඒත්…… කඩවල් ගානේ යන එක ඔයාගේ විනෝදාංශ දෙකෙන් එකක්නේ ?” අප්පච්චි අම්මාගේ යකා අවුස්සන ළං වෙලා වගේය.

“දෙකෙන් එකක්…. මොකක්ද අනික ?” අම්මා ඇහුවා.

“අනික තමයි කාලෙන් කාලෙට එන නානාප්‍රකාර බණ අහලා හැම දේම අතඅරින්න හිතන එක… එහෙම ගත්තාම මගේ ජැකට් එක නැති වුනු එකෙන් ඔයාට එක අතකින් අතඅරින්න පුරැදු වෙන්න පුලුවන්… අනික් අතින් කඩේ ගිහින් මට තව ජැකට් එකක් බලන්න පුලුවන්.  අපි හැමදෙයක්ම සුබවාදීව දකින්න පුරැදු වෙන්න ඕන….”අප්පච්චිත් කීවා.

“එකෙන් මේකෙන් වැඩක් නැහැ… හෙට වෙනකොට ජැකට් එක හොයාගෙන ආවේ නැත්තම් අපිත් එක්ක කොහේවත් යන්න එන්න එපා…” අම්මා තදින්ම කීවාය. 

“බලාගෙන ගියාම ඔයත් අර හාමුදුරැවෝ නමක් ගඟකින් ගෑණු කෙනෙක් එතෙර කරනකොට එයා ළග හිටපු ගෝල හාමුදුරැවෝ වගේනේ…” එහෙම කියපු අප්පච්චි ඒ උන්නාසේගේ කතාව කියන්න ගත්තෙමි. “ඔන්න  සාදුලා දෙන්නෙක් ගඟකින් එතෙර වෙන්න යනකොට ලස්සන ගෑණු කෙනක්ට ගඟෙන් එතෙර වෙන්ට බැරිව ඉන්නවාලු. ඉතිං ලොකු සාදු කෙනෙක් අර ලස්සන ගෑණු කෙනාව කරේ තියාගෙන ගිහින් අනිත් ඉවුරේ තිබ්බලු. ඒක බලාගෙන හිටපු පොඩි සාදුගේ හිතට හරි නැතිලු. ඉතිං ඒ ගැනම හිතලා හිතලා බැරිම තැන කිව්වලු…. ලොකු සාදු ඔයා කරපු වැඩේ අන්තිම නරකයි…. මහණ අපිට ඒ වගේ දේවල් කරන්න හොඳ නෑනේ කියලා…. ඒක අහපු ලොකු සාදු ඇහුවලු… අනේ මම එයාව ගං ඉවුර ළඟදී බිම තියලා ආවා… ඔබ වහන්සේ තාමත් එයාව උස්සන් ඉන්නවාද කියලා…..”

“මම ඕවා දන්නවා…” අම්මා ගස්සලා කීවෙමි.

“බණ දැනගත්තට වැඩක් නැහැ… පිළිපදින්න ඕන… බලන්න මම අතඇරලා දාපු ජැකට් එක ඔයා තාමත් අල්ලං ඉන්නවානේ…”

“ගෑණුයි, ජැකට් එකයි සමාන කරන්න පුළුවන්ද ? අම්මා ඇහුවා.

“මොකෝ බැරි…?”

කොහොම වුනත් ඊළඟ සති අන්තේ අම්මා අප්ච්චිට තවත් ජැකට් එකක් අරන් ඇවිත් තිබ්බෝය.

මීට

පොඩි මෑන්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *