෴මුරුගසං වරුසා වස්තුව෴

භද්‍රසාල විසිනි

වත්මන් දවස ලංකා රට මෛත්‍රී නම් නායකයෙක් පාලන කරන සමයෙක් හි සිදුවුණු මහා ජල විපතක් අරභයා මේ කතාව රචනා කෙරෙයි.

ඒ කෙසේ ද යත්,
“දේවෝ වස්සතු කාලේන
සස්ස සම්පත්ති හෝතුච
පීතෝ භවතු ලෝකෝච
රාජා භවතු ධම්මිකෝ”
පාලක කාරකාදීන් දැහැමි වන්නමෝ නම් අටු කොටු පිරෙන බවත්, නිසි කලට වැසි වසින බවත් යනු කී හෙයිනි. ලංකාද්වීපයේ නම් පෙර කල අප ත්‍රෛලෝක තිලකායමාන වූ සම්මා සම්බුදුන් වහන්සේ සිටි සමයේ මෙන් ලිච්ඡවි ඈ රජුන් කිකලෙකවත් පහළ වී නැත්තේ ම ය. කිකලෙකවත් දැහැමියැ යි කියන්නට මුඛය හරින්නට හැකි පාලකයෙක් පහළ වී නැත්තේ ම ය.
එක් වන ම චණ්ඩ සුළං කුණාටු ගුගුරවමින් අග්නි කල්පයකට පසුව වසින්නාක් මෙන් වර්ෂාවක් වටනට වන්නේ ය. යම් සේ ද මොර ඵල සූරන්නාක් මෙන් ය. මහත් පාෂාණ කැට වර්ෂාවක් වටනාක් මෙන් ය. එකල් හි කුරුබිලියන්වලින් තම නිවෙස්වලට වන් ගහපතියන් කල්පාන්ත මුරුගසං වර්ෂාවක් වන් මේ වර්ෂාව දැන් ඉකුත් වෙතියි දැන් ඉකුත් වෙතියි බලා බලා හුන්හ. ගොනු පසු පස එන ගැලක්හු පරිද්දෙන් දිනෙන් දිනට ඇදෙමින් ඇදෙමින් වර්ෂාව නොනවත්වා වසින්නට වන්නේ ය. දුගී දුප්පත් මනුෂ්‍යයින් කුලී මලී වැඩකුදු කරගැන්මට නොහී දුක්ඛිත ව අවසඟව යන්ට වන්නෝ ය. ධනීය ගෝපාලයන් වන් මහත් ධනපතීහු, කුමාරවරු ඈ නෙක උන් සිව් මහල් ප්‍රාසාදයන්හි වැජඹෙන්නෝ බැවින් උහුට මෙහි වගේ වගක් නැත්තෝ ය.
අන්තයක් නොහී වට වර්ෂාවෙන් ඉක්බිත් ලංකාද්වීපයේ මහා කඳු පන්තීන් ගැලැවී දුගී දුප්පතුන්ගේ වාසස්ථාන මත්තෙහි වැටෙන්නට පටන් ගත්තේ ය. ඒ කෙසේ ද යත්? මහී මව් තොමෝ හට නොයෙක් අතවර කෙළි කෙළිමින් කඳුකර වනී වනාන්තර සුනු විසිණු කරමින් පාලකයන් කළ අකටයුතුකම්වල ප්‍රතිඵලම මිස අනෙකක් නොවේ. දිවි කල් ගෙවන්නට දුගියන්ට සුදුසු රක්ෂාස්ථාන නැති කමින් උහු එවැනි අන්තරායකර අඩවිවල ම දවසරිති. මෙකී මහා තුංග වර්ෂාවෙන් නාය ගිය කඳු පංක්තීන්ට යටවැ බොහෝ දුගී ජනා සැනෙන් මරු වසඟට ගියෝ ය. සිය ගණනකි.
ඉනුදු අවසරක් නැත්තේ ය. අහවරක් ඉඩවරක් නැත්තේ ය. වසින්නේ ය. වසින්නේ ය. කොළඹ නමින් වූ ලංකාද්වීපයේ නෙක සල්පිල් ආදිය ඇති ප්‍රධාන පුරයාසන්න මනුෂ්‍යයන්ගේ වාසස්ථාන යට කරමින් එකී වර්ෂාවෙන් වට වට ජලය උතුරා යන්නට වන්නේ ය. මහත් භයංකර වෙසක් ගෙනායේ කල්‍යාණ නදී අසබඩ නිවැසි මනුෂ්‍යයින්ට ය. නොවලහා වටනා වැස්සෙන් යට වී ගිය නිවාස රක්ෂාස්ථාන නිසායෙන් එක් එක් උසැති ස්ථානවල ඉදිවූ අනාථ සරණාස්ථානයන්ගේ පුරය පිරී ගියේ ය. මහත් වර්ෂාවෙන් පීඩාවට පත් ව සිය ජීවිත කාලය පුරා දුක්මහන්සියෙන් හරි හම්බකරගන්නා ලද සියලූ වස්තූන්ට අස්වාමිකව හඳිනා කඩකට පමණක් සස්වාමිකව තැන් තැන්වල වැද හොත් ජනයා ය. කිරි ඉල්ලා හඬන නොදරුවෝ ය. යම් සේ ද යත් බුදුන් කල විසාලා මහනුවර සේ දිස් වී ය.
මේ අනාථභාවයට පත් වූවනට සරණ විය යුතු වන්නා වූ ආණ්ඩුවට පාණ්ඩුව නම් රෝගයක් වැළඳී ඇත් දෝ හෝ යි සිතෙන තරමට සරණ සැපයුම් කටයුතු මඳ මඳ වේගයෙන් කෙරන්නට වී ය. එක්තරා පරිගණක නම් යන්ත්‍රයක් මූලික කොට ගෙන මිතුරු සන්ථවයන් ගොඩ නගා ගත් යොවුනන් මේ පාණ්ඩු ආණ්ඩුවට වඩා වැඩ කළෝ ය. දෙදෙව් ලොවට අධිපති සක්‍රයා ගේ පාණ්ඩු කම්භල ශෛලාසනයවත් හුණු වූයේ නැත්තේ ය. ඒ අවු අස්සේ ම රට පාලන කටයුතු කරනා නායකයෝ යැ යි කියා ගන්නවුන් ද, රට පාලනය කරන්නට මතු බලාපොරොත්තු ඇති වුන් ද “බලව් මට ජනතා ප්‍රිය වන්නට අනායාස අවස්ථාවකැ” යි ඛෙනෙමින්, අනාථව වැදහොත් ජනයාට පිහිට වන්නා වූ නියායෙන් අසරණ අනාථව හුන් අයගේ මතු කැමැත්ත එකතු කරන්නට වන්නෝ ය. තෙල ප්‍රයෝගයෙන් මම ද ප්‍රයෝජන ගන්නෙමැ යි පිළිසන් දුන් සුජීව නමැති ඇමැත්තෙක් ද තමා අප්‍රමාද වීම වෙනකෙක් එතැනට යාමෙන් පාඩු වෙතැ යි සිතා ජනතාවට කෙසෙල් ගෙඩිය බැගින් ඛෙදන්නට වන්නේ ය. එකල්හි එබඳු විසිලූවක් තවත් නැතැයි මුවෙන් මුව පැතිර ගියේ ය.
ලංකාද්වීපයෙන් දුරස්වැ ගොස් සිටින්නා වූ ලංකාද්වීපයේ මනුෂ්‍යයන් ද කොළ ජනයිනි, අප අපගේ සෝවුරන්ට උදව් කරන්නමෝ වේ දැ යි සිතුව ද පෙර අකුසලයක් ඔවුන්ගේ ද සිහියට ආයේ පෙර කලෙක ලංකාද්වීපයට මුහුද ගොඩ ගැලු කල ඛෙදූ ඛාජ්‍ය භෝද්‍ය මිල මුදල් ඈ ආධාරයන් ගසා කෑ අන්දමයි. එසේ ද වුවත් උහු තමන්ගේ හැකි පමණින් ජනයාට පිහිට වූ බව පෙනී ගියේ ය.
මෙලෙස සියක් දහසක් දෙනා අනාථ ව ගොස් සිටින කල්හි වර්ෂාව මඳින් මඳ පහවැ ගියේ ය. පාලකයෝ නිතොර නේක අනේක අයබදු වැඩි කරමින් හුදී ජනයාගේ පඩි පත චෞරයන් මෙන් පැහැර ගත්ත ද යම් අකාර ව්‍යසනයක දී ජනතාවට සරණ වන්නට උහු අසමර්ථයෝ ය. ඉදින් මෙවන් පාණ්ඩු ආණ්ඩුවකින් තමන්ට කම් නැතැ යි ජනයා කියන්නට වන කාලය ඉතා නුදුරේ බව පෙනී යන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *