මුණ නොගැසිය යුතුය කවියන්

හුදෙකලාකරැවෙකුගේ සටහන් –

කවිය වැටහෙයි

කවියා නොවැටහෙයි

මොළය හදවත දෙකම පැටළෙයි……

ලොව කවර භාෂාවකින් ලියවුනද කවිය මොළයට වඩා හදවත පිරිමදින බව හුදෙකලාකරුවාගේ අදහසය. ඒ නිසාම හුදෙකලාකරුවා කවියෝ නොවනා කවි වනන්නට කැමතිය. එසේ නමුදු ගසකින් පොත්තක් වෙන් කළද, කවියකින් කවියා වෙන් කළ හැකි ද ? අප වැළඳගත යුත්තේ කවියා ද, නැතිනම් කවිය ද ? මෙම උභතෝකොටිකය හිසට වද දෙන්නේ අද අපට හමුවන විවිධාකෘති තුළට වැද විකෘති වූ කවියෝ නිසාවෙනි. එක් අතකින් කවියකට කවියාද විශ්මයට පත්කළ හැකිය. අනික් අතින් වශී කළ හැකිය. විශ්මය පසුපස විමසීම එයි. එහෙත් වශි වූ කළ සත්‍ය වසං වෙයි. මමත්වය එතුළින් නැගැ එයි. එසේ බිහිවන කවියෝ මෙකල්හි බොහෝ වෙති. කවියා යන ගෞරවාර්ථ නාමය ඇතැම් විට ඔවුන්ට අනර්ථයක්ව ඇති සේ ය. තමන් ලියූ කවි වනන උහු අන් කවීන් නොඉවසන්නේ මන්ද ? ගැරහීම, පෑගීම, පුරසාරම මෙබඳු කවීන්ට උරුම වූයේ කෙසේ ද ?

මෑත දිනක ප්‍රවීණ කිවි කපිල කුමාර කාලිංග සමග අපි කතා කළෙමු. කවිය තුළින් අපට සම්මුඛ වන කවියෝ, මිනිසුන් වශයෙන් අපට සම්මුඛ වූ කල්හි මේ තරම් පරස්පරතාවයක් ඇත්තේ ඇයි ? මම ඔහුගෙන් ඇසුවෙමි. අපි ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කළෙමු. අවසානයේ සත්‍ය සිදුවීමක් පාදක කරගෙන කපිල කුමාර කාලිංග අතින් ලියවුනු කවියක් අපවෙත එවා තිබුණි. කවියේ මුලින්ම සඳහන් වූයේ “මිතුරන් අතරේ පමණයි” යන සටහනය. එසේ නමුත් පසුව එම කවිය කැඩපතෙහි පළකිරීමටත්, ඊට අදාල නිමිත්ත සටහන් කිරීමේ වැදගත්කමත් ඔහු අපට කියා සිටියේ ය. හුදෙකලාකරුවෙකුගේ සටහන් පෙළ ඇරඹෙන්නේ ඒ අනුව ය.

මුණ නොගැසිය යුතුය, කවියන්

පුදුමයකි !
කොතරම් සරළද ඔවුන්
සාමාන්‍යයටත් වඩා සාමාන්‍යය
අනෙක් මිනිසුන් වගේමය
ඔවුන්ගේ කවි තුළදුටු
අමුතු මිනිසුන් කොහි වෙද ?

මධුවිත අතට ගත් කල
ඔව්හු ද ගයති, කම්කරුවන් හෝ
බස් රියදුරන් සේ ම
අමරදේව නොව ජෝතිපාල !

අනුන්ගේ කවි වරුන අතරම මතින්
දොස් ද දකිති, සසඳති
වහසි බස් දොඩති
කෙළිකවටකම් අතරේ
පුරසාරම් ද කියති

රුවැති කවි පේළි මත
රතු තීන්ත වගුරමින්
වනසති
මහ හඬින් බිම හෙළා
මධු විතද බිඳලති
රුසිරු ළඳක දුටු සැණින්
අමතකව යයි උපන් දිනයද
මුණ නොගැසිය යුතුය
කවියන් කිසි විට

ඔවුන් තුළ නැත
කවිය තුළ අප දකින
අන් මිනිසා
සරළය ඔහු
පොළවටම නැඹුරු වූ
දැක පුරුදු අසල්වැසියෙකි
සාමාන්‍යයටත් වඩා
සාමාන්‍යය වූ
– කපිල කුමාර කාලිංග
කවියේ තේමාව “මුණ නොගැසිය යුතුය කවියන්” ය. එහෙත් කවියේ අවසානයේදී මෙසේ කියයි…..

සරළය ඔහු
පොළවටම නැඹුරු වූ
දැක පුරුදු අසල්වැසියෙකි
සාමාන්‍යයටත් වඩා
සාමාන්‍යය වූ

අප මුණගැසීමට කැමති සාමන්‍ය මිනිසුන් නොවේ ද ? අසාමාන්‍ය මිනිසුන් මුණගැසීමට කවුරු නම් කැමති වේ ද ? කන, බොන, රවන, ඔරවන, ගොරවන මිනිස්සු අසාමාන්‍ය නොවෙති. නොකන, නොබොන, සිනාසෙන, පසසන, වන්දිබට්ටකම් කරන මිනිස්සු සාමාන්‍යද නොවෙති. කපිල කුමාර මෙම කවිය හරහා අපව එකිනෙකට පරස්පර විරෝධී අන්ත දෙකක රඳවයි. ඒ අනුව කියවන්නා තුළ වෙනත් කියවීමකට අවකාශයක් තනයි. ඒ තුළින් තේමාව කුමක් වුවද,  “කවියන් මුණ ගැසීමෙහි ඇත්තේ කවර නම් වරදද ?” යන ප්‍රශ්නය විමසනවා නොවේ ද ? කපිලගේ උත්ප්‍රාසය කැටි වූ තේමාවද තවත් කවියක් නොවේ ද ?

පසු දිනක අප අතර ඇති වූ කතාබහ වෙනස් දිශාවකට එල්ලවිය. අප කථා කළේ අද අපට හමුවන සාමාන්‍යයටත් වඩා සාමාන්‍ය කවියෝ ගැන නොව අසාමාන්‍යයටත් වඩා අසාමාන්‍ය කවියෝ ගැනය. අපේ ගැටලූව බහුතර වත්මන් කවියෝ සාමාන්‍ය නොවීම ය. පොළවේ පය ගසා නොසිටීමය.
“ඕකට හොඳ උත්තරයක් මට ලැබුණා. මගේ “මුණ නොගැසිය යුතුය කවියන්” කියවලා ඒක එවලා තිබුණේ නිමල් ජයරත්න කියලා මගේ යාලූවෙක්.”  එසේ කී කපිල කුමාර පසුව නිමල් ජයරත්න ඔහුට එවූ කවිය අපට පෙරළා එවුවේ ය.

කවියෙක් අතින් වීදුරුවක් බිඳිය හැක
ඉර හඳ ගලගෑව සඳ කිරි කටගෑව
තරු කිනිත්තෙන් පැන් වැඩුව
කැකුලූ පෙති වල සෙනෙහසම තැවරුව
මානව ප්‍රේමයේ පෙර ගමන් කරු වෙන කවුරුන් වෙද
කිවියෝ හැර

ඉරබටු තරුව වටකුරු
ලා රෝස පැහැයෙන් දිදුල
අත මිටෙන් මොලවා සෙමින්
ඛෙලි කටුවක් තුල හෙවූ හැටි මොන තරම් අපූරුද
මුතු ඇටය විශ්වයේ පුංචීම අංශුව
නිමකලේ වෙන කවුරුත් වෙද
කිවියෝ හැර

මඟ දෑල මල් පඳුරු යට
තුරු ගොමු උයන් සෙවනැලි වදුල යට
විස සපුන් සැඟවී සිටින වග
පැවසුවේනම් ඔබට මට වෙන කවුරුන් වෙද
කිවියෝ හැර

සුර බඹුන් විමන් ප්‍රාසාද වල
සුර ලඳුන් හා සැන්දෑ සාද වල
ඇරයුම් ලැබුවානම් වෙන කවුරුන් වෙද
කිවියෝ හැර

වීදුරු ගෙවල් වල හිඳ කොටුව
ජීවිතය ආවඩන්නට සුදු පිරුවට මැතිඳුන්ට
එරෙහි වූවෝ වෙන කවුරුන් වෙද
කිවියෝ හැර

කවි කෙතේ වල් පැල උගුල්ලන විට
කාන්සියට ලාබ සින්දුවක් ගැයුවා වුවද
මධු විතක් පිරුනු බඳුනක හැඩය
ලලිත රූ අකුරු වලින් ගෙතුව
කවියෙක් ඉතාම සාමාන්‍යය ය
එහෙත් ඔහු අතින් වීදුරුවක් බිඳිය හැක

– නිමල් ජයරත්න
නිමල් ජයරත්නගේ කවිය අප තුළ උපදින බොහෝ ප්‍රශ්නාර්ථයන්ට කදිම පිළිතුරකි. ඔහු කවියෙකු යන එන තැන් ගැන අපට කියයි. ඔහු පවසන පරදි ඉර හද තරු මුතු මතු නොව සුර බඹුන්ගේ විමන්හිද කවීහු කරක් ගසති. ඒ ඒ තැන්හි තුතුද පවසති. එනමුදු කවීහුද මනුෂ්‍යයෝ ය. එබැවින් ඔවුනතින්ද වීදුරුවක් බිදුනේ නම් එය පුදුම විය යුතු කාරණයක් ද ?
“කවියෙන් කවියා ගැන විනිශ්චය නොකරන්න. කවිය ඇත්තේ කියවන්නාට තමාවම අධ්‍යයනය කිරීමට ද ?”
ඒ එසේ මුත් බොහෝ වත්මන් කවීහු කවි ලිවීමෙන් නොනවති. ඒ ගැන දොඩති. කියවති. එහෙත් තමන් ලියූ කවි නොකියවති. කවි කීමත්, කියවීමත් එකක් නොව දෙකක් බව නොදනිති. ඒ නිසාම කියවන්නෝද නොමග යවති. තමන් ලියූ කවි කියවා නොමග ගිය කියවන්නන් පිරිසක් යළි යහමගට ගත් අපූරු කවියෙක් ගැන කවියක් අපට කියවන්නට එවා තිබුණේ ශිරාන් විෙජ්රත්න ය.

එලිදැක්ම….

කිවිඳුනි ඔබැ කිවි
විශිෂ්ඨයැයි ඇදුරෝ වැනූහ
හෘදය ඉරිසියාවෙන් මත්වනැයි සිසුහු කෙඳිරෑහ
ස්ත්‍රි වැනුමටමැ උපනෙකැයි
අයෙක් බිනූහ
සියවසේ කොවුලා නුඹමැයි
දනෝ සාධුකර දුන්හ
මහද තත් පිරිමැදියැයි
ගඳඹෝ තුති පුදකළහ
ස්ත්‍රි සිතැ සිතැ හඳුනන
භාව පුරැෂ රත්නයකැයි
ළඳහු පෙමින් වෙළුණහ

ඉනික්බිති ඒ මහා කිවිඳානෝ සබා ඇමතූයැ
සබාගැබැ මීයට පිම්බා වැනි වියැ

සබඳ එමතු නොවේයැ
තොපැ මනස් විකල්යැ
තොපට මා මනස්ගැබ
පසක් නැත මම හඟිමි
කලට අවකල් නොකල
අකලට අවකල් කලමැයි
නිතින් මට වද දෙන
මගේ වල් හිතමයැ
පදවැල්හි එබූයේ යැයි
එතුමෝ ගොරනාඩු කළහ’…
– ශිරාන් විජේරත්න
මෙහි දැක්වූ කවි තුනම කිසියම් තැනක පළ කිරීමේ උවමනාවකින් රචනා නොවූ බව මම දනිමි. අහම්ඛෙන් අප අත් පත් ඒ කවි අතර අපූර්ව සහසම්බන්ධය ගැන තව දුරටත් සිතන්නට ඉඩ සලසා මෙවර හුදෙකලාකරුවාගේ සටහන නිමා කරමි.

සාමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *