බිළි‍ඳා වනාහි

කපිල කුමාර කාලිංග විසිනි (by Kapila Kumara Kalinga)

මීට කලකට ඉහත අපේ ගමේ විසූ පුද්ගලයෙකුගේ නම වුයේ බිළිඳු ය. එය ඔහුට උප්පැන්නයෙන්ම ලැබුණු නමදැයි කියන්නට මම හරිහැටි නොදනිමි. බිළිඳාගේ රැකියාව ගල් වෙඩි බැඳීමය. වෙඩි නූලට ගිනි තබන්නට කලින් ඔහු “ගල්බෝරේ” යනුවෙන් ගමටම ඇසෙන්නට කෑ ගසන හඬ මට තවමත් මවාගත හැකිය.
ගල් කැඩිමට අමතරව ඔහු රා මැදීම ද කළේය. බිළිඳාගේ රා ඉස්තරම්ය. රා බෝතලයක මිළ රුපියල් පහළොවකි. පසුව එය තිහක් විය. නමින් බිළිඳා වුව ද ඔහු අඩි හතකට කිට්ටු උස් දේහයක් ඇති හැඩි දැඩි පුරුෂයෙකි. උස වැඩිකම නිසාදෝ මදක් කුදුව සිටී. උස් හඬින් කතා කරයි. පොල්ලෙල්ලක් බඳු, ඝන උඩු රැවුල නිසා නපුරු පෙනුමක් තිබුණ ද, බිළිඳාගේ හැසිරීම කතාව යටහත් පහත්ය. අසුව දශකය අගදි මියයන විට බිලිඳාගේ වයස ද අසූව පැන තිබුණි. එබඳු වෘධ පුද්ගලයෙකුට “බිළිඳා” යැයි ඇමතීම හාස්‍ය ජනක බව සැබෑ වුව ද ඊට හුරුව සිටි ගැමියන්ට එය දැනුණේ නැත.
මිනිසුන්ට, නමක් ලැඛෙන්නේ, සමාජය තුළ ඔහුට අනන්‍යතාවක් හිමිකර දීමටය. උප්පැන්නය යනු ඔහු වෙනම පුද්ගලයෙකු වශයෙන් ලියාපදිංචි කිරීමකි. එහෙත් පුද්ගල නාමයන් සමග සමාජ දේශපාලන කාරණාවන් ද බැඳි තිබේ. බොහෝ විට වාසගමක් හෝ පෙළපත් නමක් සමග කුල පරම්පරාවන් ද හෙළි වේ. සිල්වා, පෙරේරා, අල්මේදා, ද මැල්, ආබෘෘ, සොයිසා ආදී වාසගම් තුළින් කුල ක්‍රමය පමණක් නොව, ලාංකීය ඉතිහාසයේ යටත් විජිත බලපෑම ද කියැවෙයි.
පරංගි නම් ලැබුණේ පහත රැටියන්ට හා උතුරේ මිනිසුන්ටය. ඉංග්‍රීසීන්ට යටත් වීමෙන් පසු උඩරැටියෝ ද මහත් අභිරුචියෙන් ඉංග්‍රීසි නම් ගත්තෝය. ඉංග්‍රීසීන් විසින් කෘෘර ලෙස මරා දැමුණු, උඩරට වංශවතුන්ගේ පවා පසුකාලීන පරම්පරාවල වාසගමට මුලින්, ඉංග්‍රීසි නම් දෙක තුනක්ම ඇඳුනි. ඡන්ද පොළවල දී තවමත් එබඳු ඉංග්‍රීසි නම් කියැවෙනු ඇසිය හැකිය.
පොඩි මිනිස්සු, සුද්දන්ගේ නම් සිංහල ඌරුවට සකසා ගත්හ. ග්‍රෙගරි ගිරිගෝරිස් විය. හර්මන් හරමානිස් විය. ඇන්ඩෘෘ අන්දිරිස් බවට ද, ඒබ්‍රහම් අබරන් බවට ද හැරුණි.
ජනප්‍රිය බයිලාවක ද කියැවෙන පරිදි අයිරින්, ජොසපින්, කැතරින්, ඇන්ජලින් ලාගෙන් කාන්තා සමාජයේ ද අඩුවක් නැතිවිය. සුදු බංගලාවක මෙහෙකාරකමට ගිය ගැමි ගැහැණියක එහිදි අසන්නට ලැබුණු වචනයක් යොදා ගනිමින් සිය දියණියට “පෑන්චි නෝනා” යැයි නම් තැබුවාය.
මෙසේ, පොල් ලෙලි තලන එළිසබත්ලා, පොල් කඩන ජෝන්ලා, බස් එළවන චාල්ස්ලා, අතුරේ යන විලියම්ලා රට පුරා පැතිරෙද්දි ලාංකිකයාගේ නම්වල තිබූ දේශිය අනන්‍යතාව වැනසී ගියේය.
අලංකාර, ගාම්භීර දීර්ඝ පෙළපත් නම් තිබූ උදවිය, පෝර්ම පිරවීම වැනි කටයුතුවල දී මුහුණපාන ප්‍රායෝගික දුෂ්කරතා නිසා ඒවා කෙටිකර ගත්හ. සමාජයෙන් ලැඛෙන නිග්‍රහය නිසා ඇතැම් පැරණි කුලගොත් හඟවන නම් ඇත්තෝ ද නීත්‍යනුකූල ලෙසම ඒවා වෙනස්කර පුවත්පත් දැන්වීම් ද පළකර රටට දැනුම් දුන්හ. ඒ අනුව, අපේ පැරණි නම්ගම් බොහෝමයක් සැඟවී, මැකී යමින් පවතී. අලූත් පරම්පරාවට වාසගම් නැත. ඇත්තේ නම් දෙකකි. ලසිත් මාලිංග, අමල් චාමර, රුවන් මධුශංක, රුවන් මාලිකා, මිත්‍ර නදීශා, මල්කා ප්‍රියානි යනාදි වශයෙනි. එක අතකට මෙහි වරදක් නැත. නමක් ඇත්තේ අනෙකාගෙන් වෙන්ව හඳුනා ගැනීමටය. පරංගිගෙන් ලැබුණු නමක් හෝ කුල පරම්පරාවෙන් උරුම වූ නමත් නිසා නුතන සමාජයෙන් අපහාස විඳින්නට සිදුවෙනවා නම් එය වෙනස්කර තමන් කැමති සුන්දර නමක් භාවිත කිරීමේ අයිතිය සැමට හිමිය.
එහෙත් අපේකම තිබූ ඇතැම් පැරණි නම්ගම් සැඟවී මැකී යාම පිළිබඳව මා තුළ සියුම් කණගාටුවක් ද උපදී.
මැතක දි, වාර්තා චිත්‍රපටයක් රූගත කරනු පිණිස උඩරට ගමකට ගියෙමි. ඔවුන් කුවේණියගෙන් පැවැතෙන්නෝය. පෙළපත් නාමයට ඊට දෙස් දෙයි. ඒ නම සෑදුණු අයුරු කියැවෙන කව් පෙළක් ද ඔවුන් සතුය. එහෙත් ඒ මුළු ගමම දැන් තම පැරණි නම් වෙනස්කර වෙනත් නමක් ගෙන සිටිති. අනාගතයේ පර්යේෂණ පවත්වන මානව විද්‍යාඥයින්ට මේ ජනසමාජ හඳුනා ගැනීමට, “තෝම්බු මිටි” පෙරලීමට සිදුවනු ඇත.
ජැක්සන් ඇන්තනී, කලකට ඉහත මෙහෙය වූ රූපවාහිනි වැඩ සටහනකට පැමිණි එක් මහතෙකුගේ නම, “ඔළුපැලියාව” විය. මුඛරි ජැක්සන් එය සරදමකට ගනිමින් මෙසේ ඇසුවේය.
“ඔබතුමා, අපේ ඔළු පලන්නෙ හෙම නෑ නේද?”
ඔළුපැලියාව මහතා ද, සරදම් සිනාවකින් යුතුවම මෙසේ කීවේය.
“ජැක්සන් මහත්තයා, අපිට තියෙන්නේ බොහොම පරණ හොඳ සිංහල නමක්. ඒ නම පිටුපස්සේ ලොකු කතාවකුත් තියෙනවා.”
මුහුණ රතු වූ ජැක්සන් ඇන්තනී වහාම කතාව වෙනතකට හැරවීය.
සෑම කෙනෙකුටම තම නම ගැන ආඩම්බරවීමේ අයිතිය ද ඇත. එසේ තිබිය දී සමාජයට බියෙන් නම් වෙනස් කිරිම, බියගුළු ක්‍රියාවක් ලෙස ද කෙනෙකුට තර්ක කළ හැකිය.
ශේක්ස්පියර්ගේ ප්‍රකට කියමනකට අනුව නාමයෙන් අදහස් වන දේ නොවැදගත්ය. රෝස මලකට වෙනත් නමකින් ඇමතුව ද, ඉන් විහිදෙන්නේ රෝස සුවඳමය. හැම විටම නමට වඩා වැදගත් වන්නේ ක්‍රියාවය. නම දිදුලන්නේ ක්‍රියාවෙනි. රූපං ජීරති මච්ඡානං, නාම ගොච්ඡං නජීරතී යනුවෙන් බුදු දහමෙහි ද කියැවෙන්නේ එහෙයිනි.
බාල කාලයේ දී “මෙයා මට නම් වනම් කියනවා” යැයි අප වැඩිහිටියනට පැමිණිලි කරන්නේ විකට නම් කීම ගැනය. පාසල් දිවියේ දී විකට නම් නොහොත් භසජනබ්පැි නොහැදෙන කෙනෙක් නැති තරම්ය. කාර්යාලවල ද එබඳු නම් හැදේ. දේශපාලනඥයින්ටද විකට නම් ඇත.
නම කැතකර ගන්න එපා යැයි කියමනක් ද අප අතර වෙයි. පහත් වැඩක් කරන්නට සැරසෙන්නෙකුට “පිටින් එලියට බහිනවා” යැයි බැණ වදින්නේ ද එහෙයිනි.
එක රටක නමක් තවත් රටක දී විහිළුවක් පමණක් නොව හරුපයක් ද විය හැකිය. උච්චාරණයද වෙනස්වීම නිතර දැකිය හැකිය. (විදේශීය ක්‍රිකට් විස්තර විචාරකයින්, අපේ ඇතැම් ක්‍රීඩකයින්ගේ නම් උච්චාරණය කරන ආකාරය මතකයට නඟන්න නිදසුනක් මාලිංග වෙනුවට මලිංකා යැයි කීම)
මෙම නුහුරු නම් හා උච්චාරණ ගැටලූ නිසා බිහිනුණු රසවත් සිනා කතා ද බොහෝය.
කිසියම් කටයුත්තක්කර ගැනීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ආයතනයට ගිය ඉන්දියානුවෙක්, අදාළ පෝර්මයේ තම නම සහ අවශ්‍යතාව ලියා දී පසෙකට වී බලා සිටියේය. පැය දෙක තුනක් ගෙවුණ ද, ඔහුට ඇමතුමක් නොලැබුණෙන්, ඔහු විමසීම් කවුන්ටරයට ගොස් ඒ ගැන විමසුවේය.
“අපි ඔබේ නම කීප සැරයක්ම අනවුන්ස් කෙරුවනේ.” පිළිගැනීමේ නිලධාරිණිය කීවේ පුදුමයෙනි.
“නෑ නෑ මට ඇහුනේ නෑ.”
ඉන්දියානුවා කීවේය.
ඔහුගේ නම අනන්තරාමන් සුබරාමන් (Anantharaman Subbaraman) ය. අමෙරිකානු කාන්තාව එය උච්චාරණයකර තිබුණේ “අනදර්මෑන් සුපර්මෑන් (Anotherman Suberman) යනුවෙනි.
තවත් අවස්ථාවක ධර්ම ප්‍රචාරක වැඩ සටහනක් සඳහා එංගලන්තයට වැඩම කළ අපේ භික‍ෂූන් වහන්සේලා පස් නමක්, හිත්රු ගුවන් තොටුපළේ කවුන්ටරය අසළට ගොස් තම ගමන් බලපත්‍ර ඉදිරිපත් කළහ.
එය පරීක‍ෂා කළ නිලධාරියා, ඔවුන් දෙස බලමින් සිනාමුසුව හිස වැනුවේය.

“Five btrothers from the same family ?” (එකම පවුලේ සහෝදරයායො පස් දෙනෙක්…?

“No No we are not”

භික‍ෂුවක් පිළිතුරු දුන්නේය. පුදුමයට පත් නිලධාරියා ගමන් බලපත් දෙස බලමින් මෙසේ ඇසීය.
“එහෙනං කොහොමද පස් දෙනාටම එකම වාසගම තියෙන්නේ ථෙරෝ. ථෙරෝ. ථෙරෝ…?

“then now come you all have the same surname thero”

————
පැරිසියේ අවන්හලක බීම කවුන්ටරයේ විදේශිකයෝ දෙදෙනෙක් බීර බොමින් සිටියහ. එක් අයෙක් චීන ජාතිකයෙකි. අනෙකා අමෙරිකානුවෙකි.
මොහොතකට පසු අමෙරිකානුවා දෙසට හැරුණු චීනා, මිත්‍රශීලී සිනාවක් පාමින් අත දිගු කළේය.
“මගේ නම ඔන්ග් චෝ පෙන්ග්. මම චීනෙන්.”
අමෙරිකානුවා ද “හව්ඩි” කියමින් අතට අත දුන්නේ තමාව ද හඳුන්වා දෙමිනි.
“මම රොබට් ගෝල්ඩ්බර්ග්. අමෙරිකාවෙන්”
ඔවුහු යළිත් බීර බොන්නට වූහ. මොහොතකට පසු අමෙරිකානුවා අතමිට ගුලිකර චීනාගේ හක්කට තද පහරක් එල්ල කළේය. තරු විසිවුණු චීනා අමෙරිකානු දෙස කෝපයෙන් බැලූවේය.
“ඇයි තමුසෙ මට ගැහුවෙ?”
“තමුසෙලා පර්ල් හාබර් එකට බෝම්බ දැම්මට”
“ඒ වුණත් ඒක කෙරුවෙ අපියැ ජපන්නුනෙ”
“ජැපනීස්. චයිනීස් මොකද්ද වෙනස?”
අමෙරිකානුවා සමච්චල් සිනාවක් පෑවේය.
දෙදෙන යළිත් බීර බොන්නට වූහ.
එකවරම චීනාද අතදිග හැර අමෙරිකානුවාගේ කම්මුලට වැරෙන් පහරක් දුන්නේය.
වේදනලාවටත්, කෝපයටත් පත් අමෙරිකානුවා චීනා දෙසට හැරුණේය.
“ඇයි තමුසෙ මට ගැහුවෙ?”
“තමුසෙලා ටයිටැනික් ගිල්ලෙව්වට”
“පිස්සුද චීනෝ, ටයිටැනික් ගිල්ලූවේ අපියැ. අයිස්බර්ග් එකක හැපිලනේ.”
“අයිස්බර්ග්, ගෝල්ඩ්බර්ග් මොකක්ද වෙනස?”
චීනා නැගිට ගියේය.
නම්වල පැටලිලි ඔහොමය. එසේ නම් 80 හැවිරිදි බිළිඳාට බිළිඳා යැයි කීමේ ඇති වරද කිම ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *