kadapatha-wawa rauma

වැව රවුම – ජූනි 2016

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

ගංවතුර හා නායයෑම
පෙර නොවූ විරූ පමණට මාස ගණනාවක් පැවති දැඩි ග්‍රීස්මය නිමා කරමින් පසුගියදා ශ්‍රී ලංකාවට වැටුණු වර්ෂාව නිසා දිවයිනේ බොහෝ පෙදෙස් ගංවතුර හා නායයෑම් ඇතිවිය. අරණායක ප්‍රදේශයේ ඇති වූ නායයෑම් හේතුවෙන් සිය දෙනෙකුටත් වඩා ජීවිතක්ෂයට පත් වූහ. අනාථ වූ පිරිස දස දහස් ගණනකි. ගංවතුරෙන් හා නායයෑම් නිසා විපතටපත් හා අවතැන් වූ ජනතාවට අපි වැවරවුමේ සිට අපේ සාතිශ්‍ය කණගාටුව ප්‍රකාශ කරමු.
උණුවන හදවත්
විපතේදී, විපතට පත් අය වෙනුවෙන් පිහිටවන අපේ ශ්‍රී ලාංකික සහෝදර ජනතාව ගැන අපට ඇත්තේ ආඩම්බරයකි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකිකයෝ සහ නොයේකුත් සංවිධාන මේ අවස්ථාවේදී තම තමනට හැකි පමණින් ක්‍රියාත්මක වූ බව අපි දනිමු. ඔවුන් සියලූ දෙනාට අපි වැව් බැම්ම මත සිට අපේ ආචාරය පුද කරමු.
70 දශකයේ බදුලූපාර
අපේ මතකය මුල් ඇත්තේ 70 දශකයේ ය. එකල පේරාදෙණියෙන් පටන් ගත් විට නුවරඑළිය හරහා බදුල්ලට යනතුරු හැරෙන හැරෙන හැම වංගුවක්ම උඩින් හෝ යටින් ගලා ගිය සුපිරිසිදු දියදහරාවන් අපට මතකය. සුද්දා තේ වතු හැදුවේ නිකම්ම ගස් කපා තේ ඉන්දවා නොවේ. එකල අපි දකින දකින හැම තැනකම පස බේරාගන්නට ගල් වැටි සහ ගල් පඩි තනා තිබුණි. අනූව දශකයේ කඩුගන්නාව ආදී පෙදෙස් වල අක්කරය දෙක තිබූ අයද තම වතුවල එක්තරා ආකාරයක ගෙවතු වගාවක් ලෙස තේ වැවූහ. ඒවාට ගල් වැටි තබා ඉනිවැටකුදු නොතිබිණ. වැසි වසින විට අපි ඒ වතු වල ඇවිද ගියේ ලෙස්සන ගහේ ඇවිද යන්නාක් මෙනි. ඒ වන විට අප හිතුවේ දලූ කිලෝවක මිළ ගැන පමණය.
ආධාර, සම්මාදම් හා අපරාධයට නිසි දඬුවම් ලබාදීම
ශරීර සුවතාව ගැන ලියන ඕස්ට්‍රේලියානු බොලොග්කාරිණියකට එරෙහිව පෙඩරල් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු කිරීමට පසුගියදා ඕස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමෙන්තුව යටතේ පවතින වික්ටෝරියානු පාරිභෝගිය කටයුතු අධිකාරිය ක්‍රියාත්මක වූ බව නිවේදනය කරන ලදි. ඇය විසින් කර තිබුණේ තමන්ට සැබවින්ම නොතිබුණු රෝගයක්, වෛකල්පිත වෛද්‍යක්‍රම හරහා සුවකරගැනීම ගැන වැරදි හා ජනතාව නොමග යවනසුළු තොරතුරු දක්වා ආධාර හා සම්මාදම් ලබාගැනීම ය. ඇයගේ පොතක් ප්‍රකාශයට පත්කළ ප්‍රධාන පෙළේ ප්‍රකාශන ආයතනයට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගත්තේය. පාරිභෝගි ක කටයුතු පිළිබඳ ඇමතිනි ජේන් ගැරට්ට අනුව එම ආයතනය ඩොලර් 30,000 ක දඩයක් ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට එකඟ වී ඇත. එමෙන්ම එම ග්‍රන්ථය ප්‍රකාශ කිරීමද අත්හිටුවා ඇත. මෙවැනි වරදක් නැවත සිදු නොවීමට සියලූ ක්‍රියාමාර්ග ගන්නා ඕස්ට්‍රේලියානු නීතියට අපි හිස නමා ආචාර කරමු.
(ආධාර එකතු කරන අය >> ආධාර ලබා දෙන) ?
ඕස්ට්‍රේලියාවේ ඇතිවන ලැව්ගින්නකදී, ගංවතුර තත්ත්වයකදී හෝ වෙනත් ඕනෑම ස්වභාවික විපතකදී අපට ඉතා පහසුවෙන් ආධාර ලබා දිය හැකි පිළිගත හැකි ආයතන ඇත. කොටින්ම අප දන් දෙන ලේ බිඳක් ගැන පවා සහතිකයක් අපට ඇත. ඒවා යන එන තැන් ගැන හිතන්නට පවා අවශය නැත. කොටින්ම දෙන දෙයක් දී අත හැර දැමීම මෙහිදී අපට පහසුය. ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. එහේ විපතක් ඇති වූ කල්හි එහේත් මෙහේත් ආධාර එකතු කරන අපේ පිරිස ආධාර ලබා දෙන්නට සිටින පිරිසට වඩා වැඩි ද ? මෙය යහපත් ප්‍රවණතාවයක්ද නැතිනම් අයහපත් ප්‍රවණතාවයක්ද යන්න තේරුම් ගැනීමට තරමක් අපහසුය.
ඩ්‍රැයිවර්ගේ දක්ෂකම
එකල නුවර සිට බදුල්ලට ගියේ එක්කෝ නුවරඑළිය හරහාය. නැත්තම් දහඅට වංගුව ඔස්සේ මහියංගණය හරහා ය. පාරවල් අද මෙන් පළල් නැත. දහඅට වංගුවේ බසය පහළට ඇදෙන්නේ ඇන්ජිම කෑ ගසාගෙනය. එකල දෙපසට අදෙන බස් ලොරි මාරු වූ ක්‍රමය ඕස්ට්‍රේලියාවේ හැදෙන අපේ ළමයි සිහිනෙකිනිදු විශ්වාස නොකරන තරම්ය. එදා අපේ අම්මලාගේ මුවඟ නිතර රැඳුනු වදන් කිහිපයකි, “ඩ්‍රැයිවර්ගේ දක්ෂකම තමයි” යන්න.
සේෆ්ටි ෆස්ට් සහ ඉක්මන් කොටවන හැටි නොතේරීම
පසුගියදා ලංකාවට ගංවතුර ඇති වූ දින අපේ හිතවත් ලේඛක මහතෙක් කොළඹ සිට නුවර බලා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් ගමන් කර ඇත. ඔහු අපට දුම්රිය කඩුගන්නාව දුර්ගය පසුකළ හැටි විස්තර කළේ මෙසේ ය.
“අපි ‘බලන’ හරියෙන් එනකොට රේල් පාර යටින් වතුර ගලනවා. කෝච්චිය ඒ විදිහටම ආවා නම් කෝච්චියේ බරට පාර ගිලා බැහැලා අපි ඔක්කොම පල්ලෙහා හෙළට පෙරළෙනවා. ඒ වෙලාවේ කෝච්චියේ ඩ්‍රයිවර් හැමෝම කෝච්චියේ ඉස්සරහා පෙට්ටිවලට ගෙනල්ලා කෝච්චිය දෙකට ගැලෙව්වා…. මේක ඇත්තටම එක අතකට ඩ්‍රයිවර්ගේ දක්ෂකම කියලා කියන්නත් පුළුවන්….. ඊටපස්සේ පිටිපස්සේ එන්ජිම තිබ්බ කෑල්ල ආපහු පොල්ගහවෙලට යැව්වා. ඊළඟට අපි ඔක්කොවම කන්ද පැත්තට තියන සීට් පැත්තට කරලා ඉස්සරහා එන්ජිම තිබ්බ කෑල්ල විතරක් නුවරට ආවා…..” ඔහු තමන් ලැබූ ත්‍රාසජනක අත්දැකීම අපට විස්තර කළේ එසේය.
මේ කතාව ඇසූ මට මුලින්ම අපේ හිතවතා නුවර දක්වා පැමිණ තිබුණේ නගරාන්තර දුම්රියකින්ද නැතිනම් ගුවන්යානයකින්ද කියා සිතා ගැනීම අපහසු විය. දෙවනුව මට මෙසේ සිතිණ. ඕස්ට්‍රේලියාවේ දුම්රිය රියදුරෙක් මෙවැනි අවධානමක් ගත්තා නම් දුම්රිය නිරූපද්‍රිතව නුවරට පැමිණියද ඔහුගේ වැඩ තහනමට ලක්වීම අනිවාර්ය ය. එකී දුම්රිය රියදුරුගේ ක්‍රියාව වැරදී නොගියෙන් එහිදී ඔහු වීරයෙකු විය. මෙහිදී එවැනි හිතුමනාපයට ගන්නා තීරණයකින් විනාශයක් සිදුනොවුනද තමන්ගේත්, අන්අයගේත් ජීවිත අවධානමට ලක්කළ චෝදනාවෙන් ගැලවෙන්නට ඔහුට පුළුවන්කමක් නැත. ලංකාවේදී ඒ දුම්රිය රියදුරා වැඩතහනමට ලක්කළා නම් පසුදා පටන් සියලූ දුම්රිය රියදුරෝ වෛද්‍යවරු මෙන් වැඩවර්ජනය කරනු ඇත.
වැසිවතුර සහ මුට්ටි
එකල පදිකවේදිකාව සහ පාර පිරෙන තරමට වැසි වසින විට අපි කඩදාසි බෝට්ටු වැසිවතුරට දමා ඒ පසුපස දිව ගොස් ඉමහත් ආශ්වාදයක් ලැබුවෙමු. එනමුත් වහළයේ සිදුරු අතරින් ගේ තෙමෙන්න පටන්ගන්නා විට අතන මෙතන හට්ටි මුට්ටි තබන්නට අපට සිදුවෙයි.
ගංවතුර සහ විනෝද සමය
මෙකල ගංවතුර ගලන විට මෝටර් බෝට්ටුවලින් යන ඇමතිවරු ගංවතුරෙන් අනාථ වූවන්ට කෙසෙල් ගෙඩි ඛෙදති. එහි වරදක් නැත. වරද ඇත්තේ ගංවතුර එන්නටත් පෙර ආධාර ඛෙදන මලූවල උන්ගේ ඔලූ තිබීමය. ඒ විතරක් ද ?
මූණුපොතෙන් එහාට මෙහාට බෝට්ටු යවන්නට අණ දෙන, කෑම ඕඩර් දෙන, දීපු කෑම ඕඩර් අවලංගු කරන උගත් බුද්ධිමත් පිරිසක් බිහිව සිටීම ය. ඒ විතරක් ද ?
ඔවුන් සිතන්නේ රටකට පාලන තන්ත්‍රයක් අනවශ්‍ය ගාණටය! මූණු පොතෙන් සියල්ල කළ හැකිබවය! ඒ විතරක් ද ?

ආධාර එකතු කරන්නට බට ඇතැම් ස්වාමීන් වහන්සේලා වැඩියේ බුදුන් පවා නොවැඩි මල්පාවඩ මතිනි. මග දෙපස රැස්ව සිටියාවූ සුපින්වත්හු සාදුකාර දුන්හ. යූ ටියුබටයේ බණ දේශනා කරන විට දාන චන්ඩිපාට් අමතකව ගිය සේය. මලක මෙළෙක හඳුනන කුරා කුහුඹියෙකු පවා නොතලන මල් තලා තලා උන්වහන්සේලා ආධාර එකතු කළහ. ඒ විතරක්ද ?
තවත් බොහෝ දේ ඇත. ඒ ගැන පසුවට ලියමි.
මොළය හා මතකය
මිනිස් මොළයේ නියුරෝන බිලියනයක් ඇත. ඒ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන 1000 ක් සමග සබන්ධතා ගොඩනගා ගනී. ඒ අනුව මොළයේ ගොඩනගාගත හැකි සම්බන්ධතා ගණන ට්‍රිලියනයක් බව පැවසේ. යම් විදියකින් එක් නියුරෝනයකට තබා ගත හැක්කේ එක් මතකයක් පමණක් නම්, මතක ගබඩාව අයි පෝඩයක් හෝ යූඑස්බී එකක් මෙන් ඉතා ඉක්මණින්ම අවසන්ව යා හැකිව තිබුණි. එනමුත් නියුරෝන නියුරෝන අතර ඇති කරගන්නා සහසම්බන්ධතාවය නිසා මොළයේ මතක ගබඩාව ඛෙහෙවින් ඉහළ අගයක් ගනී. එය ආසන්න වශයෙන් පෙටාබයිට් (petabytes) 2.5 කි. නැතහොත් ගිගාබයිට් (gigabytes) මිලියනයකි. මේ අගය ගැන යම් කිසි වැටහීමක් ඇති කරගන්නට රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කරන වීඩියෝ රෙකෝඩරයක් නිදසුනක් ලෙස ගනිමු. ඒ අනුව පෙටාබයිට් 2.5 ක මතකයක් තුළ පැය මිලියන තුනක රූපවාහිනී වැඩසටහන් ගබඩා කළ හැකිය. තවත් සරළව කියනවා නම් මොළයේ මතක ගබඩාව අවසන් කිරීමට රූපවාහිනී යන්ත්‍රය වසර 300 කටත් වඩා නොකඩවා ධාවනය කළ යුතුය.
ගංවතුර හා නිදහස
තම රිසි පරිදි ගංඟව නිදහසේ ගලා යයි. එනමුත් ඉවුරු දෙක ගංවතුරට වැට බඳියි. එසේ නොවුනා නම් නිදහස කිසිදු පලප්‍රයෝජනයක් නැති දෙයක් විය හැකිව තිබුණි.
– විනෝබා බ්හේව්
අමතකවීම
පෙටාබයිට් දෙකයි දශම පහක පමණ මතක ගබඩාවක් තිබුණද, දැන් හැමෝටම නියගයක් තිබූ බව අමතකව ගොස් ඇත. දේශපාලකයා ගංවතුරටත් කලින් ආධාර ඛෙදන මලූ වල තම ඔලූ ගසා ගැනීමට උන්ගේ මොළෙන් එක බයිටයක්වත් වැය කළාදැයි අපි නොදනිමු. එහෙත් අපි එක් දෙයක් දනිමු. ජාතියක් හැටියට අපි එක මෙගා බයිටයක් නියමාකාරයෙන් ප්‍රයෝජනට ගත්තානම් මූදට හත්ගව්වක් තිබුණද අමුඩය ගසා ගැනීම නැණවත් බව වටහා ගන්නවා සත්ත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *