The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka.

අහිමි වන සොඳුරැ බව

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara)

අපගේ සංගීත උරුමය ගැන සොයාගෙන යනවිට ලැඛෙන තොරතුරු අපට අප කවුරුන්දැයි සොයාගත හැකි උල්පතක් වගෙයි. ඒත් වර්තමානයත්, අනාගතයත් දෙස බලන කොට මේ උල්පත සිඳී ඇතැයි මට හිතෙන වාර අනන්තයි.
කවුද අමරදේව කියන්නේ. වික්ටර් – සනත් – නන්දාමාලිනී – කේමදාස – ගාමිණී ෆොන්සේකා – මාලිනි – විජය – නිහාල්සිංහ – සුනිල් ආරියරත්න කවුද මේ ? මොනවද මේ අය කරල තියෙන දේවල් ?
මේ වගේ ප්‍රශ්න අනාගත පරපුර නොඇසුවොත් තමයි ප්‍රශ්නය. වර්තමානයේ කෑ මොර දෙන සුපිරි තරු සූකිරි බටිල්ලන් පවා දිනයකින් දෙකකින් අතීතයට ඇදී අමතකව යනවිට මා කලින් සඳහන් කළ අය කවර තැනක තැබිය යුතුදැයි මට නොතේරෙන දෙයයි.
සින්දුව, ගීතය, ගීය, ගේය කාව්‍යය ආදී වශයෙන් කවර අයුරකින් නම් කළත් අවසානයේ අර්ථ දැක්විය හැක්කේ සාහිත්‍යයේත් – සංගීතයේත් සුසංයෝගය හැටියටයි.
යක‍ෂ ගෝත්‍රික ජනතාවගේ පාලකයා වූ රාවණා රජු සමයේ අප රටේ ඉතා දියුණු සංගීත කලාවක් පැවති බවට සාක‍ෂි රාමායණය තුළින් සොයාගත හැක. රාවණා රජ මැදුරේ සෑම විටකම විවිධ සංගීත නාද පැවතුනු බව ද රාමායනය සඳහන් කරයි. වීනා වාදනයේ අතික‍ෂයෙකු වූ රාවනා රජු ලංකාධානී නම් රාගයේ නිර්මාතෘ වරයාය. රාවනාගේ ලංකා පුරයේ පරම හතුරා වූ ඉන්දියාවේද “රාවනා හස්ත්‍රීම්” නම් වූ තනි තතකින් හෝ තත් දෙකකින් වාදනය කළ හැකි වීණාවක් තිබේ.

The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka.

The Ravanahatha (variant names: ravanhatta, rawanhattha, ravanastron, ravana hasta veena) is an ancient bowed violin, once popular in Western India and Sri Lanka.

අපේ සංගීත ඉතිහාසය හා අපේ ඇත්තන්ගේ සංගීත ඥානය පිළිබඳව බොහෝ දේ සඳහන් කළ හැකි වුවත් මෙම ලිපියේ මූලික පරමාර්ථය එය නොවන නිසා එය පසුවට තබන්නම්.
තාක‍ෂණයත් සමග අප ඉදිරියට යා යුතුමය. ඒත් කවරදාකවත් අප තාක‍ෂණයේ වහලූන් නොවිය යුතු බව මගේ අදහසයි. ඒත් වත්මන් සංගීත නිර්මාණකරණයේ දී අපගේ ගායන ශිල්පීන් – සංගීත අධ්‍යක‍ෂවරුන් මුළුමනින්ම තාක‍ෂණයේ වහලූන් වී ඇති බව මගේ මතයයි. මා එසේ සඳහන් කරන්නේ මේ තාක‍ෂණය නිසා අපගේ සංගීත නිර්මාණවල සොඳුරු බව හා මිහිරි බව පලා යන බව මට පෙනෙන බැවිනි.
සංගීත භාණ්ඩ විවිධ කුල කීපයකට ඛෙදන බව සංගීතයේම සඳහන් වේ. සෑම නාදයක්ම උපදින්නේ කම්පනයකිනි. මෙම කම්පනය, වාතලේ – ජලයේ – තත්වල – ඝන ද්‍රව්‍යවල කම්පනයත් විය හැකිය. එහෙත් අද සංගීතයේ නාද උපදින්නේ මෙවන් කම්පනවලින් ද? අද ගායන ශිල්පීන් ශිල්පිනියන්ගේ හඬ පෞරුෂය බිහිවන්නේ උගුරේ ස්වරාලයේ ස්වර තන්තුවල කම්පනයකින් ද? මෙම ප්‍රශ්න දෙකටම දිය හැකි පිළිතුර වන්නේ “එහෙම නොවේ” කියා නොවේ ද?
මෙම නිර්මාණ කාර්යය අද මුළුමනින්ම පැවරී ඇත්තේ පරිගණක මෘදුකාංග වලටය.
යම් ගායන ශිල්පියෙකු හෝ ශිල්පිනියකගේ ගායනයේ දී නියම ස්වර සවන වලට යෑමට තරම් උනන්දුවක් ගැනීම අද අවශ්‍ය නොවේ. විවිධ පරිගණක මෘදුකාංගවල පිහිටෙන් මෙම වැරදි ස්වරස්ථාන නිවැරදි තැනට ඇදගත හැකිය.
99% ක්ම අද සංගීත නිර්මාණ බිහිවන්නේ පරිගණක මෘදුකාංග වලිනි. එහෙමත් නැතිනම් නූතන තාක‍ෂණයේ දියුණුවත් සමග නිර්මාණය වී ඇති ණැහ ඊද්රා එක මගිනි. මේ නිසා අපට නැතිවී යන භාණ්ඩ අපෙන් අමතකව යන භාණ්ඩ බොහෝ ගණනකි. මෙයට හේතුව මෙම භාණ්ඩවල හඬ මා සඳහන් කළ පරිගණක මෘදුකාංගවලින් නිර්මාණයකරගත හැකි වීමය.
වීනාව – සන්තූර් – සිතාර් – ජලතරංඟ – බටනලාව වැනි ඉතා මිහිරි වාදන කළ හැකි සංගීත භාණ්ඩ කීපයක්ම අද අපෙන් ඈත්ව ගොස් තිබේ.
පැරණි සංස්කෘතික ඉතිහාසයට අනුව තත් සියයක් ඇති වීනාව ශතතන්ත්‍රි වීනා යනුවෙන් සන්තූරය හඳුන්වා තිබේ. මෙම වීනාවට සන්තූර් යන නාම දී ඇත්තේ පර්සියානුවන් විසිනි. ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයේ – ශාස්ත්‍රීය ගායනවලට වාදනවලට සහාය භාණ්ඩයක් ලෙස සන්තූර් මුලින්ම වාදනය කර ඇති බව ඉතිහාසය දක්වයි. ඉන්දියාවේ මෙම සන්තූර් භාණ්ඩයට සමාන වූ භාණ්ඩ විවිධ රටවල විවිධ නම්වලින් හඳුන්වා ඇතත් මෙහි මුල් බිහිවීම ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයයි.
මගේ කලා දිවියේ ඉතාම මිහිරි හඬක් නිකුත්වන එක් භාණ්ඩයක් ලෙස තැන්පත් වී ඇත්තේ සන්තූර් භාණ්ඩයයි. මෙම භාණ්ඩය පටිගත කිරීමක් සඳහා යොදා ගැනීමේ දී ඇතිවූ එකම ගැටලූව සුසර කිරීමට (Tune) ගතවන කාලයයි. තත් 100 ක් හෝ 75 ක් ඇති මෙම භාණ්ඩයේ සෑම තතක්ම සුසර කිරීමට කාලයක් ගත වේ. ගීතය හෝ සංගීතය පටිගත කරන්නට බොහෝ වේලාවකට කලින් සන්තූර් වාදන ශිල්පියා තම භාණ්ඩය සුසර කරන්නට පටන් ගනී. ඒත් අද මේ භාණ්ඩයේ හඬ පරිගණක තාක‍ෂණයේ Key Board එකෙන් සොරකම් කරගෙන තිබේ. සුසර කරන්නට කාලය ගතවන්නේ නැත. අවශ්‍ය වන්නේ පරිගණක මෘදුකාංගයේ Santhur යන වචනය Click කිරීම පමණි. එවිට පරිගණකය අපට ලබාදෙන්නේ සන්තූර් භාණ්ඩයේ හඬයි.
ඉතින් නියම සන්තූර් භාණ්ඩය කුමකට ද? අද සන්තූර් වාදන භාණ්ඩය පිළිබඳව සංගීත විද්‍යාලයක දී හෝ ඉගෙන ගන්නා සිසුන් විරලය. ශාස්ත්‍රීය ගායනයක දී හෝ වාදනයක දී හැරුනු විට මෙම භාණ්ඩය යොදා ගන්නේ ද නැත. පටිගත කිරීමකට යොදා නොගැනීම නිසා මෙම භාණ්ඩය වාදනය කිරීමට ඉගෙන ගන්නවාට වඩා පරිගණක මෘදුකාංගය හැසිරවීමට ඉගෙන ගත්විට මුදලක් උපයාගත හැකිය.
එසේම සංස්කෘත භාෂාවෙන් ජලතන්ත්‍රි වීනා ලෙස හඳුන්වන්නේ ජලතරංග නම් වූ භාණ්ඩයයි. ජලය යොදාගෙන සුසර කරනා එකම භාණ්ඩය මෙම ජල තරංඟයයි.
හිස් වූ බඳුනකට ලීපටියකින් තට්ටු කිරීමේ දී යම් නාදයක් උපදී. මෙම බඳුනට ජලය ස්වල්පයක් දමා එලෙසම තට්ටු කළවිට නාදය වෙනස්වෙයි. ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් විවිධ කරමින් බඳුනට තට්ටු කළ විට නාදයේ වෙනස්වීම අපට අවබෝධකරගත හැක.
ජල තරංඟ වාදනය සඳහා විවිධ පරිමානයේ පෝසිලේන් බඳුන් 15-24 ප්‍රමාණයක් යොදා ගනී. උච්ච තාරතාව සඳහා කුඩා බඳුන් ද, මධ්‍ය තාරතාව සඳහා මධ්‍යම පරිමාණයේ බඳුන් ද, පහළ තාරතාව සඳහා විශාල බඳුන් ද යොදා ගැනේ. බඳුන් තබන්නේ විරල ලී වර්ගයකින් තැනූ පුවරුවක් මතය. ඇතැම් විට එක් බඳුන සඳහා එක් පුවරුවක් බැගින් ද යොදා ගනී. බඳුනේ ගැට්ටට තට්ටු කිරීම සඳහා වේවැල්වලින් සැදූ කෝටු දෙකක් භාවිත කරයි. වාදනය කිරීමේ දී විසිරෙන ජලය මෙම ලී පුවරුව මගින් උරා ගැනීම සිදුවුවත් භාණ්ඩයේ හඬට බලපෑමක් නොවීම මෙම ලී වර්ගයේ විශේෂත්වයයි. මෙම භාණ්ඩ සුසර කිරීමට ද කාලයක් ගත වේ. බඳුන්වල ජල ප්‍රමාණය වෙනස් කරමින් නියමිත ස්වරය මතුකර ගැනීම සිදුකරයි. මෙම ජල තරංඟ වාදනය පටිගත කිරීම්වලට යොදා ගැනීමේ දී මතුවන ගැටලූ කීපයක් ඇත. කාමරයේ ජල වාෂ්ප ප්‍රමාණය අනුව බඳුන්වල ජලය වාෂ්ප වී යයි. වායු සමීකරණය කළ පටිගත කිරීමේ මැදිරියක දී නැතිනම් උණුසුම් ශාලාවක දී මෙම ජලය වාෂ්පවීම ප්‍රශ්නයක් වෙයි. වාදනය කරන අතරතුරේ දී ඇතැම් විට පටිගත කිරීම නතර කොට බඳුන්වල ජල මට්ටම් වෙනස්කර ගැනීම සිදුකළ යුතු වේ. මෙය පටිගත කිරීම්වල දී කාලය ගතවන දෙයකි. බොහෝ විට මෙම ප්‍රමාදයෙන් මැදිරියේ ගාස්තු මීටරය ඉහළ යයි. සංගීත පටිගත කිරීම්වල දී මෙම භාණ්ඩය ඉවත්වීම මුදල විසින් කළ දෙයක් දැයි මට සිතේ. මෙම භාණ්ඩය වාදනය කළ හැකි අයෙකු අප රටෙහි සොයා ගැනීමට ද අපහසුය. ඒත් පරිගණක මෘදුකාංගයෙන් නම් මෙම භාණ්ඩය වාදනය කළ හැකි සිය දහස් ගණනක් සොයාගත හැකිය.
මෙවන් බොහෝ භාණ්ඩවල නාදය අද Key Board එකෙන් අයිතිකරගෙන තිබේ. ශාස්ත්‍රීය ගායනයේ දී එකල වාදනයට ගැනුනු තාම්පුරුව අද කුඩා විද්‍යුත් පෙට්ටියක් බවට පත්ව ඇත. එසේත් නැතිනම් Smart Phone එකක App එකක් බවට පත්ව ඇත. මේ බව මා දුටුවේ Aukland නගරයේ පැවති ඉන්දීය ගායන ශිල්පිනියකගේ ප්‍රසංගයකදීය. ඇයට අවශ්‍ය වූයේ තබ්ලා වාදන ශිල්පියෙකු, ණැහ ඊද්රා ශිල්පියෙකු පමණි. තාම්පුරුව වෙනුවට ඇයගේ i-Phone එකෙන් තාම්පුරා නාදය ලබාගත්තා.
සහය සන්තූර් නාදය – සිතාර් නාදය වයලීනය, බටනලාව Key Board එකට භාර දී තිබුණා. මෙම ප්‍රසංගය කැමරා කරණය කරන්නට නොගියානම් මුල්ම ගීතයේ දී මා ශාලාවෙන් පිටතට එනු ඒකාන්තයි. දැනටමත් අපි පරිගණක බවට පත්වෙලා ඉදිරියේ දී අපට ඉතුරු වන්නේ  i-Phone App විතරයි. මේවා නැතුව කැකුළු හාලේ බත් ටිකක් කරවල බැඳුමක් පොල් සම්බෝලයක්, කිරිහොද්දක් එක්ක බත් වේලක් කන්නට වෙන්නේ නෑ. මන්ද මේවා හදන හැටි අපේ කාන්තාවන්ට අනාගතයේ දී බලන්නට වෙන්නේ App එකකින් නිසා.
රූපවාහිනී ගුවන්විදුලි නාලිකා වැසී යාවි. එකම නාලිකාව වෙන්නේ අන්තර් ජාලයයි. බණ අහන්නට පන්සලකට යන්නට ඕන වෙන්නේ නෑ. බණ App ඕනෑ තරම් තියනවා. කොටින්ම කිව්වොත් නිවන් දකින්නට හෝ ස්වර්ගයට යන්නට App එකක් නිර්මාණය කරාවි.
එදා ගුවන් විදුලියේ තිබූ ජල තරඟ භාජන බිඳී ගිහින්. ඇතැම් බඳුන් රෙදි මල්ලක දාලා ගැට ගහලා මුල්ලක තනිවෙලා. මුලින්ම විදුලි ඕගනයක් ගුවන් විදුලි පටිගත කිරීමට ගෙන එන්නට උත්සාහ කළ වික්ටර් රත්නායකයන්ට එම භාණ්ඩය ඇතුළට ගෙන ඒම පවා තහනම් කළා. අන්තිමේ දී යොදා ගන්නා සංගීත ඛණ්ඩය කුමක්දැයි පහදා දීමෙන් පසුවයි එම භාණ්ඩය සංස්ථාව තුළට ගන්නට අවසර ලැබුණේ.
අද සංස්ථාව සතුව නවීන පන්නයේ විදුලි ඕගනයක් තිඛෙනවා. සත් සමුදුර තේමා ගීතය පටිගත කරන්නට යොදාගත් සංගීත ශිල්පීන් ස්ථානගත කරන්නට එම මැදිරියේ ඉඩ තිබුණේ නැති බව මගේ එක් ගුරුවරයෙකු වූ ලාල් දිසානායක මහතා මා සමග පැවසුවා. සංගීත ශිල්පී ජගත් වික්‍රමසිංහ මෙම ගීතයේ අනුවාදනය තම Key Board එකෙන් තනිවම වාදනය කළා. ගායන ශිල්පීන්ගේ හඬ පවා ගත්තේ Key Board එකෙන්. සත්සමුදුර නිර්මාණය වුණේ 60 දශකයේ.
ජගත් වික්‍රමසිංහයන් ගීතයේ අනුවාදනය නිර්මාණය කළේ 80 දශකයේ දී 2020 වනවිට වාදන ශිල්පීන් හැම කෙනෙකුටම තමන්ගේ ප්‍රවීණතාව ලබාගත් භාණ්ඩය මුල්ලකට දමා Key Board එකත් පරිගණක මෘදුකාංග ගැනත් ඉගන ගන්නට වේවි. මේ භාණ්ඩ මුලූගැන්වන්නේ මිහිරියාවත් එක්ක නොවේ ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *