කුකුල් ප්‍රාණය

ඩබ්ලිව්. එච්. උපෙස්න විසිනි (by W. H. Upasana)

ඔහු මාරාන්තික රෝගයකින් පෙළෙන බව දැනගත් විට අප සැවොම කම්පාවට පත්වීමු. ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මගේද මිතුරෙක් විය. රෝග විනිශ්චය ලියා තිබුණේ රතු තීන්ත වලනි. එහි තේරුම නම් තව දුරටත් ප්‍රතිකාර කිරීමෙන් පලක් නැති බවය. මගේ මිතුරා ඇතුළු සෙසු වෛද්‍ය වරුන්ගේ නිගමනය වී තිබුණේ රෝගියා වසරකට වඩා ජීවත් නොවන බවයි.
එහෙත් නෑදෑයෝ මේ මතය පිළිගන්නට සුදානම් නොවුහ. ඔවුන්ගෙන් වාසි හා ප්‍රයෝජන ලබා ගන්නට කට්ටන්ඩියන්, හොර ශාස්ත්‍ර කරුවන්, හොර ගොඩ වෙදුන්, දිවයින පුරාම සැදී පැහැදී සිටියහ. මොවුන්ගේ ගුරු හරුකම් හා ප්‍රතිකාර පිළිපැදීම නිසා අප රෝගියාගේ විඳවීම තව තවත් වැඩි විය.
කලා උපාධිධාරියකු වූ මම මේ මතය අනුව හිත හදා ගෙන රෝගියාට උවැටන් කිරීමට සූදානම් වුවද විද්‍යා පසුබිමක් තිබූ සෙසු නෑදෑයෝ ඔහු කෙරේ තිබූ භාවාත්මක බැඳීම නිසාදෝ මේ වෛද්‍ය මතය නොසකලකා හැර කටයුතු කරන්නට වුහ. මටද නොකැමැත්තෙන් මෙන් මේ බහුතර මතයට හිස නමන්නට සිදු විය. තාර්කිකව කටයුතු කරන්නට ගොස් පවුල් සම්බන්දකම් වලට හානි කර ගැනීමට කැමැත්තක් මා තුළ නොවීය.
මේ අනුව අතිශය අතාර්කික වූ ගොඩ වෙදකම් හා යකදුරන්ගේ බලි හා ශාන්තිකර්ම විඳගනිමින් රෝගියා ද ජීවිතය කෙරේ බලාපොරොත්තු ඇති කරගත්තේය.
මෙවන් එක් අවස්ථාවකදී එක ශාස්ත්‍රකරුවෙකු පවසා තිබුනේ ප්‍රාණයට ප්‍රාණයක් නිදහස් කළොත් රෝගියාව සුවපත් කළ හැකි බවයි. වඩාත්ම සුදුසු හරකෙක් නිදහස් කිරීම වුවත්, ඒ කාර්යයේ සංකීරණ බව හා වියදම් පක්ෂය සලකා කුකුලෙකු නිදහස් කිරීමට මගේ බිරිඳ තීරණය කළාය. කුකුළා නිදහස් කර ගෙන ඒමේ භාර ධූර කාර්යය මට පැවරිණි.
ඔබටත් මතක ඇති පරිදි, පිටකොටුව මැනිං මාර්කැට්ටුව පිටුපස සිට දිවවිත් කොටුව දුම්රිය පොළ අසලදී ඕල්කොට් මාවතට සම්බන්ධවන පාර අග්ගිස්සේ තිබුණු කුකුල් මස් කඩයකින් මගේ අභිමත කුකුළා මිලදී ගැනීමට තීරණය කළෙමි. මෙයින් එක කඩයක තිබූ කුකුල් කූඩුවක හිර කර සිටි කුකුළන් අතර සිය කරමලයත් හිසත් අමාරුවෙන් රුවා ගෙන සිටි එකෙකු වෙත මගේ උනන්දුව යොමු විය. මගේ අනුකම්පාව දිනාගත්තේ ඌ සිටි අපහසු ඉරියව්වය.
මගේ අසාමාන්‍ය උනදුවත්, ඌව නිදහස් කර ගැනීමේ පරමාර්ථයත් දැනගත් වෙළෙන්දා කුකුළාගේ ලන්සුව ඉහළ දැම්මේය. අවසානාය් ඔහු ඉල්ලූ මුදලකින් අඩුකර ගත හැකි වුයේ රුපියල් පහක් පමණි. ඒ අතර වාරයේ ඔහු දාර්ශනිකයෙකු බවට පත්විය.
“ජීවිතයකට මිලක් නියම කරන්න බැහැ මහත්තය….”
කුකුළෙකු පණපිටින් ගෙනයාමේ පළපුරුද්දක් මට නැති බව වටහා ගත් වෙළෙන්දා විශාල බ්‍රවුන් පේපර් බැගයක ඌව හිඳුවා එහි කට රෝල් කොට ගැටයක් ගැසුවේ හුස්ම ගැනීමට සිදුරක් ද තබමිනි.
“මට මේ විදියට මූව පණපිටින් හෝමාගමට බස් එකේ ගෙනියගන්නට පුළුවන් වෙයිද……?”
මගේ බොළඳ ප්‍රශ්නයට ඔහුට සිනා නොවී සිටිය නොහැකි විය.
“පාරණයකට ගැරන්ට් කරන්න බැහැනේ. පරිස්සමින් කල්පනාවෙන් ගෙනියන්න….”
සවස තුන පමණ වූ නිසා එය මගීන් අඩු වෙලාවක් විය. එකල හෝමාගම – පිටකොටුව අතර ධාවනය වූ රෝසා වර්ගයේ කුඩා බසයකට ගොඩ වූ මම පිටිපස අසුනේ සාමානයෙන් පෙම්වතුන් තෝරා ගන්නා කොණක කුකුළා සමග හිඳ ගතිමි. අතරමග ටවුන් හෝල් එකේදී හෝ යුනියන් ප්ලේස් එකේදී සෙනඟ වැඩි වූ විට කුකුළා කලබල වී මල්ලෙන් එළියට පැන්නොත් යන බිය මගේ සිත තුළ නිතරම හොල්මන් කළේය. මේ බිය වැඩිවන හැමවිටම මම කළේ බෑගයේ කට තවත් තදින් මිරිකා ගැනීමයි.
මේ කාලයේ තිබූ බස්වල බෝම්බ තර්ජනයද මගේ අභියෝගය තව තවත් බැරෑරුම් කළේය. තවද ඒ කාලයේ මගේ මුහුණේ මගේ කැමැත්තක්ද නොමැතිව පිහිටා තිබූ ත්‍රස්තවාදී පෙනුමද ණයට ඉල්ලන් කෑමේ අවදානම වඩාත් වැඩි කළේය. ප්‍රාණයක් නිදහස් කිරීමට කුකුළෙකු ගෙනයන කතාව බේගලයක් යැයි කපුවෙකු පවා සිතූ කාලයකි, එය. කෞතුකාගාරය අසලදී ඉස්කෝලේ යන කොල්ලෝ කුරුට්ටන් රැලක් බසයට ගොඩවැදුනු විට මට හීන් දහදිය දැම්මේය.
වලක දෙකක බසය වැටුණු විට හා බ්රේක් පාරවල් දෙක තුනක් ගසන විට සතා දඟලන්නට හැදු විට මම කළේ බැගය මදක් ඉහළට ඔසවා බසයේ තට්ටුවේ මදක් හය්යෙන් හිඳු වීමය. එය යම් දුරකට කුකුළා නිහඬ කරන්නට සමත් වූ බව මට දැනුනි.
කෙසේ වෙතත් මම කලින් නොහිතූ ගැටළුවක් වූයේ, බසයේ කොන්දොස්තර වරයා මෙබඳු අවස්ථාවකදී සමනය කර ගැනීමය. මම වරක් එක නවාතැනක සිට තවත් නවාතැනකට මාරු වීමේදී බිම තමන ඇඳුම් රාක්කයක් ගෙනයාමේදී බසයේ කොන්දොස්තරවරයා ඊට විරෝධය පෑවේය.
“ඕක මේ සෙනඟ ගොඩේ ගෙනියන්න බැහැ. බහින්න.. බහින්න..”
රෑ බෝවී තිබුණු බැවින් රාක්කය ගෙන ආපසු බසයෙන් බසින විට මගේ මුහුණේ ලියැවී තිබුණු දොම්නස තේරුම් ගත නිසාදෝ එදා බසයේ පිටුපස අසුනේ සිට මා දෙස අවධානයෙන් බලා හුන් ඒ තරුණ පෙම් යුවළ මගේ පිහිටට ආහ.
“මල්ලි ඔයා නගින්න. අපි ඕක ජනේලයට පිටින් අල්ලාගෙන යන්නම්….”
කොන්දොස්තර වරයාගේ රැවුම් මැද මම රාක්කය ඔවුන්ට ඔසවා දී බසයට ගොඩ වුනෙමි. ඔව්හු පෙම් කිරීම නවතා මගේ ඇඳුම් රාක්කය කිරිබත්ගොඩ හන්දිය දක්වාම ගෙනගොස් දුන්හ. අදෝමයි æ මේ බසයේ මගේ පිහිටට එවන් තරුණ ජෝඩුවක් තබා නාකි ජෝඩුවක්වත් නොවීය.
මගේ ඇඟට ලේ ඉනුවේ හෝමාගම බස් නැවතුම පෙනෙන මානයේ තිඛෙන ඛෙල්ල කපපු හන්දිය පසු කරන විටදීය. මල්ලෙන් එලියට නොපැන සිටීම ගැන කුකුළාට සිතින් තුති පිදු මම වහාම නගරය අසල තිඛෙන නිවසක නවත්වා තිබු මගේ මොටර් සයිකලයේ ඌවද නංවා ගෙන නිවස බලා ගියෙමි.
දින දෙකක කාලයක් නිවසේ රඳවා සිටි කුකුළා අදාල දේවාලයට බාර දෙන ලදී. මගේ කුතුහලය හා සැකය දනවන කාරණාවක් වුයේ, මේ දේවාල බිමේ අප කුකුළා හැර වෙන කුකුලෙකු දක්නට නොලැබීමයි. “හා හා ….ඕව ගැන සැක සංකා උපදවන්න නරකයි පුතා…” මගේ නැන්දම්මා කීවාය. “දෙයියන්ට භාර වුනු දේ උන්නසේටයි…..”
ඉන්පසු සතියක් දෙකක් ගිය තැන දේවාලයේ කපුවා මට කුකුල් මස් කඩයක් ළඟදී හමු විය. ඔහු වෙළෙන්දා සමග කිසියම් ගනුදෙනුවක් ගැන කතාකරන සෙයක් මට දැනුනේ එක්කෝ මගේ සැකය ඔහු වෙත එල්ල වූ නිසා යැයි ඇතැම් විට සිතෙයි. හැබැයි, ඔහුගේ කටින් වහනය වුයේ, මත් පැන් ගඳ බව නම් මට හොඳටම ෂුවර්ය.
මට මේ කුකුල් සිද්ධිය මතකයට නැගුනේ ගියවර ලංකාවට ගිය විට දළදා මාලිගාව අසල තිඛෙන දේවාල බිමෙක කොට කොටා ඇහිද කමින් සිටි පින්වත් කුකුල් රංචුවක් දැකීමෙනි. කවර හෝ හේතු කාරණා වෙනුවෙන් බැතිමතුන් විසින් භාර දෙන ලද මේ සතුන් සිය ආයු කාලය දික් කරගෙන සිටයහ. එසේ නොවිණි නම්, ඊට ඔබ්බේම තිඛෙන අවන් හලක පිසෙන චිකන් බුරියානි එකකට සම්මාදම් වීමට මේ සතුන්ට හොඳටම අවකාශ තිබුණි. කතරගම හා සෙල්ල කතරගම අසලින් ගලා යන මැණික් ගෙ`ග් තිඛෙන වතුරට දරාගත නොහැකි තරම් මසුන් රෑන් සිටීමට හේතුවත් මේ දේව භක්තිය මිස අන් කවරක්ද?
ඉතින් අපේ රෝගියා මේ කුකුල් පාරණයේ හෝ වෙනත් ගොඩ වෙදකම් හෝ බලි තොවිල් අනුහසින් ජීවත් වුයේ වෛද්‍යවරු නිගමනය කල කාලයට වඩා දෙමසක් පමණි. ඒ කාලය පුරාවටම ඔහු ඉසිලිය නොහැකි තරම් දුක් වින්දේය. එහෙත් ඔහු මා ගෙන ආ කුකුළා සිය නිවසේ අහුලා කමින් රැඳී සිටි දෙදින තුළ ඌ දෙස බලමින් තමා වෙනුවෙන් ප්‍රාණයක් නිදහස් කළැයි සිතා සතුටුවෙමින් සිටි අයුරු මට කිසි විටක අමතක නොවේ. අදේවවාදියකු යයි කියා ගන්නා නමුදු ආගම නැමති මංජුසාවෙන් වැගිරෙන භක්තිය නමැති අබින් වලින් ඕනෑම මිනිස් සන්තානයක් ලබා ගන්නා මානසික සුවය කිසිසේත් ලඝු කොට නොසලකමි. මට වැළඳී තිඛෙන මානසික ව්‍යාධිය නම්, මගේ බුද්ධිය (මා සිතා ගෙන සිටින පරිදි) මේ භක්තියට නිරන්තරයෙන් කෙනෙහිලි කිරීමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *