පින, ප්‍රතික්‍රීයකරණය සහ කර්මය

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

ඉගෙනීම යනු කටපාඩම් කිරීම නොවේ. කටපාඩම් කළ පමණින් අපි දැනුම් තේරුම් ඇත්තන්ද නොවෙමු. ඒ හැමටම වඩා අපට සම්මුඛ වන වැඩිමනත් දැනුම් තේරුම් ඇත්තන්ගේ දැනුම බොහෝ විට ප්‍රායෝගික තලයේදී ක්‍රියාත්මක වන්නේ නොදරුවන්ගේ මට්ටමකිනි. ඉගෙන ගෙන කටපාඩම් කර ගත් නොයේක් කරුණු වලින් අපේ ජීවිත වලට අවැඩක් සිදු වී නැති බව සැබෑ ය. එහෙත් උගත් කරුණු වලින් එපිටට නොසිතීම නිසා එක් අතෙකින් අපි උගත් කරුණු වලින් අපේම මනස සිරගත කරගමු. අනෙක් අතින් දැන උගත් කරුණු විවෘත මනසකින් පරිහරණය නොකිරීමෙන් නොදැනුවත්වම අපේ අතින් පරිසරයටත්, අනෙකුත් ජීවීන්ටත් සිදුවන හානියද සුළුපටු නොවේ.

“කෑම කෑමෙන් පසුව අත සහ පිඟාන සෝදා ඉවතට හලන ඉඳුල් වතුර ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියා පතමින් ඉවතට විසි කරන්න. සිතාගැනීමට පවා නොහැකි අති විශාල කුසල් සම්භාරයක් දිට්ඨධම්මවේදනීය කුසල කර්මයක් වශයෙන් තමා පසුපස හඹා එන සෙවණැල්ල මෙන් ඔබ කරා හඹා එනු ඇත. මුළු දිවියම සමෘද්ධිමත් ලෙස ඔබටත්, ඔබේ පවුලේ අයටත් ගත කිරීමට හැකි වනු ඇත. දීර්ඝායුශ ලැඛෙනු ඇත. නිරෝගී සුවය, ප්‍රඥාව ඇතුළු මහත්ඵල මහානිසංස සමග ධනයද ඔබ වෙත අනිවාර්යයෙන්ම ළඟා වනු ඇත.”
ඉහත දැක්වූයේ ධර්ම දේශනා වලට සවන් දීමෙන්, දහම් පොත පත කියවීමෙන් සහ නොයේක් අය සමග සාකච්ඡා කිරීමෙන් අපේ සිතිවිලි සහ දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි බලපෑමක් ඇති කළ අදහසක සාරාංශයකි. දැනුම් තේරුම් ඇති දා පටන් අපට අසන්නට ලැබුණු ඒ අදහස ගැන අදටත් අප තුළ ඇත්තේ සුභවාදී ආකල්පයකි. එහෙත් පසු කාලීනව ඉතිරි වූ බත් ඇටය පවා සතෙකුට ආහාර වේවා යි සිතමින් ඉවතට විසි කරන විට අප තුළ ඇති වූ පුන්‍ය චේතනාව කෙබඳු වන්නට ඇත් ද ? මා සම්බන්ධව නම් එය හුදෙක් තවත් එක් යාන්ත්‍රික ක්‍රියාවලියක් පමණක් වූ වා යැයි පැවසීම නිවැරදි ය. අප තුළ ක්‍රිරයාත්මක වන්නට යෙදුනු මෙම යාන්ත්‍රික පින් රැස්කිරීම ගැන ගැඹුරින් කල්පනා කිරීමට සිතුණේ අප විසින් නිතර නිතර රැස්කරගන්නා යාන්ත්‍රික පව් නිසා ය.
කලක් මා ඕස්ට්‍රේලියාවේ සේවය කළ ආයතනයක ඉවතලනු ලබන ප්‍රතිචක්ක්‍රීයකරණය කළ හැකි දෑ නිවැරදි ලෙස බැහැර කිරීමට කටයුතු කිරීමද මගේ රාජකාරියේම කොටසක් විය. ඒ නිසාම කුණු කසළ මෙන්ම ප්‍රතිචක්ක්‍රීයකරණය කළ හැකි දෑ ප්‍රවාහනය කරන රියදුරන් කීප දෙනෙක් සමඟම සමීපව ඇසුරු කරන්නට අපට අවස්ථාව ලැබුණි. අනෙක් රාජකාරිවලදී මෙන් නොව මෙවැනි බර වැඩ වලට නිතරම ආවේ ගියේ සුදු ඕස්ට්‍රේලියානුවන් ය.
මේ අතර දිනක් එක් මහලූ කාන්තාවක අප කරා පැමිණියේ පරණ බැටරි දමා තිබුණු බෑගයක් අතැතිව ය. ඇය අපෙන් විමසා සිටියේ එම බැටරි ඉවතලෑම පිණිස සුදුසුම තැන කුමක්ද කියා ය. මට හිතන්නට දෙයක් නැත. මම ඇයට එක එල්ලේම පිළිතුරු දුන්නෙමි.
“ගාබේජ් බින් එකට දාන්න.”
ඇය මොහොතක් දවා අළු කරන බැල්මක් මවෙත හෙළා මට පිටුපා ගස්සාගෙන ගියේ මුවින් වචනයකුදු නොදොඩා ය. ඊළඟට ඇය කෙළින්ම ගියේ ආයතනයේ කළමනාකාරු වෙතය. මගෙන් ඇසූ ප්‍රශ්නය ඇය එයාකාරයෙන්ම කළමණාකරුගෙන්ද විමසා සිටියා ය. ඔහුගේ පිළිතුර ප්‍රායෝගික මතු නොව හෘද්‍යාංගම එකක්ද විය.
“ඔබ මේ ගැන කරදර වෙන්න එපා. අපේ කවුන්සිල් එකේ පරණ බැට්රි, ටෙලිපෝන් වගේ දේවල් එකතු කරන තැනක් තියෙනවා. මම එතෙන්ට ගිහින් දාන්නම්.”
මහළු කාන්තාවට එයාකාරයෙන් පැවසූ ඔහු සිය දෝතින්ම ඇය අතේ තිබුණු කිලෝ එකක් හෝ දෙකක් පමණ බරැති බැටරි මල්ල ගත්තේ ය. මහළු කාන්තාව අතිශ්‍ය සතුටට පත් වූ අයුරු මම ඇගේ මුහුණින් දුටුවෙමි. කළමණාකරුට නොසෑහෙන්නට ස්තූති කළ ඇය ඉවතට යන අතර මා දෙසද බැලීමට අමතක නොකලාය. ඒ, ඉවතලන දෙයක් දෙස බලන අයුරිනි.
ඇය එදා මවෙත හෙළූ එම බැල්ම නිසාම ඕස්ට්‍රේලියානුවන්ගේ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියා දාමයන් ගැන හොයා බලන්නට මම තරයේ අදිටන් කර ගත්තෙමි. ඊට අනුරූපව විවිධ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කරන්නට ඕස්ට්‍රේලියාවේ පවතින පහසුකම් හා ඒ වෙනුවෙන් ඔවුන් දරන්නා වූ වෑයම ගැන දල අදහසක් ලබා ගන්නට අපට හැකිවිය. මගේ ඇඟ කිලිපොලා ගියේ අපට හැකි දේ පවා ප්‍රතිචක්‍රීය නොකිරීමෙන් පරිසරයට අප විසින් සිදුකරණු ලබන හානිය කෙතරම්ද යන කාරණය තේරුම් යාමත් සමග ය. යකඩ සහ ඇලූමීනියම්, කාඩ්බෝඩ් සහ පත්තර, ප්ලාස්ටික්, වීදුරු, ෆ්ලෝරසන් සහ අනෙකුත් විදුලි ලාම්පු, ඉලෙක්ට්‍රෝනික් අපද්‍රව්‍ය සහ බැටරි යනාදිය ප්‍රතිචක්‍රීය කළ යුත්තේ ඇයිද යන කාරණා කතාකරන්නට මෙම ලිපිය ප්‍රමාණවත් නොවේ. එබැවින් මෙවැනි ලිපියක් ලිවීමට පාදක වූ බැටරි ගැනත්, ෆ්ලෝරසන් බල්බ ගැනත් කෙටි සටහනක් තබමු.
වසර 2012 කරන ලද සමීක්ෂණයකට අනුව ඕස්ට්‍රේලියානුවෝ වසරකට බැටරි මිලියන 350 ක් මිළදී ගනිති. ඉන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් කිසිදු ප්‍රතිචක්‍ර ක්‍රියාදාමයකට භාජනය නොවී ඉඩම් ගොඩකිරීම් ආදියට යොදා ගැනෙන බවද එම වර්තාවේම සඳහන්ව තිබුණි. එය එතරම්ම අතිභයානක අන්තරාදායක අපද්‍රව්‍යක් වන්නේ කෙසේ ද ?
බැටරි නිපදවන්නට භාවිතා කරන කැඩ්මියම්, නිකල්, මර්කරි (රසදිය) සහ ඊයම් මිනිසුන්ටත්, පරිසරයේ ජීවත් වන සතුන්ටත් විෂ (Toxic) ද්‍රව්‍ය වේ. වගවිභාගයක් නැතිව මර්කරි අඩංගු බැටරි සහ ෆ්ලොරසන් බල්බ ඉවතලෑම නිසා ආහාර දාමයන් පවා කෙළෙසී යයි. නිදසුනක් ලෙස අද වනවිට මිනිසා පරිභෝජනය කරන මුහුදු මසුන් තුළ පවා මර්කරි අන්තර්ගතව පවතී. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වසරකට ප්‍රතිචක්‍රකරණය නොකර බැහැර කරනු ලබන ෆ්ලෝරසන් බල්බ ගණන මිලියන 50 ත් 60 ත් අතර වන බවද පැවසේ.
මෝටර් රථ බැටරි වලින් සියයට 98 ක් නැවත ප්‍රතිචක්‍රකරණය කළ හැකිය. ලෙඩ් ඇසිඩ් බැටරි වලින් ලෙඩ් හෙවත් ඊයම් ඉවත් කර ගැනීම ලෝපස් වලින් ඊයම් ලබා ගැනීමට වඩා පහසුය. සෑම මෝටර් රථ බැටරියකින්ම සල්පියුරික් අම්ල ලීටර් දෙකත්, තුනක් අතර ප්‍රමාණයක් ලබා ගත හැකිය. ඒවායින් සෝඩියම් සල්ෆේට් නිපදවා ගත හැකිය. සෝඩියම් සල්ෆේට් වලින් ඩිටර්ජන්ට් නොහොත් කුණු ඉවත්කරන ද්‍රාවණ, වීදුරු සහ රෙදිපිළි නිපදවා ගැනීමට පුළුවන. ඉවතලන බැටරි වලින් ලබා ගන්නා නිකල්, මළ නොබඳින වානේ නිපදවීමට භාවිතයට ගැනීමට පුළුවන. එමෙන්ම බැටරි ප්‍රතිචක්‍රකරණය කර ලබා ගන්නා අනෙකුත් ද්‍රව්‍ය මගින් අලූත් බැටරි, පොහොර, කුණු කූඩ  සහ මල් පෝච්චි වැනි දෑ නිපදවා ගැනීමටද පුළුවන.
වසර 2012 දී පමණ භාවිතා කළ එක් පරිගණක යන්ත්‍රයක් නිපදවීමේදී විවිධ රසායන ද්‍රව්‍ය කිලෝ 22 ක්, ජලය කිලෝග්‍රෑම් 1500 ක්, ඉන්ධන කිලෝ 240 ක් භාවිතා වූ බව www.SITA.com.au වෙබ් අඩවිය නිරීක්ෂණ වාර්ථා පදනම් කරගෙන සඳහන් කරයි.
මේ සියලූ කරුණු සොයා බලාගෙන යනවිට ඕස්ට්‍ර්ලියාවේ ජීවත් වන අප සියලූ දෙනාටම යටත් පිරිසෙයින් අප්‍රද්‍රව්‍ය ඉවතලන්නට සෑම කවුන්සිලයක් මගින්ම බඳුන් දෙකක් හෝ තුනක් (සාමාන්‍ය, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි සහ ගෙවත්තේ අපද්‍රව්‍ය සඳහා) සපයා ඇත්තේ ඇයිද යන කාරණය පැහැදිලි නොවේ ද ? ඊට අමතරව ජංගම දුරකථන, පරිගණක, බැටරි, මෝටර් රථ වලින් බැහැර කරන ලිහිසි ද්‍රව්‍ය යනාදිය බැහැර කිරීමට විවිධ මධ්‍යස්ථාන වල පහසුකම්ද සපයා තිබේ.
ඒ පමණක් නොව ප්ලාස්ටික් බඳුන් – විශේෂයෙන් විවිධ උත්සව ආදියට අද අප භාවිතා කරන ප්ලාස්ටික් පිඟන් කෝප්ප ආදිය – ප්‍රතිචක්‍රීයකරණය බහාලූමකට දමන්නට කලින් යම්තාක් දුරකට සෝදා පවිත්‍ර කළ යුතුව තිබේ. නමුත් අද අප වැඩිපුරම දකින්නේ ඒවා කෙලින්ම සාමාන්‍ය අපද්‍රව්‍ය සමඟ බැහැර කිරීම ය.
එක්තරා බෞද්ධ දානමය පුන්‍ය කටයුත්තක් අතර තුර ප්ලාස්ටික් පිඟන් තරමක් දුරකට හෝ සෝදා ප්‍රතිචක්‍රීයකරණය කළ යුතු බවට එය සංවිධානය කළ උවැසියකට මම යෝජනා කළෙමි. එදින ඇය අපට ප්‍රතිචාර දැක්වූයේ “කුණු ලෝබයා” යන නම්බු නාමයෙනි. තවත් අවස්ථාවක අසන්නට ලැබුණේ ඒවා සේදීමට වතුර වලට ඊටත් වඩා මිලක් යන බවය.
අද අප ප්‍රතිචක්‍ර නොකර පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් බොහෝමයක් දිරා යාමට අඩු තරමින් වසර 500 ක් ගත වන බව දැක්වේ. එමෙන්ම ප්ලාස්ටික් ආහාරයට ගැනීම නිසා කොතරම් නම් සතුන් පිරිසක් දිනපතා මිය යන්නේ ද ? මෙවැනි ප්‍රශ්න වලට ලැඛෙන උත්තර වල ගණන් මිනුම් අපට අදහා ගැනීමට පවා අපහසු බව ඔබ දන්නවා ද ?
කාලාන්තරයක් පුරාවට අපට ඇහෙන්නේ දන්දීමේ ආනිසංසය. ඒ නිසාම අපි ඉඳුල් වතුර ටික පවා සතුන්ට ආහාර පිණිස දන්දෙමු. එහෙත් පරණ බැටරි හෝ ප්ලාස්ටික් කිසිඳු බයක්, සැකක් නැතිව පරිසරයට මුදා හරිමු. එවැනි දේ හරහා ඝෘජුවත්, වක්‍රවත් ප්‍රාණඝාතයට හවුල් වෙමු. සතෙකුට පවා කන්න දීම හොඳය. එහෙත් නොදැනුවත්ව හෝ සතුන් මැරීම හොඳ ද ? එසේනම් අප කළ යුත්තේ කුමක් ද ? ඇත්තෙන්ම අපට කළ හැකි දේ බොහෝය. ඒ අතරින් කරුණු දෙකක් ඉතා වැදගත් බව අපේ අදහස ය. එකක් පරිසරයට හානි දායක දේ භාවිතය අවම කර වෙනත් විකල්පයන් කරා යෑමය. අනෙක් කාරණය වන්නේ හැකි හැම විටම ඉවතලන දෑ නිවැරදිව ප්‍රතිචක්‍රීයකරණය කිරීම ය. වරක් පාවිච්චි කර ඉවතලෑමට පෙර දෙවරක් සිතීම සුදුසු නොවේ ද? එවැනි දේ වෙනුවට නැවත නැවත ප්‍රයෝජනයට ගත හැකි දෑ යොදා ගත යුතු නොවේ ද ?
අප කුඩා කල ලංකාවේ ගොයම් ගස් අතරින් මාලූ පීනා ගියහ. කක්කුට්ටෝද සිටියහ. පසුකාලීනව අප ගොයම් මැස්සා විනාශ කළේ ගොයමට හිතකර වෙනත් සතුන්ද මරා දමමිනි. එකල ලංකාවේ රජරට වකුගඩු රෝගයක් තිබුණු බව අපි දැන නොසිටියෙමු. මේ සියල්ලම හෙට දවස ගැන නොසිතා අද දවසේ බඩ වියත රැක ගැනීමට දැරූ උත්සාහයක ප්‍රතිඵල නොවිය හැකි ද ?
කෙසේ හෝ වේවා මෙම කරුණු ගැන ගැඹුරින් හිතන්නට පෙළඹුණේ මගේ වැරදි උපදෙස නිසා මදෙස නොමනාපයෙන් බැලු මහළු ඕස්ට්‍රේලියානු කාන්තාවක නිසාය. කරුණු තේරුම් ගැනීමත් සමඟ ඒ පිළිබඳව මගේ සිතේ ඇති වූ බලවත් ප්‍රසාදය පසු දිනෙක ඇය ඉදිරියේ පවසා සිටියෙමි. මම ඇයට ඛෙහෙවින් ස්තූතිවන්ත විමි. ඒ මට වැරදුනු තැනක් හදාගන්නට ඇය මග පෑදූ නිසා ය. එදින ඇය බලවත් සතුටට පත්ව “ගුඩ් මෑන්” කියා අපට කීවා ය.
මම “කුණු ලෝබයා” හා “ගුඩ් මෑන්” සසඳා බැලූවෙමි. “කුණු ලෝබයා” කියා කීවේ භක්තිමත් බොදුනු උපාසිකාවකි. අප දන්නා තරමට ඇය බොහෝ පින්කම් කරන්නී ය. “ගුඩ් මෑන්” කියා කීවේ එවැනි කෙනෙකු නොවේ. අප දන්නා තරමට ඕ දැන දැන පවුකම් නොකරන්නී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *