පුස්තක ප්‍රදර්ශන සැණකෙළි කතා වස්තුව

භද්‍රසාල විසිනි

තවද යුගන්ධර සාගරය සේ අනන්ත වූ ගුණ මුහුදට ගලා යන්නා වූ සියුම් නුවණ ඇති සර්වඥයන් වහන්සේ තෙවරක් වැඩම කරන ලද්දා වූ ශ්‍රී ලංකාද්වීපය නම් දිවයිනෙහි වාර්ෂිකව පැවැත්වෙන්නා වූ පුස්තක ප්‍රදර්ශන සැණකෙළියක් අරභයා මේ කතාව දැක්වෙයි.
යටගිය දවසක ශ්‍රී ලංකාද්වීපයේ අගනුවරාසන්න තෙනක පිහිටි “කලාභවන” නම් වූ තෙනෙහි ඉතා ක්ෂුද්‍රයෙන් ඇරඹියා වූ මේ පුස්තක ප්‍රදර්ශනය මෙසමයෙහි බොහෝ ජනී ජනයා කළම්බාලමින් සහසක් දෙනා රැස් කන පුස්තක අලෙවි කෙරෙන්නා වූ එකක් බවට පත්ව තිඛෙන්නේ ය.
පුස්තක වනාහී රජුන්ට වඩා බලවත් වන්නේ ය. රත්රන්වලට වඩා වටනා වන්නේ ය. මුක්ත මාණික්‍යයන්ට වඩා අගනා වන්නේ ය. කිකලෙකත් ඒ එසේ ම ය. ගරු කටයුතු වන්නේ ය. එසේ ද වුවත් මෙකී සැණකෙළියේ දී පුස්තකයන් ට වඩා වෙනත් අංග ප්‍රත්‍යංග උත්කර්ෂයට නැංවෙන්නේ ය. පුස්තක අලෙවිය වැඩි කරගන්නමෝ යැ යි කියමින් විවිධ කූටෝපායන් යොදමින් ගොම රිටි වැනි වූ පුස්තකයන් ද මහරු මාණික්‍යය යැ යි හඟවමින් උලූප්පාලති. මෙකී කූට වාණීජ වෙළඳ පිරිස් වෙත රැවැටෙන හුදී ජනයෝ බඩා සා දුකින් පෙළෙමින් පවා රැක ගත් මස්ස-කුඩ මස්ස වියදම් කොට එකී හඩු පුස්තකයෝ ද මිලට ගනිති.
තවද බෝ ජනයින් මෙකී පුස්තක ප්‍රදර්ශන සැණකෙළිය නරඹන්නට පැමිණෙන්නමෝ ‘කොල අපිදු ඊ වෙත යා යුත්තෙමු. පුස්තකයෝ පරිශීලනය නොකළ ද නොගොසින් සිටියහොත් අප මූඪයන් ලෙස ගන්නට බැරි නැත. නොගොසින් සිටීම් නම් අපට තරම් නොවෙති’ ආදී චින්තාවෙනි.
දහස් ගණනක් පුස්තක කෙරෙහි ප්‍රේමයෙන් ඇදෙන ජනයා අතුරෙහි අප මහා සම්බුදු රජාණන් වහන්සේගේ දිවමන් ව වැඩ හුන් කාලයේ පැවැති ආකාරයේ “ගිරග්ග සමජ්ජ” ඈ සැණකෙළි වැනි සැණකෙළියකැයි මේද සිතා පැමිණෙන්නෝ ද සිටිති. එය නම් උහුගේ වරදක් ද නොවෙති. කෙසේ ද යත්, අගනගර මහා ඛාද්‍ය භෝද්‍ය අලෙවි වෙළෙන්දෝ ද සිය අලෙවි සැල් එහි සිය රස මසවුළු ද සමඟින් පවත්වාගෙන යන හෙයිනි. ඒවා ප්‍රදර්ශනය කෙරෙන්නේ පුස්තකයන්ට වඩා අනභිභවනීය පරිද්දෙනි. එකී ඛාද්‍ය භෝද්‍යන්ගේ මිල පුස්තකයන්ගේ මිලට වඩා බොහෝ සෙයින් වැඩි ව ඇත්තේ ය. ඒ අතර වෙසෙස් නූඩ්ල්ස් වර්ගයක් පුස්තකවලට වඩා වැඩියෙන් අලෙවි වන්නේ බෝ කලෙක සිට ය. එක්තරා වතාවක මෙකී නූඩ්ල්ස් වර්ගය කල් පන්නා ඇති තොග ජනයාට භෝද්‍ය ලෙස අලෙවි කළැ යි චෝදනා ලද්දෝ ය. ඒ කෙසේ වෙතත්, චෝදනාවෝ ඇති පදම් ලැබුණත් මෙකී නූඩ්ල්ස් වර්ගය නම් පුස්තකයන්ට වඩා එහි රජ කරන්නේ වෙයි.
ඉක්බිති මේ මහත් පුස්තක ප්‍රදර්ශනය අරභයා කියටි කියන අය ද වෙත්. උහු ඛෙණෙන්නෝ “එම්බා ජනයිනි, යොදුන් ගණන් සිට පුස්තක ප්‍රේමයෙන් පැමිණෙන කෙළක් පමණ ජනයා අසූ කෙළක් පමණ පොත් මිලයට ගන්නා හ. එතෙකුදු වුවත්, ලංකාද්වීපය නම් එන්න එන්න ම ගර්හා කටයුතු බවට ම වැටේ. පුස්තක කෙරේ ලොල් වඩනා වූ ජනයා සිටින රටකුත් මෙලෙස මෙතරම් පරාභවයට යා ද?” ආදී වශයෙන් පරිහාස ඛෙණෙති.
මෙකියන පුස්තක ප්‍රදර්ශන සැණකෙළියාවසනායේ “ස්වර්ණ පුස්තක” යනුවෙන් වැහැරෙන පුස්තක කිහිපයක් වරණය කෙරෙති. මෙකී වරණය තෙල පොත් ඉතා වැඩියෙන් අලෙවි වන්නට හේතු භූත වන්නේ ය. වරණයෙන් ලැඛෙන දහසින් බැඳි පියල්ල ද මහා අලෙවිය ද කරණ කොට ගෙන පුස්තක ලේඛක ඥාණවෘද්ධ, ගුණවෘද්ධ පුරුෂයෝ ද නේක නේක කූටෝපායන් කෙරෙහි නැමෙන්නට වෙති. උහු ඇමගේ සිතිවිලි ඇම එකඟ නොවෙයි, නානාච්ඡන්ද ය. එබැවින් වික්ෂෝභයන්ට කරුණු නොවෙති.
සුරාවට, මත්ද්‍රව්‍යට හෝ අවිආයුධයන්ට ධූර්තවීම වැලිත් සෑම කල්හි ම පරාභවයට හේතු වන්නේ වෙයි. පුස්තකයන්ට ධූර්තවීමෙන් කිසිවෙක් කිසිකලෙකත් පරාභවයට නොයන්නේ ය. එබැවින් කියටි නොකියා පුස්තක ප්‍රදර්ශනය අනගි වන්නේ යැ යි පැවසිය යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *