rohana-dandeniya-kadapatha-com

“කුඩා කාලෙදි තාත්තා මට සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතාම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා.”

ප්‍රවීණ නාට්‍යවේදී රෝහණ දන්දෙණිය ගැන ඔහුගේ පුත් නාට්‍යවේදී තරංග දන්දෙණිය කතාකරයි………..

අපේ තාත්තා රෝහණ දන්දෙණිය. ඔහු ඉපදුණේ 1944 වර්ෂයෙ මාතර දී. නමුත් බොහෝ කාලයක් ජීවත් වුණෙත් වැඩ කටයුතු කළෙත් අනුරාධපුරයේ. ගුරුවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරලා, ඉසුරුමුණිය විද්‍යාලයේ විදුහල්පති විදිහටත් වැඩ කරලා, අධ්‍යාපන ආයතනයෙ සිංහල අංශයේ අධ්‍යක්ෂ විදිහට විශ්‍රාම ගත්තා. මගෙ අම්මා වැඩ කළෙත් ගුරුවරියක් විදිහට.

kadapatha-sep-641kadapatha-sep-642
කලාකරුවෙක් ලෙස ඔහු විවිධ ක්ෂේත්‍රවල විවිධ නිර්මාණ කරමින් වැඩ කළා. ගීත රචකයෙක්, ගුවන්විදුලි නාට්‍ය රචකයෙක් සහ වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙක් විදිහට විවිධ නිර්මාණ ඔහු බිහි කළා. රූපවාහිනියේ 6 වැනි ටෙලිනාට්‍යය වන “රන් දූව” ටෙලිනාට්‍ය රචනා කළේ රෝහණ දන්දෙණිය එනම් අපේ තාත්තා. ඒ අතරම අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන “නිර්මාණ සේනා” නමින් කලා සංවිධානයක් පිහිටුවාගෙන ඒ හරහා විවිධ නිර්මාණ කළා පමණක් නෙවෙයි, අලූත් නිර්මාණකරුවො හඳුන්වා දෙන්නත් ඔහු කටයුතු කළා. 1979 වර්ෂයේ දී හොඳම නාට්‍යය විදිහට රාජ්‍ය සම්මාන ලබා ගත්තෙ, තාත්තගෙ නාට්‍යයක් වුණු “දුන්යාගේ ගීතය” වේදිකා නාට්‍යය.
“පරාස්ස” නාට්‍යය තාත්තගෙ ජනප්‍රිය වුණු තවත් නිර්මාණයක්. මේ නාට්‍යය විවිධ නම් යටතෙ වේදිකාගත කෙරුණු නාට්‍යයක්. “නර ලොවින් එකෙක්”, “රාස්ස සහ පරාස්ස” වගේ නම් වලිනුත් වේදිකාගත කෙරුණා. පසුව මේ නාට්‍යය “පරාස්ස” නමින් ම ධම්ම ජාගොඩ මහතා විසින් රූපවාහිනී මාධ්‍යයට අනුවර්තනය කළා.
තාත්තගෙ කොළඹ ආගමනය සිදු වෙන්නෙ ජාතික අධ්‍යාපන ආයතනයෙ ව්‍යාපෘති නිලධාරියෙක් ලෙස පත්වීමක් ලැබීමත් එක්ක. තාත්ත එක්ක මමත් කොළඹ ආවා. මම අධ්‍යාපනය ලැබුවෙ, කොළඹ මහනාම විද්‍යාලයෙ නිසා අපි දෙන්න එකට ජීවත් වුණා. මෑත කාලය දක්වාම කෙරුණු අධ්‍යාපන පෙළ පොත් තාත්තාගෙ අධීක්ෂණය යටතෙ කෙරුණ ඒවා.


මේ අතර තාත්තා විවිධ නිර්මාණ කටයුතු කළා. “දෑවරයි” යනුවෙන් නම් කරපු නාට්‍යයක් ඔහු කළා 80 දශකයෙ දි. රූපවාහිනී නාට්‍යය බොහෝ ප්‍රමාණයක් රචනා කළෙත් මේ කාලෙ දි ම තමයි. “රන්දූව”, “වටමලූව”, “සංක්‍රාන්ති”, “කඩතිර”, “විශ්වාන්තර ටෙලිනාට්‍ය මාලාව” ආදී වශයෙන් බොහෝ නිර්මාණ රචනා කරපු තාත්තා ඒ වෙනුවෙන් සම්මාන ලබා ගෙන තිඛෙනවා.
අනුරාධපුරයෙ තමයි අපේ කුඩා කාලය ගතවුණේ. මාවත් අරගෙන, පොතකුත් අරගෙන වෙලට ගිහින් කුරුල්ලො එළවන හවස්යාමයන් මගෙ හිතේ තවම සටහන් වෙලා තියනවා. අනුරාධපුරය නගරයට ටිකක් ඈතට වෙන්න තිබුණු, කලූවිල හිදෝගම කියන ග්‍රාමයෙ තමයි අපි ජීවත් වුණේ. ගෙවල් අසලින් ඇලක් ගලාගෙන යනවා. බොහොම සුන්දර පරිසරයක් ඒක. මම කුඩා කාලෙ තාත්තා ගුරුවරයෙක් විදිහට කටයුතු කළත් පසුව ඉසුරුමුණිය විද්‍යාලයෙ විදුහල්පති ලෙස පත්වුණා. ඒ අතර තමයි ඔහු රජරට ගුවන් විදුලි සේවයට සම්බන්ධ වුණේ. මට තවම මතකයි, තාත්තා මාවත් බයිසිකලයෙ තියාගෙන රජරට සේවයට යන හැටි. මාවත් ළමා වැඩසටහන්වලට සම්බන්ධ කරලා ඔහු තමන්ගෙ කටයුතු කළා. ගීත රචනා, ගුවන්විදුලි නාට්‍යය, ගුවන්විදුලි වාර්තා වැඩසටහන් ආදිය මේ කාලයෙ හුඟක් රචනා කෙරුණා. මේ කාලෙ තමයි, ගුණදාස කපුගේ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ කලාකරුවනුත් රජරට සේවයෙ හිටියෙ. ඒ වගෙම කොළඹ වැඩ කරන බොහෝ කලාකරුවො අනුරාධපුරයට ආවම අපේ ගෙදරට එනවා. ධම්ම ජාගොඩ මහත්මයා වගේ අය ඔය අතර හිටියා. මට ඉතාම හොඳට මතක තිඛෙන සිදුවීමක් තියනවා, ධම්ම ජාගොඩ මහතා සම්බන්ධව. ඔහු දවසක් අපේ ගෙදර ආ වෙලාවක, මාවත් සම්බන්ධ කරගෙන මනමේ නාට්‍යයේ වැදිරජුගෙ සිංදුව ගායනා කරමින් රඟපෑවා. ඒ කාලෙ ඔහු තමයි මනමේ නාට්‍යයෙ වැදි රජුගෙ චරිතය රඟපෑවෙ.
අනුරාධපුරේ රජරට සේවය ආශ්‍රිතව ඒ යුගයෙ හරි අමුතු සංස්කෘතිකයක් බිහි වෙලා තිබුණෙ. විවිධ වෘත්තීන් කරපු අය කලා කටයුතුවලින් ගුවන් විදුලියට සම්බන්ධ වුණා. රියදුරු රැකියා, ආරක්ෂක අංශයෙ රැකියා කළ අයත් ගීත ආදිය ලිව්වා විතරක් නෙවෙයි, ඒවා ජනප්‍රිය ගීත බවට පත් වුණු අවස්ථාත් තියෙනවා. අපේ තාත්තා ලිව් ගීතත් බොහොමයක් තිඛෙනවා. කපුගේ මහත්මයා ගායනා කරන “තල් වැට අයිනේ”, අමරදේව මහත්මයා ගායනා කරන “නිකින්නේ සඳ පායනා”, රෝහණ බැද්දගේ මහත්මයා ගායනා කරන “චයියා හෝ” ගීතයත් මෑත යුගයට එනකොට නිරෝෂා විරාජිනී ගයන “අනේ හාන්දුන්නේ”, ගීතයත් තාත්තා නිර්මාණය කරපු ඒවා. ඒ වගේම කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, සුනිල් එදිරිසිංහ වැනි ගායකයන්ටත් තාත්තා ගීත රචනා කරලා තියනවා. ඒ විතරක් නෙවෙයි, තාත්තා ටෙලිනාට්‍යවලටත් විශාල ගීත ප්‍රමාණයක් ලියලා තිඛෙනවා.
අධ්‍යාපන ආයතනයෙ කටයුතු කරද්දි විශාල පෙළ පොත් වගේ ම අතිරේක අධ්‍යාපන පොත් නිර්මාණය කරන්නත් අපේ තාත්තා මැදිහත් වුණා. එයා ගොඩක් ප්‍රසිද්ධිය පස්සෙ හඹා ගිය කෙනෙක් නොවෙන නිසා එයා කළ වැඩකටයුතු ගැන එතරම් සටහන් වෙලා නැහැ කියල හිතෙනවා. සාහිත්‍යකරණය පැත්තෙන් විවිධ දේවල් කරලා තිඛෙනවා. ඒ අතර නාට්‍ය, ළමා සාහිත්‍ය, ගීත ගැන ලියවුනු ස්වතන්ත්‍ර කෘතීන් විශාල ප්‍රමාණයක් තියනවා. ඊට අමතරව තිස්ස අබේසේකරයන් වෙනුවෙන් “නික්ම නොගිය අප්‍රමාණ මිනිසා” ප්‍රණාම ග්‍රන්ථයත්, සෝමවීර සේනානායක ප්‍රණාම ග්‍රන්ථයත්, “දී.ග හරසර” සංස්කරණය වගේ ම සතිශ්චන්ද්‍ර එදිරිසිංහ ප්‍රණාම ග්‍රන්ථය සංස්කරණය කළෙත් ඔහු.
කුඩා කාලෙදි මට තාත්තා සෙල්ලම් බඩු අරන් දුන්නෙ ඉතා ම අඩුවෙන්. හැබැයි නිතර නිතර පොත් ගෙනත් දුන්නා. තාත්තා මම කුඩා කාලෙදි මට නිදහස දුන්නා. ඒත් ඒ නිදහස අයුතු විදිහට මම පාවිච්චි කළෙත් නැහැ. එහෙම නිදහස දුන්නත් මට නොදැනෙන්න මා ගැන හොයා බැලූවා. කුඩා කාලෙ එක ම එක දවසක් මට ගහලා තියනවා, එදායින් පසුව කවදාවත් ගහලා නැහැ. බැණලා නැහැ. විශේෂයෙන් ම රුසියානු සාහිත්‍ය පරිවර්තන පොත් ගෙනත් දුන්නා. තාත්තා ගාව තිබුණා විශාල පුස්තකාලයක්. ඒක මගෙ සංවර්ධනයට හුඟාක් උදව් වුණා. තාත්තට “දුන්යාගේ ගීතය” නාට්‍යය වෙනුවෙන් වසර ගණනාවකට රුසියාවට යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. තාත්තා ඒක බාර ගත්තෙ නැහැ. මම කුඩා නිසා වෙන්නට ඇති. තාත්තා ඒක වෙනත් කලාකරුවෙකුට දුන්නා. ඔහු පසුකාලයේ ප්‍රකට රංගන ශිල්පියෙක් බවට පත් වුණා.
1989 කාලෙ වගේ ඉඳන් මම ඕස්ට්‍රේලියාවට එනතුරු ම තාත්තයි මමයි එකට ජීවත් වුණේ. දුෂ්කර නමුත් සුන්දර ජීවිතයක් අපි ගත කළා. මුල් කාලයෙදි කුලියට තමයි අපි කොළඹ ජීවත් වුණේ. පස්සෙ තාත්තා රුක්මල්ගම නිවසක් හැදුවා, ගම මතක් වෙන තාලෙ එකක්. කුඹුරක් අසල තමයි ඒ නිවස තියෙන්නෙ. තාත්තා කවදාවත් කෑම ඉව්වෙ නැහැ. කෑම උයන්නෙ මම තමයි. තාත්තා කළේ භාජන ආදිය සෝදල දීල මට උදව් වෙන එකයි, බත් එක උයලා පොල් ටිකක් ගාල දෙන එක තමයි. මගෙ සරසවි කාලෙ, එහෙම නැත්නම් මගෙ බිරිඳ එක්ක සම්බන්ධය පටන් ගත් කාලෙ වගේ මම නාට්‍යය ආදිය බලලා ඇවිදල කරල රෑ බෝ වෙලා තමයි ගෙදරට එන්නෙ. තාත්තා රෑට කොට්ටාව හන්දියට ඇවිත් ඉන්නවා මාව එක්ක යන්න, බස් නැති නිසා. හොඳට ම රෑ වුණාම තාත්තට හුඟක් කේන්ති ගියාම තාත්තා කරන්නෙ කිසිවක් කතා නොකර ඉන්න එකයි.
තාත්තත් මාත් නිතර නාට්‍ය නරඹන්න ගියා. ගීත රසවින්දා. හැන්දෑවරුවල තේ එකක් බොමින් අපි ගීත හෝ වෙනත් නිර්මාණ ගැන සංවාද කළා. තර්ක කර ගත්තා. තාත්තා කවදාවත් හොඳ කලාකෘති රසවිඳින්න හරි නාට්‍ය වෙත යොමු වෙන්න හරි කියලා බලකිරීම් කරලා නැහැ. තරුණ කාලෙ මමත් ජනප්‍රිය සංගීත කලාවන් පස්සෙ වැටුණු අවස්ථා තිබුණා වුණත් තාත්තා මාව බලෙන් උසස් සංගීත නිර්මාණයන් වෙත යොමු කරන්න උත්සාහ කළේ නැහැ. ඔහු කළේ හොඳ නිර්මාණ ගෙනත් මට අහන්නට සලස්වපු එකයි. බලෙන් දේවල් ඔලූවට කාවද්දන්න උත්සාහ නොකළත් රසවින්දනයේ විවිධ පරාසයන් තිඛෙනවා කියලා මට දැනගන්න සලස්වපු එක අපේ තාත්තා හොඳින් ම කළා.
මගෙ නාට්‍යයවල පෙර පුහුණුවීම් බලන්න ආවත්, නාට්‍යය ප්‍රදර්ශනය වෙද්දි බලන්න ආවත් කිසිම දවසක තාත්තා මැදිහත්වීම් කරල නැහැ මගෙ නාට්‍යය සම්බන්ධයෙන්. නළු නිළියන්ට උපදෙස් දීම් ආදිය කවදාවත් කරලා නැහැ. නමුත් එක්තරා අවස්ථාවක ඔහුගෙ “පරාස්ස” වේදිකාගත වෙද්දි මම යම් යම් මැදිහත්වීම් කළා. පසුවයි මට කල්පනා වුණේ මම එහෙම කළත් ඔහු කවදාවත් එහෙම කළේ නැහැ නේ ද කියන කාරණය. මගෙ නිර්මාණවලට අවශ්‍ය ගරුත්වය ඔහු හැමදාම දුන්නා. මගෙ මනස නිදහසේ පෝෂණය වෙන්න ඉඩ දුන්නා. අපි දෙන්නාට එකට වේදිකා නාට්‍යයක් නිර්මාණය කරන්න ඉඩ නොලැබුණ එක ගැන ඔහු හුඟක් දුක්වුණා. අපි නිතර ඒ ගැන කතා කළත් අපට ඒක කරන්න බැරි වුණා. අපි සාකච්ඡා කළා නවකතාවක් ලියන්නත්. තාත්තා විසින් සීයාගේ සිට තාත්තාගේ යුගයට එනතුරු තාත්තා ලියන්නත්, මා විසින් ඉතිරි ටික ලියන්නත් අපි කතා කරගත්තා.
තාත්තාට හුඟක් අවශ්‍ය වුණා මගෙ පී.එච්.ඩී එක අවසන් කරනවා දකින්න. මට පුළුවන් වුණා තාත්තා නැතිවෙන්න සති දෙකකට කළින් ඒක අවසන් කරලා තාත්තට දැනුම් දෙන්න මම ඒක කළා කියලා.
තාත්තා වගේ ම මමත් නාට්‍ය අංශයට යොමු වුණාට ඔහුගෙ විරුද්ධත්වයක් නොතිබුණත් මම වෘත්තියක් විදිහට නාට්‍ය කලාව තෝරාගන්නවාට නම් ඔහුගෙ කැමැත්තක් තිබුණෙ නැහැ. සාමාන්‍ය පෙළින් පසුව විෂයක් විදිහට නාට්‍ය හා රංගකලාව තෝරාගන්න යද්දි ඔහු මාව යොමු කළේ ගණිත අංශයට. නමුත් මගෙ නාට්‍ය හා රංගකලාව පැත්තට තිබුණු වුවමනාව දැකලා නැවත ඒ වෙතට ම යොමු කරන්න තීරණය කළා. තාත්තාගෙ අදහස වුණේ ඒකට සම්බන්ධ වෙනවා නම් ඒ ගැන හොඳින් හදාරන්න කියන එක. ලංකාවෙදි මම කෙටි නාට්‍යය කළා. “උඩු හුළඟක් ඇවිල්ලා” නම් කෙටි නාට්‍යය ඒ අතරන් එකක්. දීර්ඝ නාට්‍යයක් කළා “අසනි වළාහක” කියලා. මේ නාට්‍ය දෙකට ම යෞවන සම්මාන ලැබුණා. ඒ අතර මම කැළණිය විශ්වවිද්‍යාලයෙන් මගෙ පළමු උපාධිය ලබා ගත්තා.
තාත්තා කාලයක් ජාතික තරුණ සේවා මණ්ඩලයේ සාහිත්‍ය පිටපත් රචනය ගැන ඉගැන්නුවා. මා තරුණ සේවා මණ්ඩලයේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරීමට පටන්ගත්තාට පස්සේ ඉන් ඉවත් වුනා. ඒ වගේම තාත්තා රාජ්‍ය සාහිත්‍ය සහ යෞවන සම්මාන විනිශ්චය මණ්ඩලවලත්, අත්පිටපත් බැලීමත් කළා. ඒත් මගේ නාට්‍ය අත්පිටපත් ඉදිරිපත් කළ පසුත්, මගේ නාට්‍ය ඉදිරිපත් කළ පසුත් ඒ විනිශ්චය මණ්ඩල වලින් අයින් වුනා.
මම නිෂ්පාදනය කළා “ඇගමෙම්නොන්” ග්‍රීක නාට්‍යය. ඒක 2005 ලාට්‍රෝබ් විශ්ව විද්‍යාලයේ මෝට් නාට්‍ය උළෙලෙත් ප්‍රදර්ශනය කළා. ඊට පසුව මම කළ නාට්‍යය තමයි “රාසිං දෙයියෝ”. ඒ නාට්‍යයෙන් පසුව “ද ගෝඩ් කිං” නාට්‍යය නිෂ්පාදනය කළා. මට ජනාධිපති ශිෂ්‍යත්වයක් ලැබුණා ප්‍රසාංගික කලා අංශයෙන්. දැන් ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙන්නෙ. අවසානයෙ සඳහන් කරපු නාට්‍යය තුන කළේ ඕස්ට්‍රේලියාවෙදි. නාට්‍ය හා රංග කලාව අංශයෙන් පී.එච්.ඩී එකක් අවසන් කළා. “රාසිං දෙයියෝ” නාට්‍යය පෙළ සහ “මීපැණි පෙදෙස”(පරිවර්තනය) පොත් දෙක රාජ්‍ය සම්මාන සඳහා නිර්දේශ වුණා 2012 දී. 2011 දි මේ පොත් දෙක සහ තාත්තාගෙ කෙටිකතා පොතක් එකට එළිදැක්වූවා. අපි දෙන්නා එක් වෙලා කරපු එක ම කටයුත්ත ඒක තමයි.

සාකච්ඡා සටහන

සාමන්ත තැන්නගේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *