කැඩපත – සංස්කාරක සටහන – ඔක්තෝබර් 2016

ධෛර්ය යනු පිරිසක් ඉදිරියේ නැගී සිට කතා කිරීමට කෙනෙකු තුළ තිබිය යුතු ගුණාංගයකි. එමෙන්ම කෙනෙකුට බාධා නොකර ඇහුම්කන් දීම පිණිස හිදගැනීමට අවශය වන්නේද ධෛර්යම ය !
– වින්සන්ට් චර්චිල්
පොර කුකුලන් කෙටවීම සූදුවකි. ඒ නිසාම එය නීතියෙන් තහනම් ය. නමුත් එය නීතියෙන් තහනම් විය යුත්තේ එය සූදුවක් නිසාම නොව මිනිස්කමට නොගැළපෙන ක්‍රියාවක් නිසාය. අසරණ සතුන් දෙදෙනෙක් මරාගන්නා ආකාරය බලමින් ඔල්වරසන් දෙන්නෝ කවර අරුතෙන් ගත්තද ම්ලේච්ඡත්වය දොහොත් මුදුන් දී පිළිගන්නෝ වෙති. එසේ නමුත් මෙවැනි සූදු අවසානයේ දිනන්නේ ඔට්ටු අල්ලනඅයවත්, ඔල්වරසන් හඬනගන අයවත් නොව කුකුලන් කොටවන්නෝ ය. පොර කුකුලන් ගැන කීවේ දේශපාලන පොරපිටි ගැන කියන්නට ය.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන නමුත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොහෝ අපි බොහෝ දෙනා දැන් නිතර නිතර අන්තර්ජාලය හරහා ලාංකීය දේශපාලකයන්, කාලාකාරයන්, විචාරකයන් අතර ඇතිවන වාදවිවාද නරඹමු. ප්‍රජා ගුවන් විදුලි නාළිකා තුළින් ඒවා අසමු. රූපවාහිනී නාළිකා තුළින් ඒවා නරඹමු. ඒත් ඒ හැම තැනකම අපට ඇසෙන්නේ ගිරිය පුප්පාගෙන කෑ ගසමින් එකිනෙකාට චෝදනා, ප්‍රතිචෝදනා එල්ල කරන අයගේ හඬය. ඒ හැරෙන්නට අපට ඒවායින් ගන්නට කිසිවක් නැත. කෙනෙක් කියන දේ අනෙකාට තේරෙන්නේ නැත. දෙදෙනාම කියන දේ අසන්නන්ටත්, නරඹන්නන්ටත් තේරෙන්නේ නැත. තියෙන තියෙන හැම නාළිකාවකම රිංගන්නට යන දේශපාලකයාටත්, අනෙක් අයටත් ඒවා බලන අයටත් අන්තිමේදී ලැඛෙන සෙතක් නැත. සෙතක් වී ඇත්තේ ජනමාධ්‍ය යැයි කියාගන්නා ආයතන වලටය. අවසානයේ උන් කරන්නේ තප්පුලන වේගරිද්මයේ මජර සංගීත රාවයක් ගුවනට මුසු කර අසන්නාටත්, නරඹන්නාටත් කොකා පෙන්නීම ය. අන්තර්ජාලයෙන් හෝ ස්මාර්ට් දුරකථනයෙන් මේ විගඩම් බල බලා කාලය කා දමන අපට හිතෙන්නේ අප දැන් ජීවත් වන්නේ මොහොතෙන් මොහොත දැනුම යාවත්කාලීන වන අතිනවීන යුගයක බවය.
ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින හිලරි කිලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවත්වූ පළමු විවාවාදය නැරඹූ අය බොහෝමයක් ඇතිවාට සැක නැත. මෙම විවාදයෙන් අපට ඉගෙන ගත හැකි පාඩම් බොහෝමයකි. ඒ ඔවුන්ගේ ආර්ථීක ප්‍රතිපත්ති ගැන නොවේ. ඔවුන් ඉදිරිපත් නොකළ ආදායම් බදු වර්ථා ගැන හෝ ඔවුන් කතා කළ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ගැනද නොවේ. ඒ ඉන් එහාට යන දේවල් ය.
වාදයට සහභාගී වන අපේක්ෂකයෝ නීති සහ රෙගුලාසි වලට ගරු කරති. තමන් කතා කරන කාරණා ගැන හොඳින් හදාරා සිටිති. කිවයුතු දේ කියති. නොකිවයුතු දේ නොකියති. පැහැදිලිව කතා කරති. අවේගශීලී නොවෙති. අසීරු අවස්ථාවන්හිදී පවා ඉවසීමෙන් කටයුතු කළයුතු ආකාරය ප්‍රගුණ කර ඇත.
දැන් අප කළ යුත්තේ කුමක්ද ? අපට දේශපාලකයන්ව හෝ පදනමක් නැති වාදවිවාද කරන්නෝ නිවැරදි කිරීම කළ නොහැකිය. සියල්ල දන්නවා යැයි සිතන ජනමාධ්‍යවේදීහු නිවැරදි කිරීමද කළ නොහැකිය. එහෙත් මෝඩයන්ට සිය නිරූවත ලෝකයා ඉදිරියේ නිරාවරණය කිරීමට වේදිකාවන් සකසන අයව තනි තනිව හෝ ප්‍රතික්ෂේප කළ නොහැකි ද ? නරඹන්නාටත්, අසන්නාටත් ගරු නොකරන නළුවන්ගෙන් සහ අධ්‍යක්ෂකවරුන්ගෙන් අපට කවර නම් ඵලයද ?
අප විශ්වාස කරන්නේ හුදු ජනප්‍රියත්වයට වඩා අනෙකාට ගෞරවය දැක්වීම අතිශයින්ම වැදගත් වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *