මිත්‍යාවාද කතා වස්තුව

භද්‍රසාල විසිනි

යටගිය දවස නේක නේක මිත්‍යා දෘෂ්ටීන්ගෙන් ගහන ජම්බුද්වීපයේ මහරජු සදොවුන් රජුගේ පුත්‍ර ශ්‍රී සිද්ධාර්ථ කුමරුවෝ උපත ලදහ. සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුමන් පුරා එම භවයේ දී ම ත්‍රෛලෝක පූජිත ව සම්‍යක් සම්බුධත්වයට පත් වූවෝ දස මරුන් ඈ කෙළක් ඝෝර සේනා පරදමිනි. සකළ ලෝ සත භවාන්ධකාරයෙන් මුදවා නිවන නමැති අමාදියෙහි සනහන්නට අප මහා ශාස්තෲ වූ බුදු රජාණන් වහන්සේ ගම් නියම්ගම් හි වැඩම කළ සේක. අනේකප්‍රකාර වූ කෙළෙඹි පුත්‍රයන්ට, බ්‍රාහ්මණයන්ට, ආජීවකයන්ට අනගි දම් දෙසා වදාරා මිත්‍යාවෙන් ගලවා ගත් සේක.

එපමණකුදු නොවෙන්නේ ය. නිල් මහනෙලක් වන ඒ ශ්‍රී බුද්ධ මුව පියුමෙන් මෙසේ වූ ගාථා පාඨයක් වදාළ සේක් නක්ඛත්ථ නම් ජාතක කථා රත්නය ඇවැත් මහණුන් විෂයෙහි දෙසා වදාරද්දී ය.
“නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා”
උත්තම ශ්‍රී සම්බුද්ධ වචනය රකින්නා වූ එක ම දිවයින යැ යි වහසි බස් ඛෙණෙන්නා වූ සසිරිබර මෙසිරිලක මෙකල බැලු බැලු අත බුද්ධ වචනය අලූයම් කාලයෙහි වූ කෙළ පිඩක් කෙරෙන්නා වූ මිත්‍යාමතිකයන් වැසි වැසලා ය. භද්‍රසාල වන මම් මේ කතාවස්තුව මෙවක කියන්නමෝ වෙයි.
බැලු බැලු අත ඇත්තේ මිත්‍යාවය. කලක් එකල්හි රට පාලනය කළ රටේ මහරජ්ජුරුවන් අත වජ්‍රායුධය නම් මිත්‍යා දෘෂ්ටිකයන් අත තැබූ සුරුවමක් දිලූණේ ය. උහු තම පුත්‍රයා අත ද එවැන්නක් තැබුවෝ ය. ඒ යම් සේ ගොබ්බ මිත්‍යා අදහස් දරන්නා වූ කපටි මනුෂ්‍යයින් විසින් එම වජ්‍රායුධයෙන් වැසියන් වසී වන්නේ යැ යි කියා මහරජු රවටා තැබූ බැවිනි.
විද්‍යාදී විවිධ ශාස්ත්‍රයන් කෙළ පැමිණි උත්තම බුද්ධි මනුෂ්‍යයන් පවා නේක විභාගයන් සමත්වන්නට දරුවන්ගේ ගෙලෙහි, හිණෙහි විවිධ සුර එල්ලා තබති.
ලෝක ධාතුවේ කෙළවරක් නැති විද්‍යා ශාස්ත්‍රවලින් සොයා ගන්නා ලද විවිධ උපකරණ ඔස්සේ ද ඌ තුමූ කරන්නේ ම මිත්‍යා අදහස් වැපිරවී ම වන්නේ ය. ජනයා දැනුමෙන් පොහොණි කරන්නෙමැයි වහසිබස් දොඩන විවිධ මාධ්‍ය නමින් දන්නා පත්තර, රූප පෙට්ටි ඈ නේක ඒවායේ ද පවිටු ලෙස අභිප්‍රාය කරන්නේ මිත්‍යාව වැපිරවීම වන්නේ ය. එකී බාලගණයේ පත්තර නමින් දන්නා කඩමාලූ පුරා “වසී, වසී, වසී” යනුවෙන් ද “හැරගිය අය ගෙන්වන්නමෝ ය” යනුවෙන් ද අර කුල විල්ලියා මේ කුල විල්ලියා කතාන්දර පතුරවති. මිත්‍යාවට වසර දහස් ගණනකට පූර්වයෙහි නක්ෂත්‍ර යහපත්දෝ අයහපත්දෝ විචාළ කල්හි එක් බඳු ගාථා පාඨකයින් නක්ෂත්‍ර බැහැර කළේ වුව ද නිර්මල බුදු දහම අපේ අපේ යැ යි කියන්නා වූ ලක් වැසියෝ සැබෑ බුදුදහමට අනදර කොට මේ මිත්‍යාවට ආදර සත්කාර කෙරෙති.
රට වැස්සේ මරණය, මඟුලට, උපතට, නම් තැබීමට, ගෙවල් හැදීමට, කතා කිරීමට, බත් කෑමට, ගෙයින් එළියට බැසීමට මතු නොව කිව නොහැකි තරම් දේවලට නක්ෂත්‍ර පිහිට පතන්නෝ ය. වන්නාට ය.
ඒවා තම තම නැණ පමණින් දත යුතු කියා ඉවසිය හැකි වන්නේ වුව ද රට කරවන පාලක කාරකාදීන් ද රජුන් ඇමැත්තන් ද ඉතා නින්දා සහගත සහ අලජ්ජි ලෙස මිත්‍යා සරණ ගියෝ වෙති. නක්ෂත්‍රවලින් පළ කවරේ ද? තාරකාවන්ට කළ හැක්කේ කවරක් ද කියා අඥාන මනුෂ්‍යයෝ තේරුම් නොගන්නා ලෙස ම දුක්පත් රට වැස්සන්ගේ අඩ මස්ස පවා අය-බදු ලෙස උපයාගෙන රැකෙන උන් පාරක් තනන්නට ද ජනයාට ආරෝග්‍ය ශාලාවක් ඉදිකරන්නට ද රජුන් පත් කරන්නට ඡන්ද තබන්නට ද නක්ෂත්‍ර පිහිට පතති.
මෙවන් මිත්‍යමතයන්ගෙන් බුද්ධ කාලයට පෙරාතුව ජම්බුද්වීපය පැවතුණේ ද කියාවත් හිතන්නට බැරි තරම් මිත්‍යාව ය. බැලු බැලු අත මිත්‍යාව ය. අඥානයන් රවටා මුදල් ගරන රාජ-රාජ මහාමාත්‍යයන්ගේ උදවුවෙන් රැකී දිලෙන මිත්‍යාව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *