වැව රවුම – ඔක්තෝබර් 2016

හිතන්නට හිතීම

දරුවන්ට ඉගැන්විය යුත්තේ හිතන්න මිස හිතිය යුත්තේ කුමක්ද කියා නොවේ.
– මාග්‍රට් මීඩ්

එක ඛෙදීම හතළිස් හතර

තුනේ පංතියේදී අපේ පංතියේ සිටි ළමුන් ගණන හතළස් හතරකි. ඒ හතළිස් හතරෙන් පංතියට මිහිර පත්තරේ රැගෙන ගියේ අප විතරය. තවත් ළමුන් දෙතුන් දෙනෙක් අපෙන් ඉල්ලාගෙන පත්තරේ පළවන චිත්‍රකතාවක් දෙකක් බැලුහ.
බටුබැදීම සහ පත්තර නොබැලීම
පසුගිය කලාපයේ “බටුබැඳීම” ගැන බොහෝ දෙනා අප සමග විවිධ අදහස් දැක්වූහ. ඒ අතරින් අපට ලැබුණු වෛද්‍ය ශිරාන් විජේරත්න මහතා දැක් වූ අදහස ඉතා වැදගත් යැයි අපට හැඟීයන හෙයින් මෙසේ සටහන් කරමු. “ඇත්තටම අපිත් දැන දැනම බාබකියු කරලා බැදුම් දැම්මේ පත්තර උඩට. පත්තරේ ඒ වගේ දෙයක් දැක්කම තමයි ඒ ගැන ආයම හිතුවේ.” අපි ඔහුගේ නිහතමානී අදහස් දැක්වීම ගැන අපේ ආචාරය වැව්බැම්ම මත සිට ඔහු වෙත පුදකරමු.

පත්තර සීරියස් විය යුතු ද ?

“පත්තර සීරියස් විය යුතුය. අද තියෙන්නේ පත්තරවලින් තොරතුරු දැනගන්නා සමාජයක් නොවේ.” ඉහත දැක්වූ “බටු බැදීම” ගැන මුහුණු පොතේ එක්තරා අයෙකු විසින් දමා තිබුණු කොමෙන්ටුවකි, ඒ.

කනකොට කතා නොකිරීම

ඒ කාලයේ අපට අපේ අම්මලා තාත්තලා කෑම මේසයේදී පැනවූ නීති බොහෝමයකි. පිඟානේ කිසිවක් ඉතුරු නොකර කෑම. කනකොට ­”චව් චව්” හඬ නොනැගීම. එක කටක් කා අවසන් වෙනතුරු අනික් කටට කටට නොගැනීම. කෑම කා අවසන් වෙනතුරු වතුර නොබීම. ඒ නීති හැමකෙකටම යටත් වූවත් අපට ලේසියෙන් යටත් වීමට බැරි නීතිය වූයේ කනකොට කතා නොකිරීම ය.

කතානොකර නොකෑම

ඒ එදාය. අද පවුලම බිසීය. අම්මා, තාත්තා එයාලගේ ලෝක වලය. දුව, පුතා එයාලගේ ලෝක වලය. එකට හිටියත් එකෙක්ට අනෙකා එක්ක කතා කරන්නට වෙලා නැති ගානය. පවුල් පිටින්ම බිසීය. ඒත් ෆේස්බුක් බලන්න, වයිබර් එකේ කතා කරකර ඉන්න, වට්ස්අප් එකේ මැසේජ් යවන්න අප කාටත් ඕනෑතරම් වෙලාව ඇත. ඒ නිසා අද පවුලේ සැමට එකට ඉඳගෙන කතා කරන්නට හැකි එකම තැන කෑම මේසේ ය. ඒ නිසා එදා අපේ තාත්තලාගේ නීතිය අපේ පුතාලාට දැමීමට පෙර මදක් කල්පනා කළ යුතුව ඇත. අද අඩුතරමින් කනකොටවත් කතා කිරීම හොඳය.

මොබයිල්

පසුගිය දිනක රාත්‍රී අහාර ගැනීමට අපි ඉන්දියානු අවන්හලකට ගොඩ වැදුණෙමු. ඇණවුම් කළ ආහාර ගෙන එනතුරු මම අවන්හල නිරීක්ෂණය කළෙමි. අවන්හලේ බොහෝ දෙනා ආහාර ගන්නා අතරතුරදී පවා මොබයිල් වල එල්ලිලා ය. වැඩිපුරම ඒවායේ එල්ලිලා හිටියේ අපි වාගේම ආසියානුවෝ ය.

මූහුණෙන් මුහුණ නොබැලීම සහ මූහුණු පොතෙන් මූණු බැලීම

තාක්ෂණයට පිංසිදුවෙන්ට ලෝකේ එහා කෙළවරේ ඉන්න අයත් අද ඉන්නේ අපේ අතේ දුරින් වගේය. ඒත් ඒ තාක්ෂණයම නිසා අද ළඟ ඉන්න එවුන් අපෙන් බොහෝ දුරස්ය. අනෙක් අතට තාක්ෂණය නිසා අද පවුල් වල ඥාතීන් අතර වෙනදාට වඩා සම්බන්ධතාවයන් ගොඩ නැගෙන බවද තවත් මතයකි. එහෙත් දරුවන්ට අවශ්‍ය ටෙක්ස්ට් කිරීම් නොව ආදරය, දයාව, කරුණාව වැනි මානුෂීය හැඟීම් ය. ඒවා නැතිව හැදෙන වැඩෙන දරුවන්ගේ අනාගතය කෙබඳු වේවි ද ? යේල් විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකවරයෙකු වන මාර්ක් බ්‍රැකට් මෙසේ කියයි. “තාක්ෂණය හරහා සංනිවේදන කටයුතු කරගන්නා දරුවන් අනාදිමත් කාලයක පටන් මිනිසා පුරුදු පුහුණු කළ සැබෑ ජීවිතයේ සංනිවේදනය මොටකරගනියි. සංනිවේදනය යනු වචන වලට එහා ගිය දෙයකි.”

සයිලන්ට්

මා මිත්‍ර අයිලීන් ඇයගේ තරුණ දියණියගෙන් උගත් පාඩමක් අප හා ඛෙදා ගත්තේ මෙසේ ය.
“සෑම්……. මගේ දුව මට හොඳ දෙයක් කීවා. එයා එයාලගේ යාලූවොත් එක්ක අවන්හලකට ගිහින් කෑම කන්න කලින් කරන්නේ හැමෝගෙම ටෙලිපෝන් සයිලන්ට් කරලා මේසේ මැද තියන එකලූ. බැරි වෙලාවත් කාගේ හරි පෝන් එකක් රිං වුනොත් එයා හැමෝගෙම බිල් ගෙවන්න ඕනලූ.”

මිහිර සහ ඩිජිටල් වෘෂභ රැළ

පුංචි දරුවන් ලෙසින් අපි බැලු මිහිර පත්තර වලින් අපි ඉගෙනගත් ගණං මිනුම් හෝ දත්ත ගැන මෙලෝ මතකයක් අද අපට නැත. ඒත් අප කිය වූ කතන්දර, චිත්‍රකතා වලින් අප ලැබූ ආශ්වාදයේ සුවඳ අදටත් මතකයේ රැඳී ඇත. පත්තර, ස`ගරා යනු ප්‍රවෘත්ති වලින් එහා ගිය දෙයක් බව තාක්ෂණය කරපින්නාගත් ඩිජිටල් වෘෂභ රැළට නොතේරෙන්නේ උන්ගේම කරුමයට මිස අපේ අභාග්ගයට නම් නොවේ.

ආලින්දයේ පිළිසඳර

ඇතැම් මිනිසුන් දොඩයි – දොඩවයි
වැඩක් ගත හැකි කිසිත් නොකියයි
ඇතැම් මිනිසුන් බලයි හිනැහෙයි
සියොත් කැළ උන් සමග හිනැහෙයි

ඇතැම් මිනිසුන් හඬින් හිනැහෙයි
ඔබේ දෙනෙතට හැඬුම් ගෙනඑයි
ඇතැම් මිනිසුන් අතින් අල්ලයි
ඉනුත් නුඹ ගැබ ගීතවත් වෙයි

(චාලට් සොලෝටොව් ගේ Peace කාව්‍යයේ අනුවර්තනයකි)

වැව රවුම

වැව රවුමේ ඕනෑම තැනක සිට අවට සිරි නැරඹිය හැකිය. එහෙත් වැව රවුම ඇත්තේ එකම තැනක ඉඳ එය විඳීමට නොව වටයක් ගොස් අප සිටි තැනත්, නොතැනත් දකින්නට ය. පසුගිය කලාපයේ “බටුබැදීම” සහ “කොකිස් බැදීම” ගැන තේරුම් ගැනීමට බටු නොබැදීම සහ කොකිස් නොබැදීම ගැනත් හිතිය යුතුය. වෙනත් වචන වලින් කියනවා නම් අනෙක් සටහන්ද කියවිය යුතු ය.

කෘත්‍රීම තණතිලි

අද බොහෝ ගෙවල් වල ප්ලාස්ටික් තණකොළ අතුරා ඇත. ඒවාට වතුර දැමීමට අවශ්‍ය නොවේ. වල්පැලෑටි උදළු ගෑමටද අවශ්‍ය නොවේ. හරිම ලේසිය. පහසුය. වතු වැඩ නොකර අප ඉතිරි කරගන්නා කාලය දැන් අපට වෙනත් කටයුතු සඳහා යොදා ගත හැකිය. බණ ඇසීම, ෆේස්බුක් යාම ඉන් දෙකකි.

පිංතූර

නිල්තණ කොළ වලින් වැසුණු ගෙවත්තක පිංතූරයක් ගැන මොහොතකට හිත යොමු කරන්න. ඊළඟට තණතිල්ලක් මත දෙපා තබමින් මොහොතක් ඇවිද යන්න. තාක්ෂණය හා සැබෑව අතර වෙනස එබඳුය.

එදාමෙදා තුර

ඉස්සර අපි සංගීත ප්‍රසංග නැරඹීමට ගියේ ගී රස විඳගන්නට ය. නාට්‍යයක් නරඹන්නට ගියේ නාට්‍ය නරඹන්නට ය. අද යන්නේ එක්කෝ ප්‍රසංගය වීඩියෝ කර සමාජ ජාලයක මුදා හරින්නටය. නැත්තම් ගායකයෝ හෝ නළුනිළියෝ සමඟ සෙල්ෆියක් ගසා සමාජ ජාලයට මුදා හරින්නට ය. සීරියස් වීම යනු මෙවැනි දේදැයි අපි විපිළිසරව බලා හිඳිමු.

හතළිහ ඛෙදීම හතළිස් හතර

තුන් වෙනි ශ්‍රේණියේදී අපේ පංතියේ ළමුන් හතළිස් හතර දෙනාගෙන් යටත් පිරිසෙයින් හතළිස් දෙදෙනෙකුවත් මිහිර පත්තරේ කියෙව්වේ නැත. එසේ මුත් ඒ හතළිස් දෙනාටම වැරදුණේද නැත. අද තත්ත්වය හා සසඳා බැලු විට අද ෆේස්බුක් යන හතළිස් දෙනෙකුට පත්තර කියවන අය හතර දෙනෙකුවත් අඩුතරමින් ඇත. ඒ හතර දෙනාත් වැරදි ද ? නැත්තම් නිවැරදි ද ?

  • සාමන්ත තැන්නගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *