“අමරදේව අඳුනන්නේ නැති මේ ගුවන්විදුලිය කේමදාසව කොහොමත් අඳුරන්නේ නැති වේවි.” එසේ කියු කේමදාසයන් පිටව ගියා.

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි

නිසල දිය ගැඹුරු වන්නාසේම එතුමන් ද නිසලය. ගැඹුරුය. නිර්මාණාවේශයේ දී නිසලව නිහඬව නිර්මාණකරයේ යෙදෙයි. එහෙත් නිර්මාණය වන්නේ ඉතා ගැඹුරු දේය. මේ ගැඹුරැ දේ මතුපිටින් සරළය. එහෙත් ඇතුලාන්තය ගැඹුරුය. මේ ඇතුලාන්තය තේරුම් ගන්නට අප බොහෝ දේ ඉගෙන ගත යුතු වෙයි. එයට අපගේ ජීවිත කාලයත් මදිවේ යැයි මට සිතේ.

පණ්ඩිත් අමරදේවයන්ට 2014 දෙසැම්බර් 05 දා 87 ක් වන විය සපිරුනි. මේ කාලයෙන් හැට වසරකට අධික කාලයක් හෙළ සංගීත කේෂත්‍රයට එතුමා කළ මෙහෙවර පිළිබඳව කියන්නට මේ කාලය හා ඉඩ හසර ප්‍රමාණවත් වේද?

මොරටුවේ කොරලවැල්ලේ මුහුදු තීරයත්, මේ තීරය හරහා හමා ආ කරදිය සුළඟත්, මේ සුළෙඟ් නැගුනු, බිඳුනු රළ රැලිත්, තම පියා සාදා දුන් වයලීනයත් අමරදේවයන් තම කතා බහේ දී කිසි දිනක අමතක නොකළේය. භාරත දේශයේ සංගීත අධ්‍යාපනය ලබන්නට ශ්‍රී ලාංකේය ජනතාව දුන් උදව් උපකාර ද එතුමාට කිසි දිනෙක අමතක වූයේ නැත.

amaradeva-by-saamantha-tennege

සැට වසරකට ආසන්න කාලයක් තුළ අමරදේවයන් යනු කවරෙක්දැයි, එතුමා දැන උගත්කම් ලබාගත්තේ කෙසේ ද? එතුමාගෙන් ශ්‍රී ලාංකේය ගීතයට සිදුවූ යුග මෙහෙවර කුමක්දැයි, පුවත්පත් ලිපි කීපයකත්, ගුවන්විදුලි නාලිකා වැඩ සටහන්වලත්, රූපවාහිනී නාලිකා සියල්ලෙත් කොතරම් කතා බහ කරන්නට ඇති ද? යලි යලිත් මේවා විස්තර කරමින් සම්ප්‍රදායික ලිපියක් ලිවීමෙන් පළක් වේයැයි මට නොසිතේ. මන්ද මේ තොරතුරු ඇති තරම් ඔබ දන්නා අතර ඔබට සොයා ගන්නට ද හැකි බව මට සිතෙන බැවිනි.

නිසල දිය ගැඹුරු බව මා කලින්ම සඳහන්කර ඇත. මේ ගැඹුරු විද්වතාගේ, සංගීත වේදියාගේ නිසල බව මේ නිසල බවෙන් උපන් ගැඹුරු බව සොයා යන්නට මට සිතෙයි.

එතුමන්ගේ සමකාලීනයන් “අමරේ” කියා කතා කරනවා අසා ඇති මා ඔහුගේ පසුකාලීනයන් කටපුරා එතුමා ආමන්ත්‍රණය කළේ “අමරදේව සර්” නැතහොත් “ඇඳුරුතුමා” “ගුරුතුමා” යන ගෞරවණීය නාමයන්ගෙනි.

වරින්වර ගුවන් විදුලියේදීත්, ප්‍රසංග වේදිකාවේදීත්, ඇතැම් විට එතුමන්ගේ නිවසේදීත් මුණ ගැසුනු සෑම අවස්ථාවකදීම මට දැනුනේ මා මේ සිටින්නේ හෙළ සංගීතාවලිය එක්වන්ව ආලෝකමත් කළ මහා පහන් ටැඹ ඉදිරියේ කියායි.

හෙළ බස, සකු බස, ඉංග්‍රීසි බස එකසේ දන්නා, මේ භාෂාවන් තුනෙන්ම යමක් පැහැදිලි කළ හැකි වෙනත් සංගීතවේදියෙකු ගැන මා දන්නේ නැත.

තමන්ට ලැබුණු තනතුරුවලින් බැබලෙන්නට එතුමා උත්සාහ ගත්තේ නැත. එහෙත් එම තනතුරු තානාන්තර එතුමා නිසා බැබලූනු බව නම් මට කිව හැකිය.

එවකට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධිපති තනතුර ද, පසු කාලයක ගුවන් විදුලියේ සංගිත අංශයේ භාරකාරත්වය ද ලැබුණත් මේ තනතුරු දෙකෙහිම එතුමා සේවය කළේ ඉතාමත්ම කෙටි කලකි. නිදහසේ නිර්මාණ කිරිම හැරුණු විට මේ බැඳීම් මහා කරදරයක් සේ එතුමාට සිතෙන්නට ඇත.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්, මහගම සේකරයන්, මඩවල එන් රත්නායකයන් සමග ගුවන් විදුලිය තුළ, සිනමාව තුළ අමරදේවයන් කළ පෙළහර අතිමහත්ය.

“සරසවිය” සිනමා පුවත්පත මෙහෙය වූ පළමු සරසවි සම්මාන උළෙල වෙනුවෙන් එවකට සරසවිය කතුවරයෙකුව සිටි විමලසිරි පෙර්රා මහතා මානවසිංහ ශූරීන් ලවා සරස්වතී අභිනන්දන ගීතයක් ලියවාගෙන, එවකට අමරදේවයන් පදිංචිව සිටි නාවල නිවසට ගොස් ගීතය භාර දී ඇත. “ජගන් මෝහිනී – මධුර භාෂිණී” යනුවෙන් ආරම්භවන මේ ගීතය තරම් සරස්වතී අභිනන්දන ගීතයක් මෙතෙක් නිර්මාණය වී තිබේ ද?

පණ්ඩිත් අමරදේවයන් පසුකාලීනව මට නිරතුරු මුණ ගැසුනේ ගුවන්විදුලියේ “ස්වර වර්ණ” සංගීතමය වැඩ සටහනේදීය. මෙම වැඩ සටහනේ මුල් පිටපත් රචකයා මෙන්ම එහි නිෂ්පාදකවරයා වූයේ ද මඩවල එස් රත්නායක මහතාය. සාමාන්‍යයෙන් පැය භාගයක වැඩ සටහනක් වූ මෙයට අඩුම තරමින් ගීත 5 ක් අන්තර්ගත විය යුතුමය.

දොරටු අවසරපත් වේලාසනින්ම පිළියෙල කරන රත්නායක මහතා අමරදේවයන් පැමිණෙන තුරු කොරිඩෝරයේ එහාට මෙහාට ගමන් ගන්නා ආකාරය අදටත් මගේ මතකයේ තිබේ.

අමරදේවයන්ගේ “රෙනොල්ඩ්” වාහනය ගුවන් විදුලිය ඉදිරියේ නතරවන විට රත්නායක මහතාගේ මුවගට සිනා රැල්ලක් මතු වේ. ඒත් අමරදේවයන්ට කලබලයක් නැත. දිවා ආහාරයට නියමිත කාලය එනවිට ගීත තුනක් පමණ පටිගත කොට අවසන්ය.

මඩවල එස් රත්නායකයන් කලබල වන්නේ අමරදේවයන් යන්නට සූදානම් වන විටය.

“අමරේ කෝ ඉතුරු දෙක?” රත්නායකයන් ප්‍රශ්න කරයි.

“තව දෙකක් ඕනම ද?” අමරදේවයන්ට කලබලයක් නැත.

“ඕනෑ කියල අහන්නේ මම ගීත පහ දුන්නනේ තනු දාන්න.”

“හරි හරි කෑම කාල ඇවිත් ඉතුරු දෙක කරමු.”

ඇත්තටම අමරදේවයන් ඉතිරි ගීත සම්පූර්ණ කොට නැත. කෑම වේලාව අවසන් වූ පසු මැදිරියේ පියානෝව අසල හෝ සර්පිනාව අසල ඉඳගන්නා අමරදේවයන් ඉතිරි ගීත දෙක ද සම්පූර්ණ කරයි. ගීත පහ පටිගත වෙයි. කලින් හැදූ ගීතවල ද, කලබලයේ ක‍ෂණිකව සැදූ ගීතවල ද තනු මාධුර්යයේ වෙනසක් නැත. එකසේ ජනප්‍රිය වෙයි.

මහගම සේකර ශූරීන්ගේ පළමු ගුණානුස්මරණ උත්සවය පැවැත්වූයේ ගම්පහ රදාවානේ පාසැලේදීය. තුංමං හන්දිය මා මුලින්ම දුටුවේ එදාය. මේ වකවානුවේම මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබු නිසා මැතිවරණ උණුසුමක් ද තිබුණි. අමරදේවයන් වේදිකාවේය. අනෙකුත් අය දේශපාලන ලොක්කන්ය. මහගම සේකරයන්ගේ ගී ගැයීමත්, සේකරයන් පිළිබඳව කතාවක් කිරීමටත් අමරදේවයන්ට නියමිතව තිබුණි. ප්‍රධාන පක‍ෂ දෙකේ නියෝජිතයන් මෙන්ම උදව් පදව් කාරයන් ද මෙය දේශපාලන වේදිකාවක් කර ගන්නා අයුරු පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. සේකරයන් පසෙක තබා තම තමන් ප්‍රදේශයට කළ කී දේත්, විරුද්ධවාදීන් නොකළ දේත් කියමින් සේකරයන්ගේ මුල්ම සමරු උළෙල දේශපාලන වේදිකාවක් බවට පත්වන විට අමරදේවයන් සෙමෙන් නැගිට වේදිකාවෙන් බැස එනු දුටු මා එතුමන් අසළට ගොස් “සර්” යැයි කීවෙමි.

“මම යනවා යන්න. මෙතන වෙන්නේ වෙනම දෙයක්. සේකර ගැන කවුරුවත් කතා කරන්නේ නෑ.”

“කමක් නෑ සර්. සර් මෙතනට ආවේ සර්ගේ මිතුරා වෙනුවෙන්. සර්ගෙ කතාව සර් කරල යන්න.”

එදා මගේ කතාවට එතුමා ඇහුම් කන් දෙන්නට එතුමාට මා කවුද?

“ඇත්ත තමයි” එසේ කියූ අමරදේවයන් යළිත් වේදිකාවේ අසුන් ගත්තේ ගැඹුරු බවත්, නිසල බවත් පැහැදිලි කරමිනි.

“අසෝකමාලා” චිත්‍රපටිය වෙනුවෙන් අමරදේවයන් ඉන්දියාවට ගියේ ගවුස් මාස්ටර්ගේ සංගීත කණ්ඩායමේ වයලින වාදකයෙකු ලෙසටය. එහෙත් එහිදී එතුමාට සිදුවූයේ ගවුස් මාස්ටර්ගේ සහායකයා ලෙස ස්වර ලිපි පිටපත් කිරීමටත්, නිර්මාණ කටයුතුවලට සහභාගී වීමටත්ය. එම චිත්‍රපටියේ ගීතයක් ද ගායනා කරමින් තාපසයෙකුගේ චරිතයක් ද රඟපෑමට එතුමාට සිදුවිය.

“මම මේ සිනමා පටිය නරඹන කොට පුදුමයට පත්වුනා. සහය සංගීත අධ්‍යක‍ෂවරයා ලෙස නාමාවලියේ මගේ නමත් දාලා තිබුණා. ගවුස් මාස්ටර් මට දැක්වූ එම ගෞරවයට මම එතුමාට සදා ණයගැතියි.”

අමරදේවයන්ගේ හඬින්ම කියූ මේ කොටස් ඇතුළත් පටියක් තවමත් මා ළඟ සුරැකිව තිඛෙනවා.

ගුවන් විදුලියේ වැඩ සටහනක් අවසන් කළවිට මුදල් ලබා ගැනීමට වවුචරයක් ලැඛෙනවා. මා මේ කියන යුගයේ දී එදාම මුදල් ලබාගන්නවා නම් අවශ්‍ය වන්නේ නිෂ්පාදකවරයාගේ අත්සන පමණයි. එක් දිනක් වැඩ සටහනක් අවසන් වී නියමිත මුදල් ලබා ගන්නට අමරදේවයන් මුදල් කවුන්ටරය අසලට ගියා. අමරදේවයන් කවුන්ටරය අසලම. එතුමාට පිටුපසින් ප්‍රේමසිරි කේමදාසයන්. එතුමාට පිටුපසින් මමත් මගේ මුදල ලබා ගන්නට බලා සිටියා.

කවුන්ටරයේ සිටි කාන්තාව අමරදේවයන්ගෙන් එතුමාගේ හැඳුනුම්පත බැලීමට අවශ්‍යයැයි කියා තිබුණා. ඒ මොහොතේ අමරදේවයන් අත හැඳුනුම්පත තිබුණේ නැහැ. ගුවන්විදුලි ගීතයේ එක් මහා පහන් ටැඹක් හඳුනා ගන්නට ගුවන්විදුලිය තුළදීම හැඳුම්පත ඉල්ලා සිටීම ගැන අමරදේවයන්ට දුකක් හිතෙන්නට ඇති. ඒත් කේන්ති ගියේ කේමදාසයන්ට. එතුමා මුදල් ගැනීම පසෙක ලා කෙළින්ම දිව ගියේ එවකට අධ්‍යක‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතාගේ කාමරයටය. අමරදේවයන් කේමදාසයන් පසුපස දිව ගියා.

“කේමා…… කේමා……” කියමින්. අමරදේවයන්ට අවශ්‍ය වුනේ කේමදාසයන් නතර කිරීමට.

“රිජ්වේ – තමුන්නාන්සේගේ කවුන්ටර් එකට අඩුම තරමේ අමරදේවගේ මුණ දැක්කාම අඳුරන අයව දාන්න.”

“ඇයි ඇයි කේමා…?” කලබල වුනු තිලකරත්න මහතා ඇසුවා.

“අර කවුන්ටර් එකේ ඉන්න නෝනා අමරදේවගෙන් අයි ඩී එක ඉල්ලනවා. ගුවන්විදුලිය ඇතුලෙම. ලැජ්ජයි නේද?”

එසේ කියූ කේමදාසයන් තමා අත තිබූ වවුචරය රිජ්වේ මහතාගේ මේසයට විසි කළා.

“අමරදේව අඳුනන්නේ නැති මේ ගුවන්විදුලිය කේමදාසව කොහොමත් අඳුරන්නේ නැති වේවි.” එසේ කියු කේමදාසයන් පිටව ගියා.

රිජ්වේ තිලකරත්න මහතාම කවුන්ටරය ළඟට ඇවිත් අමරදේවයන්ගේ මුදල් ලබා දුන්නා.

ඇත්තටම මෙතන්දි කලබල විය යුත්තේ අමරදේවයන් නොවේ ද? එතුමා නිසලව උන්නා.

1998 වසරේ දී අමරදේව එතුමාගේ ප්‍රසංගයක් සඳහා නවසීලන්තයට ආවා. එතුමා හමුවීමට එතුමා නතර වී සිටි නිවසට ගිය මා එතුමාගෙන් ඇසුවේ “මොනවද සර් විශේෂයෙන් අවශ්‍ය” කියා.

“ප්‍රියා කුකුල් කකුල්, සුදු බත් හැමදාම කාලා එපා වෙලා. කරෝල කෑල්ලක්. පොල් සම්බෝලයක්, කැකුළු හාලේ බත් ටිකක් කන්න ඇත්නම් හොඳයි.”

“හරි සර් මම අපේ ගෙදර ලෑස්ති කරන්නම්” මම එහෙම කිව්වත් එම ප්‍රසංග සංවිධායකයන් අමරදේවයන්ව මගේ නිවසට කැඳවාගෙන යෑමට විරුද්ධ වුණා.

“මම ප්‍රියාගේ ගෙදරට යනවා. ප්‍රියා මම හඳුනන්නේ අද ඊයේ නෙමෙයි.” එහෙම කියු අමරදේවයන් තම කැමැත්තෙන්ම මගේ නිවසට දහවල් කෑමට ආවා.

එදා අමරදේවයන් මගේ නිවස ඉදිරියෙන් තිබු කලපුව දිහා බලාගෙන මහා සතුටෙන් ගී මුමුනන්නට පටන් ගත්තා. ඒ දවස හරියටම 1998 දෙසැම්බර් 05 දා. එදා අමරදේවයන්ගේ තවත් උපන් දිනයක් වීම සුවිශේෂ වු සිදුවීමක්. ඒ වගේම එදා රාත්‍රියේ තවත් නිවසක කෑමකට යෑමට තිඛෙන බවත්, එතුමාට අමතක වුණා.

සිංහල ගීතයත්, අමරදේව යන නාමයත් කිසි දිනක වෙන්කොට විග්‍රහ කළ නොහැකියි. එතුමා ප්‍රගුණ කළ උත්තර භාරතීය රාගධාරී සංගීතය මුල්කර ගනිමින් අපේ ජන ගීතයට ද අවශ්‍ය මෙහෙවරක් කළ එතුමා අපගේ ජන ගීතය ඇසුරෙන් හෙළ සංගීතය නිර්මාණය විය යුතුය යන විවාදයේ දී මහත් සේ නිහඬ වූයේ මහා සම්ප්‍රදායේත්, චූල සම්ප්‍රදායෙත් පරතරය අවබෝධ කරගෙන සිටි බැවිනි.

පසු කාලීනව තමාගේ නිර්මාණ කටයුතුවලදී වික්ටර් රත්නායක, සනත් නන්දසිරි මෙන්ම ඔවුන් දෙදෙනාගේ ද ගෝලයෙකු වු රෝහණ වීරසිංහයන් ද සම්බන්ධ කර ගනිමින් තමාට ද ඔවුන් ලවා ගී තනු නිර්මාණය කර ගත්තේ එදා දුටු ගීතයේ අනාගතය වික්ටර්, සනත්, රෝහණ මුල් කරගෙන බිහිිවේය යන දුර දක්නා නුවණින් විය යුතුය. එහෙත් ගැටලූව මෙතනින් නතර වී ඇතැයි මට සිතේ.

වික්ටර් – සනත් – රෝහණ හෙට දවස භාර කරන්නේ කාට ද?

පණ්ඩිත් අමරදේවයිනි, ඔබේ නිසල බව නොවුනත්, ඔබේ ගැඹුරු බව කාට හෝ දෙන්න.

(2014 දෙසැම්බර් – කැඩපත)

Illustration by Saamantha Tennege

amarasara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *