මහජනයාට වැදි බණ කියමින බොළඳා – සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

සාමන්ත තැන්නගේ විසිනි (by Saamantha Tennege)

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා
මහජනයාට වැදි බණ කියමින බොළඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ
හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ

ගේය පද ඃ ?
සංගීතය සහ ගායනය ඃ ආචාර්ය වික්ටර් රත්නායක

හැත්තෑව අසූව දශක වල ගුවන් විදුලිය ගැන මතක ඇති උදවියට “උදා ගී” සහ “අරුණ කිරණ” යන නම් මතක ඇතුවාට සැක නැත. 1977 නව රජයක්‌ බලයට පත්වීමෙන් පසුව එච් ආර් ජෝතිපාල ගායනා කළ සමනළ මුදුනේ සිරි පද සිඹ සිඹ සහ පෙර දිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නව හිරු කිරණ නැගේ යන ගීතත්, චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කළ උත්සාහය උක්‌ දන්ඩක්‌ වැන්නේ යන ගීතයත්, වික්‌ටර් රත්නායක සංගීතවත් කර ගායනා කළ දාගැබ් මහා වැවි බැන්දේ යන ගීත වලින් යටත් පිරිසෙන් එකක් හෝ නෑසුනු දිනක් නොවූ තරම් ය. එම ගීත සියල්ලේම පබැඳුම එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධූරය දැරූ පසුව ජනාධිපති පදවියද ලැබූ නැසිගිය රණසිංහ ප්‍රේමදාස ශූරීන් බවද කියැවිණ. එහෙත් එය සිදුවිය හැකි ද ? ලංකා ඉතිහාසයේ නිශ්ෂංකමල්ල රජු අනුන් කළ නිර්මාණ සුද්ද බුද්ද කර ඒවාගේ තමන්ගේ නම් ගසා ගැනීමට නම්දැරූ නිරිදෙකි. මෙම ගීතයේ රචකයාත් එබඳු අයෙක් ද ?

ගීතයේ රචනය ගැන කිසියම් හෝඩුවාවක් කලකට පෙර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ “ඇත්ත” පත්‍රයේ “රංචාගොඩ ළමයා” නමින් පළ වූ දේශපාලන ප්‍රහසන කවි පන්තියෙන් ජනතාවට දැනගන්නට ලැබුණි. රංචාගොඩ ළමයා ලීවේ සිරිලාල් කොඩිකාර මහතා ය. රංචාගොඩ ළමයා එදා “ඇත්ත”ට ම මෙසේ ලියා තිබුණි.

දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්
නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්
පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්

ලංකාව තවමත් ලෝකයේ දියුණු වෙමින් පවතින දුප්පත් රටකි. අද ලෝකයා දියුණුව මනින්නේ යානවාහන, ගොඩනැගිලි හෝ මහාමර්ග වලින් නොව රටක ජනතාවගේ හැදිච්චිකම් වලින් නොහොත් මනුස්සකම් වලිනි. මක්නිසාද යත් හැදියාව සහ මනුස්සකම් ඇති නම් අන් සියල්ල ලබා ගැනීම අපහසු නොවන නිසාය. තතු එසේ මුත් යම් ලෙසකින් එදා රජරට බැදි දැගැබ්, වෙහෙර විහාර, වැව් මෙන්ම සීගිරිය වැනි ෙඓතිහාසික නිර්මාණයන් නොතිබුණා නම් අද ලංකාව මීටත් වඩා දුප්පත් වන්නට ඉඩ නොතිබුණි ද ? අදටත් අප කරන්නේ පෞඪ ඉතිහාසයෙන් වත්මන් ලැජ්ජාවන් වසා ගැනීම නොවේ ද ?

සේනානායක සමූද්‍රය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හෝ මහින්ද රාජපක්ෂ වරාය ජාතියට දායාද වන්නේ ඒ අය රාජ්‍ය කළ කාලයන්හි බව සැබෑය. ඒ නිසා ඒවායේ නිර්මාතෘන් ලෙස ඔවුහු ඉතිහාස ගත වෙති. පරාක්‍රම සමූද්‍රය ආදී මහා වැව් ගැන කිව හැක්කේද එයයි. එහෙත් මේ සියල්ල ජාතියට දායාද වන්නේ හුදෙක් රජවරු නිසාම නොව රටට ගැලපෙන නිවැරදි නිර්මාණයන් සැලසුම් කළ අය නිසාය. රජවරු හෝ නායකයෝ වනාහි අතරමැදියෝම පමණක් වෙති. එහි අනෙක් කොනේ ඉන්නේ ශ්‍රමිකයෝ ය. එදා වේල හොයා ගන්නට ජීවිත පරිත්‍යාග කළෝ ඔවුහු ය. මෙම ගීතයේ කතා කරන්නේ එබඳු පුතුන් ගැන නොවේ ද ?

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ

දාගැබ්, මහා වැව් බඳින්නට දායක වූවාට ලියවෙන්නේ පුතුගේ නම නොව රජුගේ නමය. සීගිරියේ අදටත් ඉතිරිව ඇති වටිනාම වස්තුව කැටපත් පවුරේ ලියූ ගී ය. නමුත් අප කතා කරන්නේ කාශ්‍යප ගැනය. කෙත ගොයම ආරක්ෂා කළේ ගැමි ගොවියෝ ය. නමුත් අප කතා කරන්නේ මහසෙන්ලා ගැනය. එබඳු දස්කම් විස්කම් වලට උර දුන් ඔබ තවමත් පැදුරේ නිදයි. බැලු බැල්මට පෙනෙන්නේ මෙම පද පෙළින් අතීත රජවරුන්ව විවේචනය කරන බවය. නමුත් ඉතිහාසයේ අපට හමුවන වීර රජවරු නමට වඩා තැන දී ඇත්තේ වැඩට ය. ලාංකීය ඉතිහාසයේ වහළුන්ගෙන් වැඩගත් බවක් සඳහන්ව නැත. ඒ වෙනුවට රුවන්වැලි සෑය ගොඩනැගීමේදී පවා එකම එක පස්පිඩක්වත් නොමිලයේ කපා දෙන්නට රජු ඉඩ නොතැබූ බවද සඳහන් ය. අද අපට හමුවන පාලකයෝ තැන දෙන්නේ වැඩට නොව නමට ය. එසේ නම් මෙම ගීතයේ ස්ථායී කොටසින් ස්ථීර ලෙසම පහර දෙන්නේ පෙර රජවරුන්ට නොව වත්මන් පාලකයන්ටම බව පැහැදිළිය. මේ ගීතය ලියූවායැයි කියන රාජ්‍ය නායකයා ස්ථීරවම මෙවැනි අද්විතීය රචනාවක් කළේ නම් හේ සුපැහැදිලි මනසකින් හෙබි රාජ්‍ය නායකයෙකු විය යුතු වන්නේ ද ?

යසනාත් ධම්මික බණ්ඩාරයන් මෙම ගීතය ගැන ලියූ සටහනක මෙසේ සඳහන්ව තිබුණි.

“ගීතය ශ්‍රවණය කරණ වාරයක් පාසා ඒ රාජ්‍ය නායකයා කෙරෙහි ඇති වූයේ අපමණ ගෞරවයකි. කෙසේ වෙතත් එතුමන්ගේ අනෙකුත් හැසිරීම් කතා බස් රාජ්‍ය කෙරුවාව දකින විට ඔහු මෙවන් ගීයක් පබැඳීම ගැන මට ඇති වූයේ මහත් විමතියකි.”

අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිව සළුපිලි ඇඳ පළඳා
මහජනයාට වැදි බණ කියමින බොළඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා

ගීතයේ දෙවෙනි අන්තරා කොටසින් මේ කතා කරන්නේ කවුරුන් ගැනද ? බඩජාරිකමට ආහාර ගන්නේත්, සිනිඳු පිළියෙන් කළ ජාතික ඇඳුමකින් හෝ සාටකයකින් සැරසෙන්නේත්, මහජනයාට වැදි බණ කියන්නේත් කවුරුන් ද ? උන් නම් අන් කවරෙකුවත් නොව පාලකයෝම නොවේ ද ? අද නම් මෙලෙස බොළඳ වැදි බණ නොකියන එකෙකු සොයා ගැනීම පවා අසීරු ය.

මෙම ගීතය සැබවින්ම කවියකි. කොහේ හෝ ඇති පද ටිකක් එකතු කොට එකට අඩුක් කිරීමෙන් කවි නූපදී. කවියා කවියකින් යම් පණිවිඩයක් සමාජගත කරන්නට උත්සාහ දැරීම ස්වභාවිකය. මෙය සැබවින්ම උදා ගී හෝ අරුණ කිරණ හරහා සාමාන්‍ය ජනතාවට බලෙන් අසන්නට සැලැස්සවූ ගීතයකි. එසේ නොවන්නට ගීත රචකයාගේ වෘත්තීය ජීවිතයේ ස්වර්ණමය යුගයේදී එය ගුවන් විදුලියේ පුන පුනා ප්‍රචාරය කරවන්නට හේතු නැත. සැබවින්ම මෙම ගීතය ලියා ඇත්තේ ඊට සවන් දුන් ජනතාව වෙනුවෙන් බව පිළිගත හැකිද ? අවිවාදයෙන්ම මෙම ගීතය සපුරාම ගැලයෙන්නේ පොදු ජනතාවට නොව එහි රචකයාගේ පැළැන්තියේම අයට ය. වැදිබණ කියන්නේ ජනතාව නොව පාලකයෝ ය. නැත්තම් ඇතැම් පැවිද්දෝ හෝ දේශනා පවත්වන්නෝ ය.

ශ්‍රේෂ්ඨ පදවැලක් ගෙතෙන්නට මතුපිටට වඩා ඇතුළාන්තය විනිවිද දකින්නට තරම් දක්ෂ රචකයෙකු අතිනි. මෙම ගීතයේ රචකයා ආත්මාර්ථයෙන් තොර එබඳු දැක්මක් තිබූ අයෙකු නම්, ඉන් පැවසෙන පණිවුඩයේ ආලෝකය පළමුව තමන්ගේ භූමිකාව නිවැරදි කරගන්නට යොදවන බව නම් නිසැකය. යටත් පිරිසෙයින් ජනාධිපති වූ පසුව හෝ යටත් පිරිසෙයින් තමන්ගේ අමාත්‍ය මණ්ඩලයට මෙම ගීතය අසන්නටත්, පහදා දෙන්නටවත් කටයුතු කළා නම් එය ඔහු නොලියූවද එහි අරුත තේරුම් ගත් අයෙකු හැටියට නිගමනයකට ඒමට අපට බැරි කමක් නැත.

ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගෙ රට ණයට කෑවේ නැහැ නොවැ පොරණේ
හෙළ දරුවන් එදා මේ සිංහල දෙරණේ
ඔවුනගෙ දහදියයි ලද උත්තම සරණේ

වෙහෙස මහන්සිව දහඩිය හෙළන පුද්ගලයෙක් ණය වන්නට ඇති ඉඩකඩ අඩුය. වැඩ නොකරන එකාට ණය වෙනවාට වඩා කළ හැකි අන් දෙයක් නැත. අවසානයේ ගත් ණය ගෙවන්නටත් ඌ කරන්නේ ණය වෙන එකය. අන්තිමට උගේ ණය ගෙවන්නට සිදුවන්නේ උගේම උප නූපන් පරම්පම්පරාවලට ය. රටකට වුවද මෙම න්‍යායෙන් ගැලවෙන්නට නම් මෙකී පරම සත්‍ය තේරුම් ගත් එකෙක් රජ විය යුතු ය. නැතිනම් එබඳු එකෙක් රජෙකු බවට පත් කරන්නට තරම් තේරුමක් ඇති ජනතාවක් සිටිය යුතු ය.

මෙම ගීතයේ රචකයා ගැන රහස හෙළි වූ ආකාරය ගැන සිරිලාල් කොඩිකාර මහතා විසින් 2009 පෙබරවාරි මස 17 වැනිදා දිනමිණ පත්‍රයෙන් හෙළි කර තිබුණේ මෙසේ ය.

……….සිරිලාල් කොඩිකාරයන් එදින ඩොල්ටන් අල්විස් සමග තැබෑරුමකින් මත්පැන් වඩියක් සප්පායම් වී ගෙදර බලා යන්නට සූදානම් ව සිටියේය.

“පොඩ්ඩකට මේක තියාගනින්. මං පුටුස් ගාල එන්නම්.”

ඩෝල්ටන් අල්විස් සිය කඩදාසි ෆයිල් කවරය මිතුරා අත තබා වැසිකිළිය දෙසට ගියේය. ෆයිල් කවරය විවර විය.

අපිළිවෙළකට බහා තිබුණු නානාප‍්‍රකාර කඩදාසි හා ලිපි ගොනු අතර පද්‍ය පන්තියක කටු සටහනක් තිබිණි.

දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ….
සීගිරි ගලේ කවි ලීවේ නුඹයි පුතේ
නඟුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ….

ෆයිල් කවරය වැසිණි. මිනිත්තු පහකින් පමණ ඩෝල්ටන් පැමිණියේය. දෙදෙනා කළුවරේම මහමඟට බැස්සෝය. දින කිහිපයක් ගතවිණි……..

රංචාගොඩ ළමයාගේ කවිය ඇත්ත පුවත්පතේ පළවූයේ ඉන් පසුවය.

අද මේ ගීතය නැවත අසන විට අපට දැනෙන්නේ එහි සැබෑ රචකයා කෙතරම් පරිණත බුද්ධිමතෙකු වූවාද යන කාරණය යි. ඉරක් ඇන්දත් තම නම ගසා ගන්නා සමාජයක තමන් කළ අද්විතීය නිර්මාණයක් වෙනෙකෙකුට පුදන්නට තරම් හේ වෙස්සන්තර කෙනෙකු වන්නේ කෙසේ ද ? මෙහි ඇත්තේ වෙනත්ම කතාවකි. ඇතැම් පාලකයෝ බලය නිසා හොරකම් කරති. ඇතැම් පාලකයෝ මෝඩකම නිසා අනුන්ගේ ජයග්‍රහණ තමන්ගේ බවට ලේබල් ගසා ගනිති. නැත්තම් තැනත් නොතැනත් දොඩවති. මෙම ගීතයේ සැබෑ රචකයා කර ඇත්තේ ඌරාගේ මාලූ ඌ පිටම තබා කැපීම ය. තවත් විදිහකින් කියනවා නම් හොරාටත් හොරෙන් හොරා කළ හොරකම ගැන හොරෙන්ම හොරාගේ අනුගාමිකයන්ට පැවසීම ය.

මෙම ගීතයේ සංයමය මුසු අපූරු සංගීත රචනාව සහ ගායනය වික්ටර් රත්නායකයකයන්ගේ ය. වික්ටර්ගේ මධුර ගායනය තුළ අතරමං වන රසිකයාට ඇසෙන පදපෙළෙහි යටිපෙළ අරුත නොදැනී ගියා විය නොහැකි ද ? මෙහි සැබෑ රචකයා අවසානයේ නාමික රචකයාගේ පටන් ගීයට සම්බන්ධවන සියලූම පාර්ශවයන්ටත්, ශ්‍රාවක අපටත් දෙන පණිවුඩය නම්,

“මහජනයාට වැදි බණ කියමින බොළඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා” යන්න ම නොවේ ද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *