screen-shot-2017-07-05-at-11-09-42-pm

අපේ කළුකුමා

ලයනල් රාජපක‍ෂ විසිනි

“අන්න අරය අදත් පාන්දරම දුවනවා.” බිරිඳගේ හඬින් අවදිව වැටට උඩින් කරපොවා බැලූ මා දුටුවේ කොන්ක්‍රීට් අඩිපාරේ එක පිම්මට දුවන අපේ කළුකුමාය. අපේ කියා කීවේ මේ කළුකුමා වසන්නේ අල්ලපු වනරොදේ නිසා අසල්වැසියෙකු වශයෙන් සම්බන්ධයක් ඇති හෙයිනි. මෙයා මේ පාන්දරම දුවන්නේ අසල්වැසි ගෙදරක කුරුල්ලන්ට කෑම දෙන තැන වැටී ඇති පංගුව බලා ගෙනය. ප්‍රශ්නයකට තියෙන්නේ ඵ් ගෙදර පාරෙන් අනික් පැත්තේ වීමය. අඩිපාරේ දුවන කළුකුමා ඵ් වේගයෙන්ම මහපාර පනිනවා මා කීප වතාවක්ම බලා සිටියේ සියුම් දුකකිනි. පාර පනින්ට ගොස් වාහනවලට යටවී මස් වැදලි බවට පත්ව ඇති සතුන් අපට හුරුපුරුදු දසුන්ය. ඵ්ත් කළුකුමකු පාරේ වැටී සිටිනු මා තවම දැක නැත. ඵ් අපේ කළුකුමා වනු දකින්නට මට නම් බැරිය. ඒත් කුරුල්ලන්ට කෑම දෙන අපේ අසල්වැසියා නවත්වන්නට මට බලයක්ද නැත. එහි ආදිනව කියා දේශන පවත්වන්නට ගොස් අසල්වැසියා සමග ඇයි හොඳයි කම් නැති කරගන්නටද මට සිත් නොදේ.
මා දන්නා තරමින් නම් ලංකාවේ කැලෑවල කළුකුමුන් නැතිය. කුකුලන් මෙන් ලංකාවේ ගෙවල්වල ඇතිකරන කළුකුමා අනිවාර්යෙන්ම පිටින් ගෙනා කෙනෙකු විය යුතුය. කාටවත් එසවිය නොහැකි ගලක් කර පිටින් ගෙන ගොස් අයින් කිරීමට පොරොන්දු වී හීනටි හාලේ බත් සමග කළුකුන් මස්, මාස ගණනක් රසවිඳ අන්තිමේ “හා දැන් ඔය ගල උස්සලා මගේ කර පිටින් තියාපල්ලා” කියා ඇඟ බේරා ගත් අන්දරේගේ කථාව අප කාටත් මතකය. අන්දරේ සිටියේ කොයි රජුගේ කාලයේද කියාවත්, ඵ් කාලයේ ලංකාවේ කළුකුමුන් සිටියාද කියාවත් මම නම් නොදනිමි. කථාව ගෙතූ රචකයාට කළුකුමා පුරුදු සතෙක් වන්නට ඇත. හරියට අපේ ජාතක කථා වැනිය. ඒවායෙත් ඉන්නේම අපට පුරුදු ලංකාවේ හෝ ඉංදියාවේ සතුන්ය. අඩුම තරමේ අසල්වැසි චීනයේ අහිංසක පැන්ඩාවෙක් ගැනවත් සඳහනක් නැත.
කුවීන්ස්ලන්තයේ උතුරු කොනේ සිට නිව් සව්ත් වේල්සයේ සිඩ්නි නුවර ආසන්නය දක්වා ගොඩබිම් තීරය නිජබිම් කරගත් අපේ කළුකුමා “මෙගාපෙඩ්” කුරුලූ පවුලට අයත්ය. මෙගාපෙඩ් යනු සවිමත් පාද ඇති යන අරුත දේ. කුරුලූ පවුලට අයත් වුවද අපේ කළුකුමාට පියාඹන්නට ඇති හැකියාව සීමිතය. ලගින්නට ගහකට පියෑඹීමත්, ඉඳහිට ගහකින් ගහකට පියෑඹීමත් හැරුනු කොට වැඩිපුරම කාලය ගතකරන්නේ පොලව මතුපිට කොලරොඩු පහුරු ගාමිනි. කොලරොඩු අතර සිටින කුඩා සතුන් හා වැටී ඇති පලතුරු වැනි දේ මොහුගේ ආහාරය. නාගරීකරණයට හසුවුවද තාමත් වඳ නොවී පැවතීමට තරම් කළුකුමා වාසනාවන්ත වී ඇත. ඔසියන්ගේ මෙන් යම් දැඩි ගතියක් කළුකුමාටද සහජයෙන්ම උරුම වී ඇතැයි මට සිතේ.
නාගරීකරණය නිසා ස්වභාවික වාසස්ථාන අහිමි වන අවස්ථාවල ගෙවතු ඇවිස්සීමට කළුකුමා පෙලඹීම ස්වභාවිකය. පහුරු ගෑමට අති දක‍ෂ නිසා ඉඩක් ලැබුනොත් මල් පාත්තිවල ඇති වසුන් එහෙට මෙහට විසුරුවා ගෙවත්ත කණපිට පෙරලීමට මොහුට පුලූවන. ඇතැම් විට එසේ කළ අවස්ථාවකදී කවුරු හෝ තරහට අල්ලා කකුල් දෙකම එකට බැඳි කළුකුමකු වරක් අප ගෙවත්තට ආවා මට මතකය. ගෝනි රේස් කාරයෙකුමෙන් අමාරුවෙන් පැන පැන යන එA කළුකුමා දුටු පුංචි දුවගේ හිත දුකින් පෑරෙනු මට දැනුනි. දුව යෝජනා කළේ “ආර් එස් පී සී ඒ” එකට කථා කිරීමටය. ලංකාවේ කුකුලන් සමග පොරබ‍ඳා පුරුදු මා “ආර් එස් පී සී ඒ” එකට කථා කරනු පසෙක තබා, කළුකුමාව ගෙවත්තේ කොනකට කොටු කරගෙන අල්ලා, කකුල්වල බැඳි ලනු කපා දමා මුඳා හැරියේ “දුවගේ වීරයා” කළ හපන්කම් වලට තවත් එකක් එකතු කරමිනි.
අපේ කළුකුමාව ඉංග්‍රීසියෙන් “වයිල්ඩ් ටර්කි” යනුවෙන්ද හැඳින්වෙයි. එය සිංහලට පෙරලන්නට ගියහොත් කළුකුමාට මුලින් “වල්” කියා යෙදීමට සිදුවේ. ඒත් එයට මගේ සිත ඉඩ නොදේ. කවුරු හෝ මෙය වැරදි විදියට තේරුම් ගතහොත් එය අපේ කළුකුමාට කරන අසාධාරණයකි. මොණර පවුලේ මෙන් කළුකුමාගේ ගැහැණු හා පිරිමි සතුන්ද පහසුවෙන් වෙන්කර හඳුනාගත හැක. පිරිමි සතා හැඩකාරය. සමාන අයිතිවාසිකම් කඩකරන කියමනක් වුවද එය ඇත්තය. පිරිමි සතාගේ ඛෙල්ලේ එල්ලෙන කහපාට තැල්ල, ගැහැනු සතුන් හා එක්වන කාලවල වඩාත් විශාල හා වර්ණවත් වන බව කියවේ.
බිත්තර දැමීම සඳහා කළුකුමා සාදන්නේ අමුතුම කූඩුවකි. කූඩුවක් කීවද එය නිකම්ම නිකම් කොල රොඩු ගොඩකි. කූඩුව සෑදීම පිරිමි කළුකුමාගේ වගකීමකි. කළුකුමකු කූඩුවක් සාදනු මුල්වරට දුටු මට සිතුණේ මූ නම් පිස්සු පොරක් කියාය. පොඩි බිත්තර කීපයක් තැන්පත් කිරීමට තැනූ ඒ කූඩුව මීටර් හතරක් පහක් පමණ දිග, මීටරයකටත් වඩා උස අපිලිවෙලට ගැසූ රොඩු ගොඩකි. කුරුලූ බිත්තර නොව තිබුනා නම් ඩයිනෝසර් බිත්තර වුව රැක්ක වීමට මේ කූඩුව ප්‍රමාණවත්ය. ගැහැණු සතා කූඩුව පරීක‍ෂා කර බලා හිතට ඇල්ලූවොත් පමණක් බිත්තර දමන්නීය. හොඳ කූඩුවක ඇතුළත උණුසුම සෙන්ට්‍රිරේඩ් අංශක 33 ක් පමණ විය යුතුය. එය බිත්තර මේරිමට අවශ්‍ය උණුසුමයි. උණුසුම ගොඩ නැගෙන්නේ දිරන කොළ රොඩු වලිනි. පරිසරයේ උෂ්ණත්වය අනුව, කූඩුවේ උණුසුම අවශ්‍ය පමණට රැක ගන්නට පිරිමි සතා කොල රොඩු අයින් කිරීම හෝ ගොඩ ගැසීම කරයි. බිත්තර මේරිමට සති හතක් පමණ ගතවේ. ගැහැණු සතෙකු සාමාන්‍යයෙන් බිත්තර 20 ක් පමණ දමයි. මේවායින් ඉතිරි වන්නේත්, එලියට එන පැටවුන්ගෙන් බේරේන්නේත් සුලූ කොටසකි. බිත්තර මෙන්ම පැටව්ද වැඩි ගණනක් ගොයින්ට හා සර්පයින්ට ගොදුරු වේ.
ඇවිදින මංතීරු සුද්ධ පවිත්‍ර කරන සිටි කවුන්සිලයේ කම්කරුවන්ට වැඩ මැවීම කළුකුමාගේ දින චරියාවේ අංගයකි. වෙහෙස වී මංතීරුවල කොල රොඩු ඉවත් කර දී යන කවුන්සිල් සේවකයින් වැඩ නිම කරනවාත් සමග කළුකුමා වැඩට බසී. උදේ කුණු පොදක්වත් නැතිව සුද්ධ කර තිබූ මංතීරු සවස් වන විට අයින් කළ කුණුවලින්ම නැවත වැසිලාය. ඒ අපේ කළුකුමාගේ වැඩය.
ඕස්ට්‍රේලියාවේ, විශේෂයෙන් කුවීන්ස්ලන්තයේ හා නිව් සව්ත් වේල්සයේ වැසියන් බොහෝ දෙනෙකුගේ වාසනාවට හෝ අවාසනාවට කළුකුමා අසල් වැසියෙකි. එමෙන්ම කළුකුමා රක‍ෂිත පක‍ෂියෙකි. කළුකුමාට හිංසා කිරීම නීතියෙන් තහනම්ය. කැලෑ එලි පෙහෙලි කර නිවාස තැනීම නිසා තම නිජබිම් අහිමිව යන මේ අහිංසකයා සමග සහජීවනයෙන් ජීවත් වීම අප කාගෙත් වගකීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *