kadapatha-ravi-jayawardana

අවබෝධයේ මිනිසා – රවී ජයවර්ධන

කැත්ලීන් ජයවර්ධන විසිනි

ප්‍රසිද්ධිය හා කීර්තිය යනු එකක් නොවේ. මේ දෙක අතර සැලකිය යුතු පරතරයක් පවතී. ප්‍රසිද්ධිය ලබා ගත හැකි ය. කීර්තිය උපයා ගත යුතු ය.
ප්‍රසිද්ධියට හා කීර්තියට කදිම උදාහරණයක් වශයෙන්, කෘතහස්ත ලේඛක කේ. ජයතිලකයන් විසින් වරක් පෙන්වා දෙනු ලැබුණේ මහත්මා ගාන්ධිතුමන් සහ නතුරාඕ ගොඩ්සේ ය. අවිහිංසාවේ හා සත්‍යයේ මාහැඟි ආදර්ශය මුළු ලෝකයෙන් ම කීර්තිය උපයා ගත් පුද්ගලයා මහත්මා ගාන්ධි ය. මේ මහා අවිහිංසාවාදියා ඝාතනය කරමින් එක් රැයකින් ලෝකප්‍රසිද්ධියට පත් වූයේ නතුරාඕ ගොඩ්සේ ය.
ප්‍රසිද්ධිය ලබා ගැනීම එතරම් දුෂ්කර නැත. ජාත්‍යන්තර මංකොල්ලකරුවෝ, මිනීමරුවෝ ද ප්‍රසිද්ධියට පත් වෙති. බැංකු කොල්ලකන්නේ ද බුද්ධිය මෙහෙයවා ය. ඒ අනුව සිතන විට බුද්ධිය භයානක දැයි ප්‍රශ්නයක් ද උපදී. ගැඹුරින් විමසා බලන විට පෙනීයන්නේ යහගුණය මුසු නො වූ කල බුද්ධිය ද වල්වදින බව ය.
සැබැවින් ම නම් ලෝකය ජයගන්නේ ලෝකය හඳුනාගන්නන් හෙවත් අවබෝධයේ මිනිසුන් ය. අවබෝධය උගන්වන පාඨමාලා ලොව කොතැනක හෝ නොවේ. අනෙක් අතට අවබෝධය ලැබූ මිනිසුන් සැම විට ම ප්‍රසිද්ධියට පත්වන්නේ ද නැත. සාමාන්‍ය මිනිස්සු නම් ප්‍රසිද්ධියට ගිජු වෙති. ප්‍රසිද්ධිය හඹා යති. එවැනි හඹායෑම් නොකරන්නේ අවබෝධයේ මිනිසා ය.
මේ ටීකාව ලියන්නට සිතුණේ මෑතකදී ජීවිතය හැරගිය එක් අපූරු මිනිසකු සම්බන්ධයෙන් අපට සිතෙන දේ ගැන යමක් කීමට ය. ඔහු නමින් රවී ජයවර්ධන ය. රවී ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ පුත්‍රයා ය. එහෙත් ලොව සුපතළ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට, රවී නම් වූ පුතකු සිටි බව දැන සිටින්නන් ශ්‍රී ලංකාව තුළ සිටින්නේ ද සුළුතරයකි.
ජයවර්ධන ජනාධිපතිවරයා බොහෝ අවස්ථාවන්හිදී දැඩි ලෙස විවේචනයට ලක් වුණ ද ඔහුගේ පවුලේ සාමාජිකයන් පිළිබඳ උපහාසය දනවන කාටූනයක් හෝ එකල පුවත්පතක පළ වූයේ දැයි අපට මතක නැත. ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රශස්ති ගැයීමට මෙන් ම ඔහුගේ දොස් නිදොස් කිරීම සඳහා ද කවර කාලයකදී හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉදිරිපත් නොවූ බව නම් අපට මතක තිබේ. සැමියාගේ කිරුළෙන් බැබළෙන්නට එලීනා ජයවර්ධන මැතිනියට අවශ්‍යතාවක් නොවූ අයුරින් ම පියාගේ බලපරාක්‍රමය දඩමීමා කරගනිමින් මාධ්‍යයට මූණ පොවන්නට, පොරක් වන්නට රවී ජයවර්ධනට වුවමනාවක් තිබුණේ ද නැත. ඒ ඔවුන්ගේ ජීවිත අරමුණු ලංකාවේ වෙනත් බොහෝ දේශපාලනඥයන්ගේ පවුල් සාමාජිකයන් තුළ වූ ඉලක්කවලට වඩා වෙනස් වූ නිසා ය. එය එසේ වූයේ කෙසේ දැයි ගැඹුරින් සිතාබලන්නකුට ඔවුනගේ “පදනම” හෙවත් පවුල් පසුබිම කෙරෙහි ද එක්තරා අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇතැයි සිතෙයි. අප දන්නා පරිදි ඔවුහු දුකින් උපන්නෝ නොවෙති.
දුකින් උපන්නකුට – නිර්ප්‍රභූනට උතුම් පුරුෂාර්ථ අහිමි වන්නේ ය යන සාහසික ප්‍රකාශය සඳහා අවකාශයක් විවර කිරීම මෙහි අරමුණ නොවේ. “ජයග්‍රහණය” හෙවත් “විමුක්තිය” ද විවිධ පුද්ගලයන් නිර්වචනය කරන්නේ විවිධාකාරයට ය. ඇතැමුන් ආධ්‍යාත්මික ධනය එකතු කර ගැනීමෙන් විමුක්තිය සාක්ෂාත් වනු ඇතැයි සිතන අතර තවත් සමහරු භෞතික උපභෝග-පරිභෝග භාණ්ඩ අත්පත් කරගැනීම ම මිනිසාගේ විශිෂ්ට ජයග්‍රහණය යැයි සිතති. භගවාන් ශ්‍රී රාජ්නිෂ් (ඕෂෝ) නම් වූ ඉන්දීය චින්තකයාට අනුව මිනිසකුට ආධ්‍යාත්ම විමුක්තිය සාක්ෂාත් කළ හැකිවන්නේ ජීවිතය අත්විඳි පසුව ය. පසිඳුරන් පිනවූ ඉක්බිතිව ය. මේ පිනවීම්වල කවර නම් අර්ථයක් දැයි මිනිසාට සාක්ෂාත්වන්නේ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලැබීමෙන් පසුව යැයි ඔහු කියයි. මීට පෙන්වා දිය හැකි හොඳ ම උදාහරණය භාරතයේ සිද්ධාර්ථ කුමරුන් ය.
රවී ජයවර්ධන ඉතා දක්ෂ වෙඩික්කරුවකු වූ බව ප්‍රකට ය. අප දන්නා තරමින් වෙඩික්කරුවා යනු සත්ත්ව ඝාතකයා ය. එහෙත් ඉලක්කයට වෙඩි තැබීම සඳහා පන්නරයක් ලැඛෙන්නේ විවිධාකාරයට ය. කිසියම් පුවරුවක ඇඳ ඇති නිශ්චිත කිසිවක් ඉලක්ක කොට, සුළෙඟේ බාධකය ද ජයගනිමින් එල්ලයට උණ්ඩ මුදාහැරීමෙන් ද දක්ෂ වෙඩික්කරුවකු විය හැකි ය. ඒ සඳහා සත්ත්ව ඝාතන කළ යුතුම නොවේ.
රවී ජයවර්ධනගේ උණ්ඩය මුදාහැරුණේ කොයි කොයි ඉසවුවලට දැයි අප හරියට ම කියන්නට දන්නේ නැත. එහෙත් ජීවිතයේ අවසාන භාගයේදී ඔහු තායිලන්තයේ වනඅරණක භාවනානුයෝගිව පසු වූ බව නම් දැනගන්නට ලැඛෙයි. ඔහුගේ ජීවිතය අනුක්‍රමයෙන් බඳුන් වූයේ කවරාකාරයේ පරිවර්තනයකට දැයි හරියට ම කියන්නට ද අපට බැරි ය. එහෙත් ඔහු ආරණ්‍යගත වන්නට ඇත්තේ භෞතික වස්තූන් අතහැර දැමීමෙන් අනතුරුව බව නම් නිසැක ය. ලංකාවේ අලි-ඇතුන් ඝාතනය කරමින්, විනෝදය සඳහා දඩයමේ යෙදුණු බොහෝ සුදු ජාතිකයන් පසුකලෙක වනසංරක්ෂකයන් බවට පත් වූ බව ද අප අසා තිබේ.
මනුෂ්‍යත්වයට පොදු වූ බොහෝ වැරදීම්වලට මිනිසා නැඹුරුවීම ස්වභාවික ය. එහෙත් වරද හා වරදේ ආදීනව හඳුනාගනිමින් ස්වයං විවේචනයේ යෙදෙන්නෝ විරළයහ. එවැනි අවබෝධයේ මිනිසුන් බිහිවන්නේ කලාතුරකිනි.
ලියෝ තොල්ස්තෝයි නම් වූ රුසියානු මහා ලේඛකයා ද පසුකලෙකදී තමා ඝාතනයේ මෙන් ම ස්ත්‍රී දූෂණයේ ද යෙදුණු බව නොපැකිළ ප්‍රකාශ කරන්නට තරම් සවිමත් වූවේ ය. මිනිසකුට කළ හැකි ඉතාම දුෂ්කර කාර්යය වන්නේ මේ ය. අංගුලිමාල වැන්නන්ට රහත්භාවය දක්වා යන මාවතේ ආලෝක ඉසවු දැක බලා ගත හැකි වූයේ ද ස්වයං විවේචනයේ යෙදුණු නිසා ය.
හෙළයේ මහාගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහයන් “විචාර ලිපි” නම් වූ කෘතිය තුළින් වරක් එවැනි ස්වයං විවේචනයක යෙදුණේ මෙසේ ය.
මා මේ විචාර ලිපි ලීවේ, මෙයින් හඳුන්වන පොත් කියවීමෙන් මා අපූරු රසයක් විඳ, අපූරු උගැන්මක් ලැබූ නිසාම නොවේ. මෙකල පෙර අපර දෙදිගම බොහෝ ග්‍රන්ථ කාරයන්, ග්‍රන්ථ සම්පාදනයට ඵලවන දෙකාරණයෙන් එකක් වන මහමෙර තරම් උස් වූ බොරු මානය මා තුළ ද ඇති බැවිනි.
(විචාර ලිපි – පූර්විකාව)
තමා දැකීම සඳහා, තමා අනුනට විවර කිරීම සඳහා මිනිසකුට කොතරම් නම් ජවයක්, ශක්තියක් තිබිය යුතු ද? රවී ජයවර්ධනගේ දිවිසැරිය දෙස බලන අපට මේ තත්ත්වය ද හඳුනාගත හැකි වන බව ය, අපගේ අදහස වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *