kadapatha-priyananda

ඉස්කෝලේ ගිහින් එන ගමන්

ප්‍රියානන්ද විජේසුන්දර විසිනි (by Priyananda Wijesundara)

පසුගිය වතාවේ මව්බිමට ගියාම මං ආපසු ඉස්කෝලේ ගියා. 7 වන පන්තියේ ඉඳලා අ.පො.ස. (සා.පෙ.) දක්වා ඉගෙන ගත්තු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට. ඉස්කෝලේ බලන්න ආසා හිතුනා. ඒත් ගේට්ටුවෙන් ඇතුළට යන්න ටිකක් අමාරු වුණා. මුර කුටියේ උන්නු නිලධාරීන් දෙදෙනාම කෙළින්ම විරුද්ධ වුනේ පෙර දැනුම්දීමක් නොමැතිව පාසල තුළට යන්නට තහනම් නිසා. ඒකට නම් කමක් නෑ කාගෙත් ආරක‍ෂාව අත්‍යවශ්‍යම නිසා. කොහෙද ඉඳලා ආවා වයසක මනුස්සයෙක්. එයාට මාව හඳුනා ගන්නට බැරි උනත් මම එයා හඳුනා ගත්තා. “ලයනල් අයියා” (නියම නම නෙමෙයි) එදා ඉස්කෝලේ අයිතිකාරයා වගේ දවල් රෑ නොබලා ඉස්කෝලේ ආරක‍ෂා කළ, අපිත් ආරක‍ෂා කළ ලයනල් අයියා.

“ලයනල් අයියේ – මම විජේසුන්දර”
“කවුද? මම දන්නේ නෑ”
“මේ ඉස්කෝලේ ඉගෙන ගත්තෙ”
“මේ ඉස්කෝලේ ඉගෙන ගත්තු කොච්චර අය ඉන්නව ද ?”
ඇත්තටම බැලූවොත් මමත් ඒ අයගෙන් එක්කෙනෙක් විතරයි.
“ලයනල් අයියේ මතකද ඉස්සර මේ පිට්ටනියේ සංගීත ප්‍රසංගවල නිවේදන කළේ”
“හත්වලාමේ ප්‍රියානන්ද ළමයා”
ලයනල් අයියා මා හඳුනා ගත්තා. මට හරිම ලෙන්ගතුකමක් දැනුනේ ඔහු මට “ළමයා” කියලා කතා කළාම. ඉස්කෝලේ යන කාලෙත් කතා කළේ “ළමයා” කියලා.
මම ආ කාරණාව ලයනල් අයියාට කිව්වා. ලයනල් අයියා මුර කුටියේ නිලධාරීන්ට විස්තර කියලා මට පාසල ඇතුළට යන්නට අවසර අරන් දුන්නා.
කෙළින්ම ගියේ ප්‍රධාන කාර්යාලයට. කවුරුවත් දන්නා හඳුනන අය නෑ. වටේ හැම බිත්තියකම තිබුනු ඡායාරූපවල මම ඉන්නා බව මම දන්නවා. කණිෂ්ඨ ශිෂ්‍ය භට බලකායේ, ජ්‍යෙෂ්ඨ බලකායේ සමූහ ඡායාරූපවල, අන්තර් පාඨශාලීය නාට්‍ය, ගායන තරඟවල සමූහ ඡායාරූපවල මම ඉන්නවා. වීදුරු අල්මාරියක – පලිහ හා කුසලාන. මේවායින් සමහරක් එදා අපි සමුහ වශයෙන් තරඟ කරලා ගත්ත ඒවා.
“ඇයි ආවේ ?” එක්වරම කාර්යාලයීය සේවකයෙකු මගෙන් ඇහුවේ හරිම අකාරුණික විදියට.
“මම මේ මාව බලනවා” පින්තූර බලන ගමන් මම ඔහුට කීවා.
“ඇයි ඔහේ මේ පින්තූරවල ඉන්නව ද ?”
“ගොඩාක් පින්තූරවල ඉන්නවා”
“කොහොමද ඇතුළට ආවේ ?”
“ගේට්ටුවෙන්”
දැන් මටත් අකාරුණික ලෙස උත්තර දෙන්න සිදුවෙලා.
අසල මේසයක උන්නු සේවිකාවක් ඇයගේ දබරැගිල්ල කීපවරක් හිසට තට්ටු කලේ මං ඔල්මාදකාරයෙකු කියලා වෙන්න ඇති. ඒත් මේ තත්වය වෙනත් පැත්තකට හැරුනේ පිළියන්දල මා දන්නා කෙනෙකු කාර්යාලයට පැමිණි නිසා ඔහු ඉස්කෝලේ ගුරුවරයෙක්.
“ප්‍රියානන්ද අයියා කවද්ද ලංකාවට ආවේ ?”
මම ඔහුට විස්තර කිව්වා.
“දන්නවද මේ කවුද කියලා”
ඔහු මගේ විස්තර කියාගෙන කියාගෙන ගියා. ඒ ඔක්කොම අවසන් උනාම මම කිව්වා.
“ඒ ඔක්කෝටම වඩා මේ මම ඉගෙන ගත්තු ඉස්කෝලේ” කියලා.
කොහොම කොහොම හරි ප්‍රින්සිපල් සර්වත් මුණ ගැහිලා මං අවසර ගත්තා ඉස්කෝලේ ටිකක් ඇවිදින්න.
ලංකාවෙන් පිටත්වෙලා වසර විස්සකට පමණ කලින් මං ඉස්කෝලෙට කීප වතාවක් යන්න ඇති. ඒත් දැන් හොඳටම වෙනස් වෙලා. හැම තැනම ගොඩනැගිලි හැදිලා. අපේ සමහර පන්ති කාමර තිබුණු තැනක්වත් හොයා ගන්න බෑ. කුන්දිරා පොල් ගහ තිබුණු තැන හොයන්න මං කීප වතාවක් උත්සාහ කරලා අන්තිමේ අනුමානයෙන් හිතා ගත්තා කුන්දිරා ගහ තිබුණු තැන. මේ ගහ එතරම් උස නෑ. ඒත් කුන්දිරා කුරුම්බා වලූ වටේටම. ලයනල් අයියා මේ කුන්දිරා ගහට සාත්තු කළා. හොරෙන් කුන්දිරා බොන හැටි අපට ඉගැන්නුවේ ලයනල් අයියා.
විභාග ළංවෙන කොට ටිකක් කළුවර වැටෙන කල් එකතු වෙලා පාඩම් කරන්න අවසර තිබුණා. ගෙඩි කඩන්නේ නැතුව කුන්දිරා බොන්නත් ඕනා. ලයනල් අයියා ගහේ ගෙඩි ගානත් දන්නවා. බුලත් විටක් කන්න ශත 25 ක් දුන්නාම කුන්දිරා ගෙඩියක් ඉල්ලා ගන්නත් පුළුවනි. ඒත් හොරෙන් බොන දඟකාරකමේ අගයක් තියනවානේ. යාළුවෙක් උපායක් ගෙනාවා.
“සේලයින් බටයකින් උරලා බොමු”
ඉස්පිරිතාලෙන් කටුවක් සහිත අලූත් සේලයින් බටයක් ඉල්ලා ගත්තේ පරීක‍ෂණයකට කියලා. දවසක් රෑ අපි එකතු වෙලා ලපටි කුන්දිරා කුරුම්බා ගෙඩියක් සේලයින් කටුවෙන් විද්දා. දැන් බලාපොරොත්තුව ඒ වල්ලේ ගෙඩි සේලයින් බටයෙන් උරා බොන්න. ඒත් බටය දිගේ කුරුම්බා වතුර එන්නේ නෑ.
“ළමයි මොකද මේ කරන්නේ?”
ලයනල් අයියාගේ කෑලි පහේ විදුලි පන්දම අපිට වැදුනා.
“පරීක‍ෂණයක් කරනවා”
“ලයනල” අයියා දන්නවද චුෂණය ගැන. චුෂණය කියන්නේ ඇදිලා එන එකට! ඉතින් අපි බලනවා චුෂණයෙන් මේ වතුර එනවද කියලා” අපේ එකෙක් උත්තර දුන්නා. ලයනල් අයියා දන්නා චුෂණයක් නෑ.
“ඔහොම එන්නේ නෑ. ගෙඩියට කොහෙන් හරි හුලං එන්න ඕනේ. එකට කරන්න තියෙන්නේ තවත් හිලක් හදන එක.”
චුෂණයෙන් කුන්දිරා වතුර බොන ආකාරය ලයනල් අයියා අපිට කියා දුන්නා. ඊට පස්සේ පාඩම් කරලා ඉවර වෙනකොට ලයනල් පැඑයදා එකට කුන්දිරා බිව්වා.
ක්‍රීඩා පිට්ටනිය දෙපැත්තේ එදා තිබුණේ පිරිමි සහ ගැහැණු නේවාසිකාගාර. සරඹ කාලය හරි කෘෂිකර්ම කාලය හරි පරීක‍ෂණාගාර කාලය හරි වෙනකොට හරිම බඩගිනියි. මේ වෙලාවට කරන්නේ ටීචර්ට මොකක් හරි කියලා පිරිමි නේවාසිකාගාරයට රිංගන එක. ඉස්කෝලේ ඇරිලා නේවාසික ළමයි එනකොට ඔවුන්ට දවල් ආහාරය මේසය දිගේ සූදානම්. ආහාර පිසින අය කුස්සියේ වැඩ. මේසය දිගේ දෙපැත්තේ කෑම පිඟන් තියෙන්නේ ළමුන්ගේ ගනනට. එක් මිතුරෙක් කුස්සිය මුර කරන කොට අනිත් අය හැම පිඟානෙන්ම ටික ටික කනවා. මේ වෙලාවට මේක දිව්‍ය භෝජනයක් වගෙයි. හැබැයි මුරුංගා, බණ්ඩක්කා, මුකුණුවැන්න, ගෝවා, නැට්ට තියන බිත්තර (වම්බොටු) නැට්ට නැති බිත්තර (බිත්තර) තමයි හැමදාම මාරුවෙන් මාරුවට තියෙන්නේ. මාලූ කෑල්ලක් තිබුණත් කන්න බෑ. බිත්තරය කන්නත් බෑ. ඒත් කොහොම හරි යන්තම් බඩ පුරවා ගන්නවා.
එක් වතාවක් පිරිමි ළමයින් සහ ගැහැණු ළමයින් විනෝද අධ්‍යාපන චාරිකාවක් යන්නට සූදානම් වුණා. පාන්දරින්ම ගමනට පිටත්විය යුතු නිසා නේවාසික නොවූ ළමුන් පවා නේවාසිකාගාරවල නතර වුණා. පිළියන්දල ‘සීදේවි’ සිනමා ශාලාවේ ‘ඒක් ටුල් දෝ මැලි’ හින්දි චිත්‍රපටිය පෙන්වනවා ගමනට ගෙදරින් දුන්න රුපියල් දෙකෙන් ශත 55 ක් වියදම් කරලා අපි කට්ටිය සීදේවි ගැලරියට රිංගුවා. ඒත් ආපසු හොරෙන්ම නේවාසිකාගාරයට එනකොට වැඩේ වැරදිලා. මේ හොරකම අසුවූ නිසා පිරිමි ළමුන්ට මේ ගමන යන්න තහනම් කළා. දඬුවම ඒකයි.
“කෙල්ලන්ට යන්න දෙන්නෙත් නෑ”
උසස් පෙළ පන්තියක හිටපු අයියලා කීප දෙනෙකු කට මැත දෙඩෙව්වා.
ඊබට් සිල්වා බස් දෙකක් නතර කර තිබුණත් බස් එකකට නැග්ගේ ගැහැණු ළමයි විතරයි. අපිට ගමන තහනම්. එක එක උසුළු විසුළු කරමින් විකාර කරමින් අපිව කෝප ගන්වා ඔවුන් පිටත්ව ගියා. අපි පුරුදු විදියට ඉස්කෝලේ ආවා. දවල් 10.00 ට 11.00 ට විතර චාරිකාව ගිය බස්රිය ආපසු පාසලට ආවා.
අර කටමැත දෙඩූ අයියලා කොහොම හරි විද්‍යාගාරයේ දොර ඇරලා ඇස්ඛෙස්ටොස් පුළුන් අරගෙන බස් එකේ ආසනවලට දාලා. ඉතාම පුංචි කුඩු වගේ කාටවත් නොපෙනෙන මේ ඇස්ඛෙස්ටෝස් කුඩු හමේ ගෑවුනාම පලූ දමා කසන්නට පටන් ගන්නවා. බස් එක කෙළින්ම ගිහින් තියෙන්නේ පිලියන්දල රජයේ ආරෝග්‍ය ශාලාවට එතන නිලධාරීන් තමයි ආසන කීපයකම ඇස්ඛෙස්ටෝස් කෙඳි හොයාගෙන තියෙන්නේ.
තවත් කාලෙකට පස්සේ ගැහැණු ළමනු් විතරක් තවත් චාරිකාවක් යන්න සූදානම් වුණා. කලින් වගේම සමහර සිසුවියන් ගැහැණු නේවාසිකාගාරයේ නතර වුණා. පාන්දර තුනට විතර නැගිටලා ළිඳ ළඟට ගිහින් මුහුණු සෝදා ලෑස්ති වෙන්නයි නියමය. රාත්‍රී කාලයේ දී ගැහැණු නේවාසිකාගාරයේ සිසුවියන් ගී ගයමින් සතුටු වුණා. පාන්දර තුනට ඔර්ලෝසුවල නලා ශබ්දයත් ඇහුණා. ඒත් විදුලි පහන් එකවරම දැල්වෙලා නිවී ගියා. පාසලේ අනිත් හැම තැනම විදුලිය තිබුණා. අපේ කට්ටිය මොකද කරලා තියෙන්නේ. හොරෙන්ම ගැහැණු නේවාසිකාගාරය ළඟට ගිහින් එලියේ විදුලි බල්බයක් ගලවලා. එදා තිබුණු තඹ සතයේ කාසියක් බල්බයට තියලා නැවත සවි කරලා. ප්‍රධාන ස්විචය දැමු ගමන් විදුලිය විසන්ධි උනා. පාන්දර යන්න තිබුණු ගමන ගියේ උදේ අටට පමණ.
අ.පො.ස. විභාගය ලියලා ප්‍රතිඵල එනතුරු කාලය ඉතාම විනෝද ජනක කාලයක්. අපිට වෙනම පන්තියක් තිබුණා. ගුරුවර ගරුවරියන් එන්නේ ඉඳලා හිටලා. ඒත් අපි හැමදාම ඉස්කෝලේ යනවා. මේසවලට තට්ටු කරලා සිංදු කියනවා.
“ආවා පෙම්වතා යන්නේ
ඇයි ඔයා දෙනුකෝ
පෙම්සිනා – ආදරෙයි කියා”
ජෝති වගේම අගර දලා මේසයට තට්ටු කරමින් මම මේ ගීතය ගායනා කළා. යහළුවන් යෙහෙළියන් හරිම සතුටෙන් උන්නා. ඒත් එක්වරම ඔවුන් නිහඬ උනා. ඇත්තටම මං හිතුවේ මගේ ගායන දක‍ෂතාව නිසා ගීතය අහන්න ඔවුන් නිහ~ උනා කියලා.
“පෙම්වතා – මෙහාට එමු”
විදුහල්පතිවරයා කතා කරනා තුරු මම ජෝති වගේ සිංදුව කිව්වා. එම් ඒ ආර් කුරේ මහතා විදුහල්පති. යමු එමු කියලා තමයි කතා කරන්නේ. හරිම නීති කාරයා. සුදු කලිසම සහ කෝට් එක ඇඳලා වේවැල අරගෙන එන්නේ කිසිම කතාවක් නෑ දිග වේවැලෙන් පෙම්වතාගේ එක අතකට දහයයි. අනිත් අතට දහයයි. හතර හමාරට විදුහල්පති කාර්යාලය වසන තුරු එතනට වෙලා දන ගහගෙන ඉන්න මට සිදුවුණා.
ඇත්තටම මේවා ඉතාම අහිංසක දඟකාරකම්. මම මේවා ඔබට කීවේ මා දන්නවා මේ ලිපිය කියවන විට හරි කියවා අවසන් වූ විට හරි ඔබ ඔබේ පාසල් බිමට යන බව.
“අංකල් දැන් වෙලාව කිය ද ?” මගේ තාවකාලික පාසල් ශිෂ්‍යභාවය බිඳ වැටුනේ පාසලේ ඉගෙන ගන්නා දරුවෙකු මගෙන් වෙලාව ඇසූ විට. මේ දරුවාට මගේ වයසේ මාමා කෙනෙකු ඇති. මේ දරුවාගේ වයසේ දී මම මේ බිමේ අධ්‍යාපනය ලැබුවා. ජීවිතය ගොඩගත්තා. මං වයසට ගිහින්. තවදුරටත් මං මේ පාසලේ ශිෂ්‍යයෙකු නෙමෙයි. ඒත් ඉස්කෝලේ තවත් වයසින් අඩුවෙලා. ලස්සන වෙලා. මගෙන් වෙලාව ඇසු දරුවා දවසක මගේ වයසට ඒවි.
“අංකල් වෙලාව කීයද ?” කියා සමහර විට මේ බිමේදීම ඔහුගෙන් ද තවත් දරුවෙකු අසාවි.
ඒත් ඉස්කෝලේ වයසට ගිහින් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *