screen-shot-2017-07-05-at-11-08-30-pm

වැස්ස වළාහක සහ මිනිස්කම

කපිල කුමාර කාලිංග විසිනි

පසුගිය දිනවල ලංකාව පුරාම මහ වැසිය. ගංවතුරය. නාය යාම්ය.
මධ්‍ය කඳුකරයට ද කාලගුණ වාර්තා බිඳ හෙළමින් වැසි ඇද හැලේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිතකලා අංශයෙහි දේශන කීපයක් යෙදී තිබුණු බැවින්, අයහපත් කාලගුණය නොතකා මට එහි යාමට සිදුවිය.
ලලිත කලා අංශය පිහිටා තිඛෙන්නේ, සරසවි බිම මැදින් ඉහළට ඇදෙන උඩ පේරාදෙණිය පාරේ, උස් බිමකය. එය හුදෙකලා, නිශ්ශබ්ද ස්ථානයකි. උඩු මහලේ ඇති පුළුල් සඳළු තලයට ගියවිට අවට පරිසරයේ සුන්දර දසුනක් දැකගත හැකිය.
මගේ දේශනවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අමතරව, අවට වනයේ සිටින වඳුරන් ද සහභාගීවීමට උත්සාහ කරන බැවින් ශාලාවේ දොර කවුළු නිතරම වසා තැබීමට සිදුවෙයි.
පසුගිය දිනෙක මම ස්වභාවිකවාදී ගුරු කුලයේ නාට්‍යකරුවනට, ඩාවින්ගේ පරිනාමවාදී මතිමතාන්තර බලපෑ අයුරු විස්තර කරමින් සිටියෙමි.
“සර්… සර්… වඳුරො ඇවිල්ලා” යි ශිෂ්‍යාවන් හඬ නැගුවාය.
සුළඟින් විවර වු කවුළුවකින් වඳුරෙකු ඇතුළට එබී බලා සිටියේය. ‘මිනිසා පැවත එන්නේ අපගෙනි’ වැනි අදහසක්, වඳුරාගේ දෑසින් පළවුණි.
“කැමති නං ඇතුළට එන්න. නැත්තං අපිට කරදර නොකර යන්න.”
මම කීවෙමි. සිසුන්ගේ සිනාහඬ මධ්‍යයේ වඳුරා ආපසු ගියේය.
දහසක් දෙනා වෙසෙන තැනක් වුව ද මේ වැසිබර සන්ධ්‍යා කාලයන්හී, සරසවි බිම මහත් පාළු, ශෝකී ස්වභාවයක් ගනී. දේශන නිමවීමෙන් පසු ඉහළ මාලයේ සැදැල්ලට යන මම තවත් මොහොතක් එහි රැඳී සිටින්නේ ඒ පාළු, ශෝකී පරිසරය විඳ ගැනීමේ ආශාවෙනි. පේරාදෙණි සරසවි බිම හා හන්තාන කඳු වැටිය පිළිබඳව කොතෙක් කව්, ගී, කතා සාහිත්‍යයට එක්වී ඇද්ද? පේරාදෙණි සරසවි සුන්දරත්වය ගැන ඉතාම රමණීය වර්ණනය ඇත්තේ මහාචාර්ය සුචරිත ගම්ලතුන්ගේ “ගුරුගුණ සමර – මහාචාර්ය සරත්චන්ද්‍රයන් පිළිබඳ සැමරුම් ග්‍රන්ථයෙහි” යැයි සිතමි.
එතුමන් පවසන අන්දමට, මුළු සරසවි උයනම සැණකෙළි වෙස් ගත් කලෙක මෙනි. සිහින ලෝකයක් වැන්න මනරම්ය. එක් පසෙකින් මිහිඳුම් සළුව වැළඳ සැරසෙන හන්තාන කඳු වැටි පෙළින් ද, අනෙක් පසින් මහවැලි නදියෙන් ද හමා එන සිහිල් පවන් රැල් අනේක කුසුම් සමූහයෙන් හමන බහුවිධ සුගන්ධයෙහි තැවරී හමාවිත් ගත වැළඳ ගනී… මෙබඳු අසිරි සිරිසර සපිරි සරසවියක් කෙසේ නම් ලක් මිහිමත පහළවීදැයි ඔහු මවිතයට පත්වෙයි.
ගම්ලතුන්ගේ වරණනාවට ලක්වූයේ දශක කීපයකට ඉහත පැවති පේරාදෙණි සරසවි බිම වුව ද, තවමත් එය සාධාරණ යැයි සිතෙයි. වෙනසකට ඇත්තේ නම් ඒ එහි වෙසෙන මානවක මානවිකාවන් හා ඇදුරන්නේ ඇවතුම් පැවතුම්, ආකල්ප විකල්ප හා ජීවන තත්වයන් පමණි.
පසුගිය දිනෙක, මද වැසි සහිත සැඳෑවක මම සරසවි බිම මැදින් දිවෙන පාරට පිවිස, ගලහ හන්දියට (නුවර පාරට) යනු පිණිස ත්‍රීරෝදයකට නැගුනෙමි. අතරමග තැනෙක තවත් ත්‍රීරෝදයක් නතර කොට තිඛෙනු දුටු අප රියැදුරා, එහි මදක් නවතා, කිසියම් ප්‍රශ්නයක්දැයි විමසීය. එහි රියැදුරා, ඉන්ධන ස්වල්පයක් ඉල්ලීය. තමන් සතුව ද ප්‍රමාණවත් ඉන්ධන නැති බව කියූ අප ත්‍රිරෝදකරු, ඔහුගේ වම්පාදය ඉදිරියට දමා, “ආබාධිත ත්‍රීරෝද රිය” තල්ලූ කරන්නට ගත්තේය.
ඔහු, තරබාරු ශක්තිමත් පුද්ගලයෙකි. ඉදිරිපසින් යන ත්‍රීරෝදය, ගලහ හන්දිය දක්වාම තම පාදයෙන් ගෙනයාමට ඔහු සමත් විය.
පොඩි එහා මෙහාවකින් තම පාදය තුවාලවීමට හෝ උළුක්කුවීමට ඉඩ තිබුණ ද, සම රැකියාවෙහි නියුතු එම නාඳුනන සගයාට උපකාර කිරීමට ඔහු නොපැකිළුණි.
පසුපස අසුනේ සිටි මා තුළ ද, ඒ දැකීමෙන් ඇතිවූයේ සතුටකි.
නුවර පාරේ බස් නැවතුමට මා යනවිට, වැසි තද කෙරුණි. ඒ සමගම එහි පැමිණි ත්‍රීරෝදයක සිටි රියැදුරෙක්, බස් නැවතුමේ සිටි කීපදෙනා දෙස බලමින් මෙසේ හඬ නැගුවේය.
“රුපියල් පනහයි. නුවරට පනහයි යනව නං නගින්ඩ.”
මේ තවත් පරෝපකාරී රියැදුරෙකි. මම දෙවරක් නොසිතා එහි නැංගෙමි. මෙහි සිට මහනුවර නගරයට ත්‍රීරෝද ගාස්තුව රුපියල් දෙසීයක් පමණය. එහෙයින්, මේ වැසි වෙලාවෙ මෙය ලාභයකි. ඉක්මනකි.
මදක් ඉදිරියට යද්දී ත්‍රීරෝදකරු මා දෙස හැරී, “මහත්තයා කොහෙටද යන්නේ ?” යැයි ඇසීය.
“ඔරලෝසු කණුව ළඟ බස් ස්ටෑන්ඩ් එකට.”
“මම නං යන්නෙ ඉස්පිරිතාලෙ ළඟට.”
“කමක් නෑ මං එතනින් බැහැල පයින් යන්නං.”
මං එසේ පැවසුවේ එතරම් කැමැත්තකින් නොවේ. සුළු දුරක් හෝ මේ වැස්සෙ පයින් යාම කරදරයකි. අනික් අතට, “නුවර යනවා” යැයි මුලින් කීමෙන් මොහු කළේ වංචාවකි.
අතරමගදී තවත් දෙදෙනෙකු නංවා ගත් ඔහු ඔවුන්ගෙන් රුපියල් සීයක්ම අයකර ගත්තේය. ඔවුහු මද දුරක් ගොස් රථයෙන් බැස ගත්හ.
තවත් සුළු දුරක් ගමන් ගත් රථය, යළිත් නතර කෙරුණි.
“මහත්තයා මට විනාඩි දහයක් දෙන්ඩ. නොම්බි අරින්ඩ වෙලාව කිටිටුයි. කැඳ එකක් තියෙනවා අරං එන්නං.”
රියැදුරා පාර පැන හෝටලයක් තුළට දිව ගියේය. තවත් විනාඩි දහයක් පමණ ගමන ප්‍රමාද විය. (බස් රථයක පැමිණියේ නම් මුළු ගමනටම ගතවනුයේ විනාඩි 20 -30 අතර කාලයකි. ගමන් ගාස්තුව රුපියල් 15 ක් පමණය.)
දැන් මට සිදුවී ඇත්තේ බැඳගත් ඛෙරය ගැසීමටය. අධික වර්ෂාව නිසා, ත්‍රීරෝදයෙන් බැස බසයකට ගොඩවීම ද දුෂ්කරය.
යළි ගමන් ඇරඹු රියැදුරා, නගරය දෙසට ගමන් නොකර රෝහල දෙසට ඇති අතුරු පාරකට රථය හැරවීමට උත්සාහ කළේය.
“මේ කොහෙද යන්නෙ…?” මම විරෝධය පළ කළෙමි.
“ඉස්පිරිතාලෙට.”
“මාව බස් ස්ටෑන්ඩ් එකෙන් දාල යන්ඩ. මෙහෙන් ගියාම මට සෑහෙන දුරක් පයින් යන්ඩ වෙනවනේ.”
“ස්ටෑන්ඩ් එකට ගියාම, මට ආපහු හරවගෙන එන්ඩ වෙනවා. මං මහත්තයව ටවුමටම ගිහිං දාන්නං මට ඒකට හයර් එක දෙන්ඩ.”
රුපියල් පනහට නුවර යාමට අඬ ගැසූ මොහු, දැන් තවත් කුලියක් ලබා ගැනීමට අර අඳී. අනික් අතට මේ කරන්නේ මහා වර්ෂාවට කොටුව සිටින මා ප්‍රාණ ඇපකාරයෙකු බවට පත්කර ගැනීමය. වැස්සෙ හෝ රථයෙන් බසින්නෙමියි තීරණයකර ගත් මම, බෑගය අතට ගත්තෙමි. “මාව මෙතනින් දාල යන්ඩ.”
එවිට රථය ඉදිරියට පැද වූ ඔහු, නගරයට ඈතින් ඇති ‘ගුඩ්ෂෙඩ්’ නම් බස් නැවතුමේ වතුර වළක් අසල එය නතර කළේය.
“පව්නෙ… ඒකයි මෙතනටම ආවෙ. මං ආපහු හරවං යන්ඩත් ඕනේ… කමක් නෑ. පව්නේ…”
ඔහු දැන් මට අනුකම්පා කරයි.
“සල්ලි දුන්නේ නෑ.”
ඊළඟ මොහොතේ පවසයි. මම රුපියල් පනහ ඔහු අත තබා. බෑගය තුළින් කුඩය ගෙන දිග හරිමින් “ස්තුතියි” වත් නොකියා රථයෙන් බැස ගත්තෙමි.
“ආ කුඩයක් තිබිල නේද?”
ඔහු කියනු මට ඇසුණි. එහි යටි අදහස, කුඩයක් මා ළඟ ඇතැයි දැන ගත්තේ නම් මා අතරමගම දමා ඒමට තිබූ බව නොවේ ද ?
උදෑසන සිටම, පේරාදෙණි සරසවි බිම රැඳී සිටීමෙන් සිතෙහි ඉපිද තිබූ සොම්නස් හැඟුම්, මේ කුඩා සිද්ධියෙන් පසු යටපත් වී ගියේය.
ඔහුගේ සිතෙහි රජකළේ වංචනික සිතිවිල්ලකි. මුදල් තණ්හාවකි. අයහපත් කාලගුණය ද, තම වාසියට හරවා ගත් ඔහු කපටි පහත් පෙළේ උත්සාහයක යෙදුණේය. ඒ මොහොතේ ඔහුට දෙවියන් අමතක වුණි. ඒ මේ ලොවින් තවත් එකෙකි. මම ද ඔහුට “පව්” යැයි කියමි.
මේ සිද්ධියට පසු දින උදෑසන, පේරාදෙණි සරසවියට ගිය මට අසන්නට ලැබුණේ සිත කම්පා කරවන ශෝචනීය පුවතකි. සරසවි ශිෂ්‍යාවක උපාධි ප්‍රදානෝත්සවයෙන් දින කීපයකට පසු, දුම්රියට ගෙල තබා හෝ ඊට හසුවී මිය ගොසිනි. බොහෝ දෙනා කියනා අන්දමට එය ප්‍රේම සම්බන්ධයක් බිඳී යාමෙන් ඇතිවූ සිත් තැවුල නිසා, සිය දිවි නසා ගැනීමකි.
දැනටමත්, මේ ශිෂ්‍යාවගේ පාසල් ජීවිතයේ සිටම නොඑසේ නම් උපන්දා සිටම, තොරතුරු සොයා මාධ්‍යකරුවන් “ක්‍රියාන්විතයකට” බැස සිටිනු නිසැකය. මෙය විකිණිය හැකි “නියම ස්ටෝරි” එකකි. හාමතේ පසු වූ සිවලෙකුට, ගෙරි කුණක් හමුවු කලෙක මෙන් ලංකාවේ මාධ්‍ය ඉන් කුස පුරවා ගනු ඇත.
මගේ ගැටලූව එතැන නොවේ. පේරාදෙණි සරසවිය වැනි සුන්දර පරිසරයක වසර ගණනාවක් කල් ගෙවූ අහිංසක මානවිකාවකට, එබඳු දරුණු මානසිකත්වයක් ඇතිවූයේ කෙසේ ද?
මට එදින දෙසුමට විෂය වී තිබුණේ ඔගස්ටස් ස්ට්‍රින්ඩ්බර්ග්ගේ සුප්‍රකට නාට්‍යය “යුලී මෙනවිය” යි. යුලී මෙනවිය ද අවසානයේ දී තමන් සයනයට ගත් සේවකයාගේ දැලි පිහියෙන් ගෙළ සිඳගෙන මිය ගියාය. දිවි නසා ගැනීම යනු ආත්ම මූලික ගැළවීමක් ද? නොඑසේ නම් වෛරී සහගත පලිගැනීමක් ද? සෑම දිවි නසා ගැනීමකටම දඬුවම් ලැබිය යුත්තේ සමාජය යැයි මම සිතමි. මා ද ඒ සමාජයෙහිම එකෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *