D B Kuruppu - Photo by Saamantha Tennege

විරහා වේදනාවේ රස පෙන්වා දෙමින් දම්මිගේ ආදරය දිනාගත් ඩී. බී. කුරුප්පු

ශ්‍රීනාත් මද්දුමගේ විසිනි

මහගම සේකරයන් ඔහුගේ “නොමියමි” කවි පොතේ තැනක මෙහෙම ලියනවා. “ඔබට ලෝකය තනා දී මිස මට නික්ම යා නොහැක.” එහෙත් ඔහු පැතූ ලොව හෙලිපෙහෙලි වන්නට පෙර ඔහු ලෝකය අතැර යනවා. එහෙත් තමාගේ යුතුකම දෙවියන් ඉදිරියේ දුන් පොරොන්දුවක් මෙන් සලකා සාහිත්‍යකරනයේ යෙදුන ඩී. බී. කුරුප්පු එහෙම නැත්තං බොල්ඩ්වින් කුරුප්පු අපගේ මහා සාහිත්‍යධරයා, නොරට අපිට සෙවන දුන් මහා වනස්පතිය දැන් අප අතැර ගොස් අවසන්.
මරණය කම්පිත ශ්ලෝකයක්. ඒ ශ්ලෝකය ගයන්නට විරිතක් තවම අපි හඳුනගෙන නැහැ. එය විප්‍රවාසයක්. විප්‍රවාසය ගැන කතා කරන විට ලාංකේය විප්‍රවාස ඉතිහාසයේ පළමු පෙලේ ඩී. බී. ඉන්නවා. ඒ සාහිත්‍යකරුවෙක් හැටියට නෙමෙයි. ප්‍රේමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ලියැවුන නවකතාව සැඟවුන ප්‍රධාන චරිතයක් ලෙස. සමහර විට ඔබ දන්නවා ඇති. කරුණාසේන ජයලත්ගේ “ගොලූ හදවත” නවකතාවට වස්තූ බීජ වූ තුන් ඈදුනු ප්‍රේම කතාවෙ කරුණාසේන ජයලත්ට විරහා වේදනාවේ රස පෙන්වා දෙමින් දම්මිගේ ආදරය දිනාගත් ඒ පුද්ගලයා ඩී. බී. කුරුප්පු.
දැසමන් මලක් වගේ ප්‍රියංකරද සුකෝමලද නොවුනත්, සුරගනාවියක් වගේ අහිංසක නොවුනත් රටක් වටින ඩී. බී. කුරුප්පු සාහිත්‍යවේදියා ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින්ට නම් සැබැවින්ම රටක වටිනාකමක් තිබුණා. එතුමයි – සිංහල භාෂාවයි – ඕස්ට්‍රේලියාවයි අතර මනා සහසම්බන්ධයක් තියෙනවා.
ඩී. බී. කුරුප්පු මහත්මයව අපි දැක්කේ කැන්ගරු දේශයට ලාංකේය සියපතක්, කගපතක් හැටියටයි. එතුමා ඇත්තටම ඕස්ට්‍රේලියාවේ සිංහල සාහිත්‍ය රසවතුන්ට පියෙක් වුනා. එතුමගේ සාහිත්‍ය කෘති සාහිත්‍ය රසාස්වාදයට ලොල් සිංහලයන්ට බීකන් පහනක් වුනා. එතුමගේ සාහිත්‍ය කියැවීම ගැන එක එක මතවාද තියෙන්න පුළුවන්.. ඒත් මේ අපූරුවට, මේ තරම් වේගයෙන් ලියපු සාහිත්‍යකරුවෙක් උපන් තේකට මම නම් දැකල නෑ…
එතුමා වියපත්ව එහෙත් ග්‍රීක ඇරීනාවක රඟන නර කෙස් ඇඳුන වියපත් තෙස්පියානුවෙක් වාගේ ජවපූර්ණව තම යුග මෙහෙවර ඉෂ්ඨ කළා. එතුමාගේ තරුණ ජවය අපි දැක්කේ ලියා පළකල පොත් කන්දරාව දැක්කම. එකම ජවයෙන්, එකම වේගයෙන් ලියාගෙන ලියාගෙන ගියා. ඒක අපිට නම් හිතාගන්නත් බෑ. ඒක ගැන මට නම් තිබුණෙ ඊරිසියාවක් නෙමෙයි විශ්මයක්.
අප අතරින් සඳහටම නික්ම ගිය ඩී. බී. කුරුප්පු සාහිත්‍යධරයා මියයන වන විට අගනා සාරගර්භ වගේම සිත්බඳනා විවිධාකාරයේ කෘති 50 කට අධික සංඛ්‍යාවක් රචනා කරපු, පරිවර්තනය කරපු මහා යුග පුරුෂයෙක්. එතුමා සිය ප්‍රථම පරිවර්තන කාර්යය “මැංචෝසන් චාරිකා” නමින් එළිදක්වන්නේ 1963 තරම් ඈත කාලයේදීයි. එතුමා එදා මෙදා ලියූ පොත් කන්දරාව ඇතුලෙ විවිධ රස තියෙනවා. මේ අතර ළමා පොත් තියෙනවා. හෝචිම්ංගේ සිරගෙයි දිනපොත වාගේ චරිත කතාන්දර පොත් තියෙනවා. පිළිකා සුවය ඔබ අතමය කියල වෛද්‍ය සුවතාවයන් ගැන ලියැවුන පොත් තියෙනවා. ගෝවින්දන් කන්දසාමි දඹරාවේ ජාතින් අතර සහෝදරත්වය ගැන කියැවෙන කෙටිකතා පොතක්, සිංගරු සිරිතෙන් මෙහෙ ඉන්න අපි ගැනත් කතා කළා. අරබත් දරුවො පොත මහා විශාල ග්‍රන්ථයක්.
වසර පනහකට අධික කාලයක් නොකඩවා පොත් ලියූ ඩි.බී. කුරුප්පු හැම වෙලාවෙම අලූත් අද්දැකීමක් තමන්ගේ පාඨකයින්ට ලබාදෙන්න මහන්සි වූ සාහිත්‍යකාරයෙක්. ලියාගෙන යනකොට මේකෙන් අහවලාට රිදෙන්න පුළුවන්. අහවලා මාත් එක්ක අමනාප වෙන්න පුළුවන් කියන පූර්ව නිගමනය නැති බව පේනවා. විවෘතව නොපැකිලව සිය අදහස් ප්‍රකාශ කරනවා. ඒකට එතුමාට හොඳ පරිචයක් තියෙනවා.
ලාංකීය සමාජයේ මෙන්ම ගෝලීය සමාජ සංස්කෘතීන් ගැන විඥාණය සුක්ෂම ලෙස උකහා ගන්නට ඩී.බී. මහා දක්ෂයෙක්. අනිත් අයගේ ඇස් වලට අහුවෙන්නෙ නැති සමාජයේ සියුම් තැන්, හිස් තැන්, ඇදපළුදු තැන් ඉතාමත් ගැඹුරු විචාර බුද්ධියකින් අනුදැන ග්‍රන්ථාරූඪ කිරීමෙන් ඔහු දැනුවත් කළේ බසෙහි පසුගාමි අපේ පරම්පරාවයි.
ඩී. බී ට සතුරන්ද මිතුරන්ද නැති වග හැඟෙන්නේ දුර්වල තැනක් දුටු සැනින් කිසිදු අනුකම්පාවකින් තොරව ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නොනැවතී එය මතු පරපුරට පරිශීලනය පිණිස ග්‍රන්ථාරඪ කරන ආකාරයෙන්. ඔහු බඳු අදීන ලේඛකයෝ නැවත අප අතර බිහිවෙන එකක් නැහැ කියලයි මම හිතන්නෙ.
එතුමගේ ඇසුරෙන් අපි ජීවිතය පිළිබඳ හෘදයාංගම විවරණ දැන හඳුන ගත්තා.

ජීවිතයේ හිස් තැන් හුඟාක් මේ තීර්ථ චාරිකාවෙදි අපට මුණගැහෙනවා. ඒ හිස් තැන් පුරව ගන්න අපි කවුරු හරි සුධිමතෙක් එනකම් බලාගෙන ඉන්නවා. සැබැවින්ම එතුමා අපිට ජීවිතය කියල දුන්නා. ඩී. බී. කුරුප්පු සාහිත්‍යධරයාණන්ටම ආවේනික කියවීමක් තිබුනා. ඒ වගේම උණුසුම් ලෙන්ගතුකමක් තිබුනා. ඒත් ඒ ලෙන්ගතුකම අදින් පස්සෙ අපිට හමුවෙන්නෙ නැහැ. ඒ හිස්තැන අපිට ජීවිත කාලය පුරාම දැනේවි.
සාහිත්‍ය කේෂ්ත්‍රය තමයි රටක ජීවය වෙන්නෙ. විවිධ විෂයන් තිබුණත් පුද්ගලයා කෙරෙහි නිර්මාණශිලි කුසලතාවයන්ට ගොදුරු කරන්නෙ සාහිත්‍ය භූමිකාවයි. එම නිම්නයාර්ථ භූමිකාවෙන් ඔප් නැංවීම මතයි සහෘද ගත සිත සනසා බුද්ධිය පුබුදින්නේ. ඩී. බී. කුරුප්පු ස්වකීය ග්‍රන්ථ සමුච්චයෙන් කලෙත් මේ කාර්ය භාරයයි. මෙතුමා අප අතර නැතත් එතුමා ප්‍රකට කළ සමාජ විඥානය අදටත් වඩා හෙටට වඩා හොඳ පහනක් වේවි. මා හිතදාර මිත්‍ර බොල්ඩිව්න් කුරුප්පු සහෘදයාණෙනි. ඔබට සුබ ගමන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *