බොල් වී

වේරම්බ වායු කළඹන
සිතේ දළ රළ පෙළ
නුඹ පාමුලට එවූ සැන
මල් කිණිති පවා
මදකුදු නොසැලෙන
මන්ද මාරැතය සිඹින
පකුල් කල මහිම
අදටත් විශ්මයකි

තාම නෙත් අහිමි
බිලාල පැටව් මෙන්
පහන් එළිය නොදැක
යුගඳුරක සිටියද
අමා මග කෙලවර
මිණි කිරණ මේයැයි
ලියන පරිකල්පිත
හෙළි කල මගෙහි
මුලට පිළි නොපා
සැලෙන නුඹෙ දෙපා

පන්ති සටනට මැදිව
තියුනු කටු පිරැන
ලේ පැල්ලම් දිග
වෘක රැළ හඹා
රෑ දවල්‍ නොතකා
දිවයන අපූරැව

කැත්තෙන් ඉසිඹු නොලද
දැවුනු වියැලුනු තුඩගින්
මලෙක මෙලෙක නොදැන
පෙති මෙතරම් සිනිඳු වග
ලියන්නට තරම්
සුන්දර වුවද

උතුරන බඳුන් සුරා
හෙලන බැලුම් නුරා
තැන තැන කෙලි දුරා
සැල ලැග රැය පුරා
දවසරින කලට
බත් හුලක් යදින
පියා කොයි සොයන
මා සහ දරැ පවුල
යදින ඒ යාදිනි
අමතක වූයෙද

නමට කවිදාස වුව
“කාව්‍යදාසයන්”
“දාසයෝ” නොකියා
වියත් සබා මැද
ඇමතූ රසිකාවට
කනේ වංගු ඇදයන්ට
ලෝදිය වගුල නුඹම
සුදු පිරැවට වැහුන
මජර නයුවන්ට
නොවියත් සබාවල
නිබ්බුත පද දෙසා
දෙපා සිපගත් අයුරැ
තවම මතකයි

ත්‍රිපිටකයෙ මුල
ධම්ම පද ලියන
බයිබලයෙන්
ගීතාංජලී අහුලන
යුද බිම මැද
පරෙයියන් මවන
නුඹට…

පලමු ගල ගැසූ
යුදාස් වන්නෙම්ද
මල් මාලා දැමූ
දෙව්දුව වම්ද
තවමත් සොයමි මම

  • ශිරාන් විජේරත්න

බොල් වී පෑහීම

බත ලැඛෙන්නේ සහලිනි. සහල් ලැඛෙන්නේ වී වලිනි. වී බොල් වූ කල අපට ලැඛෙන සහලක් නැත. එකල්හි බතක් ගැන කවර කතා ද ? ශිරාන් විජේරත්න ලියූ බොල් වී නැමති කවෙහි වචන අතර බොල් වී මතු නොව සුනු සහලක්ද අපට සොයා ගත නොහැකි ය. ඒ නිසාම කවියා මෙකව තුළින් මතුකරන බොල් වී යනු කවරැක්දැයි සොයා, දැක, දැන හඳුනා ගැනීම අපටම බාර කර ඇති සේ ය.

කවියෙකු ලෝකය දකින්නේ හුදී ජනයා දකිනවාට වඩා වෙනත් මානයකිනි. එහෙත් ඔහු ලෝකය දකින්නට යොමු කළ ආලෝක කදම්බය කොතෙක් දුරකට තමාව දකින්නට ප්‍රයෝජනයට ගන්නේ ද ? ඒ බව තේරුම් ගැනීමට ඒ කවියාට සවන්දීමෙන් හෝ ඇසුරුකිරීමෙන් පමණක්ම කළ නොහැක්කකි. එය කළ හැක්කේ ඒ අය සමඟ කාලයක් එකට ජීවත්වීමෙනි.

“බොල් වී” නම් කාව්‍යයෙන් ශිරාන් කතාකරන්නේ කවියෙකු ගැනය. කවියා ගැන කතා කරන්නට ඔහු තෝරා ගන්නේ තවත් කවියෙකු හෝ විචාරකයෙකු නොව කවියාගේම බිරිඳගේ ද්‍රෘෂ්ඨිය ය. සාමාන්‍යයෙන් කෙනෙකුට සමීප කෙනෙක් ඔහු ගැන කතාකරන්නේ එක්කෝ අතිශ්‍යයෝක්තියෙනි. නැතිනම් ද්වේෂයෙනි. මෙකී අන්ත දෙක අත් නෑර ඇය තම කිවි සැමියා ගැන කියන්නේද, එවදන් එකහෙලාම බැහැර කිරීමට අපි දෙවරක් නොසිතමු. ඒ නිසාම අපි බොල් වී පාහින්නට වෙර දරන්නේ එකී අන්තයන්ට නොවැටෙන්නට වෙර දරන අතරම ය.

වේරම්බ වායු කළඹන
සිතේ දළ රළ පෙළ
නුඹ පාමුලට එවූ සැන
මල් කිණිති පවා
මදකුදු නොසැලෙන
මන්ද මාරැතය සිඹින
පකුල් කල මහිම
අදටත් විශ්මයකි

බෞද්ධ සාහිත්‍යයේ සහ රාමායණයේ අපට හමුවන වේරම්බ වායුව යනු ඉතා වේගයෙන් හමායන වායුධාරාවක් ලෙස සරලව ගත හැකිය. එකී පැරණි සාහිත්‍යයේ දැක්වෙන වේරම්බ වාතයට හසු වන සියල්ලම විනාශ වන්නේ ය. එබඳු වේරම්බ වාතය පවා කළඹන්නට සිතේ දළ රළ පෙළ සමත් බව කවියා අපට මෙහිදී කියයි. සිතිවිලි වලට වේරම්බ වාතය මෙන් ගස් ගල් පෙරළිය නොහැකි බව ඇත්ත ය. එහෙත් සිතිවිලි කෙතරම් අපව තළා පෙළා වනසා දමන්නේද යන කාරණය නොදන්නේ කවුරුන් ද ? එබඳු චන්ඩ මාරුතයක් හෝ සුළි කුණාටුවක් කවියාටග් පාමුළට එවූ සැනින් මල් කිණිත්තක් පවා නොසැලෙන තරමට එය සුමට කරන්නට මේ කවියාට හැකිය. ඒ පමණක්ද ? මන්ද මාරුතය පවා කුඩා රැලි (පකුල්) කරන්නට ඔහුට ඇති ශක්තිය විශ්මයජනකය. කලා ලෝකයේ මෙබඳු විස්කම් කළ හැක්කේ ඉන්ද්‍රජාලිකයන්ට නොව කවියන්ටම පමණකි. ශිරාන් විෙජ්රන්න තම කතානායක කවියාගේ ප්‍රවීණත්වය සහ දක්ෂතාවය ගැන ලබා දෙන එකී ප්‍රවේශය ඉතා අපූරුය.

තාම නෙත් අහිමි
බිලාල පැටව් මෙන්
පහන් එළිය නොදැක
යුගඳුරක සිටියද
අමා මග කෙලවර
මිණි කිරණ මේයැයි
ලියන පරිකල්පිත
හෙළි කල මගෙහි
මුලට පිළි නොපා
සැලෙන නුඹෙ දෙපා

පූස් පැටවුන්ට ඉපදී සතියක් යන තුරු ඇස් නොපෙනෙන්නේ ය. ඒ ආකාරයෙන්ම සත්‍ය නොදැක්කාවූ දනට අවසාන විමුක්තිය නම් මැණික් කිරණ පෙන්නා දෙන්නට මෙකී කතානායක කවියාට හැකියාව ඇති බව කවියා අපට කියයි. එහෙත් ඒ මග ගමන් කරන්නට තරම් නිර්භීතකමක් ඔහුට නැති බව “සැලෙන නුඹෙ දෙපා” යන පදයෙන් කියවේ. බණ වදාරන සුදනෝ, තමන් වදාරන බණ හදාරන්නටත්, හැදෑරූ බණ පිළිපදින්ටත් බොහෝ විට මැළි වෙති. නැත්නම් බය වෙති. එකී සත්‍ය කවියා මෙ’කවෙහි ඉතා ප්‍රවේසමෙන් බහා ඇත්තේ දක්ස වඩුවෙක් පිටතට නොපෙනෙන්නට කළ වැද්දුමක් සේම නොවේ ද ?

පන්ති සටනට මැදිව
තියුනු කටු පිරැන
ලේ පැල්ලම් දිග
වෘක රැළ හඹා
රෑ දවල්‍ නොතකා
දිවයන අපූරැව

තතු එසේ වුවද, පංති සටන් හරහා අහිංසකයින් මරා දැමූ බලවත් වෘකයන්ට එරෙහිව රැයක් දහවලක් නොමැතිව ඔහු අරගල කරයි. මේ නම් අද අපට බොහෝ විට විශේෂයෙන් තරුණ දේශපාලන නායකත්වය තුළිනුත්, ජනතාවාදී යැයි සැලකුම් ලබන කලාකරුවන් තුළිනුත් පෙනෙන්නට ඇති සත්‍යයකි. ඉසියුම් ජීවන සත්‍යයන් අභිමුව මුනිවත රකින ඔවුහු මතුපිටින් පෙනෙන අරගල නොහොත් සමාජ අසාධාරණයන්ට එරෙහිව නැගී සිටින්නන් අතර පෙරටුගාමීහු වෙති. හොඳින් විමසා බැලු කල්හි අරගල කිරීම අපහසු නැත. එනමුත්, තමා සම්මතෙහි පිහිටා කටයුතු කිරීම පහසු නැත.

කැත්තෙන් ඉසිඹු නොලද
දැවුනු වියැලුනු තුඩගින්
මලෙක මෙලෙක නොදැන
පෙති මෙතරම් සිනිඳු වග
ලියන්නට තරම්
සුන්දර වුවද

අතට ගත් කැත්ත පවා පැත්තකින් තබන්නට ඔහුට වේලාවක් නැතිවන්නට ඇත. ඉන් ධ්වනිත වන්නේ ඔහුට කලක් ජීවිතය ගැට ගසාගන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට වූ වග නොවේ ද ? අද කවියෙක් වුවද එකල ඔහු මහත් ජීවිත අරගලයක යෙදී සිටින්නට ඇති බව ඉන් තවදුරටත් ගම්‍ය වන්නේ ය. එපණක්ද නොව ඔහු මල් පෙති වල සිනිඳු බව ලියා ඇත්තේ අඩුතරමින් මලක පහසවත් ලබා නොවේ. එයින් ධ්වනිත වන්නේ ප්‍රේමය ගැන මනහරව ලියූ ඔහුට සැබවින්ම ප්‍රේමය අත්විදින්නට නොලැබූ බව නොවේ ද ?

උතුරන බඳුන් සුරා
හෙලන බැලුම් නුරා
තැන තැන කෙලි දුරා
සැල ලැග රැය පුරා
දවසරින කලට
බත් හුලක් යදින
පියා කොයි සොයන
මා සහ දරැ පවුල
යදින ඒ යාදිනි
අමතක වූයෙද

එකල තතු එසේ මුත් අද තතු වෙනස් ය. අද ඔහු තැන තැන නුරාව, සුරාව මෙන්ම දුරාවද සොයා ඇදෙන්නේ ය. අසාධාරණයට එරෙහිව කැරළි ගසන ඔහු තම සුතනඹුවන් බඩ සායෙන් පෙළෙන බව නොදන්නේ කෙසේද යන කාරණය කවියාගේ බිරිඳ අසන්නී ය. එවදන් තුළ විශ්මාර්ථයත්, උත්ප්‍රාසයත් එකට කැටිව ඇත්තේ ය.

නමට කවිදාස වුව
“කාව්‍යදාසයන්”
“දාසයෝ” නොකියා
වියත් සබා මැද
ඇමතූ රසිකාවට
කනේ වංගු ඇදයන්ට
ලෝදිය වගුල නුඹම

සුදු පිරැවට වැහුන
මජර නයුවන්ට
නොවියත් සබාවල
නිබ්බුත පද දෙසා
දෙපා සිපගත් අයුරැ
තවම මතකයි

සිදුහත් කුමරු අරඹයා නිබ්බුත පද කීවේ කිසාගෝතමිය ය. ඉන් කියවෙන්නේ සිදුහත් බඳු පුතෙකු ලද මවක්, පියෙක් මෙන්ම සිදුහත් බඳු හිමියෙකු ලද කාන්තාවක නිසැකයෙන්ම නිවුනෝ වෙති යි යන කාරණය ය. මිහිරි හඬින් ගැයූ නිබ්බුත පද ඇසූ සිදුහත් කුමාරයා තමා පැළැද සිටි මාලය කිසාගෝතමියට තෑගි කර යැවීය. අද ප්‍රවීණ කවීහුද නිබ්බුත පද කියති. ඒ සිදුහත් බඳු නිවුනු චරිත අරඹයා නොව දෙව්දත්ලාටත් අන්ත දනන් වෙනුවෙනි. එසේ ගැයෙන ප්‍රසස්ති ඉදිරියේ මෙකී ප්‍රවීණ කවීහුද නොයේක් වරප්‍රසාද ලබති. එම වරප්‍රසාද අතර මාල නැතත් සුරාවෙන් පටන් ගෙන නුරාවෙන් කෙළවර වන තරම් නා නා දේ ඇත. තතු එසේ මුත් ආධුනිකයෙකු අතින් ප්‍රසස්තියක් ගැයුනොත් එම ආධුනිකයාගේ කණේ වංගු කෙළින් වන තරමට ලෝදිය වත් කරන්නට මෙකී ප්‍රවීණයෝ දෙවරක් නොසිතති. ඒ අන් කිසිවක් නිසා නොව ආධුනික ප්‍රසස්ති නිසා ප්‍රවීණයන්ට ලැඛෙන වරප්‍රසාද යම්කිසි සෙළවීමකට බඳුන්වන නිසා ද ? මේ නම් අද අප ඉදිරියේ ර`ගන ප්‍රවීණ යැයි කියාගන්නා පිරිසකගේ නින්දිත චර්යා රටාවන් නිර්භයව කරලිය ඉදිරියේ නිරුවත් කර පෙන්වීමක් නොවන්නේ ද ?

ත්‍රිපිටකයෙ මුල
ධම්ම පද ලියන
බයිබලයෙන්
ගීතාංජලී අහුලන
යුද බිම මැද
පරෙයියන් මවන
නුඹට…

අභිධර්මය ගැඹුරුය. එබැවින් දුරවබෝධ ය. ධම්මපදය සරලය. එබැවින් අවබෝධයට පහසුය. රබින්ද්‍රනාත් තාගෝර්තුමන්ට නොබේල් සාහිත්‍ය සම්මානය ලැබුණු ගීතාංජලී කාව්‍ය සංග්‍රහය තුළින් එතුමන්ගේ දර්ශනය ඉස්මතු වන්නේ ය. බොල් වී හි අපට හමුවන කවියාට බයිබලය පවා කාව්‍යාත්මකව නිර්වචනය කළ හැකි බව ඉන් අදහස් වන්නේය.

ලොව කවර තැනක යුද්ධයක් ඇති වුවද ඉන් පීඩාවට පත්වන්නේ අසරණ අඹු දරුවෝ ය. ආගම ඉදිරියේ එසේ හැසුරුණද, මේ කවියා යුදබිම මැද පරෙයියන් මැවීමෙන් තමන් පක්ෂ පාර්ශවය වෙනුවෙන් යුද්ධය සාධාරණීකරණය කරන්නේය යන අදහස මතු වනවා නොවේ ද ?

පලමු ගල ගැසූ
යුදාස් වන්නෙම්ද
මල් මාලා දැමූ
දෙව්දුව වම්ද
තවමත් සොයමි මම

අද දවසේ ඔබත් මාත් ජීවත්වෙන්නේ මෙබඳු විපරිත පවුකාරයෝ සුචරිත භූමිකාවෝ රඟන රඟමඬලක ය. දැන් අපි කළ යුත්තේ ඔවුන්ව තව දුරටත් සාදරයෙන් පිළිගෙන දේවදූතයෙකු බවට පත් වීම ද ? නොඑසේනම් එකී පවුකාරයාට පළමු ගල ගැසීමට දායක වීම ද ? මේ නම් පාඨක අපවද අතිශ්‍ය සංකීර්ණ උගුළකට හසු කරගැනීමට කවියා අප අතට දුන් දෙකොණ විලක්කුවකි. මක්නිසාද යත් පවුකාරයට පළමු ගල පහර එල්ල කළ යුත්තේ කිසිම පවක් නොකළ අයෙකු නිසාවෙනි.

සාමන්ත තැන්නගේ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *