කැඩපත

වෙසරද හඬ පෞරුෂය – කරුණාරත්න අමරසිංහ

ස‍ඳුන් ප්‍රියංකර විතානගේ විසිනි

ලාංකේය කලා කෙතෙහි එක් අස්වැන්නක සපුරා හිමිකම ගුවන්විදුලි සංස්ථාවට අයත් ය. එවක සිටි පැණසර කලාකරුවන් ළමාපිටිය මතට ගෙනා සියලූ ම දෙනා පාහේ පසුකාලීනව ලංකාවේ නම රැන්දූ කලාකරුවන් බවට පත් වූ බවට උදාහරණ ඕනෑතරම් තිබේ. එක් උදාහරණයක් නම් කරුණාරත්න අමරසිංහ සූරීන් ය. හඬ නළුවෙහි පුරාවෘත්තයක් බඳු අමරසිංහයෝ හමුවූ යෙදුණු සංලාපයක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කැරුණි.
කතා-බහකට වෙලාවක් ඉල්ලා සිටි වේලෙහි අමරසිංහ මහතා මට කීවේ ගුවන්විදුලියට පැමිණෙන ලෙස ය. මා එහි යනවිටත් අමරසිංහ මහතා සිටියේ සුනන්ද මහේන්ද්‍රයන් සමඟ ශබ්දාගාරයක වැඩසටහනක් පටිගත කරමිනි. ගුවන්විදුලියට සිදුව ඇති සන්තෑසිය කියන්නට මෙය අවස්ථාව නොවේ.
නිශ්චිතව ම නොදනිතත් අමරසිංහ මහතාට වයස සැත්තෑවක් හෝ ඊට ආසන්න යැ යි සිතමි. එනමුදු ඔහුගේ කාය පෞරුෂය යොවුනෙකුට වඩා ඉහළින් ය. ගමන ඍජු ය. ඇඳුම පිළිවෙල ය. බැල්ම අකුටිල ය. නිදහස් චතුරස්‍රය පෙදෙසට ඇවිද යමින් ඔහුගේ ගැඹුරු හඬින් වශීකෘත වෙමි.
අමරසිංහ මහතා ඉපිද ඇත්තේ කලූබෝවිල ගමේ ය. කොළ පැහැයක් සුදුර්ලභව දැන් තිබුණ ද එවක කලූබෝවිල රෑට රෑට නරි හූ හඬ දෙන පෙදෙසකි. මවගේ ගම ය. පියා කන්නිමහර ය. සම්මානිත සාහිත්‍යකාර කේ. ජයතිලක ද ඔහුට ඥාතිවර වෙයි. එවක පරම විඥානාර්ථ සමාගමට අයත් ව තිබුණු බුද්ධඝෝෂ විද්‍යාලය ඔහුගේ පළමු පාසලයි. ළඟ මිතුරා තවත් කලූබෝවිල වැසියෙක් වූ ලයනල් රංවල යි. බුද්ධඝෝෂයේ ලොකු ඉස්කෝල මහත්තයා වූයේ රූබන් පීරිස් මහතා ය. ඔහු එවක ජනප්‍රිය ලේඛකයෙකි. බොහෝ පොත් පත් ලියුවේ ය. එය කුඩා අමරසිංහ සිසුවාට මහත් ආස්වාදයක් ගෙනාවේ ය. පාසල් ඇරී ගෙදර ගිය කෙනෙහි මව ඔහුව කලූබෝවිල සුනන්දාරාමයට පිටත් කළා ය. ඒ පන්සල් පොත් කියවන්නට ය. වර්තමානයේ බටහිර ඉගැන්වුම්හි එන හඬ පාලනය තමන්ට ලැබුණේ පන්සල් පොත්වලින් බව අමරසිංහ මහතා පවසන්නේ “සකස්කඩෙහි” පාඨයක් රමණීය ලෙස හඬ උස්පහත් කර කියමිනි.
උසස් අධ්‍යාපනය සඳහා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට ඇතුළුවන ඔහුට අපූරු මිතුරන් පිරිසක් හමුවෙයි. තිලකරත්න කුරුවිටබණ්ඩාර, අජන්තා රණසිංහ, සුනන්ද මහේන්ද්‍ර ආදී පසුව කලාවෙහි ප්‍රකට වූවන් පිරිසක් ද ඒ අතර සිටිති. ඒ අතර සිටි වෝල්ටර් කල්දේරා අමරසිංහ ජීවිතයේ වෙසෙස් වැදගත් කමක් ගන්නේ, ඔහු ගුවන්විදුලිය හා බැෙඳන්නේ සිය නිර්මාණයක් ළමා පිටියට කියවන්නට ගිය වෝල්ටර් සමඟ තනියට ගිය නිසාවෙනි එතැන් පටන් තිලක සුධර්මන් මහතා සමඟ ළමා පිටියේ බොහෝ කටයුතුවලට සම්බන්ධ වන්නට ඔහුට හැකියාව ලැඛෙන්නේ නිතැතිනි.
1957 දී ගුවන්විදුලි නාට්‍ය ශිල්පීන් ඉල්ලු කෙණෙහි ඔහු ද ඊට අයැදුම් කළේ ය. මුලින් ම හඬ පරීක්ෂණයකි. දේශපාලූවන්ගේ ලිපි ආදිය, ඥාති සංග්‍රහ ආදිය නැති ය. අතිශයින් ම වැදගත්වන හඬ අසමත් නම් ඔහුට සිදුවන්නේ බලාපොරොත්තු සිඳගන්නට ය. මේ හඬ පරීක්ෂණයෙන් අමරසිංහ තරුණයා ලෙහෙසියෙන් ම සමත් වූ අතර එතැන් පටන් ඔහු ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් වූයේ ය. පසුව නාට්‍ය රචකයෙක් ද නිෂ්පාදකයෙක් ද බවට පත් වූ ඔහු පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඇරඹි පසුව ඒවා වෙත ද සම්බන්ධ වූයේ ය. රූපවාහිනී නාලිකා ඇරඹි පසු ඒවායේ ද බොහෝ කටයුතු කළේ ය. එවක ඔහු ජනකාන්තයෙකු බවට පත් කරනු ලැබුවේ “ගජමුතු” හඬ නළුව විසිනි. එහි “මොරපාතොට අප්පො” වූයේ අප කතානායකයා ය.
අමරසිංහයන් හා හෙළයේ මහගත්කරුවාණන් හා ඇසුරට පත්වන්නේ ද සරසවි විද්‍යාර්ථීයෙකු ව සිටි අවදියේ දී ම ය. සරසවියේ ප්‍රකාශනයකට ලිපියක් ලබා ගැනීමෙන් ඇරඹි සබඳතාව මිත්‍රත්වයක් දක්වා වර්ධනය වූයේ වික්‍රමසිංහයන්ගේ නාවල නිවසේ මධුපැන් සමඟ සාදකතාවන්ට නිතර ඇරයුම් ලැබුවේ ය. එතැන් පටන් වික්‍රමසිංහන්ගේ කෘතිවල සෝදුපත් බැලූවේ ද, සුචි පිළියෙල කරන ලද්දේ ද අමරසිංහ මහතා විසිනි. අද පුස් වෙඩි වැනි සාහිත්‍යකාරයන් අබියස වික්‍රමසිංහයන්ගේ අදීනත්වය ඔහු සිහිකරන්නේ ගර්වයෙනි. එවක තිබූ විශ්වවිද්‍යාල සතරෙන් ම සම්මාන ආචාර්ය උපාධි පිරිනැමුව ද ඒවා ලැබුණු සැණෙන් වික්‍රමසිංහන් කළේ තම නම ඉදිරියෙන් ආචාර්ය නාමය නොයොදන්නැයි පුවත්පත්වලට ලිපියක් දැනුම්දීම බව ඔහු සිහිපත් කරයි.
මහගමසේකරයන් ගුවන්විදුලියට පා තබන්නේ අමරසිංහයන්ට පසුව ය. දෙදෙනාගේ මිත්‍රත්වය ඇරඹෙන්නේ සුනන්ද මහේන්ද්‍රයන් හරහා ය. සේකර ජනප්‍රිය වූයේ ගුවන්විදුලියෙන් බව අමරසිංහ මහතා කියන්නේ, අමරදේවයනුත් සේකරත් සුසංයෝගයෙන් බිහි වූ “මධුමති” වැඩසටහන ගැන පවසමිනි. සමහර දාක සවස්කාලයේ සුනන්දර මහේන්ද්‍ර – අමරසිංහ තරුණයෝ දෙදෙන රදාවානේ සේකරගේ නිවසට යති. කෙත්වතු සාර ගම්බිම මැදින් ඇවිද දෙපාවෙන් නාගෙන සේකරගේ මව පිසූ රසැති අහර බුදිමින් විවිධ දේ කතා කරති. නොනවතින දාමයක් ලෙස සේකර සිගරැට් දල්වයි. කතා-ලතා විවිධ ඉසවු ඔස්සේ දිවෙයි. එවන් එක් හැන්දෑවකය සේකරගේ නොපළ නවකතාව ඒ දෙදෙනාට සේකර විසින් ම කියැවූයේ. එක්තරා ප්‍රකට රුවැති නමුත් පතිනියක් කෙරෙහි සේකර බැඳි හාදය එහි විණැ යි අමරසේකරයෝ කියති. රැයක් පුරා කියවූ “ගඟට දැමූ ඔරු” නම් ඒ නවකතාව දිනෙක සේකර විසින් ම ගඟකට දමන්නට ඇත. ඇතැමෙක් සේකරගේ මරණය මධුපැන නිසාවෙනැ යි කියන අදහස ප්‍රලාපයකැ යි අමරසිංහ මහතා කියයි.
සිංහල කලා සංස්කෘතිකාවකාශයෙහි යුගකාරක පුරුෂයන් බොහෝ දෙනෙක් සමඟ ඇසුරු කරන්නට තරම් කරුණාරත්න අමරසිංහ මහතා වාසනාවන්ත වීය. ඒ අතුරෙන් තවත් ප්‍රධානයෙකි, ශ්‍රී චන්ද්‍රරන්තන මානවසිංහයෝ. වෙසරද ලේඛකයෙක්, කවියෙක්, ගීත රචකයෙක් සහ අදීන මාධ්‍යවේදියෙක් සේ ම ව්‍යක්ත කථීකයෙක් ද වූ මානවසිංහයන් මිතුරෙකුට වඩා ගුරුහරුකම් ලබමින් ඇසුරු කළ අයෙක් බව ඔහු සිහි කරයි. ජනාකූල නොවූ එවක බොරලැස්ගමුවෙහි “වාපිමේඛලාව” නමින් දන්නා මානවසිංහ පායට යන අමරසිංහ තරුණයා සංස්කෘත උගැන්මට ද යොමු වූයේ මානවසිංහ ඇසුර නිසාවෙනි.
නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ දී කරුණාරත්න අමරසිංහ ශිෂ්‍යයාට සිංහල උගැන්වූයේ මෙලක තවත් අතිවිශිෂ්ඨ සාහිත්‍ය යෝධයෙකු වූ කේ.ජී. කරුණාතිලක මහතා ය. ලංකාවේ සාහිත්‍යයට “බිම්ගෙයි සිරකරුවා” අතහැර ගමනක් යා හැකි ද? ඔහුගේ භාවිතය සිසුන්ගේ සිත්වල ලේඛනයේ බීජ පැළ කරන ලද්දේ ය. අමරසිංහ මහතා ද ලේඛනයට බටුයේ ය. ඔහුගේ පළමු පොත “ලිංගික විද්‍යාව” යි. එවක ලංකාවේ (දැනුදු එසේ ම ය) ලිංගික කරුණු ගැන තිබුණේ බරපතළ මිත්‍යා මත ය. කුඩා දරුවන් අත පවා මිත්‍යා මතැති අශ්ලීල ප්‍රකාශනයන් ය. මේ තත්වයට පිළිමල් ලෙස ඔහු ලිංගිකත්වයෙහි විද්‍යාව සමාජගත කරන්නට කෘතියක් ලිවීය. ඉන් නොනැවත විවිධ පරිවර්තන කෘති ද ඔහු අතින් එළිදැක්විණි.
කරුණාරත්න අමරසිංහ මහතා අවුරුදු ගණනින් වයස්ගත වුවත් නිර්මාණ කායෙන් ද චින්තන කායෙන් නව යෞවන වියෙහි ය. එපමණක් නොව ඔහුගේ බාහිර පෙනුම පවා අතිප්‍රසන්න ය. කතාබහේ අවසානයට ඇදී යද්දී වත්මන් කලාවෙහි තතු විත්ති ආදියත් පෙරකල අතීත විත්ති ආදියත් කඳුහෙල් මැදින් ගලන ගංගාවක් පරිද්දෙන් ඇදී යයි. එමොහොත අකුරු බවට පෙරළන්නට අසීරු ය. ඔහුගේ දැක්ම තියුණු ය. අදීන ය. ලංකාව සෙක්ස් සොයා ගූගල් පළමු තැන කප් ගසා තිබීමටත් හේතුව ගණිකා වෘත්තිය නීතිගත කරන්නට එදා ආචාර්ය ඒ.පී. ද සොයිසාත් පිටකෝට්ටේ සෝමානන්ද හිමිත් කළ මනෝඥ යෝජනාව ඉවත දැමීම බව කියන්නට තරම් ඍජු ය. නූතන ලේබල් බෞද්ධයන් විෂයෙහි ඔහුගේ බැල්ම සෝපහාසී ය. ඊනියා දේවතා ඇදහිල්ල ගැන ඔහු පවසන කඨෝර වදන් සවන් වැකුණහොත් විචාර බුද්ධියකින් තොරව දෙවියන් අදහන්නෙකුට උණ ගැනෙනු ඇත.
කොයි හැටි වෙතත් මේ පැණසරයාණන් අනාගතය වෙතත් අනාගත පරම්පරාව වෙතත් හෙළන්නේ කුටිල බැල්මක් නොව සුභවාදී බැල්මකි. ඔහු පවසන්නේ, නව ඥානධාරාවක් විහිදුවන චරිතයක් බවට පත්වන්නෙමැ යි අදිටනක් නව පරපුරට තිබිය යුතු බවකි. අනෙක් අතට ඒ වෙත මාවත වැටී ඇත්තේ නූතනත්වය සමඟ සම්ප්‍රදාය යෙහෙන් ගලපා ගැනීමෙන් බව ඔහු අවධාරණය කරයි.
පැය දෙකකට ආසන්න සංවාද-සංලාපයකින් පසුව අප අසුන් ගෙන සිටි නිදහස් චතුරස්‍ර සීමාවෙන් නැගී සිටියෙමු. ගුවන්විදුලි සංස්ථාව අසලින් බසයකට නැගගන්නෙමැ යි කී කරුණාරත්න අමරසිංහයෝ අපෙන් සමුගත්තේ දිවාආහාර ආරාධානව ද කාරුණිකව ප්‍රතික්ෂේප කරමිනි. දිවමන් ව සිටින ඥාන කෝෂ්ඨාගාර වැනි මේ මිනිසුන්ගෙන් ලක් පොළොව ඵලප්‍රයෝජන නොගැනීම ගැන සිතමින් දෝ අහස සිටියේ ද කලූ සලූ පොරවාගෙන ය. ඔහුට චිර ජීවනය ඉත සිතින් පතමින් එතැනින් සමුගෙන ආවෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *